එල්ලුම් ගහ ලෑස්තියි? | Page 2 | සිළුමිණ

එල්ලුම් ගහ ලෑස්තියි?

මීට වසර 42කට පෙර සිට - එනම්: 1976 වසරින් පසු - ලංකාවේ ක්‍රියාත්මක නොවූ එල්ලුම් ගහට යළිත් පණ දෙන්නට මේ වන විට රජය සූදානම් වෙමින් සිටියි. රජය පසුගියදා මේ තීන්දුව ගත්තේ දිනෙන් දින සමාජය වෙළාගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව කළ යුතු වූ හොඳම දේ මෙය බව සැලකිල්ලට ලක් කරමිනි. පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල සාකාච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ආ මේ යෝජනාවට අමාත්‍යවරුන් සිය කැමැත්ත දුන්නේ ඒකමතිකවය.

වර්තමානයේ කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණීය දඬුවම ක්‍රියාත්මක වුවද සිරගත වූ ඔවුහු බොහෝ දෙනකු බරපතළම දඩුවම තමන්ට හිමිවූ පසුද මෙතෙක් සිදු කළ ජාවාරම් නිම කළේ නැත. සිපිරිගෙය තුළදී යම් යම් ඉඩප්‍රස්තා ලද නිසා මේ මරණීය දඬුවමට ලක් වූවෝ සිය බාහිර සම්බන්ධකම් යොදාගෙන කුඩු ජාවාරම ජයටම මෙහෙයවමින් සිටිති. මේ හේතුවෙන් මේ වන විට රටට සිදුව ඇති ව්‍යසන බොහෝය. දැන් බොහෝ දෙනකු බලා සිටින්නේ යළිත් මේ අපරාධකරුවන්ට හිමි නිසි දඬුවම එල්ලුම් ගසෙන් හෝ විසඳන තෙක්ය.

මරණ දඬුවම හා නීතිය

අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව යමකුට මරණීය දණ්ඩනයක් හිමි වන්නේ මිනිස් ඝාතනයක් සිදු කිරීම හෝ එසේත් නැති නම් හෙරොයින් ග්රෑම් දෙකකට වඩා ළඟ තබාගැනීම වැනි වරද කිහිපයක් සම්බන්ධයෙන් වරදකරුවකු වී ඇති විටදීය. එය තීරණය කරනු ලබන්නේ මහාධිකරණයක් විසින් වන අතර, ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක මරණ දඬුවමට නියම වූ තැනැත්තා එල්ලා මැරීම සිදු කෙරේ. මෙසේ අදාළ පුද්ගලයාට මරණීය තීන්දුව පැය 24ක් ගත වන්නට ප්‍රථම ඔහු බන්ධනාගාරය වෙත ගෙන ආ යුතු වන්නේය. ඔහු සම්බන්ධයෙන් දොරටු සටහනක් සකස් වන්නේද එවිටය. මෙහි රඳවාගැනීමේ බලපත්‍රය, එල්ලා මැරීමේ නියෝගය, පෙර ලත් දඬුවම් ප්‍රකාශ, පිස්කල් වාර්තා මෙන්ම ඇඟිලි සලකුණු ඇතුළත් වන අතර, ජේලර්වරුන් දෙදෙනකුගේ අධික්ෂණය මත ඔහු එල්ලා මරණ තෙක්ම රඳවා තැබීම සිදු වේ. වරදකරු එල්ලා මරන මොහොතේ මේ එල්ලා මරන්නේ නිවැරදි වරදකරුම බව තහවුරු කරනු ලබන්නේ මේ ජේලර්වරුන් විසිනි.

මරණ දඬුවම නියම වූවන්ට තමන්ට අභියාචනාවක් යොමු කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඉන් අනතුරුවය. මෙය මරණ දඬුවමට ලක් වූවන්ට ලැබෙන්නා වූ නීතිමය ප්‍රතිපාදනයකි. අවසානයේ වරදකරු අඩි 9ක් දිගින් හා අඩි 6 පළලින් යුතු ‘චැපල් අංශය’ නමින් හැඳින්වෙන විශේෂ සිරමැදිරියක රඳවා තැබෙන අතර, මරණීය දඬුවම ලැබෙන තෙක් මේ සිරකරුවන් ජීවත් විය යුත්තේ මේ සිරමැදිරිය තුළය.

