‘අවතක්සේරු’ වුණු සාලාවේ වැසියෝ | සිළුමිණ

‘අවතක්සේරු’ වුණු සාලාවේ වැසියෝ

ඒ භයා­නක සිදු­වීම මේ වන විට අතී­ත­යට එක් වී දෙව­ස­ර­කුත් ඉක්ම ගොස් ඇත්තේය. සාලාව විසා­ලා­වක් බවට පත් වූ ඒ බිහි­සුණු මත­කය තව­මත් අප සිත්හි සුන්බුන් සේ ඉති­රිව ඇත්තේය. කවු­රුන් කෙසේ අම­තක කර­න්නට උත්සාහ කළද සාලාවේ මාවත් ඔත්සේ ඇවිද යන්න­කුට මේ අමි­හිරි දසුන් තව­මත් දෙනෙත් අබි­ය­සය මැවෙ­න්නේය. පොළො­වට සම­තලා වූ, දැවී අළු වී ගිය බොහෝ නිවෙස්, කඩ-සාප්පු මේ වන විට සියලු බාධක පරයා නැඟී සිටින්ට වැර දරන්නේ එහි වෙසෙ­න්නන්ගේ දැඩි වෙහෙසේ ප්‍රති­ඵල නිසා­මය. එහෙත් තව­මත් මෙහි වෙසෙ­න්නන්ට දෙව­ස­ර­කට පෙර සිදු වූ සියල්ල සිහි­න­යක් නොවන බව ඔවුහු දනිති. බොම්බ පතිත වී සිදු වූ විනා­ශ­යන්, ගඩො­ළින් ගඩොළ තැනුණු සිය නිවෙස්හි තව­මත් ඉති­රිව ඇත්තේ ඒ විපත දරුණු බව කිය­න්න­ටය. කාලය ගෙවී ගියද තව­මත් ඔවුන්ගේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් දී නැත්තා සේය. බෝම්බ­යෙන් සුනු­වි­සුනු වී ගිය කඩ­තොලු අත­රින් මේ අය තව­මත් බලා සිටින්නේ ඔවුන්ට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන තෙක්ය... ඔවුන්ගේ අහිං­සක ඉල්ලීම් ඉටු වන තෙක්ය...

එදා බල­ධා­රීන් ඔවුන්ගේ දුක් ගිනි නිව­න්නට දුන් දාය­ක­ත්වය මේ ඇත්තෝ හද­ව­තින්ම අග­යති. කුරිරු යුද්ධය ජය­ග­න්නට දාය­ක­ත්වය දුන් රණ­වි­රු­වන් තමන්ගේ අස­ර­ණ­ක­මට පිහිට වූ ආකා­ර­යට මේ අය තව­මත් තුති පුදති. එහෙත් තවත් අහිමි වන්නට දෙයක් නැතිව අන්ත අස­රණ වූ මේ අය සාධා­ර­ණ­යක් පතා සිටිති. අනුන්ගේ අත්වැ­රැ­ද්ද­කට වන්දි ගෙවූ ඔවුහු තමන්ට සාධා­ර­ණ­යක් ඉටු කර­ග­න්නට තැත් දැරූ අව­ස්ථා­ව­ලදී වැර­දුණු තැන් බොහෝ ඇති බව ඔවුහු දනිති. ඒ වැර­දුණු තැන් හේතු­වෙන් අද මේ පිරිස් ලෝක­යට ණය­කා­ර­යන් වී ඇත්තේය. සාලාවේ දිවි ගෙවන ඔවුන්ගේ පෙනෙන ජීවි­තයේ නොපෙ­නෙන කතා­වයි, මේ.

