කොළඹ අහස සූරන මැඳුරු හදන චීන්නු | සිළුමිණ

කොළඹ අහස සූරන මැඳුරු හදන චීන්නු

කොල්ලුපිටියේ මහානාම විදුහල ඉදිරිපිට ඉදිවෙමින් පවතින දැවැන්ත මහල් ගොඩනැගිල්ලකි. නිල් පැහැ තහඩුවලින් වට කර තිබූ එහි ඉදිරිපිට දැවැන්ත පුවරුවක ASTORIA නමින් නාම පුවරුවක් දක්නට ලැබුණි. එහි දකුණුපස යාබද ගොඩනැගිල්ලේ එල්ලෙමින් තිබුණේ CHINA STATE CONSTRUCTION ENGRG. CORPORATION. LTD නම් වූ නාම පුවරුවකි. වෑන් රථයෙන් බිමට බට අපි හෙමින් සීරුවේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල දෙසට ඇදුණෙමු.

වේලාව සවස 5.30ට පමණ විය. දිනක වැඩ මෙහෙය නිමවූ චීන කම්කරුවෝ දෙතුන් දෙනා බැගින් ඉදිකිරීම් බිමේ සිට එළියට පැමිණෙති. පැමිණීම් සහ පිටවීම් සටහන් කරන යන්ත්‍රය මත ඇඟිල්ල තබන ඔවුහු උස් හඬින් කතාකරමින් පාරට බසිති.

“නී හාඕ” චීන බසින් ආයුබෝවන් යැයි කී අපි එසේ පාරට බට චීන කම්කරුවන් පොකුරකට ළංවීමු.

“නී හාඕ, නී හාඕ” යැයි ප්‍රීතියෙන් කී චීන ජාතිකයෝ ද කට පුරා සිනාසුණහ.

අහුලාගත් චීන වචන ටිකක් භාවිත කරමින් අප මුලින්ම ඔවුන්ගෙන් ඇසුවේ එකෙකුට හෝ ඉංග්‍රීසි, සිංහල යන භාෂා දෙකෙන් එකක් හෝ කතාකළ හැකි ද යන්නය.

“නෝ ඉන්ග්ලිෂ්. වෝමන් ෂුවෝ හන්යූ”

හිතුවා නිවැරදිය. මේ චීන්නුන්ට සිංහලවත් ඉංග්‍රීසිවත් කතාකරන්න බැරිය. අවසානයේ එහෙම මෙහෙන් අහුලාගත් චීන වචන ද, හස්ත මුද්‍රා ද යොදාගනිමින් ඔවුන් සමඟ කතාකරන්නට පටන් ගතිමු.

ඔවුන් සාමාන්‍ය කම්කරුවන් බව තේරුම්ගත හැකිවුණේ කමිස පුරා තිබුණු සිමෙන්ති කැබලි, හුනු පාරවල් සහ අපිරිසිදු පාවහන් හේතුවෙනි. බොහෝදෙනෙක් මීට මාස කිහිපයකට පෙර මෙම ඉදිකිරීම් භූමියට පැමිණි අය ය. කොන්ත්‍රාත් වැඩවලට සහාය වීම ඔවුන්ගේ රාජකාරියයි.

“කෑමබීම එහෙම කොහොමද?”

“වෝමන් චී මීෆන් (අපි සාමාන්‍යයෙන් කන්නේ සුදු බත් තමා)” එකෙකු කීවේ බඩට තට්ටුවක්ද දමමිනි.

හොඳින් හැඳපැලඳ ගත් ලාංකිකයෝ මැලවුණු මුහුණින් යුතුව වායු සමනය කරන ලද කන්තෝරුවලින් එළියට බසිද්දී පැය දහයක් පමණ අව්වට කරවෙමින්, සිමෙන්ති පාගමින්, යකඩ අදිමින් සිටි මේ හැම චීනෙකුම පාහේ උන්නේ ප්‍රීතියෙන් සිනාසෙමිනි. අනෙකා සමඟ උස් හඬින් විහිළුවක් කරමිනි.

“කට්ටියම හරි සතුටින් ඉන්නවා නේද?” එය චීන බසට පෙරැළිය නොහැකි වුණු තැන ඇසුවේ ඉංග්‍රීසියෙනි. එය තේරුණු බවක් නොපෙන්වූ චීන්නු කළේ ඊට ද සිනාසීම ය.

