
එක සීරුවට හීරුම් දීගෙන වට මහා වරුසාව හිටිවනම නවතී. ඒ වැස්ස බොහෝ කල් බලන වැස්සක් නොවේ. ඒ මෝසමේ හැටිය. තෙතබරිත සුළඟ එක සීරුවට හමා එයි. ගම මැදින් වැටී ඇති මදක් කඩතොළු වූ අතුරු මං දිගේ ඇවිදිමින් සිටියෙමු. පටු මග දෙපස තීරු සේ ඉහළට දිවෙන ඉඩම් කැබලිවල වූ නිවාස පන්ති අතරින් ඉඳ හිට යොමුවන විමසුම් ඇස් උපදවන්නේ පීඩනයකි.
“වම් පැත්තෙ ඇතුළෙ ගේ... චාමර ගෙ.” ඔහු පෙන්වන්නේ මධ්‍යම පාන්තික පෙනුමක් සහිත කුඩා නිවසකි. මාතර රන් භාණ්ඩ කොල්ලයෙන් අනතුරුව ආයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කා මිය ගිය අපරාධකාරී තරුණයා මාලිගාතැන්නේ විසල් මැදුරු තනාගෙන නැත.
“මේ වෙච්චි දේ මොකක්ද කියලා මටත් තේරුම් ගන්න බෑ. මේ මනුස්සයා කාලයක් මගෙත් හොඳ යාලුවෙක්. මිනිහට තිබුණෙ පොරක් වීමේ ආසාවක්. මං දන්න තරමින් ගමට කිසිම ආරවුලක් ඇති කරපු එකෙක් නෙමෙයි. මිනිහගේ අම්මා ගමේ ගොඩක් අහිංසක ගෑනියෙක්.” ඔහු කියාගෙන යයි. නිහඬව අසා හිඳිමි. සෑම මිනිසෙකුටම පිළිගැනීම ඇගැයීම හා ගෞරවයට ලක්වීම පිළිබඳ මානසික අපේක්ෂාවක් තිබේ. මේ තරුණයා මහා අපරාධකාරයෙක් කර ඇත්තේ ඒ මානසික අපේක්ෂාවදැයි සිතේ. චාමර උපන් ගම වේයන්ගොඩ නුදුරු මාලිගාතැන්න විශාල ජනපදයකි. රජයෙන් ඉඩම් ලැබ පරම්පරා කිහිපයකට එපිට මේ ජනපදයේ පදිංචියට පැමිණි දුගී මනුෂ්‍යයන් මහා සමාජයේ ගර්හාවට ලක් වූ අයුරු අපට කියන්නේ හලලිය, කීනවල, නාරන්වත්ත පැත්තේ වියපත් වැඩිහිටියන් ය. සමාජයේ අතපල්ලෙන් අත්හළ මේ මිනිස්සු ජීවත්වීම සඳහා කළ කුප්‍රකට කසිප්පු ජාවාරම ගැන කියන්නේ ඔවුන් ය.
“ ඔය ගමේ මිනිස්සු මහා අණක් ගුණක් නැති උන්. වචනයක් වැරදුනොත් පිහි පාරක්. නැත්නම් කඩු පාරක්. ගමෙන් බාගයක් හැමදාම පොලිසියෙ.” මේ කතාව ඕනෑවටත් වඩා වැඩිපුර එකක් බව ඇසූ සැනින් ම දැනේ. එහෙත් මේ කියැවෙන්නේ මාලිගාතැන්නේ ජනපදිකයන් ගැන හාත්පස සමාජයේ මුල් බැසගත් ආකල්පය ය. ඔවුන් ගම දෙස බැලුවේත්, ගමේ මිනිසුන් දෙස බැලුවේත් එසේය. එදා ඒ ගමට මගුලක් තුලාවක් කතා කරන්නට ඔවුන් හිතුවේවත් නැත. ඒ ගම්වැසියන් සමඟ වැඩිමනත් පයුරු පාසානමකට ගියෙත් නැත. පාසලට ගියත් මාලිගාතැන්නේ දරුවන් දෙවෙනි පෙළ ය. මාලිගාතැන්න පාසලට ගියේ අහල වෙනත් පාසලකට යන්නට හැකියාවක් හෝ වුවමනාවක් නැති ජනපදිකයන්ගේ දරුවන් ය. අභිමානය විනාශ කළ පරිසරයක ජීවත්වන මිනිසුන් සමාජයට දෙන ප්‍රති උත්තර බිහිසුණු ය. අතීතයේ මාලිගාතැන්නේන් ප්‍රකට වුණු සමාජ විරෝධය වේයන්ගොඩ නගර සීමාවෙන් එපිටට ගියේ නැත. එහෙත් චාමරලා ජීවිතයට උත්තර සොයා ගියේ ඊට වඩා වෙනස් ක්‍රමයකට ය.
