
එක් පසෙකින් ඇත්තේ උස තාප්පයකි. අනෙක් පසින් ඇත්තේ නිලධාරි නිල නිවෙස්ය. මේ දෙකට මැදිව දිවෙන පාර කෙළවර වන්නේ වම් පසින් කාන්තා සිරගෙදරිනි. දකුණු පස කෙටි දුරක් ගිය විට හමුවන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයයි. බොහෝ කාලයක් මේ මඟ ගිය හෙයින් දෝ කාන්තා සිර ගෙදරට ඇතුළු වන්නට පෙර පසෙකින් ඇති විසල් සල් රුක දෙස ඉබේ නෙත් යොමුවේ. වසර ගණනාවක් තිස්සේ මෙහි යන එන්නන්ගේ දුක් සුසුම් සියල්ල හඳුනන, යුතු අයුතුකම් දකින විසල් සල් රුක සියලු රහස් සඟවාගෙන නිසොල්මනේ මල් ඵල දරමින් බලා හිඳී.
කාන්තා සිර ගෙදර මහ දොර හැර ඇතුළට යද්දී අපට පෙනෙන්නේ සුන්දර පරිසරයකි. ඒ පරිසරය සුන්දරව ඇත්තේ කාන්තා රැඳවියන්ගේ දෑතින් සිටුවූ රෝස, සීනියාස්, අටපෙතියා, දාස් පෙතියා ආදි නෙක මල් ගස්හි විවිධ පැහැයන්ගෙන් මල් පිපි ඇති නිසාය. විසල් බෝරුක රැඳවියන්ගේ සිත් සුවපත් කරමින් බොහෝකල් ඒ පරිසරයේම කාන්තා රැඳිවියන්ගෙන් පිදුම් ලබමින් වැඩ සිටී. බැලු බැල්මට පරිසරය සන්සුන් යැයි කෙනෙකුට සිතුණද මේ ගැහැනුන්ගේ සිත් කොතරම් නොසන්සුන්දැයි දන්නේ ඔවුන් හා කතාබහ කළ අය පමණි.
මේ දවස්වල කවුරුත් කතා බහ කරන්නේ එල්ලුම් ගහ ගැනය.
‘ඇත්තටම එල්ලුම් ගහ ක්‍රියාත්මක වෙයිද?’
‘කවද්ද එල්ලන්නේ?’
‘මුලින්ම කවුද එල්ලන්නේ?’
ඒ කතා යටපත් කරමින් දැන් අසන්නේ අලුත්ම ප්‍රශ්නයකි. ඒ එල්ලුම් ගහට නියම වී සිටින කාන්තාව ගැනය. කාන්තාවන් සඳහා ද මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුවහොත් ඇගේ නම ද ඉතිහාස ගත වන්නේය.
‘කාන්තාවෝ එල්ලන්නේ නැහැ නේද?’
මරණීය දණ්ඩනයට නියම වී සිටින කාන්තාවගේ නම හෙළිවීමත් සමඟ කවුරුත් කියන්නට වූ කතාව එයයි. සැබැවින්ම අතීතයේදී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වුව ද කිසිම විටෙක කාන්තාවක එල්ලා මරාදැමුණු බවට කොතැනකවත් සඳහන් නොවේ . එය එසේ වුවද මේ ලියන මොහොත වන විට වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහට නියම වී සිටින කාන්තාවන් සංඛ්‍යාව හතළිස් දෙකකි. ඒ අතරින් අභියාචනා ඉදිරිපත් කර සිටින සංඛ්‍යාව තිස් හතකි. මරණීය දණ්ඩනයට නියම වී සිටින සංඛ්‍යාව පස් දෙනකු වන අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින සංඛ්‍යාව දහඅටකි.
මත්ද්‍රව්‍ය වැරදි සඳහා නැවත නැවතත් වැරදිකරුවන් වීමෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින දහ අට දෙනා අතර මේ වන විට කාන්තාවක් ද වේ.
