
මෙම ලිපියේ පළමු කොටස ජූලි 01 වන දින පළවිය.
රුවන්වැලි සෑ දාගැබ නැවත ගොඩනැගීම සඳහා ගඩොල් කෝටි අටකට වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය විය. මෝටර් රථයක් රුපියල් හාරදහස් පන්සියයකට අලෙවි වුණු වකවානුවක රුපියල් ලක්ෂ එකොළහක මිලක් ඒ සඳහා වැයකළ යුතුව තිබිණි. එහෙත් මේ ප්‍රතිසංස්කරණය අතගසා සිටි විසිතුන් හැවිරිදි තරුණ හිමිනම සතුව අලුක්කාලක සල්ලියක් තිබුණේ නැත. උපකාර කළ හැකි සහචර සද් පුරුෂයෙක් සිටියේ ද නැත. මෙය ප්‍රායෝගිකව කල්පනා කළහොත් උමතුවකට නොදුරු සිතිවිල්ලකි. එහෙත් නාරන්විට සුමනසාර හිමියන් ඒ කාර්යය සඳහා අතගසා සිටි විශ්වාසනීය ආකාරය සුදු පාලකයන් තිගස්වන සුළු විය.
ඒ වර්ෂ 1872ය. වන සතුන් සරණ කැලෑවක් බඳුව තිබූ අබෞද්ධ අනුරාධපුරයේ දානයක් පිළිබඳ අදහසක්වත් නැති පරිසරයක, පුළුස්සා ගත් රොටියකින් සැනසෙමින්, කරත්ත අඹරාවක් යට තනාගත් මඩුවක වැඩ හිඳ සුමනසාර හිමියෝ හුදකලාවම ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණහ. තරුණ හිමිනම අභියස තිබෙන්නේ සියවස් ගණනක මහා ගාරාවැටීමේ සුන්බුන්ය. ඒවා ඉවත් කරමින් සලපතල මළුව පාදාගැනීම මූලික කටයුත්ත වී තිබිණි.
මේ වකවානුව වනවිට අනුරාධපුරයේ පැවැති පරිසරය ඉංග්‍රීසීන්ව මහත් පීඩාවට පත් කර තිබුණේය. හාත්පස නටඹුන් බිම වසාගත් ඝර්ම කලාපික වන දහන මැසි මදුරු උවදුර තීව‍්‍ර කළේය. මේ තත්ත්වය නිසා විටෙක අනුරාධපුර කච්චේරියේ සේවය කළ ආණ්ඩුවේ නිලධාරීන් වසර කීපයක් ඉන් ඉවත් කර තැබිණි. ශ්‍රී මහාබෝධියට නුදුරින් තනාගත් මේ සේවා ස්ථානය නිරීක්ෂණයට වර්ෂ 1872 දී හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ගිය පසු වසර පහක් කිසිම ආණ්ඩුකාරවරයෙක් ගොස් තිබුණේ නැත. හාත්පස කැලෑව කපා ඉවත්කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් ප්‍රතිපාදන ලබා නොදීම එවකට සිටි සුදු ජාතික නිලධාරීන් ස්වකීය වාර්තාවල ලියා තැබුවේ විවේචනාත්මක ස්වරයෙනි.
මෙවැනි වටපිටාවක රුවන්වැලිසෑයේ කටුකොහොල් හැර හාත්පස වනදහන එළිපෙහෙළි කරමින් අතීත පුදබිම ගෞරවාන්විත තැනක් කරමින් සිටිනා මේ අසාමාන්‍ය භික්ෂුව සම්බන්ධව අනුරාධපුරයේ ඉංග්‍රීසි උප ඒජන්තවරු විස්මිතව බලාගෙන උන්හ. හාමුදුරුවන් මේ හිතේ හයියෙන් කරන්නේ පවුම් දහස් ගණනකින්වත් කරගත නොහැකි ආණ්ඩුවේ වැඩකි. මේ පුදුමාකාර කටයුත්ත සියැසින් දැකගැනීමට විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා වර්ෂ 1876 පෙබරවාරි 15 වැනිදා රුවන්වැලි සෑය වෙත පැමිණියේය. දුටු දෙයින් හේ විශ්මයට පත්විය. වසර කිහිපයක් තුළ ආණ්ඩුවකට නොකළහැකි වැඩ කොටසක් එවකට විසි හත් වූ හැවිරිදි තරුණ භික්ෂුකගේ හුදකලා නායකත්වය යටතේ සිදුවී තිබිණි. විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා තමන් විසින් 1877 දී කැණවෝන්හි ආදිපාදවරයා වෙත අනුරාධපුර පුරාවිද්‍යා කටයුතු පිළිබඳ යැවූ වාර්තාවේ තැනෙක මේ විශ්මය ඒ අයුරින්ම ලියා තැබීමට කටයුතු කළේය.
