
මගේ ගාව ඔය හැමෝගෙම ෆයිල් තියෙනවා.ඒත් මම ඒවා අදින්නේ නෑ.'දෙදහස් පහළවේ' ඡන්දේ කට උඩ තියාගෙන මහින්ද එහෙම කීවේය. මෛත්‍රී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ ගමන් මහින්ද කී ඒ කතාවට මහින්ද කඳවුරෙන් ම විරෝධතා ආවේය. 'ෆයිල් තියෙනවා නම් එළියට නොදා ඉන්නේ මොකද? 'කියා මහින්දගේ ඇමැතිවරු ඇසූහ. පරාජය කට උඩ තියාගෙනවත් මහින්ද ඇද්ද ෆයිල් එකක් නැත. එහෙම ඇද්දානම් අදින්න ෆයිල් තිබ්බේ මහින්ද ගාව හිටපු අයගේ ම මිසක්, විපක්ෂයේ අයගේ නොවේ. එදා නොඇද්ද ෆයිල් දැන් අඳින්නට පටන්ගෙන තිබේ. එහෙම ඇදෙනකොට මහින්දලා සමඟ කල්ලිය ම කලබල වී සිටී. පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් ආන්දෝලනාත්මක හෙළිදරවුවක් කරනු ලැබීය. එහි වන්නේ ශ්‍රී ලංකාව ම චීන ණය උගුලක හිර කර ඒ ණය වලින් ම මහින්දගේ මැතිවරණ ව්‍යාපාරයට අඩුම ගණනේ ඩොලර් මිලියන 7.6 කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් ( (New York Times) ) පුවත් පත පසුගියදා (27) වාර්තා කර තිබිණි.
මේ හෙළිදරවුව දෙඹරයට ගල් ගැසීමක් විය. රාජපක්ෂ කඳවුරේ සමහරු මේ හෙළිදරව්ව 'සාවද්‍ය' බවට තර්ක කරද්දී,ඒ පිළිබඳ සමහරක් කියා සිටියේ 'මැතිවරණයකට එක එක ආයතන 'මුදල් දීම සාමාන්‍ය දෙයක් බවය. ඊට කියන්නට තිබෙන්නේ 'ලොකුම හිනාව' ඒක කියා ය.
චීන ණය උගුලේ ගිලෙමින් රාජපක්ෂලා කළ අසාර්ථක දේවල් ගැන කරුණු කාරනා ගෙනහැර පාන නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව පෙන්වා දෙන්නේ 'හම්බන්තොට හැදූ මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබෙන ආසන ගණන එම ප්‍රධාන නගරයේ ජනගහනයටත් වඩා වැඩි බවය.
ද නිව්යෝර්ක් ටයිම්ස් යනු, 1851 සැප්තැම්බර් 18 දින සිට නොකඩවා නිව්යෝර්ක් නගරයෙහි ප්‍රකාශයට පත් කෙරෙන ඇමරිකානු දිනපතා පුවත්පතකි.ඒයට කීර්තිමත් ඉතිහාසයක් සේම වර්තමානයක් ද වෙයි. මරියා අබි-හබීබ් මාධ්‍යවේදිනිය නිවුයෝර්ක් ටයිම්ස් පුවත්පතේ කීර්තිමත් මාධ්‍යවේදිනියකි. හම්බන්තොට මගඩිය ගැන හෙළිදරවු කරන්නේ එකී මාධ්‍යවේදිනිය විසිනි. ‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ ලිපිය හරහා ඈ අවධානය යොමු කරන කාරණා කිහිපයක් ම වෙයි.
හම්බන්තොට වරාය සඳහා ඉතා ඉහළ පොලියට චීනයෙන් ණය ගත්තේ දැන දැනම.
2015 මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට මහින්දට චීන වරාය ගිණුමෙන් ‘කෑෂ් චෙක්‘!
මහින්දගේ ඡන්ද වැඩවලට චීනයෙන් ඩොලර් මිලියන 7.6 ක්.
මැතිවරණයට දින 10කට පෙර තවත් ඩොලර් මිලියන 3.7 ක් මහින්දට.