‘කවුද ඒ කාන්තාව ? ’
කා අතරත් ඇත්තේ කුතුහලයකි.
( විවිධ මාධ්‍ය මගින් ඇගේ නම පමණක් නොව මරණීය දණ්ඩනයට නියමව සිටින දහඅට දෙනාගේ නම් ද ප්‍රසිද්ධ කර ඇත. නමුදු අපි මෙහිදී ඇගේ නම සඳහන් නොකරමු. )
සාමාන්‍යයෙන් අවුරුදු හතළිස් හතක් පමණ වයසැති ඇය පෙනුමෙන් වඩාත් තරුණය. මත්ද්‍රව්‍ය විකිණිමේ වරදට චෝදනා ලැබූ ඇය කලක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියාය. ඇය බන්ධනාගාර ගතවන්නේ තරුණ වියේදීය. මත් ද්‍රව්‍ය විකිණීමේ වරදට ඇයට මරණ දණ්ඩනය නියම වන්නේ දෙදහස් එකොළහ වසරේ මාර්තු පළමු වැනිදාය. කලක් ඇය කළුතර බන්ධනාගාරයේද සිටියාය.
දඬුවම් ලබා සිරගෙදරට පැමිණිය ද ඇය මත් කුඩු විකිණීමේ ව්‍යාපාරයට නැවතීම තබන්නේ නැත. "මං මේ විදිහට ජීවත් වෙන්න ඕන කෙනෙක් නෙමෙයි. මෙහෙම ජීවිතයක් මට අත් වුණේ මගේ මනුස්සයා හින්දා. කුඩු ගහන එකයි කුඩු විකුණන එකයි දෙකම ඇබ්බැහි වීමක්. ඒ ඇබ්බැහි වීමෙන් මිදෙන්න මට බැරි වුණා. හිර ගෙදර ආවත් මට කුඩු විකුණන එක නතර කරගන්න බැරි වුණා. එත් මම හිතුවා කවදා හරි මට නිදහස ලැබේවි කියලා. මට මගේ දරුවා ගැන දුකයි. එයා ලොකු වෙනවා දකින්න මම ආසයි. කොහොම උණත් දැන් මං මැරෙන්න නියම වෙච්චි කෙනෙක්. ඒක කොයිවගේ දෙයක්ද කියලා තේරෙන්නෙ මැරෙන්න නියම වෙච්චි කෙනෙක්ට විතරයි. මොනවත් කියාගන්න ඔළුවට එන්නෙ නෑ. මට එළියට යන්න ලැබුණොත් මම මගේ ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. මට ජීවිතේ වැරදුණා. ඒත් මාව නිවැරදි කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ගෙවුණ කාලේ ගැන හිතනකොට මගේ හිතට විශාල දුකක් පසුතැවිල්ලක් දැනෙනවා."
ඇගේ කටහඬේ ඇත්තේ හැඬුම්බර බවකි.
අඩු වයසින් මෙන්ම මැදිවියේ දී සිරගෙදරට එන බොහෝ කාන්තාවෝ අවසානයේ හිර ගෙදර තම ගෙදර කර ගනිති. ඔවුහු ජීවිතය එහිම ගෙවා දමන්නට හිත හදා ගනිති. ඇතැමුන් ජීවිතය සොයන්නේ සිර ගෙදරට පැමිණි පසුය.
අච්චු ලබා පැමිණි පසු කාටත් හිමි වන්නේ අංකයකි. අඳින්නට ලැබෙන්නේ සුදු රෙද්දක් හා හැට්ටයකි.