‘‘ හුදෙක් පින් රැස්කිරීම පතා එක් තරුණ භික්ෂුවක් තම මුළු කාලයම කැප කරමින් වර්ෂ 1873 ට පෙර සුවිසල් ගඩොල් සහිත පස්කන්දකව පැවැති රුවන්වැලි සෑය එළිපෙහෙළිකොට ප්‍රතිසංස්කරණය කිරීමට දැරු උත්සාහය නිසා ඉතා වටිනා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත කෞතුක භාණ්ඩ රැසක් රුවන්වැලි සෑය අසලින් හමුවී තිබේ. ඒ භික්ෂුව රුවන්වැලි සෑය එළි පෙහෙළි කිරීම සහ එහි ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ කිසිම මුදලක් අතැතිව නොවේ. උන්වහන්සේ අනුරාධපුරයේම උපන් එහිම හැ දී වැඩුණු පුද්ගලයෙක් ද නොවේ. එහෙත් සාර්ථකත්වය ලබා ගැනීමට ක්‍රියා කිරීම සඳහා ඔහු තුළ වූ ආත්ම විශ්වාසත්, දෘඪ උත්සාහයත් පෙරදැරිකොට ගෙන ඒ කාර්යයට අත ගසා වැඩ කටයුතු කරගෙන යනු දුටු රට වැසියෝ ඒ සඳහා කිසියම් ප්‍රමාණයකින් ආධාර කිරීමට පටන් ගත්තෝය. මා එහි ගිය සෑම අවස්ථාවකදීම පුද්ගලිකව මුදලින් ආධාරයක් කිරීමටවත් කාර්යයමය දිරිගැන්වීමක් කිරීමටවත් අවකාශ නොතිබිණි. මට කළ හැකි එකම දෙය වූයේ උන්වහන්සේ ඉටු කළ සේවය ඉතා අගයකොට සහතික නිකුත් කිරීමක් පමණි. දාගැබේ පාදම එළි පෙහෙළිකොට ඒ කොටස සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියටම ගෙන යමින් සිටී. අතිශය සීමිත මුදලක් යොදවමින් මේ සා කෙටි කාලයක් තුළ උන්වහන්සේ කර ඇති වැඩකොටස විශ්මය ජනකය. චෛත්‍යය ගරාවැටුණු කොටස එළිපෙහෙළි කිරීමේදීත් ගරා වැටී තිබූ පස් කඳු කපා ඉවත් කිරීමේදීත් මුදු, ආබරණ, සහ කාසි සැලකිය යුතු ප්‍රමාණයක් සොයාගෙන ඒ සියල්ලම ආණ්ඩුවට භාර දී තිබේ.’’ විලියම් ග්‍රෙගරි විටෙක මේ ව්‍යාපාරයට ස්වකීය පුද්ගලික මුදලින් රුපියල් දහසක් පරිත්‍යාග කළේය.
කේන්ද්‍රීය ජාතික ව්‍යාපාරය
වර්ෂ 1879 වනවිට රුවන්වැලි සෑය යළි ගොඩනැගීමේ ව්‍යාපාරය ලංකාවේ කේන්ද්‍රීය ජාතික ව්‍යාපෘතිය බවට පත්වන ආකාරය එවකට ආණ්ඩුවේ ඒජනත්වරයා ලෙස අනුරාධපුරයේ කටයුතු කළ ඩික්සන් විසින් ආණ්ඩුවට වර්තා කරන ලදී. 1879 මැයි මාසය වනවිට අති මහත් වැඩකොටසක් ප්‍රසංශනීයව නිම කරන්නට නාරන්විට සුමනසාර හිමියන්ට හැකි වූ ආකාරය ඩික්සන් ලියා තැබුවේය. ඩික්සන්ට අනුව මේ ව්‍යාපාරයට වන්දනාකරුවන් විශාල වශයෙන් පරිත්‍යාග කිරීම් කර තිබිණි. ඒ නිසා ආණ්ඩුවට සුළු වශයෙන්වත් චෛත්‍ය කර්මාන්තයට ආධාර කිරීමට සිදු විය.