කැම්පේන් ටී ෂර්ට් ඇතුළු මුද්‍රණ වියදම්වලට ඩොලර් 678,000 ක්.
ඡන්දෙ කාලෙට සාරි ඇතුළු තෑගි බෙදන්න ඩොලර් 297,000 ක්. මහින්දට වැඩ කළ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000 ක්.
අරලියගහ මන්දිරයේ ඡන්ද වැඩ කළ අයට ඩොලර් මිලියන 1.7 ක් ඇයගේ ලිපිය පාදක වන්නේ එකී කාරණා කුළුගන්වමින් ය.ඉහත කාරණා සියල්ල ගැන තර්කානුකූලව ඈ කරන හෙළිදරවු කිරීම බොහෝ දෙනා සසල කරන්නට සමත් වී තිබේ. විශේශයෙන් ම මහින්ද පාර්ශවයේ 'ගුවන් තොටිල්ල'දෙදරා යන තැනට පත්ව තිබෙ. සාතිශය සුපිරිසිදු ප්රගතිශීලී රඟපෑම් මොනතරම් ව්‍යාජද යන්න මේ රටේ ජනතාව අවබෝධකර ගත්තේ මීට වසර 3ය පෙර ය. මේ හෙළිදරවු කිරීම් හරහා ගම්‍ය වන්නේ එදා රටවැසියා ගත් ක්‍රියාමාර්ගය මොනතරම් ප්‍රශස්ත ද යන්න ය.
වරෙන්තුකාර උදයංගලා 'රතු පලස් මතින්'ගෙන්වන්නට රාජපක්ෂලා සිහින දකියි. 'සොරකම දූෂණය 'ලියාපදිංචි කළ රටක් බවට ශ්‍රීලංකාව හරවා තැබූ රාජපක්ෂලාගේ 'නිරුවත' හෙළිදරවු වන විට ඔවුන් කරන්නේ අනෙකාගේ නිරුවත පෙන්වීම ය.
'රාජපක්ෂ සහ ඔහුගේ ආධාරකරුවන් වෙත මේ ලිපිය සඳහා අදහස් දැක්වීම පිණිස මාස කිහිපයක් මුළුල්ලේ දිගින් දිගට ම ඉල්ලීම් කළ නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. චීන වරායේ නිලධාරීන් ද අදහස් නොදැක්වූහ.' යනුවෙන් පුවත්පත සඳහන් කරයි.නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතටත් ප්‍රතිචාරයක් නොදක්වන්නට තරම් ඔවුහූ 'මාර චරිතය'.'2015 මහ මැතිවරණය සමයේදී චීන වරාය ඉදිකිරීමේ අරමුදල (Chinese port construction fund) හරහා ලැබුණු විශාල ගෙවීම් කෙළින්ම බැහැර වූයේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මිතුරන් සහ ක්‍රියාකාරීන් හට ය. ඔවුන් හැම විටම චීනයේ කොන්දේසිවලට එකඟ වී සිටි අතර, දකුණු ආසියාව තුළ ඉන්දියාවේ බලපෑමෙන් මිදීම සඳහා ගන්නා උත්සාහයන් තුළ වැදගත් මිතුරෙකු සේ චීනය සැලකිණි. ලිපි ලේඛන මගින් අදාළ ගෙවීම් සිදුකෙරී ඇති අතර, එහිදී හුවමාරු වූ කෑෂ් චෙක්පත් ද රජයේ විමර්ශනයකදී ‘ද නිව්යෝක් ටයිම්ස්‘ විසින් දැක ඇත.'