“හිරගෙදර කාටත් එකයි. හැමෝටම සලකන්නේ එක විදිහට.‘‘ හිරගෙදර බාර නිලධාරීන් කියන්නේ එලෙසය. කතාව එහෙම වුණත් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් බව කියන්නේ රැඳවියෝ. අතීතයේ පටන්ම හිර ගෙදර පිරිමි පැත්තේ පමණක් නොව කාන්තා පැත්තේ ද බොහෝ වංචා දුෂණ සිදුවිය . එකක් මත්ද්‍රව්‍ය වෙළෙඳාමය . අනෙක ජංගම දුරකථනය. මේ දෙකම එන්නට පෙර හිර ගෙදර හොර රහසේ වෙළෙඳාම් වූයේ බුලත් විට දුංකොළ සබන් කිරිපිටි ආදි දේය. ඒවායේ වටිනාකම වුයේ දවල් බතට ලැබෙන මාළු කෑල්ලය. එහෙමත් නැත්නම් ඇඟේ ගාන්නට ලැබෙන සබන් කෑල්ලය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලට අසූ ගණන්වලට වඩා දැන් තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. දැන් හිරගෙදර තොග පිටින් මත්ද්‍රව්‍ය මෙන්ම ජංගම දුරකථන අලෙවි වේ.
‘සියලු ආරක්ෂාව තිබේනම් කොහොම ද හොර බඩු ඇතුළට එන්නේ.?‘ කෙනෙකු එසේ ප්‍රශ්න නැඟීමට පුළුවන.
කාන්තා සිර ගෙදර එක් මායිමක් වන්නේ වනාතමුල්ල සීවලි පුර වෙන් කෙරෙන උස තාප්පයයි. කාන්තා හිර ගෙදර තාප්පයෙන් එපිට ඇති ලෝකය කුඩු ලෝකයකි. කාන්තා හිර ගෙදරත් වනාතමුල්ලේ කුඩු ව්‍යාපාරිකයනුත් අතර ගනු දෙනුව සිදුවන්නේ මේ තාප්පයෙන් එහා විවිධ සන්නිවේදන මාර්ග හරහාය. හිරගෙදර නෝනලා ඩියුටි එන යන වෙලාවල් හොඳින්ම දන්නේ සිරකාරියෝය. ඔවුන් ඒ ගැන සිටින්නේ බොහෝ සෝදිසියෙනි. මේ කාර්යය සඳහා කණ්ඩායමක්ම වෙයි. එකල ද මෙකල ද බන්ධනාගාරයේ නිලධාරි හිඟයක් තිබේ. මේ නිලධාරී හිඟයෙන් ප්‍රයෝජන ගන්නේ ඇතුළේ බිස්නස් කරන කරන කාන්තාවෝය. කලකට පෙර තාප්පයෙන් එහා මෙහා සන්නිවේදන මාධ්‍ය වූයේ ගල් කැටයක් හෝ විසිට් එකකදී නිවෙසින් ගෙන ආ ඇපල් කෑල්ලක් වැනි දේය. හිරගෙදර තාප්පයෙන් ඇපල් කැල්ලක් පිටතට යන්නේ ආරක්ෂාව හොඳ බව පෙන්වීමටය. එවිට තාප්පයෙන් හිරගෙට කුඩු පැකට් එකක් විසි කැරේ. නිලධාරිනියන් නැති හෙයින් කාන්තාව එය අහුලා ගනී. බැරිවීමකින් හෝ නිලධාරිනියක සීටි නම් කාන්තාව කුඩු පැකට් එක අහුලන්නට යන්නේ නැත.