අතීතයේදී බොහෝ චීන ජාතිකයන් ලංකාවට පැමිණියේ විවිධ ව්‍යාපාර කටයුතුවලට ය. චීන දත් බඳින්නෝ හෙවත් චීන ජාතික දන්ත වෛද්‍යවරු ඒ අතරින් ප්‍රධාන වූහ. අදටත් කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසකම එවැනි චීන දන්ත ශාලා දැකිය හැක. ඉන්පසුව රෙදි වෙළෙඳාමත් සමඟ ලංකාවේ පදිංචියට පැමිණි චීන ජාතිකයෝ අදටත් මරදාන අවට තම වෙළෙඳසල් පවත්වාගෙන යති. එසේ අතරින් පතර චීන ජාතිකයෙකු දෙන්නෙකු මුණගැසුණු අපට අද වනවිට කොළඹ නගරයේ ගමන් කරද්දී හමුවන චීන ජාතිකයින් ගිණීමට වෙනම ආයාසයක් ගත යුතුය.

කොල්ලුපිටියේදීම අපට හමුවුණු ‘හොන්චුවා’ නම් වූ චීන කම්කරුවා ඉතා කුලුපගව අප හා කතාබස් කළේය.

“මම දැන් ලංකාවට ඇවිත් අවුරුද්දකට කිට්ටුයි. මෙතැන තව ගොඩක් චීන කට්ටිය ඉන්නවා. ඒ නිසා වැඩ කරන එක පහසුයි” කැඩුණු ඉංග්‍රීසියෙන් ඔහු කීය.

“හොන්චුවා පවසන ආකාරයට ඔහු දිනකට පැය 10ක් සේවය කළයුතුය. දිනක සේවය සඳහා ඔහුට හිමිවන වැටුප රුපියල් 1,000කි.

“අපිට කෑම ලැබෙනවා. ඉන්න තැනක් ලැබෙනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ”

“ඇත්තද චීන මිනිස්සු හැම මස් ජාතියක්ම කනවා කියන්නේ.”

ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු මුලින්ම කළේ සිනාසීම පමණි.නමුත් සැණෙන් වචන වැලක් ඔහු මුවින් පිටවිය.

චීනේ මිනිස්සු කිසිම දෙයක් විසි කරන්න කැමැති නෑ. නාස්ති කරන්න කැමතිත් නෑ. ඒ අතින් ඔවුන් සකසුරුවම්. අපිට ආගම්වලින් කියා දෙන්නෙත් ඒ ටික. ආහාරය පිණිස සකස් වන ඕනෑම දෙයක් අපි ගන්නවා. ඒ මස් මාංස විතරක් නෙවෙයි. අනෙක් එළවළු පලතුරු ආදියත් එහෙමයි. අපි තේ නම් වැඩිපුර බොනවා. අපිට ඕන තේ ගොඩක් වෙලාවට චීනෙන්ම ගෙනත් දෙනවා. අපි චීනෙදී ගොඩක් ඖෂධීය කෑම බීම තියෙනවා. මෙහෙනම් අපිට කන්න තියෙන්නේ එළවළුයි, බතුයි චීකන් බිෆ් මාළු වගේ මස් මාංසයි නූඩ්ල්ස් විතරයි. ඔහු සිනාසෙයි. කොල්ලුපිටියේ සිට අප ඉන් අනතුරුව පැමිණියේ ගංගාරාමය පිටුපස ඇති රාමනායක මාවතට ය. කලකට ඉහත සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය පිහිටි තැන ද අද වනවිට දැවැන්ත මහල් නිවාසයක් ඉදිවෙමින් තිබේ. අප එහි යනවිට සේවය හමාර කර සිටි චීන කම්කරුවෝ හත් අටදෙනෙක් පාර දෙපැත්තේ පදික වේදිකාවේ වාඩිවී උන්හ. ඉන් දෙදෙනෙකු පමණක් එකිනෙකා සමඟ කතාබස් කරමින් සිටි අතර සෙසු සියල්ලෝම පාහේ ජංගම දුරකථනයට හෙඩ්ෆෝනය අමුණා ගීත අසමින් සිටියහ.

“යේ හාඕ ෂෙන් ල ජ්හි චුවැන් ලී සෙන්ම ලියැන් ජ්හ...”

හෙඩ් ෆෝනයක් නොතිබුණු එකෙකුගේ ජංගම දුරකථනයෙන් චීන ගීතයක් වාදනය වෙමින් තිබුණේ අවට සිටියවුන්ට ද ඇසෙන පරිදි ය.

එකිනෙකා සමඟ කතාකරමින් සිටි දෙදෙනා දෙසට අපි ළංවීමු. තලතුනා වයසේ සිටි මිනිසුන් දෙදෙනා තමන්ගේ කුඩා දෑස් තවත් කුඩා කරමින් අප හා සිනාසුණහ.

“මගේ නම සන් චොවු. මේ ඉන්නෙ සොන් චුවා” එකෙක් තමාව ද තම මිතුරා ද අපට හඳුන්වාදුන්නේය.

