
ලෝකයේ දිළිඳුම රාජ්‍යයක් වන මලාවිහි ඇළි මිනිසුන් විඳින්නේ ජීවිතයත් මරණයත් අතර සටනකි. ඒ යන්ත්‍ර, මන්ත්‍ර හදි හුදියම්වලට ඔවුන්ගේ ශරීර කොටස් යොදා ගන්නා නිසාය. මලාවියේ මහා මැතිවරණය පැවැත්වෙන්නේ ලබන වසරේය. ඒ සඳහා ඇළි පුද්ගලයෝ තරග කරති. මේ එම කතාවයි.
මලාවි රාජ්‍යයේ මහා මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පවත්වන්නට කටයුතු සංවිධානය කෙරේ. ලොව අතිශයින්ම දරීද්‍ර රාජ්‍ය ලෙස සැලකෙන මලාවියේ මේ මැතිවරණය, කාරණා කිහිපයක් නිසා ලෝකයාගේ අවධානයට පාත්‍ර වී තිබේ. ඒ අතර වඩාත් වැදගත් සහ ප්‍රබලම කාරණය වන්නේ ඇළි බවින් පීඩාවට පත් පුද්ගලයන් හයදෙනකුත් මේ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා ලබාදීමයි. මෙය, මලාවි ඉතිහාසයේ මින් පෙර කිසිදිනෙක සිදු නොවූ තත්ත්වයකි. ඇත්තෙන්ම, එය ඇළි බවින් පෙළෙන මලාවි ජාතිකයන් විශාල පිරිසකගේ හිතසුව වඩවන ප්‍රවෘත්තියක් ද වන්නේය. අප එසේ කියන්නේ, ඇළි මිනිසුන්ට ජීවත්වන්නට මෙලොව ඇති අනාරක්ෂිතම ස්ථානය කිහිපයෙන් එකක් ලෙස මලාවියත් හංවඩු ගැසී තිබීම නිසයි.
වාර්තාවන්හි සඳහන් වන අන්දමට ඇළි මිනිසුන් සාමාන්‍ය සමාජයට උසුලා දරාගත නොහැකි පිරිසක් වී තිබෙන්නේ ගුප්ත ඇදුරන්ගේ කියුම් කෙරුම් සහ විශ්වාස හේතුවෙනි. ඇළි බැවින් පීඩා විඳින මිනිසුන්ගේ දේහ කොටස්වල මැජික් බලයක් ඇතැයි කියන සිතුවිල්ල සමාජය තුළ පතුරුවා හැර තිබෙන්නේ එකී යකැදුරන් ය. ඔවුන්ගේ මේ අමනෝඥ පෙන්වා දීම කෙතරම් තුච්ඡ ලෙස සමාජගත වී ඇතැදැයි කියා කිවහොත් ඇළි මිනිසුන්ගේ ශරීර කොටස්වලට විශාල ඉල්ලුමක් ද පැන නැඟී තිබේ. ඇළි මිනිසුන්ගේ දේහ කොටස් කළු කඩ තුළ අලෙවි වන තරමේ ඇදහිය නොහැකි තත්ත්වයකුත් මලාවිය තුළ මේ නිසාම ඇති වී ඇත. එනම් මිනිසකුගේ දේහ කොටස් තවත් මිනිසකුගේ යහපත වෙනුවෙන් කෙරෙන යාග, පූජා කර්ම සඳහා යොදා ගැනෙන ම්ලේච්ඡත්වයයි. එය මේ සියවසේ ජීවත් වන කෙනකුට ඇදහිය නොහැකි තරමේ ක්රෑරත්වයකි.