කුඩු පැකට් එකට ගෙවන මුදල කුඩාවට රෝල් කර දමන්නේ කුණු කානුවටය. ඒ කානුව ගලන්නේ වනාතමුල්ලෙනි. එවිට ඔවුහු එය කානුවෙන් ගොඩ ගනිති. ඒ අයුරින් කාන්තා හිරගෙදරට කුඩු ලැබුණේ මීට දශකයකට දශක එකහමාරකට පමණ පෙරය. දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ඇතුළේ සිටින අයට කුඩු හා ජංගම දුරකථන එවන්නේ එළියේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. නමුදු එලෙස එවන්නේ වනාතමුල්ල පැත්තේ උස තාප්පයෙනි. පෙර ලෙසම තමන් සිටින ඉසව්ව, ආරක්ෂිත බව සියල්ල දැනුම් දෙන්නේ ගල් කැට හුවමාරු කර ගැනීමෙනි. සිර ගෙදර ඇතුළේ කීපදෙනෙකුම නෝනලා එන්නේ දැයි ඔත්තු බලන අතර අනෙක් අය බඩු ගැනීමට සුදානම්ව සිටිති. ඇතැම් විට කුඩු එන්නේ පාර්සල් පිටින්ය. තවත් විටෙක ජංගම දුරකථන කුඩු පැකට් එන්නේ සබන් බෝල ලෙසිනි. අත්දැකීම් නැති විට නිලධාරීන්ට මේවා එකවර හඳුනා ගැනීම අසීරුය.
‘‘ඔය මිනිස්සු මහ කපටියි. සබන් වතුරේ පොඟවලා ඊට පස්සේ බෝලයක් හදලා ඒක ඇතුළට කුඩු පැකට් හා සිම් කාඩ් දානවා. ඉන් පස්සේ ඒ සබන් බෝලේ බිම දාලා වැලි ගල් බොරලු අතුල්ලනවා. ඒක දකින කෙනෙකුට හිතෙන්නේ මේ තියෙන්නේ බොරලු කැටයක් හරි වැලි එකතුවක් හරි කියලා. වනාතමුල්ල පැත්තෙන් ගෑනු හිරගෙදර ඇතුළට කුඩු විසී කරන්නේ එහෙමයි. දැන්නම් ඉතින් පාර්සල් පිටින් තමයි බඩු එන්නේ. “ අත්දැකිම් සහිත නිලධාරිනිය පැවැසුවේ තොරතුරු සොයා ගිය ගමනකදීය.
හිරගෙදරට හොර බඩු ගෙන එන මාර්ග බොහෝය. එක් කාලයක කාන්තාවක් සිය රහස් ප්‍රදේශයේ සඟවාගෙන ජංගම දුරකථන එකක් නොව දෙකක්ම සිරගෙදර ඇතුළට ගෙන ආවාය. ඒ ගෙන ආවේ උසාවියට ගොස් එන ගමනේදීය. සෝදිසි කිරීමේදි එක් දුරකථයනක් හමු වූවද අනෙක හමුනොවීය. එම සොයාගත නොහැකි වූ දුරකථනය බඩට යන්නට ඇතැයි සිතා ඇය රෝහල්ගත කෙරිණි. නමුදු සිදුව ඇත්තේ ඇය සියල්ලන්ම මුලා කොට ඒ ජංගම දුරකථනය ද සඟවා ගැනීමය. පාන් ගෙඩියේ මැද හාරා ඒ මැද මත්ද්‍රව්‍ය හෝ කුඩු සඟවා ගෙන එන අතර කලක් විසිට් එන ඥාතීහු හා යහළුවෝ බත් පාර්සලයේ බටු ගෙඩියේ හෝ මාළු මිරිස් කරලේද සඟවා මත්ද්‍රව්‍ය ගෙන ආහ.
අද වන විට හිර ගෙවල්වල වැඩිපුරම සිටින්නේ මත්ද්‍රව්‍ය චෝදනාවන්ට දඬුවම් ලැබුවෝය.
කාන්තාවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවුණ ද දැන් මරණීය දඬුවම නියමව සිටින කොයි ගැහැනියත් සිටින්නේ භීතියෙනි.
“එල්ලුම් ගහට නියම වෙච්ච මම මැරී මැරී ජීවත් වෙනවා. “ මරණ දඩුවම නියම වී වසර ගණාවක් සිරගතව සිටි සිරියා කලකට පෙර මා සමඟ පැවැසුවාය. ඇගේ වදන් මේ දැනුත් ඇසෙන්නා සේය. මරණීය දණ්ඩනයට නියම වූ විට කෙනෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය ඇත. එය පෞද්ගලිකව හෝ බන්ධනාගාරය මගින් සිදු කරනු ඇත.