“ මුං වැඩ පටන්ගත්තේ මාරපොල පැත්තෙදි බිස්කට් වෑන් එකකට ගහලා. ඒ 2009 දෙසැම්බර් 19 දා. එදා මුන් ගිනි අවි පෙන්වා රුපියල් හැත්තෑපන් දහසක් කොල්ලකෑවා. දෙමටගොඩ බන්ධනාගාර බස් එකකට ගැහුවා. පස්සෙ උදම්මිට සමරෙට ගැහුවා. මට මතකයි උදම්මිට සමරෙට ගැහුවට පස්සෙ චාමරට මේ පැත්තෙන් ආපු සැලකිල්ල. මිනී මරලා හිරේට ගියාට පස්සෙ මං දන්න එළවළු කඩේක එකෙක් හැම සතියක ම මිනිහගෙ ගෙදරට එළවළු යැව්වා; කරවල විකුණන එකෙක් කරවල යැව්වා. කවුරුත් ඉල්ලලා නෙමෙයි. චාමර යාළුවෙක් කියලා සමාජයට කියා ගන්ඩ. කවදාවත් ලැබුණෙ නැති පිළිගැනීමක් දීලා, මානසික අල්ලස් දීලා පාතාල අපරාධකාරයො හදන්නෙ අපේ මිනිස්සුමයි.” මම තිගැස්මකින් යුතුව අසා හිඳිමි. ගමේ පොඩි උන් ගුරු කරගන්නේ මේ අමුතු ආදර්ශය ය. හතර අතේ මිනී මරා, කොල්ල කා, කප්පම් ගෙන ගෙදර එන විට ඔහුට හතර අතේ සැලියුට් ගහන්නට අහළ ගම් හතක උන් ය. මාලිගාතැන්න පිළිකුල් කළ මිනිස්සු චාමරට සැලෙන්ඩර් ය. මේ තරුණයා තම ගමන කෙළවර ගන්නේ පොලිස් වෙඩි පහරිනි. බන්ධනාගාරගත ව සිටි අවධියේ චාමර යාළුවෙක් බව පෙන්වීමට කාටත් හොරා ගෙදරට බඩු ඇද්දවුන් මේ තරුණයාගේ මළබතට පැමිණියේ නැති බව කියන්නේ තතු දත් උන් ය. මිනිස්සු ඒ තරමට නිවට ය; ඒ තරමටම අවස්ථාවාදීය.
අපි කතාබහින් යුතුව ම පැමිණියෙමු. පටුමග පසෙක වූ කඳුගොඩැල්ලක් මත පිහිටි කුඩා කඩපිලක සිටි තරුණයන් කිහිප දෙනෙකි; එක්වරම මා ගමන් සගයා මට සන් කරයි.
“බයික් එක නවත්තපන්. කතා සරිත් සාගරයක් වගේ එකෙක් හම්බ වුණා. මුගෙ අවුල මොකක්ද කියලා මූ කියයි. ගමට වෙලා තියන දේ ඊට පස්සෙ හිතා ගනින් ” මා අසලට එන්නේ කෙසඟ තරුණයෙකි. ඔහුගේ වියළි දෑසෙහි විශේෂ බවක් සටහන් ව නැත. බියක් චකිතයක් පිළිබඳ හැඟීමක් නොමැති බැල්ම මා විනිවිඳිනු දැනේ.
