
හීන කියන්නේ තනි තනිව දකින ඒවාය. ඒ නිසාම නානාවිධ අයගේ හීන එකකට එකක් වෙනස් වෙයි. සමහර හීන හැබෑ කරගන්නට බැරි වුණත් බලන්නට ආසය.
රෝද හතර උඩ මාලිගා ගැන හීන ද මීට වෙනස් නොවේ. තුන් තිස්පැයේ හීන දැක වාහන ගැන හීන සැබෑ කරගත් අයට තම තමන්ගේ අත්දැකීම් ගැන කියන්නට බොහෝ දේ තිබේ. එක වගේ කුරුල්ලෝ එක ඉත්තක වසන්නා සේ එක විදියේ වාහනවලට කැමති පිරිස් ගොනුවෙන අලුත්ම තැන සමාජ මාධ්‍යයේ කාර් ක්ලබ් සාමූහිකයි. මෙය අලුත්ම පන්නයේ සමාජ මාධ්‍ය භාවිතාවකි.
ශ්‍රී ලංකාවේ තැනැත්තන් මෙහෙයවන ඇසුරු සාමාජිකයන් ගණන දහස ඉක්මවූ, දිනපතා යාවත්කාලීන වෙන තත්වයේ කාර් සංගම් පිටු දහ - පහළොවක් තිබේ. ඒ සංගම්වලට බැඳෙන්නේ ඒ ඒ වර්ගවල කාර්වලට ආදරේ කරන අයයි. කාර් රථයක් මිලදී ගන්නට කලින් එහි ගුණදොස් ගැන දැනගන්නත්, මිලදී ගත් පසුව පොදු අත්දැකීම් බෙදාගන්නත් මේ කාර් සාමූහිකවලින් ලැබෙන්නේ අපූරු සහයෝගයකි.
ෆේස්බුක් සමාජ ජාලයේ මේ බොහෝ කාර් සාමූහික closed group හැටියට පවත්නා අතර ඒවායේ පළකිරීම් බලන්නට නම් එම පිටුවේ සාමාජිකත්වය ලබාගත යුතු වෙයි. ඇතැම් කාර් සාමූහික විවෘත ඒවා වන අතර ෆේස්බුක් හි සැරිසරන ඕනෑම කෙනෙකුට ඒවායේ පළ කිරීම් දකින්නත් කියවන්නත් පුළුවන්කම තිබේ.
Honda Club, කාර් පිස්සුව, VagonR owners club, classic car club of Ceylon, Mighty mini club, Italian car lovers club, Old car lovers club, Corolla KE10 to KE55 club ආදී එකී නොකී ෆේස්බුක් සාමූහිකයන් රැසක් ගැන අපි කලක් තිස්සේ තොරතුරු රැස් කළෙමු. මේවා ඇතැම් විට ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගෙන සමාජ මාධ්‍යයේ වෙළඳපොළක් නිර්මාණය කරගන්නා ඒවා වන අතර ඇතැම් විට ව්‍යාපාර ගැන හැර, වාහන භාවිතයේදී ඇති වෙන ගැටලු ගැන සංවාද ගොඩනගන සමාජ සබඳතා ගොඩනගන අරමුණින් ක්‍රියාත්මක වෙන ඒවාය.
කොහොම වෙතත් මේ හැමෝම යකඩවලට ආදරේ කරන අය බව නම් ඇත්තය. පරණ කාර්වලට ආදරේ කරන තිස් දහසක් දෙනා එකතු වී සිටින Old Car Lovers Club ෆේස්බුක් සාමූහිකයේ නිර්මාපක ක්‍රිෂාන් ළහිරු සමග මුලින්ම අපි කතාබහකට පිවිසීමු. අපට දැනගන්නට බොහෝ දේ වූයේය. ඔහු කතාව පටන් ගත්තේ අතීතයෙනි.
"මට නම් පරණ කාර් එකක් පාරෙ යනවා දැක්කත් උන් හිටි තැන් අමතක වෙනවා. ඒ තරමට මම පරණ කාර්වලට කැමතියි. ඒවායේ ආකෘතියම දැන් නවීන කාර්වලට වඩා හරි වෙනස්. ඇත්තටම මම කැමති ඒ වෙනසටයි. හරියට හොඳ පරණ පෙම්වතියක් වගේ.."