(උපුටා ගැනීම'නිව්යෝර්ක් ටයිම්ස්- How China Got Sri Lanka to Cough Up a Port‘ ලිපිය)
අදාළ චෝදනා සම්බන්දව ස්වකීය ප්‍රතිචාරය දක්වා නිර්දෝෂී බව ඔප්පු කරනවා වෙනුවට 'හරාකිරි ක්‍රමයට බඩ කපා ගන්න වා 'කියා හෝ 'නීතියට විරුද්ධ ලෙස 'සිය දිවි නසා ගන්නවා කියා පාරම් බාන්නට හෝ හේතුවක් නැත.කළ යුත්තේ මුහුණ දීමය.ශ්‍රී ලංකාවේ එවක මුදල් අමාත්‍යාංශය විසින් සිදුකරන ලද ඇස්තමේන්තු මගින් ලබාදෙනුයේ අසතුටුදායක චිත්රයකි. මේ වසරේ ආණ්ඩුව සිය ආදායම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 14.8 ක් උත්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි. නමුත් එයින් ලොව පුරා සිටින ණයහිමියන් වෙත ගෙවීමට ඇති ණය ඇමරිකානු ඩොලර් බිලියන 12.3 ක් වේ.ඉතිං,මහින්දලා කීවේ 'ආසියාවේ ආශ්චර්ය'කියලාය.සත්තකින්ම එයනම් අයස්කාන්ත ආශ්චර්යකි.හම්බන්තොට වරාය ගිවිසුම හරහා සිදු වූ බරපතළ ව්‍යසනය බොහෝ දෙනා අමතක කොට දමලා ය.'මම මේ රටේ හිමිකරුවා නොව, මම මේ රටේ භාරකරුවා පමණයි. ඒ නිසා බිය සැක නැති මේ එක්සේසත් කළ රට ඔබට බාරයි. "මහින්ද නිතර කීවේ එහෙමය. හැබැයි ජනතාව අසන්නේ 'ඔබ එනවිට ඔබට භාර දුන්න රටේ ප්‍රමාණයම' ආපසු අපිට භාර දුන්නා ද කියාය. 'ඒ හතරබීරි කතාව මොකක්ද? 'කියා කෙනෙක් අසනවා නම් දෙන්න තියෙන්නේ මෙහෙම උත්තරයක් ය. 'තවද, මෙයින් අයිති කර දුන් දේපළ හා ඊට අයිති සියලු දේත් දැනට පවත්නා පාරක අයිතිවාසිකම් ඇතොත් එම අයිතිවාසිකම්වලටද ඒ සම්බන්ධයෙන් මින් මතු ප්‍රකාශ කරනු ලබන හා මෙහි අඩංගු නොයෙකුත් විධිවිධාන හා සීමා කිරීම්වලට ද යටත්ව එකී ෂැංග්‍රිලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයට හා එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට සදාකාලයටම නිරවුල්ව භුක්ති විඳීම පිණිස මෙයින් පවරා භාර දෙම්හ.'
2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ඉහත ඇති ඔප්පුවේ අස්සන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ය.
'මම මේ රටේ රජෙක් නොව, භාරකරු පමණි'
මහින්ද වැඩ පටන් ගත්තේ එහෙම කියලා ය. ඔහු මුල් ම ධුර කාලයේ වැඩි කාලයක් වැය කළේ යුද්ධය නිමා කිරීම සඳහා ය.
'මහරජ, ඔබතුමා මේ රටේත් රටවැසියාගේත් තාවකාලික භාරකරුවා මිස අයිතිකරුවා නොවේ. ඔබටත්, රටේ වාසය කරන මිනිසුන්ටත්, සත්වයන්ටත් ඇති සුවසේ ජීවත්වීමේ අයිතිය එක සමානය. 'දෙවනපෑතිස්සට මිහිඳු හිමි කී දේ භාරගත් මහින්ද 'මම මේ රටේ තාවකාලික හිමිකරුවා' පමණකැයි කීවේය. හැබැයි ඒ තාවකාලික භාරකරුවා රටේ බොහොමයක් දෑ සදාකාලයට ම අහිමි කළේය.
'අපිට ලැබුණේ කෑලිවලට කැඩෙන්න ගිය රටක්' කියා ඒ දවස්වල වේදිකාවල මහින්දලා කීවේය.
යුද්ධය දිනුවාම කීවේ කැඩී වෙන්වෙන්න ගිය රට එකතු කළා කියලාය. හැබැයි යමක් කමක් තේරෙන මිනිස්සු මෙහෙම අහන්නේය.