ඇම්නස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙන අන්දමට ඇළි බැවින් පීඩා විඳින මිනිසුන්ට මලාවියේදී එල්ලවන ප්‍රහාර 2014න් මෙහා පැත්ත කාලයේදී බෙහෙවින්ම ඉහළ ගොස් තිබේ. 2015 වසරේදී පමණක්, ඇළි පුද්ගලයන් 115කට සිදු වුණු පහර දීම් ගැන තොරතුරු ලැබී ඇත. එයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයන්ට ලක්වී ඇතැයි කියා ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි. පහර කෑම්වලට ලක්වුණු පිරිසෙන් හතලිස් ගණනකට, පසුව අත් වූ ඉරණම ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට බැරිව ගොස් තිබේ. එහෙම පරිසරයක් තුළ ඇළි බැවින් පීඩා විඳින දරුවන්ව පාසල් යැවීමටත්, ඇළි වැඩිහිටියන්ට මඟ තොටේ බැස රස්සාවකට යන්නට එන්නටත් බැරි තත්ත්වයක් මලාවියේ උද්ගතව ඇත. මලාවියේ ඇළි මිනිසුන්ගේ දෛවය මෙවන් බිහිසුණු තැනෙක පවතින්නේ අන් කවර කාරණයක් නිසාවත් නොව, එහි ක්‍රියාත්මක වන නීති රීතිවල පණ නැතිකම නිසා ය.
මධ්‍යම මලාවියේ පාසලක උගන්වන ගුරුවරයකු වන ක්ලෙමෙන්ට් ග්වෙසා අතිශයින්ම වේදනාවට පත්වුණේ තමන්ගේ පන්තියේ ඉගෙනුම ලැබූ ඇළි දරුවකු 2016 වසරේ අප්‍රේල් මාසයේදී ඝාතනයට ලක් වීමත් සමඟයි. සිසුවා, මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ පාසල අවසන් වී පෙරළා නිවෙසට යමින් සිටියදී බැව් දැක්වේ. මරා දමනු ලැබූ සිසුවාගේ දේහය මලාවියට අසල්වැසි මොසැම්බික් රාජ්‍යයට රැගෙන ගොස් ඇතැයි කියා පසුව අනාවරණය විණ.
“... තවත් ඇළි ළමයෙක් මගේ පන්තියේ ඉගෙනුම ලබනවා. මම එයාට දැඩිව අවවාද කළා; තනිවම ගමන් බිමන් නොයන ලෙස. විශේෂයෙන්ම රාත්රියේදී. ....” කියා ක්ලෙමෙන්ට් ග්වෙසා පවසයි.
මලාවියේ ඈත එපිට ගම්මානයක ජීවත්වුණු විට්නි නමැති දෙහැවිරිදි ඇළි දැරිය නැතිවුණේ ඈ පැදුරේ නිදි සුව විඳිද්දී ය. දැරිය නැති වී දින කිහිපයක් යනවිට අසල්වැසි ගමකින් දැරියගේ හිස් කබල, දත් සහ දැරියට පොරවා තිබුණු රෙදි මතු විණ. ඒ ගමේම හැරී නමැති නව හැවිරිදි ඇළි දරුවකුත් ඝාතනයට ලක් වූ බව මානව හිමිකම් සංවිධාන වාර්තාවන්හි දැක්වේ. හැරී නිවෙසින් පැහැරගෙන ගොස් ඇතැයි කියා සොයන්නට පටන් ගන්නා විටත් ඔහුව ඝාතනය කෙරී තිබිණ. හැරීගේ අතුරුදන් වීමෙන් පැය කිහිපයක් ඉක්ම යන්නට පෙර ඔහුගේ හිස සිරුරෙන් වෙන් කෙරී ඇති බව මලාවි බලධාරීහු තහවුරු කරගත්හ. විට්නි මෙන්ම හැරීත් තමන්ගේ ඇළි බව නිසා ජීවිතය පූජා කළ අහිංසකයෝ ය. ඔවුන්ගේ දේහ කොටස් ගිනි ගණනට යකැදුරන්ට අලෙවි වුණු බව නම් සත්‍යයකි. මේ අපරාධ දෙක පිටුපසම සිටියේ විට්නිගේ සහ හැරීගේ ඥාතීන් බව බලධාරීහු පවසති.