“කවද්ද ආවෙ.” මා සගයා ඔහුව විමසයි.
“ දවස් තුනයි මචං.” දාහතර වසරක සිරදඬුවමකට පසු ඔහු යළි නිවසට පැමිණ ඇත. ඔහු බැංකු කොල්ලයක වරදකරුවෙක් වන්නේ 2004 දීය. ඒ වනවිට ඔහුට පිරුණු විසි වයස් ය. කප්පම් සිද්ධියක දී පොලිසිය අතින් මැරුම් කෑ අපරාධකරුවන් අතර සිට ජීවිතය බේරාගත් එක ම තරුණයා මොහු ය.
“ඇතුළෙ කොහොමද ”. මා සගයා විමසයි.
“ වරදක් නෑ...” ඔහුගේ සිනාවේ ඇත්තේ නිවස තරමටම බන්ධනාගාරයත් හුරු බවකි.
“ ඔය කාලෙ මාත් ඇතුළට ගියා මචං පොඩි වැඩක් මාට්ටු වෙලා. එතකොට මූ හිටියෙ ඇතුළෙ. මං ආවා කියන ආරංචියට මූ ආවා; ඇත්තට ම මට මාර සැලකිල්ලක් තිබුණෙ මූ හින්දා.” ඒ මා ගමන් සගයාගේ අත්දැකීම ය. ඔහු නොකියා කියන්නේ මේ තරුණයාට ඇතුළේ ඇති පිළිගැනීම ගැන ය.
දැන් තිස්හතර හැවිරිදි හෙතෙම තමන් අපරාධකාරකු වූ පසුබිම ගැන කියන්නේ කලකිරීමකින් පවා තොරව ය. තවමත් බිමට සිමෙන්ති නොදැමූ, කපරාරු නොකළ බිත්ති සහිත කුඩා නිවසේ සාලයෙහි ප්ලාස්ටික් පුටුවක් මත හිඳගෙන අපි කතා කරමින් සිටියෙමු. කොල්ලකා, බැංකු කඩා කුඩු විකුණා උපයා ගත් මුදල ඔහුගේම කුඩු පාරිභෝජනයට පමණක් සීමා වූවා සේය. වියපත් දෙමාපියන් සිය පුතු දකිමින් මුවින් නොදොඩා සෙවණැලි මෙන් අවට ඇදෙයි. කිසිදා නුදුටු මේ අමුත්තන් යළිත් මරාළයක් රැගෙන විත් ඇතිදැයි ඔවුන් සිතන සේය.
“ගමේ ඉස්කෝලෙ ගියෙ. ඉස්කෝලෙ ඉවරකරලා ත්‍රීවිල් එකක් එළෙව්වා. පාර්ක් කළේ වේයන්ගොඩ වදුරව පාරෙ වේයන්ගොඩ රේල් ගේට් එක ළඟ. මං ඩීසන්ට් විදිහට මගේ ජොබ් එක කළා. ගොඩක් වැදගත් නෝනලා මහත්තුරු මාත් එක්ක හයර් ගියා. රෑටත් මං පාර්ක් එකේ හිටියා. එක දවසක් මට හයර් එකක් ආවා. පොලිසිය මගදි ත්‍රී විල් එක නතර කළා. බලනකොට මාත් එක්ක හයර් එක ඇවිත් තියෙන්නෙ අත්තනගල්ල උසාවියෙ දඩ සල්ලි ටික කොල්ලකාපු උන්. පොලිසිය මුන් ටිකත් එක්ක මාවත් ප්‍රඩියුස් කළා; හිරේ වැටුණා. එදයින් පස්සෙ තමයි මං වැඩේට බැස්සෙ; ඕන තරම් සම්බන්ධකම් තිබුණා. මේ වෙනකොට මං කුඩු ගහන්න පුරුදු වෙලා හිටියෙ; සල්ලිත් මදි; බූරු ගැහුවා; හරියන්නෙ නෑ. පස්සෙ තමයි තවත් එකෙක් එක්ක බැංකුවෙ වැඩේට බහින්නෙ.” ඔහු කියන්නේ 2004 බැංකු කොල්ලය ගැන ය. මාලිගාතැන්නේ නම් ඌ ගේම් කාරයෙක් බවට කළ පොලිස් නිගමනය අවසානයේ සමාජයට කර ඇති ව්‍යසනයේ තරම පෙනෙන්නේ ඔහු කියන කතාව අසා සිටින විට ය.