'මහින්ද වෙන්වෙන්න ඔන්න මෙන්න තිබ්බ රට බේරුවා කියලා කියමුකෝ. හැබැයි එයා එනකොට එයාට මිනිස්සු බාර දුන්න බිම් ප්‍රමාණෙම ආපසු යනකොට අපිට බාර දුන්නද?'
මේවා අහන මහින්දවාදියෙක් ඇස් නළලට අරන් මෙහෙම කියනු ඇත.
'ඒ හතරබීරි කතාව මොකක්ද? කැඩෙන්න ගිය රට එකතු කරපු මිනිහා යනකොට රටින් කෑල්ලක් අරන් ගියා කියලද කියන්නේ?'
එහෙම කියන්නේ නැත. හැබැයි එයා අරන් නොගියට චීනාට දෙන්න ගියේය.
'හම්බන්තොට වරාය වික්කේ මේ ආණ්ඩුව. මහින්ද කළේ වරාය හදපු එක.'
එහෙම කියන අය වෙච්ච දේ හරියට දන්නේ නැත.කොළඹ පෝට්සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන් ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවක් වාගේය. 'රටට අලුත් දිවයිනක්' 'ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවරවුණු පුරවරය' 'කොළොම්තොටේ අසිරි පුරයක් අභිමන් දේශයක ආශ්චර්ය', 'සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ', 'විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්,' 'කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය' ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.
'පෝට්සිටි' ගනුදෙනුව ගැන පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කරන්න 'කියා එවක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ඉල්ලනකොට අගමැතිව සිටි දි.මු. ජයරත්න කීවේ 'ඉක්මනින්' ඒවා ඉදිරිපත් කරන බවක් ය.
සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ වැනි දේවලින් සමන්විත 'කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කළ අතර ව්‍යාපෘතිය සඳහා සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1337ක මුදලක් දරන අතර එම මුදල පියවා ගැනීම සඳහා චීනයට හෙක්ටයාර් 108ක ප්‍රමාණයක් ලබාදීමට නියමිත විය.
ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.
ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ 'ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය'ටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට සෘජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමඟ වීම ය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුෙණන්නේ රජය විසින්ය. ඉඩම් කොමසාරිස්ගේ 4/10/33433 අංක දරන සින්නක්කර ඔප්පුව 2010 දෙසැම්බර් 28 දින කොළඹ ජනාධිපති කාර්යාලයේදී මුද්‍රා තබා ලබාදී ඇත්තේ එවක ජනාධිපතිවරයා විසින්ය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් හෙවත් එවකට රුපියල් මිලියන 8,250කට එය සින්නක්කරව ලබාදී ඇත.
මේ ආණ්ඩුව රට විකිණනවා කියා හන්දිගානේ කෑ මොර දෙන මහින්දවාදීන් අතීතය අමතක කරන්නේ ඔහොමය.
'යහපාලන ආණ්ඩුවට' මුලින්ම විවේචනය ආවේ 'හම්බන්තොර වරාය 'වික්කා' කියමින් ය.
ඔය අතරේ යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරපු දා හිටපු ජනපති අපූරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
'හම්බන්තොට වරාය පෞද්ගලීකරණය කරනු ලැබූ ආකාරය නිසා මුළු ජාතිය ම මහත් තිගැස්මකට ලක්වී ඇත. ලංකාව සතු වූ වැදගත් ම උපාය මාර්ගික රාජ්‍ය දේපළක් පෞද්ගලීකරණය කිරීමේ ගිවිසුම අස්සන් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුවට යුතුකමක් තිබුණත් එවැනි කිසිදේකට ඔවුන් ඉඩ හැරියේ නැත.'
'මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසි භාවයක් තියෙනවා. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට.'
චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා පවසා තිබේ.
විපක්ෂය කෑ ගසන්නේ එහෙම තියෙද්දීය.