තිස් හැවිරිදි වියේ පසුවුණු ජෙනිෆර් නමුසියෝ හදිසියේම අතුරුදන් වුණේ ඇයම යතුරු පැදියක් පදවාගෙන මලාවියේ ෆලොම්බේහි ගමන් කරමින් සිටියදී ය. ඇගේ නිවෙස තිබුණේ ෆලොම්බේහි ග්වෙම්බෙරෝ නමැති ගම්මානයේ ය. ජෙනිෆර්ගේ අතුරුදන්වීම සැලවීමත් සමඟම ඇයව සොයා ඇගේ ඥාතීහු ගම්මානයේ හිස් ලූ ලූ අත දිවූහ. පාරක් අයිනේ විසි කර දමා ගොස් තිබුණු ෆෙනිෆර්ගේ දේහය මේ පිරිසට පැය කිහිපයකට පසුව හමු විණ. ඇගේ දේහයට ආසන්නයෙන්ම ඈ පදවාගෙන යතුරුපැදියත් විසිකර දමා තිබෙනු දක්නට ලැබුණේය. ජෙනිෆර්ගේ දේහය පරික්ෂා කර බැලූ විට තහවුරු වූයේ ඇගේ පියයුරු යුගල එහි නැති බවකි. එමෙන්ම ඇගේ දෑසත් ඝාතකයන් ගලවාගෙන ගොස් තිබිණ. ජෙනිෆර් මරා දමා තිබුණේ තියුණු අවියකින් ඇනීමෙන් බව තහවුරු වූයේය. ඇගේ ඝාතනයට වගකිවයුතු කිසිවකු ගැන හෝඩුවාවක් සොයා ගන්නට බැරි විණ. එසේ වුවත් ඈ ඝාතනය කෙරුණේ ඇගේ ඇළි බව නිසාය යන්නට කිසිවකුට තවදුරටත් රහසක් නොවිණ.
ඇළි බව ඇතිවන්නේ කෙනෙකුගේ ආවේණික ද්රව්යයයන්හි තිබෙන විකෘති තත්ත්වයක් නිසයි. එකී විකෘතිය හේතුවෙන් එම පුද්ගලයාගේ සමෙහි, රෝමවල, හිස කෙස්වල මෙන්ම ඇස්වලද ඇති වර්ණක සම්පූර්ණයෙන්ම හෝ කොටසක් හෝ නැති වී යයි. එවිට එම පුද්ගලයා සාමාන්‍ය කෙනෙකුට වඩා සුදු පැහැයෙන් යුත් කෙනෙකු ලෙස කැපී පෙනෙයි. මේ විධියට ශරීරයේ වර්ණක අඩුවීම වාසනාවක් හෝ සුබදායි තත්ත්වයක් හෝ නොවේ. එහි මැජික් බලයක් ද නැත. ඇළි බවින් පීඩා විඳින කෙනෙක්, දැඩි හිරු එළියෙන් ඇතිකෙරෙන පිලිස්සීම් නිසා පවා වේදනාවට පත් වෙයි. එමෙන්ම ඔවූහු ඉතා ඉක්මනින්ම වාගේ චර්ම පිළිකාවලටත් ගොදුරු වෙති. උපතින්ම ඇතිවන ජාන විකෘතියක් නිසා මේ අන්දමේ තත්ත්වයන්ගේ පීඩා විඳිමින් ජීවත්වන කෙනෙකු සමාජයේදී වෙනස්කම්වලට ලක්වීම කෙතරම් අභාග්‍ය සම්පන්න කාරණයක් ද?. තමන් මුහුණ දෙන දුෂ්කරතා මැද ජීවත්වීම සඳහා ඔවුන් අපමණ අරගලයක් කරද්දී අනෙක්වුන් ඔවුන් වෙත කඩා පැන ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය පවා පැහැර ගැනීම යුක්ති යුක්ත දෙයක්ද?. අනෙක් අතට එවැනි මිනිසුන්ගේ ශරීර කොටස් යොදාගෙන යාග හෝම, යන්ත්‍ර මන්ත්‍ර කිරීම සහ කරවා ගැනීම මේ සියවසේ ජීවත්වන මිනිසුන්ට තරම් වන ක්‍රියාවක් ද?. ඒ අසරණයන්ගේ ජීවිතවලට සාධාරණයක් ඉටු කරන්නට, 2019 මලාවි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන ඇළි බවින් පෙළෙන ජනතා නියෝජිතයන්ට හැකි වුවහොත් එය මේ සහශ්‍රයේ විජයග්‍රහණයකි.