“දැන් දවස් තුනකට කලින් නාකොටික් එකෙන් රේඩ් කරලා කුඩුත් එක්ක කොල්ලො 19 දෙනෙක් අරන් ගියා. 18 දෙනෙක් අවුරුදු දහ නවයට අඩු කොල්ලො.” ඒ ව්‍යසනයේ තරම අපට කියන්නේ මේ ගම ඇසුරෙහි පාතාලයේ දෙවන පෙළක් නිර්මාණය වෙමින් ඇති ආකාරය ය. කුඩු සික් එක හරහා පාතාලයට පැමිණි උන් බොහෝ ය. බඩගින්නේ සිටින මෘගයන් සේ ජීවත්වන ඔවුන් හරහා කුඩු කෑල්ලකට බොහෝ දේ කරගත හැකිය. මා අබියස සිටින තරුණයා නිදසුන් ය.
මේ වනවිට මාලිගාතැන්න, එළුවාපිටිය, නයිවල මතු නොව වේයන්ගොඩ නගරයේත් කුඩු සුලබ ය. එහි ගොදුරු වූ තරුණයන් සුලබ ය. එහෙත් කුඩු ජාවාරම පහසුවෙන් කොටුවන්නේ නැත. මේ ජාලය දැනට වේයන්ගොඩ, ගම්පහ අවට ක්‍රියාත්මක වන්නේ වෙනස් මුහුණුවරකින් ය. කුඩු ඩීල් කරන්නා කුඩුවලට ඇබ්බැහි වූවෙකි. ඔහු ඒ ව්‍යාපාරය කරගෙන යන්නේ ස්වකීය දෛනික කුඩු අවශ්‍යතාවය නඩත්තු කර පවත්වාගෙන යන්නට ය. වේයන්ගොඩින් හෝ ගම්පහින් දුම්රියට නඟින තැනැත්තා යළි දුම්රියෙන් ම එන්නේ කොළඹදී තමන්ට ලැබුණු ඇණවුම් ප්‍රමාණය සපුරාගෙන ය. තමන්ගේ කුඩු අවශ්‍යතාවට සරිලන හෙරොයින් ප්‍රමාණය ඉතිරි කරගෙන එහි වියදමත් ආවරණය වනසේ ඉතිරි කුඩු කොටස් තම ගැනුම්කරුවන් වෙත අලවි කරන හෙතෙම තවත් වටයක් කොළඹ යන්නේ ය.
මේ ජාලය ශක්තිමත් ය. මාලිගාතැන්නේ පාසල් වයසේ දරුවන්ව ගොදුරු කරගෙන ඇත්තේ ඒ මාෆියාව ය. කුඩු මත ඉදිරියේදී ඔවුන්ව ඕනෑම අසංස්කෘතික කටයුත්තකට පොලඹවා ගත හැකිය.