"මේ ෆේස්බුක් සාමූහිකය හැදුවෙ අපි යාළුවො හතර පස් දෙනෙක් එකතු වෙලයි. ඇත්තටම විනෝදයට කරපු වැඩක්. ඒත් අද ඉන්න සාමාජිකයන් ප්‍රමාණයත් එක්ක වැඩේ ලොකු වැඩක් බවට පත්වෙලා තියෙනවා. ඒගැන සතුටුයි. මොකද අපේ සාමූහිකයේ හැමෝටම පරණ කාර් එකක් නෑ. ඒත් හැමෝම ඒවා ගැන කතා අහන්න, රූප දකින්න, අත්දැකීම් බෙදා ගන්න හරි ආස අය"ඇත්තටම කිව්වොත් ලංකාවේ දැන් පරණ කාර් පිස්සුවක් තියෙනවා. ඒවා තව දුරටත් ගරාජ්වල දිරාපත් වෙන්න වුවමනා නෑ. මේ උනන්දුව නිසාම පරණ කාර්වල වෙළඳපොළ වටිනාකමත් ඉහළ ගිහිල්ලා. කන්ඩිෂන් අඩුම වාහනේකුත් දැන් ලක්ෂ දෙකහමාරක්වත් වෙනවා. ඒ ඒ වාහනවල විශේෂතා අනුව ලක්ෂ 15 - 16 වගේ මිලට පරණ කාර් විකිණෙන අවස්ථාත් තියෙනවා."
පරණ කාර් වර්ග සියල්ලටම නැතත් ටොයොටා කොරොල්ලා කේ.ඊ පවුලේ මෝටර් රථ ගැන උනන්දු අයට තවත් ක්‍රියාකාරී ෆේස්බුක් සාමූහිකයක් තිබේ. ඒ KE 10 to 55 Club පිටුවයි. ඇතැම් විට බොහෝ පිරිසක් මේ සංගම් දෙකේම සාමාජිකත්වය දරති.
ඒ පිටුවේ නිර්මාතෘ ලලිත් ඩිල්ෂාන්ට අප සමග කියන්නට තිබුණේ මෙවන් කතාවකි.
"මම මීට ටික කාලෙකට කලින් KE 20 කාර් එකක් ගත්තා. ඒක හරියට හදාගන්න මහන්සි වෙනකොට හුගක් මිනිස්සු මට හිනා වුණා. මම ලැජ්ජා වුණා. ඇත්තටම හරියට උපදෙසක් ගන්නවත් අදුනන කෙනෙක් හිටියේ නෑ. කාර් එක හදාගන්න මහන්සි වුණත් මම ඒ වෙද්දී දැනගෙන හිටියේ යාන්තම් ඇණයක් ගලව ගන්න විතරයි.
ෆේස්බුක් සාමූහිකයක් හදලා මම දැනුම තියෙන අයගෙන් උපදෙස් ගත්තා. මගේ කාර් එක අලුත්වැඩියාවට ඕනෑකරපු අමතර කොටස් හොයාගන්න පුළුවන් තැන් ගැන මට එතැනදි හුගක් අය කියාදුන්නා. ඉතින් ඒ සේවය මම වගේම අසරණ වුණු තවත් කෙනෙකුට ලැබෙනවා දකින්නයි මම මේ සාමූහිකය වෙනුවෙන් කැපවෙන්නේ"
"මෙහෙම මිත්‍රත්වය ගොඩනැගෙන කොට අපි එළියේ හමුවෙලා අඳුනගෙන කතා බහ කරන්නත් වුණා. අපි තම තමන්ගේ කාර් අරගෙන එන්න කියලා පොඩි රැලියක් සංවිධානය කළා. ඒ මුල්ම රැලියට කේ.ඊ කාර් අරගෙන පහළොස්දෙනෙක් ආවා. ඊළග රැලියට 28 දෙනෙක් ආවා. තුන්වෙනි රැලියට පරණ කේ.ඊ කාර් 68ක් ආවා. අපි මේ සංගමයේ හතරවැනි කාර් රැලිය සහ රැස්වීම සැප්තැම්බර් මාසේ 23 වැනිදා බණ්ඩාරගමදී පවත්වන්න සූදානම් වෙනවා. අපේ ෆේස්බුක් පිටුව කොච්චර දියුණුයිද කියනවා නම් මේ වතාවෙ රැලියට ඕස්ට්‍රේලියා ජාතිකයන් පවා සහභාගි වෙනවා. "