මරණීය දඬුවමට සහනයක්

එහෙත් ඉදිරිපත් කරනු ලබන අභියාචනයක් මඟින් වැරදිකරු යම් සහනයක් ලද හොත් ඔහුට මේ සිරමැදිරියෙන් යම් සහනයක් හිමි වන්නට පුළුවන. එසේම යම් යම් අවස්ථාවලදී මේ මරණීය දඬුවමට ලක් වූවන් ජනාධිපතිවරයා විසින් පොදු සමාවකට යටත් කරන අවස්ථාද ඇති අතර, පෙර පිනක් හේතුවෙන් ලද එවන් අවස්ථාවකදීද ඔහුට නිදහස් වීමට හැකියාව ඇත්තේය. සාමාන්‍යයෙන් ලංකා සිතියම දෙකට බෙදුව හොත් මාතර සිට බස්නාහිර පළාත කෙළවර වන ගම්පහ දිස්ත්‍රික්කයේ මහාධිකරණයෙන් වරදකරුවකු වන අයකුට හිමි වන්නේ වැලිකඩ බන්ධනාගාරයයි. කෑගල්ලේ සිට යාපනය දක්වා ඇති සීමාව තුළ මහාධිකරණයකින් වරදකරුවකු වන අයකුට උරුම වන්නේ බෝගම්බර සිපිරිගෙයයි.

එල්ලා මැරීමේ අතීතය

මරණ දඬුවමට ලක් වූ වරදකරුවකුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් ගෙලට තොණ්ඩුව සිර කර එල්ලා මැරීම ලංකාවේ අවසන් වරට ක්‍රියාත්මකව ඇත්තේ 1976 ජූනි 23 වැනිදාය. ඒ තිස්සමහාරාමය යෝධකණ්ඩිය ප්‍රදේශයේ විසූ ඒජේඑම් චන්ද්‍රදාස හෙවත් ‘හොඳ-පපුවා’ය. එදා සිට අද දක්වා එල්ලා මැරීම ක්‍රියාත්මක නොවූවද එල්ලා මැරීමේ කතිකාව දිනෙන් දින මතු වූයේ දිනෙන් දින වැඩි වන අපරාධ රැල්ලත් සමඟය. යම් වරදකට යටත්ව මහාධිකරණයෙන් මරණීය දඬුවමට ලක් වූ පුද්ගලයකු ප්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා මැරීමේ නියෝගය මුලින්ම පැමිණ ඇත්තේ 1779 සැප්තැම්බර් 23 වැනිදාය. ඒ අනුව 1802දී රජ කාලේ දඬුවම් තහනම් කරමින්, එල්ලා මැරීම පනතක් ලෙස සම්මත කොට නීති සංග්‍රහයට ඇතුළත් විය. එහෙත් 1818 මහනුවර කැරැල්ලේදී සිරභාරයට ගත් කැප්පෙටිපොළ අදිකාරම් බෝගම්බර සිර ගෙදරදී හිස ගසා මරණයට පත් කරන්නේ නීතියට පිටින් යමිනි. බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට එල්ලුම් ගහ ක්‍රියාත්මකව ඇත්තේ 1812 පෙබරවාරි 10 වැනිදාය. ඉංග්‍රීසි ජාතිකයකු ඝාතනය කළ වරදට පෑලියගොඩ නගරයේ එළිමහනේ තාවකාලිකව ඉදි කරන ලද පෝරකයක් මත මේ දඬුවමට මුහුණ දුන්නේ ඉංගිරියේ කළු අප්පුය. එල්ලුම් ගහට නියම වූ පළමු කාන්තාව වූ ඩිංගිරි මැණිකා අවසානයේ පෝරකයෙන් මිදී සමාව ලබන්නේ ඇයගේ කුඩා දරුවා නිසාය.

නිදහසින් පසු කලෙක - එනම්: වර්ෂ 1956දී - එස්ඩබ්ලිව්ආර්ඩී බණ්ඩාරනායක මහතා විසින් එල්ලුම් ගහ ඉවත් කළ අතර 1959දී ඔහු ඝාතනය වීමත් සමඟ යළිත් එය සක්‍රිය කරන්නට රජයේ කැමැත්ත පළ විය. ඒ වන විට මේ පිළිබඳව දැඩි විරෝධතා එල්ල වූ අතර 1978 දී එක්සත් ජාතික පක්ෂ රජය මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධනද සිදු කළේය. මේ සංශෝධනවලට අනුව මරණීය දඬුවම ක්‍රියාත්මක කළ හැක්කේ නඩුව ඇසූ විනිසුරුවරයාට, නීතිපතිවරයාට හා අධිකරණ ඇමැතිවරයාගේ අනුමැතියෙන් පමණක් වීම බව සඳහන් විය. ඔවුන්ගේ අනුමැතිය නොලැබිණි නම් වරදකරුට ජීවිතාන්තය දක්වාම සිරගත වන්නට සිදු වෙයි.

කෙසේ වෙතත් 1885 සිට 1976 දක්වා කාලය තුළ මරණීය දඬුවමට ලක් වූවන් 2173 දෙනකු මෙරටදී එල්ලා මරා ඇති බව වාර්තා වෙයි.