මේ ආණ්ඩුව, විකුණනවා කියා කෑ ගසන කවුරුවත් මේ ගිවිසුම හරියට කියවලා නැත. අනෙක් අතට මහින්ද යුගයේ විකුණපු හැටි මතක නැත. දකුණේ අයට ඕනෑම දෙයක් ඉක්මනින් අමතක වන බව කිව්වේ ප්රභාකරන්ය. ඒ කතාව සහතික ඇත්තය. ඕනෑම දෙයක් අමතක කිරීම සතියකින් සිදුවන රටක් තුළ 'මතක තබා නොගැනීම' ගැන පුදුම වෙන්නට ඕනෑ ද නැත.
'මා ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මා ගැන මගේ හෘදය සාක්ෂිය ගැන විශ්වාසය තියන්න කියලා. මා ප්‍රභූ, ධනපති පවුලක කෙනකු නොවෙයි. මම ආචාර්ය, මහාචාර්ය කෙනකු නොවෙයි. මේ රටේ වෙලේ, පැලේ හැදුණු කුඹුරේ නියරේ ගිය දුප්පත් ගොවියකුගේ පුතෙක්. මම ඔක්ස්ෆර්ඩ් ගිහින් නැහැ. මම දීර්ඝ කාලීන දේශපාලනයේ නිරත වූවෙක්.
අවුරුදු 49ක් ඊට අයත්. මම ආණ්ඩුවෙන් එළියට බැස්සේ මගේ පවුලේ පස්දෙනකුගේ ජීවිතය ජාතියට පූජා කරලයි. මේ මැතිවරණයේ එන අභියෝග ගැන දන්නවා. මා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන මාධ්‍ය සාකච්ඡාව තියලා පැය 12ක් යන්න මත්තෙන් මගේ ආරක්ෂාව ඉවත් කළා. මට පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් විතරයි දැන් ඉන්නේ. නමුත් පොදු අපේක්ෂකයකු ලෙස මහින්ද රාජපක්ෂ වැනි කෙනකු සමඟ සටනට යන අපේක්ෂකයකුට තිබෙන අභියෝග පැහැදිලියි. මගේ ආරක්ෂාව ඉවත් කරලා මාව තනි කළාට කමක් නැහැ. මගේ ආරක්ෂාව ජනතාවට බාරයි.'
මෙහෙම කීවේ මෛත්‍රි ය; ඒ මීට අවුරුදු 3ට කලින් සිරිකොතදී ය. පනස් දෙකේ සිට දෙකට බෙදිලා මරාගත්ත පක්ෂ දෙකක් එකට එක් කිරීමේ වැඩේ මෙන්ම වසර ගාණක් ඒකාධිපති ගමනක් ගිය පාලනයක් ගෙදර යැවීමේ 'වෙඩිමුරය ද' එකට තියමින් ඔහු එහෙම කීවේ ය. අදාළ හෙළිදරවුව ගැන උත්තර දෙන්න එන්නේ අපූරු චරිතයකි.ඔහු අජිත් නිවාඩ් කබ්රාල් ය.ඊට කියන්නට තිබෙන්නේ 'නියම බඩුව ' කියලා ය.
මහින්දගේ පිළේ ඉන්න කාංචන විජේසේකර දැන් කියන්නේ 'අනේ අපි ගත්තේ නෑ.ඕකට මුල්ගල තිබ්බේ රනිල්' කියලා ය. රනිල් මුල්ගල තිබ්බා කියන ආණ්ඩුවේ කාංචනගේ තාත්තා වන මහින්ද විජේසේකර හිටිය බව කාංචනට අමතක වා වාගේය. 'මේවා බේගල්' නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව ගැන මහින්දලා කියයි. ඊට උත්තර දෙන මාධ්‍යවේදිනී මාරියා අල් හබීබ් කියන්නේ 'මේ චෝදනාවලට මහින්ද රාජපක්ෂ' උත්තර දිය යුතු බවය.එහෙම උත්තර දෙන එක 'අනුන්ගේ ෆයිල්' අදින්නට පෙර මහින්ද කළ යුතුම වැඩකි. එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට එහෙම නොවෙන එක හොඳය. මක් නිසාද යත් ඔහු එක්කම නිරුවත් වන්නේ රටේ අභිමානය ය.
මානාභරණ