“මෙච්චර කුඩු එන්න හේතුවක් තියනවා. කවුරු හරි මධුෂ්ලගේ ඕඩර් එකකට මර්ඩර් එකක් ගහනවා කියලා හිතමු. උන්ට ගෙවන්නෙ සල්ලි වලින් නෙමෙයි; කුඩු වලින්; ඒ කුඩු සල්ලි කරගන්න ඕන. ඒව තමයි මේ අපේ ගම්පැත්තෙත් කැරකෙන්නෙ.” කුඩුවලින් ගෙවා මිනීමැරීම ගැන අසන්නේ මුල් වරට ය. ඔහු කියන්නේ අනාගත ව්‍යසනයක අඳුර ගැන ය. මේ වනවිට ආදායම් මාර්ගයක් නැතිව සිටින ඔහුත් හෙට මේ කුඩු ජාවාරම මෙහෙයන්නට ඉඩ ඇත; ඒ මේ රටාවේ හැටි ය. ඉන් මිදෙන්නට ඔවුන්ට අවශ්‍ය නැත. මිඳුණා කියා වැඩි වෙනසකුත් නැත. මේ වනවිට ධරුණු අපරාධ සඳහා ගමේ පස් දෙනකුට වැඩි පිරිසක් බන්ධනාගාරගත ව ය; තවත් පිරිසක් ඇප පිට පැමිණ ය . 54 වගන්තියෙන් අච්චු කළ කුඩු ජාවාරම් කරුවන් 15 පමණ බන්ධනාගාරයේ ය; ගමේ තරුණයන්ගෙන් වැඩි පිරිසක් කුඩුවලට හුරුවෙමින්ය.
සමාජ පීඩනයෙන් හෙම්බත් වූ මිනිස්සු දේශපාලන අවභාවිතයෙන් අනතුරුව පාතලයේ පහසු ගොදුරු වූ ඉතිහාසයක් තිබේ. වේයන්ගොඩ මාලිගාතැන්නෙන් පමණක් නොව, මිනුවන්ගොඩ හීනටිනයදී ඇසෙන්නේ එවැනි කතා ය; ගම්පහ කෙහෙල්බද්දරදී ඇසෙන්නේත් එවැනි කතා ය.
කසිප්පු ජාවාරමට ඇනකොටාගනිමින් සිටි හීනටියන ලොකු සහ වන්ෂොට් පාර්ශ්ව අතර මිනී මැරුම් වැලක අතීත කතාව මීට දශක හතරක අතීතතයකට දිවෙයි. ඒ ගැටුම කෙළවර වන්නේ හීනටියන ගම්වාසීන් 19 දෙනෙකු මරා දැමීමෙනි. අනතුරුව ගොක් අත්තක් මුල් කරගෙන ගමේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුම තවත් මරණ වැලක් නිර්මාණය කළේ ය. ඒ මිනීමරු පසුබිම දේශපාලනය විසින් පාවිච්චි කළ ආකාරයේ ප්‍රතිඵලය පාතාල නායක වන්ෂොට් ය. වන්ෂොට් ඉපදුණ හීනටියන රටේ මිනිස්සුන්ට මිනීමරු ගමක් විය. කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇති නමුත් හීනටියන ගමේ මිනිසුන් සමඟ මොනම ආකාරයක හෝ සබඳතාවක් පැවැත්වීම ප්‍රතික්ෂේප කළ අතීතය තිබුණේ එතරම් දුරක නොවේ. වන්ෂොට් සමඟ හීනටියන ගමේ ඉස්කෝලයේ එකට අකුරු කළ, රට පිළිගත් සුශීල යතිවර නමක් වෙති. “ කුඩා අවදියේ අපි හිටියෙ එක පන්තියෙ; ඔහු ඒ වකවානුවෙ ආවේගශීලීයි. මා හිතන්නෙ ඒ නිවසේ පරිසරය; එක දවසක් ඔහු පන්තියෙ ළමයෙක් සමග ගැටුමක් ඇති කරගත්තා. පහුවදා ඔහුගේ තාත්තා ආවා කඩුවක් අරන් පාසලට. ඔහු කරන හැම වැරැද්දකදිම ඔහුව