
යාල වන පෙත බ්‍රිතාන්‍ය පාලනය විසින් පරිහරණය කළේ දඩ කෙළියේ නිරත විය හැකි වන බිමක් ලෙස ය. ඒත් 1900 මාර්තු 23 වැනි දින යාල වන ජීවී රක්‍ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් වීමත් සමඟම එහි දඩයම් තහනම් විය. 1908 වසරේදී මෙකී රක්‍ෂිත ප්‍රදේශයේ මුල්ම ‘වන අඩවි නිලධාරියා’ වශයෙන් පත් වූ එන්ගල්බ්‍රෙක්ට් විසින් කළ සේවය විශිෂ්ටය. මේ සියල්ල මැද යාල වනයේ සැඟවුණු කතාන්දර ගණනාවකි. මේ එය සොයා ගිය ගමනකි.
බැලූ, බැලූ හැමතින්ම දිස් වන්නේ නව කොළ ගොන්නෙන් සුසැදි වන වැස්මකි. මළ හිරු රැස් සිප ගත් වනස්පතීන් රන් වනින් දිදුලන්නේ දුටු සිතක නිරාමිස ප්‍රීතියක් ජනිත කරමිනි. මේ ගෙවී යන්නේ දිනයේ සැඳෑ සමයයි. වනාතට නවමු පැහැයක් එක් වී ඇත. මම සතර දිශාවටම නෙත් යොමු කළෙමි. සැමතින්ම දිස් වන්නේ ඉමක් - කොනක් නොපෙනෙන සිතිජය තෙක් විහිදුණු වන පෙතකි. නමුදු එක්වනම දෙනෙත් නැවතිණි. වන කතරෙහි අතරමංව වූ චෛත්‍යක නටබුන් පර්වත මස්තකයක වැඩ හිඳියි. සැඳෑ හිරු රැස් වැද රන්වනින් දිදුලමින් වනගැබ මධ්‍යයෙන් පැන නැඟී පර්වත මස්තකය අරා වැජඹෙන නටබුන් චෛත්‍ය, හුදෙකලාවේ පසු වෙමින් වුවද යාල වනපෙතට ගෙන එන සුන්දරත්වය නම් මෙතෙකැයි කියා කෙසේ නම් අකුරු කරන්නද? කළ හැකි වන්නේ එකී සොබා සුන්දරත්වය සිත පුරා වින්දනය කිරීම පමණකි.
අවට පවතින නිදහස් පාරිසරික වටපිටාව හමුවේ සිතට ගලා එන සිතුවිලි ද විචිත්‍රත්වයෙන් පරිපූර්ණය. ඒ සිතුවිලි නිසි අයුරින් අකුරු කරන්නේ නම් සැබැවින්ම අපූර්ව වූ නිර්මාණ පෙළක එකතුවක් බිහි වනු නොඅනුමානයි.
“හැබෑවටම, මේ පුරාණ චෛත්‍ය කර්මාන්ත කටයුත්ත කළේ කවු ද?” මසිත අතීතයට දිව යන්නේ මටත් හොර රහසේමය.
එසේ දිව යන සිත නවතින්නේ යටත් විජිත සමයේය. එදවසදී එනම් සුදු මහත්තැන් අපේ රට පාලනය කරන සමයේදී මා රැදි ඉන්න මේ බිම, ඒ කියන්නේ යාල හැඳින්වූයේ දඩ කෙළියේ නිරත විය හැකි කදිම වනපෙතක් වශයෙනි. එහෙත් යාල අගය වටහා ගැනීමෙන් ඉනික්බිති 1938 වසරේදී යාල වනසංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමත් හා සමඟ ම නිදහසේ දඩ කෙළියේ නිරත වූ අයට නම් තම ක්‍රීඩා සඳහා වැට කඩොලු බැඳෙන්නට පටන් ගති. වනය - සතා සීපාවා ආරක්ෂා කිරීමට අවැසි නීති රීතී දැඩි විණි. 1967 වසරේදී යාල ජාතික උද්‍යානයක් බවට ප්‍රකාශ වීමට සමගාමීව යාල පිළිබඳ සියලු රැකවල් කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.