“අදට අවු­රුදු දෙකයි. එදා අපේ ගේ සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වුණා. අද­ටත් අපේ ගෙව­ල්වල බෝම්බ­යෙන් විනාශ වුණු ලොකු හිඩැස් එහෙ­ම­මයි. හමු­දා­වෙන් වහලේ ගහලා දුන්නා. ඒත් අද­ටත් අපි ජීවත් වෙන්නේ වැස්සට තෙමි-තෙමී. අපේ ගෙයි බිත්ති, පොළොව අද­ටත් බොල් වෙලා. මුලින්ම තක්සේ­රුව ආවේ ලක්ෂ 3යි, 80000කට. පස්සේ අපි ඒ මුදල මදියි කියලා අභි­යා­ච­නා­වක් යොමු­ක­ළාම ලක්ෂ 5යි, 30000ක් ලැබුණා. ඒකෙ­නුත් අපේ ගෙට වුණු විනා­ශය හදන්න තියා හිත­න්න­වත් අමා­රුයි. එදා කළ මේ වැරදි තක්සේරු නිසා අද අපි දුක් විඳි­නවා. අද අපේ ගෙව­ල්වල අපිට ආර­ක්ෂා­වක් නැහැ. ගේ පුරාම පිපිරුම් සල­කුණු....“ ඒ හේමන්ත කුමා­රය.

ගිනි­දැ­ල්ලෙන් අලුත් වූ සාලාවේ බොහෝ දෙනාගේ කඳුළු තව­මත් වියළී නැත්තේය. සාලාව, රණ­වි­රු­ගම, ආන­න්ද­ගම මේ හැමෝ­ටම කිය­න්නට ඇත්තේ එක් කඳුළු කතා­වක් පමණි.

“අපට රජ­ය­ට­වත් හමු­දා­ව­ට­වත් දොස් කියන්න අවශ්‍ය නැහැ. ඒ අය හැකි පම­ණින් මේ ප්‍රශ්න­යට මැදි­හත් වුණා. ඒත් තව­මත් අස­රණ අපිට කිය­න්නට දුක් ගොඩාක් තියෙ­නවා. අවු­රුදු දෙකක් ගියා. ඒ කාලයේ අපේ දුක අහන්න කිසි­වෙක් ඉදි­රි­පත් වුණේ නැහැ. වහල පිළි­ස­කර කරලා දුන්නට මේ ගෙවල් හැම­දාම තෙමෙ­නවා. ගෙව­ල්වල ජීවත් වෙන්න බයයි. මේ හැම­දේ­කම වැරැද්ද වුණේ තක්සේ­රු­වෙයි. එදා නිවැ­ර­දිව තක්සේ­රු­වක් සිදු වුණා නම් මේ ප්‍රශ්න නැහැ. බොහෝ­ම­යක් තක්සේරු සිදු වුණේ ගෙව­ල්වල කවු­රුත් නැති වෙලාවේ. බෝම්බ­යට බයේ කිසිම දෙයක් එපා කියලා මිනිස්සු දුවද්දි ඒ අය ඇවිත් තක්සේරු කර­ගෙන ගියා. සම­හර තැන්වල තක්සේ­රු­වට ඇවිත් හිටියේ ඒ ආය­ත­න­වල පියන්ලා. ඉන්ජි­නේ­රු­වෙක් නැතුව මේ තක්සේරු කරන්න හරීම අමා­රුයි. ඒත් හැම තැනම තක්සේ­රු­වක්ම සිදු වුණේ ඉංජි­නේ­රු­ව­රුන් නැතුව. මේ නිසා සම­හර අය ලැබුණු මුදල් මදි කියලා අභි­යා­චනා දැම්මා. ඒ අය මුදල් ලැබෙයි කියලා බැංකු­ව­ලට ණය වෙලා ගෙවල් හදා­ගත්තා. ගොඩාක් දෙනෙක් ගෙවල් හදා­ගත්තේ බාගෙට. සාලාවේ හැම කෙනෙක්ම ණය වුණා ගෙවල් හදා­ගන්න ගිහින්. අන්ති­මේදි අඩු තක්සේ­රු­වෙන් ලැබුණු මුදල් මදි වෙලා මේ අය රටට ණය­කා­ර­යන් වුණා...“ ඒ ප්‍රා‍දේශීය මන්ත්‍රි­ව­ර­යකු වන කෝකිල සම්පත් මහ­තාය.