නිවැරදි කරන්න අවිචාරවත් ව ඉදිරිපත් වුණේ ඔහුගෙ තාත්තා. ඔහු අපරාධකාරයෙක් වුණා. මේ සිද්ධියෙ අනික් පැත්තක් කියන්නම්. මෑතකදි විනාශ වුණු දාමරික ක්‍රියාවලට සම්බන්ධ තරුණයෙක්. ඔහුගේ දෙමාපියන් ඉතාම අහිසංකයො; දැහැමි මිනිස්සු. පන්සලේ පොසොන් පෙරහරේ පණිවඩුය අරගෙන ගියෙ ඔහුගෙ පියා. මේ තරුණයත් ඔහුගෙ සහෝදරයත් ඉතාම ඉහළ රූප සම්පත්තියක් තිබුණු තරුණයො. හොඳ ජිවිතයක් ගත කරන්න පුළුවන්කම තිබුණා. ඔවුන්ව විනාශ කරලා අපරාධකාරයන් කරන්නේ ඔවුන් ඇසුරු කළ බිහිසුණු මිනිස්සු. ”
වන්ෂොට්ගෙන් ඇරඹෙන හීනටියන මුල්කරගත් අපරාධ රැල්ලට දැන් පෝෂණය දෙන්නේ පස් ජාවාරම ය. මේ පස් ජාවරමේ බලය රැකගැනීමට කෙරෙන මිනී මරා ගැනීම මෙන්ම එහි ආධිපත්‍යය පවත්වා ගැනීමට කරන දේශපාලන ගනුදෙනුව හීනටිනයනට කර ඇති ව්‍යසනයේ ප්‍රමාණය තවමත් යාවත්කාලීන ය. දැනට ගමේ දස දෙනෙකුට වැඩි පිරිසක් අපරාධ වැරදිවලට බන්ධනාගාරගත ව ය. ගම්පහ කෙහෙල්බද්දර ගම්මානය ආශ්‍රිතව බිහි වී ඇත්තේත් මේ ව්‍යසනය ම ය. පස් ජාවාරම නිසා ඇති වූ මිනීමැරුම් වැළක් තවමත් එකිනෙක ඇමිණෙමින් ඇදෙන්නේ ය. ඒ අපරාධ රැල්ල සමඟ දෙවන පෙළක් නිර්මාණය වෙමින් ඇත්තේ ය.
මේ ගම්වල තරුණයන් අපරාධකරුවන් වීම හුදකලා සිදුවීමක් නොවේ. ගමේ චණ්ඩියා පාතාලයට කැන්දාගෙන ගොස් පාතාල අපරාධකාරයකු කර පෝරකයේ ඉන්දවීමට වගකිව යුතු අශීලාචාර දේශපාලකයයෝ කිහිපදෙනෙක් ගම්පහ ප්‍රදේශයේ වෙති. නිවැරදි මිනිසුන් අපරාධකාරයන් කර ඔවුන් ඒ නාරාවළට ඇද දැමූ අශීලාචාර පොලිසි ගැන ද ගම්පහින් ඇසේ. එමෙන්ම සමාජයක් ලෙස මේ ගම්වල දරුවන්, තරුණයන් මනුෂ්‍යයන් සේ පිළිගන්නට සූදානම් නොවීමේ නොමිනිස්කම අප තුළ තිබිණි. අපරාධකාරයන්ගේ ගම්මාන ලෙස පොලිස්පොතේ සඳහන් වන ගම්මාන ඇසුරෙහි එවැනි සමාජ වටපිටාවක් නිර්මාණය වූයේ කුමක් නිසාදැයි මෙතෙක් ශාස්ත්‍රීය පදනමකින් යුතුව සොයා බලා නැත. ඔවුන් වෙනුවෙන් විශ්වසනීය මානුෂික විසඳුමක් ලබාදීමට සමාජ දේශපාලනික වැඩපිළිවෙළක් දියත් කර තිබුණේ නැත. අපි හැමදාම ප්‍රමාදී මිනිස්සුය. අපේ ගෝත්‍රික යටි හිත් අපටත් හොරා ම්ලේච්ඡත්වය වින්දනය කරමින් හිඳී. අද උපදින කිරි සප්පයා හෙට අපරාධකාරයෙක් වී වෙඩි කා මැරෙන ත්‍රාසය අත්විඳන්නට කැමති අශිෂ්ට සමාජයකට ඉර පායන්නේ නැත.