රට-රටවල මරණ දඬුවම

විදුලියපුටුව, රසායනික එන්නත් කිරීම... ආදි වශයෙන් ලොව විවිධ රටවල විවිධාකාරයෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක කරද්දී, ලංකාවේ මරණීය දඬුවම නීතිගතව ඇත්තේ ‘එල්ලා මැරීම’ වශයෙන් පමණි. ඒ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 285 වැනි වගන්තියට අනකූලව ‘යම් තැනැත්තකු මරණීය දඬුවමට යටත් කළ විට රටේ ජනාධිපති විසින් නියම කරන ලද දිනයක හා ස්ථානයකදී ඔහුගේ බොටුව හිර වන තෙක් බෙල්ලෙන් එල්ලා මැරිය යුතු’ බවය.

‍අප්‍රිකානු රටවල් 54න් 36කද, ඇමෙරිකානු රාජ්‍ය 35න් 17කද, යුරෝපීය රාජ්‍ය 49න් එක් රටකද වශයෙන් ලොව රටවල් රැසක් මරණ දඬුවම ක්‍රියාත්මක කරද්දී, තවත් බොහෝ රටවල් මරණීය දණ්ඩන නීතිය තිබියදීත් එය ක්‍රියාත්මක නොකරන තත්ත්වයකට පත්ව ඇත. මේ අනුව ලොව රටවල් 29ක මෙය නීතියක්ව තිබුණත් ක්‍රියාත්මක වී නැත. අප රටත් ඒ අතරට අයත්ය.

2014 වන විට රටවල් 22ක් එල්ලා මැරීමේ නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, එවසර වන විට චීනය 1000ක්, ඉරානය 289ක්, සවුදි අරාබිය 90ක්, ඇමරිකාව 35ක්, සුඩානය 23ක් වශයෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක කර තිබේ. වසර 2017 වන විට ලොව රටවල් 54ක මරණීය දණ්ඩනය නීතියක්ව පවතින අතර, ක්‍රියාත්මක තත්ත්වයේද පවතියි.

අනෙක් අතට තවත් රටවල් රැසක් මරණීය දඬුවම සිය නීතියෙන් පවා ඉවත් කර ඇති අතර, 2015දී මැඩගස්කරය, ෆීජි, කොංගෝ, සුරිනාමි යන රාජ්‍යද, 2016දී නාවුරු හා බෙනින් යන රාජ්‍යද, 2017දී මෝංගෝලියා මෙන්ම ගුවිනියා යන රාජ්‍යද, මේ වසරේදී බර්කිනා - ෆාසෝ යන රාජ්‍යද ඒ අතරට එක් විය.

විරෝධතා

මරණීය දඬුවම අහෝසි කිරීමට පක්ෂව ජිනීවාහි සම්මත වූ අන්තර්ජාතික ප්‍රඥප්තියකට ලංකාවද අස්සන් කර ඇතත් එය මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොකරන බවට දුන් පොරොන්දුවක් නොවේ. අවශ්‍ය වූ විටකදී ලංකාවට එම ප්‍රඥප්තියෙන් ඉවත් විය හැකිය. එහෙත් පසුගිය වකවානුවල එල්ලුම්ගහ බලාත්මක කිරීම පිළිබඳ අදහස් මතු වූ අවස්ථාවලදී විවිධ මානව හිමිකම් සංවිධාන මීට විරුද්ධ වූයේ අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටට විඳින්නට සිදු වන ප්‍රශ්න මතු කරමිනි.

මේ පිළිබඳ විරෝධතා මෙන්ම ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික පසුබිම් හේතුවෙන් මරණීය දඬුවම ක්‍රියාත්මක වුවත් එල්ලුම් ගහට පණ ලැබුණේ නැත. විශේෂයෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට උත්සහ කළද එල්ල වූයේ දැඩි විරෝධතාය. එහෙත් මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් වූයේද නැත. එහෙත් 2001දී මේ සම්බන්ධයෙන් යම් වෙනස් වීමක් සිදු වූ අතර, එහිදී යමකුට මරණීය දඬුවම ලබා නුදුන්නේ නම් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් වන බවට වෙනසක් විය.