මුදල් ඇති හැකි අයට සාලාවේ ඛේද­වා­ච­කය එත­රම් දරුණු වූයේ නැත. විවිධ බල­වේග පසු­පස දිව ගිය අයට සිය වන්දීන්ට ඇති යහ­මින් මුදල් ලැබුණු බව සම­හරු චෝදනා කරති. එහෙත් බොහෝ දෙන­කුගේ දුක් කදුළු තව­මත් වියැකී නැත්තේය.

“සාලාවේ ගින්නෙන් පස්සේ අපි මැරි-මැරී ජීවත් වෙනවා. ඒ ගින්නෙන් අපේ සබ්බ­ස­ක­ල­ම­නා­වම නැති වුණා. පස්සේ අපි මේ ගෙවල් හදා­ගත්තේ රටේ ලෝකෙට ණය වෙලා. අද ගෙදර හදා­ගත්තු ණය ගෙවන්නේ මගේ විශ්‍රාම වැටු­පෙන්.

මගේ දුව ස්වයං රැකි­යා­වක් කළේ. මේ සිද්ධිය වෙන වෙලාවේ එයාගේ බොලෙරෝ ජීප් රිය නතර කරලා තිබුණේ ගෙදර. සිද්ධි­යෙන් වාහ­නය සම්පූ­ර්ණ­යෙන්ම විනාශ වෙලා ගිහින්. ගැරේජ් එකෙන් කිව්වා කන්ඩෙම් කියලා. වාහ­නය හදා­ගන්න රුපි­යල් ලක්ෂ 4ක් දෙන්නම් කිව්වා. ලීසින්-එක ගෙව­න්නැහැ කියලා ලීසින් කොම්පැ­නි­යෙ­නුත් දුවට නඩු දාලා. මේවා අපි කරපු දේවල්ද? මේ සිද්ධිය වෙන්න කලින් අපි ලස්ස­නට ජීවත් වුණා, රටට ණයක් නොවී. ඒත් අද...“ පී.බී.ආර්. වීර­රත්න මාතාව හඬා වැලෙ­පෙ­න්නීය.

එදා සාලාව ගමේ විප­තට පත් වූවන්ට බාහි­රින් ලස්ස­නට ජීවත් වුවත් ඔවුන්ගේ ඇතු­ළා­න්තයේ ඇත්තේ දුක් ගොඩකි. බොහෝ දෙන­කුට පෙර ගත කළ ජීවි­තය දැන් අහෝසි වී ඇත්තේය. එහෙත් ඔවුන් පවත්නා රජ­යට දොස් නඟන්නේ නැත. තමන්ට ඉන්න-හිටින්න හිසට වහ­ලක් අහිමි වූ මොහොතේ පිහි­ටට ආ රණ­වි­රු­වන් සිහි කරන්නේ හද පිරි බැති­යෙනි. ඒ සියල්ල සිහි­පත් කරන අත­රම තමන්ට සාධා­ර­ණ­යක් ඉටු නොවූ බවද ඔවුන් පව­ස­න්නෝය.

“යුද හමු­දාව මේ ප්‍රශ්න­යේදි දුක් ගොඩාක් වින්දා. ඒ ගොල්ලන්ට කරන්න පුළු­වන් උප­රි­මය කළා. ඒත් මේ හැම ගෙයක්ම කුමන හෝ බැංකු­ව­කට ණයයි. සම­හ­රුන්ට කෝටි ගණ­නින් වන්දි ලැබුණා. ඒ කිසිම දෙයක් නොලැ­බුණු අයත් මේ සාලාවේ ඉන්නවා. සම­හ­රුන්ගේ ගෙවල් අද­ටත් විනාශ වූ ආකා­ර­යෙන්ම තියෙ­නවා.