වර්ෂ 1902 පමණවනවිට පුරා තිස් වසරක අඛණ්ඩ උත්සාහයකින් අනතුරුව සුමනසාර හිමියන් චෛත්‍යය වටා මුළුමනින්ම සුද්ද කර තිබිණි. දාගැබ වටා චෛත්‍ය බැම්ම අඩි 45 දක්වා උසට ගොඩනැන්වීමට සමත්ව තිබිණි. මේ සා දැවැන්ත ව්‍යාපාරයක දී තනි පුද්ගල උත්සාහයක් ලෙස යා හැකි දුරෙහි ප්‍රමාණය පිළිබඳව සුමනසාර හිමියන්ම මේ වනවිට අවබෝධකරගෙන සිටියහ. ඒ වනවිට උන්වහන්සේ පිරුණු පනස් තුන් හැවිරිදි වයස් වූහ. චෛත්‍ය සංවර්ධන කටයුතු ක්‍රමවත්ව හා සීඝ‍්‍රව සිදු කිරීමත් තමන්ගේ ජීවිත කාලය තුළ තමන්වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කළ උත්සාහයේ ප්‍රතිඵල දැකීමටත් නොනිත් ආශාවක් සුමනසාර හිමියන් තුළ තිබිණි. මේ වනවිට අනගාරික ධර්මපාලතුමන්ගේ ප්‍රධානම අනුගාමිකයා වූ වලිසිංහ හරිශ්චන්ද්‍රයන් අනුරාධපුරයේ බෞද්ධ උරුමය මතුකිරීම සඳහා ක්‍රියාකාරීව මැදිහත්වී සිටියේය. රුවන්වැලි සෑයේ සංවර්ධන කටයුතු පුළුල් කිරීමේ අභිලාෂය සහිතව ඔහු සමඟ එක් වී නාරන්විට සුමනසාර හිමියෝ 1902 අගොස්තු 19 දා අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම පිහිටවනු ලැබුවේය. සමිතියේ අනුශාසකවරයා වූයේ සුමනසාර හිමියන්ය.
මෙම චෛත්‍ය සංවර්ධන ව්‍යාපාරය ජාතික ව්‍යාපාරයක ඇති බර සහිතව රට පුරා ව්‍යාප්ත විය. ගම් දනව් මට්ටමින් සංගමයේ ශාඛා පිහිටුවනු ලැබිණි. අම්බලන්ගොඩ, හංචාපොල වැනි ගම්වල චෛත්‍ය සංවර්ධන සංගමයේ ශාඛා අතිශයින් ක්‍රියාකාරී මට්ටමේ පැවතුණි. සංවිධානය වූ බැතිමත්හු සමූහ පිටින් අනුරාධපුරයට පැමිණ උත්සවාකාරයෙන් ගඩොල් බඳිනු ලැබූහ. මේ සමඟ සංගමයේ අයවැය ලේඛන ප්‍රසිද්ධ කිරීමටත්, චෛත්‍ය සංවර්ධනයේ තොරතුරු යාවත්කාලීන කිරීමටත්, චෛත්‍ය ගොඩනැගීම සීඝ‍්‍ර කිරීම සඳහා මහජන ආධාර ලබා ගැනීමටත් පුවත්පතක් ආරම්භ කිරීමට සංගමය කටයුතු කළේය. එය ‘‘සිරි අනුරපුර පවත’’ නම් විය. එය ආරම්භ වන්නේ වර්ෂ 1909 අගෝස්තු මසය. ඒ වනවිට සුමනසාර හිමියන් මෙම චෛත්‍ය කර්මාන්තය ආරම්භ කර වසර 38 ගතවී තිබිණි.
මේ අවධිය වනවිට අනගාරික ධර්මපාලතුමා විසින් නිර්මාණය කළ මහාබෝධි සමාගමට වඩා වැඩි ආකර්ශනයක් සහිතව රුවන්වැලි සෑ චෛත්‍ය වර්ධන සංගමය දියත් කළ ව්‍යාපාරය ගම් දනව්වල ජන හදවත්වලට දැනෙමින් පැවතිණි.
තවත් කොටසක් ලබන සතියේ