“මොකද මෙතැනට වෙලා කරන්නෙ?”

“අපේ වැඩ ඉවරයි. දැන් අපිව ගෙනියන බස් එක එනකල් ඉන්නවා”

සන් චොවු කියූ හැටියට ඔවුහු නතර වී සිටින්නේ මාලබේ පිහිටි නිවෙසක ය. සෑම උදෑසනකම බස් රථයේ නැඟී වැඩට එන ඔවුහු නැවත නවතින තැනට යන්නේ ද එම බස් රථයෙනි. එම බස් රථය ඔවුන්ට පමණක්ම සීමා වූවක් ද නොවේ. කොළඹ අවට පිහිටි වැඩ බිම් කිහිපයකම සිටින චීන කම්කරුවෝ ඉන් යති; එති.

බොහෝ කම්කරුවන් බිම වාඩි වී සිටියදී බස් රථය එනතුරු සිටගෙන සිටි තවත් චීනෙකු දෙසට අපි කිට්ටු වුණෙමු.

“අපි පත්තරේකින්. ඔයත් එක්ක පොඩ්ඩක් කතාකරන්න පුළුවන් ද?”

“අපොයි පුළුවන්”

පූ චන් රෙන් යුන් නම් ඔහු අවුරුදු 15ක් තිස්සේ ලංකාවේ සේවයේ යෙදී සේවය කරන්නෙකි. කම්කරුවෙකු ලෙස මුලදී මෙහි පැමිණි ඔහු අද වනවිට සුපවයිසර්වරයෙකි.

“දැන් ඔයාගේ වයස කීයද?”

“හතළිස් හයයි” ඔහු එය කීවේ සිංහලෙනි.

“සිංහල කතාකරන්න පුළුවන්ද?”

“ටිකක්” ඔහු හිනැහුණි. අවුරුදු 15ක් තිස්සේ ලංකාවේ ජීවත් වන පූ චන්ට සිංහල කතාකළ හැකි වීම එක් අතෙකින් පුදුමයට කරුණක් ද නොවේ.

2003 වසරේදී අතුරුගිරියේ මිලේනියම් සිටි ව්‍යාපෘතියට ලංකාවට පැමිණි පූ චන් ඉන් අනතුරුව ත්‍රිකුණාමලය, මුතූර්, පුත්තලම, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වගේ බොහෝ තැන්වල සේවය කළේය.

අද ඔහු සේවය කරන වැඩබිමේ සිටින මුළු චීන ජාතික සේවකයින් ගණන 12කි. මාලබේ නැවතී සිටින ඔවුන් උදෑසන අටයි තිහේ සිට හැන්දෑවේ හයයි තිහ තෙක් සේවය කළ යුතුය. ඔහු කියූ ආකාරයට ඔවුන්ට පඩි ලැබෙන්නේ මාස තුනකට වරකි. පඩිය ගැන විමසූවිට පූ චන් කළේ සිනාසීම ය.

“චීනෙදි හම්බවෙන පඩියම තමා මෙහෙදිත් හම්බවෙන්නෙ” ඔහු පඩිය ඉලක්කමෙන් කියන්නට කැමැති වුණේ නැත. චීන රටේ හිරකරුවන් මෙහි කම්කරුවන් ලෙස සේවයට ගෙන්වාගන්නා බවට ද විශාල රාවයක් පවතී. අපි ඒ ගැන ද පූ චන්ගෙන් ඇසීමු. එහෙත් ඔහු කීවේ එවැන්නක් ගැන තමා දැනුවත් නොමැති බවකි. “ඒක බොරුවක්” ඔහු කීය.

මාලබේ පිහිටි නිවෙසේදී තමන්ගේ කෑම බීම උයාගන්නා ඔවුහු දවාලට කෑම සඳහා ද කෑම බැඳ ගෙන එති. බත්වලට අමතරව නූඩ්ල්ස් ද ඔවුන්ගේ ප්‍රධානම ආහාරයකි. බත් කෑම සඳහා කුකුළු මස් සහ තවත් එළවළු වර්ගයක් දෙකක් එකතු කර ගැනීම සාමාන්‍ය සිරිත ය. කොළඹ පිහිටි මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවන්ට ආහාර සකස් කර දීමද සිදුවෙයි. ඒ සඳහා එම ඉදිකිරීම් පරිශ්‍ර ආශ්‍රිත නිවාස කුලියට ලබාගෙන ඇති අතර ඒවායේදී මෙම ආහාර පිසිම සිදුවෙයි. විශේෂයෙන් මෙම වැඩබිම්වල ඉංජිනේරුවන් සහ කළමනාකරුවන් වැනි විධායක මට්ටමේ අයට මෙම පහසුකම් නිතරම හිමිවෙයි.