අවුරුදු මිලියන 600 ක් තරම් වු ඈත ඉතිහාසයක් ඇති ගල් කුළු සහිත වූ තැනි බිම් අපමණවත් යාල ආශ්‍රිතව හමු වේ. යාල කලාප අංක 03 ක්‍රිස්තූ පූර්ව 02 වැනි ශත වර්ෂය දක්වා ඈතට දිව යන ඉතිහාසයකට උරුම කම් කියයි. බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලිපි, රහතුන් වහන්සේලා වැඩ සිටි ගල් ලෙන්, දාගැබ් නටබුන්, ගලින් කළ නිර්මාණ කාර්ය ආදිය කිරිවඩුමා හෙළ, මහපිළිමගල, පිළිමගල, මල්වාරිය කෙම, වඩම්බුව, සරුගම්තොට ආදි ස්ථාන වලින් හමු වන ඉතිහාසය කියා පානා නිහඩ සාක්ෂි හා සම වෙයි. එම නිහඩ සාක්ෂිකරුවන් මේ දවසදී සඟවා ගෙන සිටිනුයේ අතීතයේදී යාල පැවැති සමාජීය, සංස්කෘතික වට පිටාව නොවන්නේද? ඒ ස්ථාන අබියස ගැවසෙන හැම මොහොතකදීම සිත යාල පුරාණය ගැන ප්‍රශ්න කරන්නේ අතීත ශ්‍රී විභුතියෙන් සිත ඔද වැඩී යන නිසයි.
ආකාස චෛත්‍ය පාමුල විසල් ගල් කුළුවලින් වට වුණු පොකුණක නටබුන් ඇත. මේ චෛත්‍ය හා සබැඳියාව කාවන්තිස්ස සහ දුටුගැමුණු රජ සමය දක්වා දිව යයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව විසල් වූ විහාර කර්මාන්තයක් රාජ්‍ය අනුග්‍රහය සහිතව ගොඩ නැගෙන්නට ඇත.
අද නිහඬතාවට මුල් තැන හිමි වුවත්, එදවස කෙතරම් දෑ මේ අතීත ශ්‍රී විභුතිමත් භූමිය තුළ සිදු වන්නට ඇතිද?
අද මහා වන ප්‍රවාහය විසින් සියල්ලම ගිල වසා ගනු ලැබ ඇත්තේය. වර්තමානයේ මේ බිම වනජීවී රක්ෂිතයකි.
යාල වන බිමෙහි සටහන් වුණු මානව පුරාණයේ, පෞරාණික කෘෂිකර්ම සමාජ ක්‍රමය අහෝසි වී, සරුසාර ගොවි ජන පදය, වන ප්‍රවාහය විසින් ගිල ගත්තේ 1818 දී නිමාවට පත් වුණ වෙල්ලස්ස කැරලි සමයේදී ය.
අධිරාජ්‍යවාදය විසින් යාල ජන පද විනාශ කරනු ලැබුවේය. අවසන යාල ජනපදය ජනශූන්‍ය වන බිමක් බවට පත්විය. ඉදින් මෙදවස ස්වකීය ඇකයේ නැළවෙන වනදූපුතුන් සමූහයක් කැටුව, නිහඬවම නමුත් ඈ පැවසීමට තතනනුයේ එකී අතීත සුන්දර කතාන්තරය නොවන්නේ ද?
බහුතරයක් යාලට එන්නේ කොටි ප්‍රමුඛ අලි - ඇතුන් සහ වනසතුන් නැරඹීමටය. එහෙත් ඒ අතරේ යාල පුරාණ ඉතිහාසය ගැන අධ්‍යයනය කරන්නේ ටික දෙනෙකි. යාල පුරා විසිරුණු හුදෙකලා පර්වත මුඳුනේ ඇති නටබුන් සහිත ස්ථානයන් දුටුවත් ඒ පිළිබද තමන් සමඟ ගමන් කරන සංචාරක මඟ පෙන්වන්නන්ගෙන් නිකමට හෝ අසා දැන ගැනීමට උත්සාහ ගන්නේ නැත. බුතව සංචාරක වන නිවහන අබියසින් ඇරැඹි අපගේ වන සංචාරය සඳහා ඉලක්ක වූයේ යාල වනපෙතේ සොබා සුන්දරත්වය වුවත්, යාල සැඟව ගිය පුරාණ ඉතිහාස ගත කතාන්තර, යාල අවට කරක් ගසනා සෑම මොහොතකදීම අප සිත් හි ඇදී මැකී යනුයේ නිරායාසයෙනි. එබැවින් අප රාජකාරි සඳහා මෙන්ම ඉඩක් ලද සෑම මොහොතකදීම යාල වනපෙතේ සුන්දරත්වය විද ගනු රිසින් වනසංචාර සඳහා ලැබෙන ඇරියුම් නම් මග හැරීමට කිසිදු විටෙකදීවත් නොසිතමි.