සාලාවේ කනත්තේ එක වැසි­කි­ළි­ය­කට රුපි­යල් ලක්ෂ එක­හා­මාර පවා ගෙවලා තියෙ­නවා කියලා ආරං­චියි. තව­මත් අපේ ගෙව­ල්වල අඩි ගණ­නින් ගැඹු­රුට හෑරුණු වළ­වල් තියෙ­නවා. ප්‍රජා ශාලාව තෙමෙ­නවා. ඒත් තහඩු ටික දුන්නේ නැහැ. සම­හ­රුන්ට අපේ ගෙවල් මතු­පි­ටින් දැක්කාම කිසිම ප්‍රශ්න­යක් පේන්න නැහැ. එහෙත් ඇතු­ළා­න්තයේ කාට­වත් නොපෙ­නෙන ප්‍රශ්න ගොඩායි. අපි රස්සා­වක් කරලා දුක් මහන්සි වෙලා හරි හම්බ කළ ලක්ෂ ගණ­නක බඩු මුට්ටු මේ බෝම්බ­යෙන් විනාශ වෙලා ගියා. ඒත් ඒවාට හම්බ වුණේ සුළු වන්දි­යක් විත­රයි. ඒ මුද­ලින් එක බඩු­වක් වත් ගන්න ප්‍රමා­න­වත් නැහැ. මේ සේරම දේවල් වුණේ එදා හරි­යට නිවැ­ර­දිව තක්සේ­රු­වක් නොකළ නිසා... දැන් අපේ ජීවිතේ ණය කවදා ගෙවලා නිම කරන්න ලැබෙ­යිද?..“ ඒ ස්වයං රැකි­යා­වක් කරන කේ.ඒ. කුමා­ර­සිංහ මහ­තාය.

ලස්ස­නට ජීවි­තය ආරම්භ කළ සාලාවේ වැසි­යන්ට කිය­න්නට දුක්ගැ­න­විලි බොහෝ ඇත්තේය. සම­හ­රුන්ට තව­මත් බතක් පිස­ග­න්නට කුස්සි­යක් නැත්තේය. සම­හ­රක් බිත්ති හිඩැස් ජනේල මෙන් විශා­ලව ඇත්තේය. බොහෝ නිවෙ­ස්වල ඇත්තේ තාව­කා­ලික පැලැ­ස්තර පමණි. මේ නිවෙස් කොයි මොහොතේ හෝ හිස මත කඩා වැටේ­දෝයි සැක සහි­තය. සම­හරු සාලාවේ දුක්ගි­න්නර හේතු­වෙන් ඇති වුණු අතුරු විපත් නිසා පසු­කා­ලයේ සිය ජීවි­ත­යෙන්ද සමු­ගෙන ඇත්තේය. ඇතැම් දරු­වන් තව­මත් නිදා­ගන්නේ පිපිරීමේ සුන්බුන් අත­රට එක් වූ පැදුරු කඩ­ම­ලු­ව­ලය. සාලාවේ ඇති එකම තැපැල් කන්තෝ­රුව දැන් ගමට අහි­මිව ඇත්තේය. ගමේ යමක් ඇති අයට අලු­තින් කඩ-සාප්පු විවෘත වෙද්දී බොහෝ දෙනකු බලා සිටින්නේ ඒ අව­ස්ථාව තමන්ට උදා වන තෙක්ය.

සාලාවේ අමි­හිරි ගිනි­දැල් අම­තක කර­න්නට ඔවුහු සූදා­නම්ය. ඒ අමි­හිරි අතී­තය හාරා­වු­ස්ස­න්නට ඔවුන්ට ඇවැසි නැත.

සාලාවේ ගිනි­දැ­ල්ලෙන් ඇවි­ළුණු ඔවුන්ගේ හද­ව­තින් නැගෙන මේ සාධා­රණ ඉල්ලී­ම්ව­ලට කන් දෙන්නට බල­ධා­රීන්ට හැකි වේනම්, සිදු වූ අත­පසු වීම් ආප­ස්සට හර­ව­මින් අලා­භ­යට සාධා­රණ තක්සේරු කිරීම් සහිත වන්දි­යක් ලබා දෙන්නට හැකි වේ නම් එයම ඔවුන්ට ප්‍රමා­ණ­වත්ය. ඔවුන් කාට­වත් දොස් නඟන්නේ නැත. ඉල්ලන්නේ තමන් රටට ණය­කා­ර­යන් නොවන තැනට පත් කරන ලෙසය.

සේයාරූ - විමල් කරු­ණා­ති­ලක

Comments