අපරාධ රැල්ල

2004දී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමඟ මෙම මරණීය දඬුවම පිළිබඳ කතිකාවක අලුත් වන්නට විය. පසුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසානයත් සමඟ වැඩි වූ විවිධ අපචාර හා දූෂණ හේතුවෙන් නැවතත් මේ පිළිබඳ අදහස් අලුත් වන්නට වූ අතර, විශේෂයෙන් පසුගිය කාලයේ වූ කොටදෙණියාවේ සේයා ඝාතනය මෙන්ම කයිට්ස්හි සිදු වූ විද්‍යා ඝාතනය හමුවේ මේ කතාබහ අලුත් වූයේය. මෙලෙස වැඩි වෙමින් පැවති අපරාධ රැල්ල හේතුවෙන් 2015 වසරේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක්ද ගෙන එනු ‍‍‍‍‍‍ලැබිණි. එහෙත් විවිධ මානව හිමිකම් සංවිධානයන්හි දැඩි විරෝධය හේතුවෙන් මේ සියල්ල යටපත් විය. මේ අතර 2015 වසර වන විට 1116 දෙනෙක් මරණ දඬුවමට ලක් වූ පෝලිමේ වූහ.

මත්කුඩු ජාවාරම

මේ අතර පසුගිය කාලය මත්කුඩු ජාවාරම් හේතුවෙන් රටම වෙළාගන්නා බිහිසුණු වකවානුවක් විය. ඒ භයානක තත්ත්වයේ තවමත් අවසානයක් නැත. මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම්ව සිටියි. ඒ කුඩු නඩුවලට මරණීය දණ්ඩනයට ලක්ව බන්ධනාගාරයේ සිට කුඩු ජාවාරම් මෙහෙයවන කුඩු ජාවාරම්කරුවන්ටය. ඔවුන් සිදු කරන මේ මහා විනාශයට තිත තබන්නට තමන්ගේ අත්සන යෙදීමට ජනාධිපතිවරයා සූදානම් වෙයි.

1984 අංක 13 දරන පනතින් සංශෝධිත විස, අබිං හා අන්තරායකර ඖෂධ පනතට අනුව හෙරොයින් ග්රෑම් 2ක් හෝ ඊට වැඩියෙන්, කොකේන් ග්රෑම් 2ක් හෝ ඊට වැඩියෙන්, මෝෆීන් ග්රෑම් 3ක් හෝ ඊට වැඩියෙන්, අබිං ග්රෑම් 500ක් හෝ ඊට වැඩියෙන් ළඟ තබාගැනීම, ආනයනය හා අපනයනය මෙන්ම ඊට ආධාර අනුබල දීම මහාධිකරණයක් විසින් මරණීය දඬුවම ලබා දීමට වරදක් වන්නේය. අමතරව මිනීමැරීම් මෙන්ම කැරලි ගැසීම් සම්බන්ධයෙන් වූ වැරදි කිහිපයකටද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 114, 129 හා 296 යන වගන්තිවලට අනුව මරණීය දඬුවම හිමි වෙයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා පවසන පරිදි මේ වන විට මරණීය දඬුවමට නියම වූ 380 දෙනකු සිටින අතර, එයින් 16 දෙනෙක් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දඬුවමට ලක් වූවෝය. ඔවුන් අතර විදේශිකයන් මෙන්ම රටෙහි ප්‍රසිද්ධ පුද්ගලයෝද වෙති. මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවමට නියම වූවන්ගේ නාම ලේඛනය ජනාධිපතිතුමාට බාර දී තිබේ.

කඹය හා අලුගෝසු

මරණ දඬුවම ක්‍රියාත්මක කළ හොත් ඊට සූදානම් වීමේ පියවරක් වශයෙන් 2013 වසරේදී විශේෂයෙන් සකසන ලද කඹයක්ද මෙරටට ගෙන්වනු ලැබිණි. එබැවින් එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට කඹය සූදානම්ය. එහෙත් පසුගිය කාලයේ අලුගෝසු තනතුරේ පුරප්පාඩු පිරවීමේදී යම් යම් ප්‍රශ්න මතු වූ බැවින් අලුගෝසු තනතුර තවමත් ඇත්තේ පුරප්පාඩු තත්ත්වයේය. මේ පිළිබඳව අවශ්‍යතා මතු වූ අවස්ථාවල ඒ සඳහා ඉල්ලුම්පත් කැඳවමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පුද්ගලයන් බඳවාගත්තද ඔවුන් බොහෝමයක් ඒ තනතුර හැර යෑම ‍ඊට හේතුවයි. කෙසේ වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යළිත් මේ ‘වධක’ හෙවත් ‘අලුගෝසු’ තනතුර සඳහා දෙදෙනකු බඳවාගැනීමට අයැදුම්පත් කැඳවීමට සූදානම්ය.

මේ අතර රටම බලා සිටින්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණීය දඬුවම හිමි වූ පසුත් මුදල් තණ්හාවෙන් සමාජයට දැවැන්ත විනාශයක් ළඟා කරමින් සිටින මෙරට මහා පරිමාණ අපරාධකරුවන්ගේ ඉරණම හෙට දිනයේ කෙලෙස විස‍ඳෙනු ඇතිදැයි කියාය.

Comments