තම සැමියාගේ අනියම් බිරිය මැරීමේ වරදට මරණීය දඬුවම් නියම වූ සිරියාද අභියාචනයක් ඉදිරිපත් කළාය . ඇයට ඉන්ද සහනයක් නොලැබිණි. අවසානයේ ඇය සිරගෙදර දවස ගෙවූයේ වේදනාවෙනි. දුකෙනි. මේ නිසා ඇගේ රෝගී තත්ත්වයන් උත්සන්න විය. ඇය කවිකාරියකි. ඇය තම සැමියාට හා දරුවන්ට සිරගෙදර සිට කවි ලියුවාය. දියවැඩියා රෝගය උත්සන්න වීමෙන් අවසානයේ ඇය මිය ගියාය.
සිරියාවැන්නවුන් සිරගෙරදර ජීවත් වන්නේ මැරී මැරීය. එය එසේ වුවද සිරගෙදර කුඩු විකුණන මෙන්ම වෙනත් වංචනික කටයුතු සිදු කරන අය බොහෝය.
මේවාට වැට බැඳෙන්නේ කවදාද?
සිරගෙදර කාන්තා රැඳවියන් ඔවුන්ගේ ලෝකය සිරගෙදර තුළ හදාගෙන අවසානය. වාට්ටුවේ නිදන්නට තිබෙන බිම් කඩ ඇතැමෙකු වෙන්කර ගෙන ඇත්තේ මෙගා වගුර බෝතල්වලිනි. ඇතැමෙක් ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යති. මේ ප්‍රේම සම්බන්ධතා වුව දරුණු වන්නේ එයට තුන්වැන්නකු මැදහත් වූ විටය. එවිට එය ගහ මරා ගන්නා තරමට දුර යයි.
මෙවැනි විෂමාචාරී සබඳතා නතර කිරීමේ හැකියාවක් බන්ධනාගාරයට නොමැතිය. නමුත් සිරගෙදර කුඩු මෙන්ම ජංගම දුරකථන භාවිතය නතර කිරීමේ හැකියාව බන්ධනාගාරයට තිබිය යුතුය.
‘‘කොහොමද එහෙම කරන්නේ. හිරගෙදර තාප්පයෙන් එහා තියෙන්නේ අමුතු ලෝකයක්. ඔය කියන වනාතමුල්ල පැත්තේ ඉන්නේ කුඩු ව්‍යාපාරිකයෝ. උන් කොහොම හරි මේ පැත්තට බඩු දානවා. ඒ පැත්තේ තියෙන කුඩු නතර කරන්නේ නැතිව කවදාවත් හිරගෙදර ඇතුළේ කුඩු නතර කරන්න බෑ. අනිත් එක තමයි කාලයක් තිස්සේ හිරගෙදරට නිලධාරීන් අඩුයි. නිලධාරීන් ඩියුටි ගියාම ආරක්ෂාවට නිලධාරීන් නැහැ. ඇතුළේ ඉන්නේ දෙන්නයි තුන්දෙනයි. ඒ අය කොහොමද මේ රාජකාරිය කරන්නේ?“ හිරගෙදර දූෂණ නතර කළ නොහැකිදැයි යන ප්‍රශ්නය නැගූ විටෙක ඉහළ නිලධාරියෙක් පැවසීය.
කොහොම වුණත් සුන්දරයැයි, ළදබොළඳ යැයි කියනා ගැහැනිය මේ තරම් සටකපටදැයි කියා හිරගෙදර සිටින කාන්තාවන් ඇසුරු කරන විට සිතේ. එහි සිටින හැම ගැහැනියකම එසේ නොවුණද එක මකුණකු කෑ විට සියලු මකුණන් මැරීමේ න්‍යායක සිටින අප අද වනවිට මේ කොයි ගැහැනිය ද දකින්නේ එක ලෙසිනි.
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