ඔවුන් විසින් මේ අන්තර්ජාලයේ පිහිටෙන් නිර්මාණය කරගෙන තිබෙන්නේ අපූරුම වේදිකාවකි. නමුත් එහි කිසිදු සාමාජිකයෙකුට කාර් අලෙවිය හෝ අලුත්වැඩියාව ගැන ව්‍යාපාරික දැන්වීම් පළ කරන්නට අවස්ථාව දී නැත්තේ කූට වෙළඳපොළක් නිර්මාණය කරගන්නටත්, ඒ නිසාම සාමාජිකයන් අමාරුවේ වැටෙන්නටත් ඇති ඉඩප්‍රස්තාව නිසාය. හිතවත්කමට වැඩක් කරගන්නට පුළුවන් තැන් ගැන සංවාද කිරීම සහ තම තමන්ගේ නිර්මාණ ගැන තොරතුරු පළ කිරීම පමණක්ම මේ පිටුවේ සිදුකෙරේ.
ලලිත් අපට පැවසූ පරිදි ඔවුන්ගේ සාමාජිකයන් එකිනෙකා සතුව කොරොල්ලා කේ.ඊ වර්ගයේ ක්ලැසික් කාර් සියල්ලම පාහේ ඇත. "පරණ කාර් ගැන දැන් මිනිස්සුන්ගේ ආකල්ප හුගක් ලස්සනයි. මාකට් එකත් ඉහළයි. අපේ අය හැමෝම කැමති පරණ කාර් මොඩිෆයි කරන්නේ නැතුව ඒවායේ ඔරිජිනල් පෙනුම පවත්වා ගන්නවාටයි. මොඩිෆයි කරනවා කියන්නේ විකෘති කිරීමක් නිසා එවැනි කාර්වල වටිනාකමත් අඩුවෙලා.
හොඳ කතාවක් කියන්නම්කො. එක්දාස් නවසිය හැත්තෑව අවුරුද්දේ නිෂ්පාදනය කරපු KE20 කාර් එකක් ලංකාවේ වෛද්‍යවරයෙක් මේ ළඟදී මිලදී ගත්තා. ඒකෙ ඇන්ජින් කැපෑසිටිය 1400. එදා එන කොට තිබුණු ඔරිජිනල් වායුසමන පද්ධතිය පවා එහෙමම හොඳින් වැඩ කරන නිසා ඒ කාර් එකට ලොකුම වටිනාකමක් ලැබුණා. කේ.ඊ කාර් කියන්නෙ ජපනා මෝඩයා කාලේ හදපු කාර් එක කියලත් කියනවනෙ. මොකද ඒවායේ කොටස් තාමත් ඉතාම හොඳට වැඩ කරනවා. කිසිම ආබාධයක් නැතුව! අපි මේ උත්සාහ කරන්නේ පරණ කාර් ටික සංරක්ෂණය කරන්නයි. "
කේ.ඊ කාර් අලුත්වැඩියා කරන්න ලංකාවෙන් කොටස් හොයාගන්න බැරි වුණාම අපේ ෆේස්බුක් පිටුවේ විදෙස්ගත මිතුරන් හරහා අපි කොටස් හොයා ගන්නවා.සමහර වෙලාවට මෙහෙන් අමතර කොටස් එහෙ යවනවා."ඔහු පැහැදිලි කළේය. We are old, But better than you..යන්න ඔවුන්ගේ තේමාවයි.