වනයේ රුක් වියන මතින් පෙරී, බේරී බිම පතිත වන සැඳෑ හිරු කැන් - වනය සිසාරා රැව්දෙන සියොත් කූජන සහ රැහැයි නාදයට මුහු වූ සුළං හඬ පසුබිමේ රූක්ෂ වනස්පතීන් මළ හිරු රැස් වැද කහ පැහැයෙන් දිස් වන්නේ, අකාස චෛත්‍ය ස්ථාපිත පර්වතය පැදකුනු කරනා කසාවතින් සැරසුණු හිමිවරුන් සමුහයක් හා සම වු සිතුවමක් සිත් තුළ ජනිත කරමිනි.
මමද ඒ සිතුවමට සම වැදිමි. ආකාස චෛත්‍ය පසු බිමෙන් දිස් වන අලි, කොටි, වලස් ඈ නේක විධ වන ජීවීන්ගෙන් සුසැදි වන වැස්ම දෙස බලා ගත් වනම බලා හිඳින්නෙමි.
මම ක්‍ෂිතිජය තෙක් දිව යන වනාතට නෙත් යොමු කළෙමි. සගයන් ද ඔවු නොවුන්ගේ ලෝකවල තනිව හිදියි. හැබැයි වනඅසිරිය අබිමුව තුටු සිතින් පසු වෙන හැඩයි. අයෙක් මහා හුස්මක් පිඹ ළය සැහැල්ලු කර ගන්නා’යුරු ද මම දුටිමි.
යාල වන පෙත බ්‍රිතාන්‍ය පාලනය විසින් පරිහරණය කළේ දඩ කෙළියේ නිරත විය හැකි කදිම වන බිමක් වශයෙනි. නමුදු 1900 මාර්තු 23 වැනි දින යාල වන ජීවී රක්‍ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් වීමත් සමඟම එහි දඩයම් තහනම් විය. 1908 වසරේදී මෙකී රක්‍ෂිත ප්‍රදේශයේ මුල්ම ‘වන අඩවි නිලධාරියා’ වශයෙන් පත් වූ එන්ගල්බ්‍රෙක්ට් ( Engel Brecht) නමැති උතුරු අප්‍රිකානු සම්භවයක් සහිත බ්‍රෝයර් ජාතිකයා විසින් යාල සුරක්‍ෂිත වන රක්‍ෂිතයක් කරනු ලදුව, සිදු කළ මෙහෙය නම් පැසසිය යුතුමය. ඔහු වන ජීවී සංරක්‍ෂණය උදෙසා කළ හැකි දෑ උපරිමයෙන් ඉටු කළේ ය.
වනපෙත සිසාරා හමා එන සිහිල් සුළඟ ආකාස චෛත්‍ය මුදුනත සිට හමා විත් අප ද සිප හැල්මේ දිව යයි. එදවසත් මේ සුළඟම මේ අයුරින්ම හමන්නට ඇත.
“යාලට මම කැමති යි. මනුස්සයෝ තරමටම සත්තු වෛර කරන්නේ නෑ. ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මම යාල පාලනය මුළුමනින්ම වෙනස් කරනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. දඩයමයි, සත්තු රැක ගැනීමයි දෙකක් කරන්ට බෑ. දඩයක්කාරයන් මෙල්ල කරන්නට මම දන්නවා....“දඩයමට ඇබ්බැහිවුණ වෙඩික්කාරයිනේ..., යාල සීමාවට නො එන එක හොඳයි.”
ඒ සිංහ සෙයියාවෙන් හෙබි ‘කැලෑ මහත්තයා’ ගේ හඬ යාල වනාතෙන් පිළි රැව් දේ.
යාල වනගැබ .....කොතෙකුත් නම් රහස් සගවා ගෙන සිටියිද? අපි අපට හැකි අයුරින් ඒ සියල්ලක්ම සොයා යමු.
ලබන සතියට...
සේයා රූ - රෝහිත ගුණවර්ධන