“කොහොමද ලංකාව?”

“ලංකාව හොඳයි. හොඳ රටක්. මිනිස්සු ගොඩක් හොඳයි. හිත හොඳයි”පූ චන් තමන්ට ලංකාව ගැන දැනෙන හැටි කීයේ එලෙසිනි.

මෙසේ ලංකාවට සේවය පිණිස පැමිණෙන බොහෝ චීන ජාතිකයෝ චීනයේ ගම්බද ප්‍රදේශවලින් පැමිණෙන්නන් බව ද ඔවුන් හා කළ කතාබහේදී අපට තේරුම් ගියේය. අපට හමුවූ බොහෝ චීන කම්කරුවන් පැමිණ සිටියේ නැගෙනහිර චීනයේ ගම්බද පෙ‍ෙදස්වලිනි. ඔවුන්ගේ ගම්වල නම් කීවද ඒවා අපටද උච්චාරණය කළ නොහැකි තරම්ය. ගම්බද අඹුදරුවන් ද සිටින චීන ජාතිකයෝ මෙහි පැමිණ රැකියාවක යෙදී වසරක් පමණ ගතවුණු පසු යළි මවුු රටට යති. ඇතැම්හු යළි නොගොස් මෙහිම රැඳෙති.

වන්ග් නම් වූ චීන කම්කරුවන් මෙරටට ගෙන්වන ආයතනයක කළමනාකරුවෙකු ද අප හා දුරකථනයෙන් සම්බන්ධ වී අදහස් දැක්වීය.

“අපේ ළඟ චීන අය විතරක් නෙමේ. ලංකාවේ අයත් ගොඩක් ඉන්නවා.” ඔහු කීය.

චීන ජාතිකයින් නවාතැන් ගන්නා ස්ථාන ගැන කළ විමසීමකදී ඔහු පැවසූයේ මේ වන විට වඩා හොඳ නවාතැන් පහසුකම් සැපයීමට ඔවුන්ට හැකිව ඇති බවයි.

“ඉස්සර අපි කොළඹ ඇතුළේම පොඩි පොඩි තැන්වල මේ අයට නවාතැන් දුන්නා. ඔය කොම්පඤ්ඤ වීදියේ, වොක්ෂෝල් වීදියේ කොල්ලුපිටියේ වගේ තැන්වල. තවමත් ඒ තැන්වලත් කට්ටිය ඉන්නවා.

මේ තැන්වල ලොකු පහසුකම් නෑ. පේළි ගෙවල්වල තමයි එයාලා නැවතිලා හිටියේ. ඒත් අපේ සමාගමේ අයට දැන් ජාඇළ, මාලබේ වගේ පැතිවල හොඳට ඉඩකඩ තියෙන ගෙවල් අරන් දීලා තියෙනවා.” වන්ග් පැවසීය. මෙහිදී අප දුටු කරුණක් වන්නේ කොළඹ නාගරිකව පදිංචි වී සිටි ඇතැම් පවුල් තම ගෙවල් පිටින් චීන ජාතිකයන්ට ලබා දී ඔවුන් පිට පළාත්වලට හෝ විදේශ ගත වී ඇති බවය. ඒ කතාවද අපට කීවේ චීන ජාතිකයෙකි.

පූ චන්ලා රෑනක් රැගත් ලොකු බස් රියක් එතැනට පැමිණියේ ඒ මොහොතේදී ය. එහි තවත් චීන කම්කරුවෝ රැසක්ම අසුන් ගෙන සිටියහ. සියලු දෙනාම දවසේ රාජකාරි නිමකර ආපසු නවාතැන බලා යමින් සිටියහ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා සහ දේශසීමා දෙපාර්තමේන්තුවේ පාලක සී. හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමකට අනුව දැනට ලංකාව තුළ කම්කරුවන් ලෙස සේවය කරන මුළු චීන ජාතිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 8,000ක් පමණ විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජි. නිශ්ශංක විජේරත්න මහතා පැවසූයේ අනවසරයෙන් එනම් සංචාරක වීසා භාවිත කරමින් මෙරටට පැමිණ කම්කරු සේවයේ යෙදෙන චීන ජාතිකයින් ගැන ද ඕනෑතරම් අවස්ථා වාර්තාවන බව ය. කෙසේ වුවද මෙසේ කම්කරුවන් ලෙස පැමිණෙන චීන්නු ඉතා සුහදශීලී පිරිසක් බව නම් කිව යුතුය. එහෙත් චීන හැර අන් බසක් කතාකිරීමට ඔවුන්ට නොහැකියාව දේශීය ජනතාවට සමීප වීමට ඔවුන්ට විශාල බාධාවක් වී තිබේ.

සේයාරූ - සුදම් ගුණසිංහ

Comments