මෑත කාලීනව ලංකාවට සුලබ ලෙස ආනයනය කළ මෝටර් රථ මාදිලියක් වනුයේ Suzuki Wagon R රථයයි. ජපානයෙන් ගෙන්වන මේ මාදිලියේ වහනවල හිමිකරුවන් ද සක්‍රීය ලෙස මුහුණු පොතේ රොදබැඳගෙන දැනුම, අත්දැකීම් බෙදාගන්නා බව අපි දුටිමු. WagonR Owner's Club Sri lanka යනු ඔවුන්ගේ ෆේස්බුක් සමූහයේ නමයි. එහි නිර්මාතෘ ඔසඳ මනුජිත් විජේසූරිය පවසන්නේ කෙටි කලක් තුළ වැඩ ගොඩක් කරන්නට සිය සාමූහිකය සමත් වී ඇති අයුරු විස්මය ගෙන එන බවය.
"අපි 2016 දී තමයි මේ වැඩේ පටන් ගත්තේ. වැගන් ආර් රථය සම්බන්ධයෙන් ඒ කාලේ ගරාජ්වල කාර්මිකයො වුණත් වැඩිය දැනගෙන හිටියෙ නෑ. අපටත් වුවමනා උනේ අපි ගෙන්වපු වාහනය ගැන හරි තොරතුරු සහ දැනුම හොයාගන්නයි. මොකද මේක ගැන තොරතුරු සියල්ලම කියවන්න තිබුණෙත් ඒකාලේ ජපන් බසින් විතරයි. ඉතින් අපේ ෆේස්බුක් සාමූහිකයේ ඉන්න විවිධ වෘත්තීන්හි නිරතවෙලා ඉඳපු අය තම තමන් හොයාගත් දැනුම බෙදා ගත්ත. 2017 සැප්තැම්බර් මාසෙදී අපේ පළමු හමුව පැවැත්වුණා. වැගන් ආර් කාර් ලංකාවට ගෙනවන නිල ඒජන්තවරුන් වන ඒ. එම්. ඩබ්ලිව් එකෙනුත් ආවා. ඒ අයගෙන් හැමෝම නොනවත්වා ප්‍රශ්න අහමින් දැනුම ලබාගත්තා. එහෙම තවත් වතාවක් අපි හමුවුණා. හමුවට එන අයගෙන් මුදල් අය කිරීමක් කරේ නෑ. මොකද අපට අනුග්‍රාහක හිතවතුන් ඉදිරිපත් වෙලා හෝටල් පහසුකම්, තෑගි භාණ්ඩ, කෑම බීම ආදිය ලබාදෙනවා. අපි දැන් සංගමයේ ක්‍රියාකාරිකයන්ට සාමාජික හැඳුනුම්පත් පවා නිකුත් කරලා තියෙනවා.
ඒ හමුවට එන අයට වාහන සම්බන්ධ අඩු මිල සේවා සඳහා වරප්‍රසාද රැසකුත් තෑගිබෝගත් දෙනවා. 2018 අගෝස්තු 12 වැනිදා අපි තුන්වැනි හමුව කඩවතදී පවත්වනවා. ඒ වෙනුවෙන් මේ දවස්වල කටයුතු සංවිධානය කරමිනුයි ඉන්නේ.." ඔසඳ විස්තර කළේය. රෝද හතරේ හීනවල සමානකම නිසා මුහුණු පොතේ ගොඩනැඟුණු යාළුකම් දැන් පවුල් සවාරි යන තරමටම සවිමත් බැඳීම් බවට පත්ව ඇති බවද ඔසඳ කියයි.
මේ අයුරින් මුහුණුපොතේ ක්‍රියාත්මක වෙන නානා මාදිලිවල වාහන හිමිකරුවන්ගේ සංගම් සියල්ලම ගැන මෙහි අකුරු කිරීම පහසු නැත. මුහුණු පොත නොයෙක් සමාජ අකටයුතුකම් සඳහා තෝතැන්නක් බව අද සුලබ චෝදනාවකි. නමුත් මෙවැනි යහපත් එකමුතුවීම් සඳහා ද මුහුණුපොත වේදිකාවක් බව අමතක කළ යුතු නැත. එළඹසිටි සිහියෙන් කටයුතු කළොත් එමඟින්ද පහසුකම් රැසක් සලසා ගන්නට පුළුවන්කම ඇත. ඉහත සියලු කතා ඊට සාක්ෂි සපයයි.