කළු ගලක් මොළොක් කළ මාලි­ගා­තැන්න වන සෙන­සුන | සිළුමිණ

කළු ගලක් මොළොක් කළ මාලි­ගා­තැන්න වන සෙන­සුන

තවත් තැනක මඟ නැගී ඇත්තේ ගුහා­වක් ඇතුළ­තින්ය. මේවා හිතට නුහුරු ය. නෙතට නුපු­රුදු ය. නව අත්දැ­කීම් එකතු වන්නේ එවිට ය. අපූ­ර්ව­ත්ව­යෙන් සපිරි අත්දැ­කීම් සමු­දා­ය­කින් පිරෙන දිවිය හිස් නො වේ. මල් පිපී ඵල දරන්නේ ඒ නිසා යැයි සිතේ. ඒත් දැන් නම් ගමන එත­රම් පහසු නැත.

උදා අහස අඳුරු වී තිබේ. විලිරු­දා­වෙන් පෙළෙන වලා කුසෙන් තව මොහො­තෙන් වැහි අැද හැලෙනු ඇත. එහෙත් පෙරට තැබූ පය පසු පසට ගන්නට හිත ඉඩ නොදෙයි. පැමි­ණියේ ගම්ප­හට ය. මාර්ග අංක 205 ගම්පහ - කිරි­ඳි­වැල බස­යට ගොඩ වුණෙමි. බසය මිරි­ස්වත්ත හන්දි­යෙන් කොළඹ නුවර පාරට පැමිණ, වතු­රු­ගම පාරට ඇතුළු වී ගමන් කරන විට මාලි­ගා­තැ­න්නෙන් බැස ගතිමි. ගම්පහ සිට මාලි­ගා­තැ­න්නට කි.මී. 10 ක් පමණ වෙයි. මා යන පින්බි­මට මෙතැන් සිට කි.මී. 1 ක දුරක් තිබේ. මේ මාර්ගයේ යන්නට පොදු ගමනා ගමන පහ­සු­කම් නොමැති බව දැන ගත් විට මම පුදුම වීමි. යා යුතු ගමන යා යුතුම ය. මා දැන් ගමන් කරන්නේ අඩු තර­මින් මෑත ඉති­හා­සයේ එක්ද­හස් අට­සිය අග භාගයේ හෝ එක්ද­හස් නව­සිය ගණන් වලදී තැනූ මඟක නොවේ. අඩි පාරක, කරත්ත පාරක නොවේ. කදි­මට කාපට් දමා සැකසූ මාර්ග­යක ය. දෙපස පාළු නැත - නිවාස සෑදී තිබේ. පොදු ප්‍රවා­හන පහ­සු­කම් නොමැ­තිව පිඩා­වට පත් වන්නේ අස­රණ මගීන් ය. අප­හ­සුතා මධ්‍යයේ සංචා­රයේ යෙදෙන අප වාගේ මිනි­සුන් ය.

නුවර පාරේ යක්කල හන්දි­යෙන් මාර්ග අංක 231 බසයේ නැගී කිරි­ඳි­වැල මාර්ගයේ අඹ­ග­ස්පි­ටිය හන්දි­යට පැමිණ දකු­ණට ඇති මාලි­ගා­තැන්න ම‍ඟේ කි.මී. 03 ක පමණ පැමි­ණිය යුතුය.

මාලි­ගා­තැන්න පුණ්‍ය භූමිය නිර්මා­ණය වී ඇත්තේ කඳු බිමක් ආශ්‍රයේ ය. පටන් ගැන්ම ශෛල තලා­වකි. පුළුල්ව විහිදී තිබේ. එය ආරෝ­හ­ණය වෙයි. ගලින් නෙළු පිය­ගැට පෙළකි. අඩුව පිරි­ම­හන්නට බදා­ම­යෙන් සැකසූ පඩි ද පයට පහ­සුව සල­සයි.

මේ පිය­ගැට අපූරු අත්දැ­කී­මක් වින්ද­න­යට මහත් පුරා­වෘ­ත්ත­යක් කියැ­වී­මට මා ගත ඉහ­ළට ඔස­ව­ගෙන යයි. මම සිතමි. හිත් පිත් නැති පුළුල් ගල් තල­යක මෙත­රම් මහ­න්සි­යෙන් පිය ගැට සැක­සුවේ ඇයි දැයි කියා. හිත් පිත් ඇති මුදු මෙළෙක වූ හිත් තනා ගන්නට අවැසි තැන මෙතැ­න­යැයි පෙන්ව­න්නට ය. වින්ද­නීය ඉසව් පෙන්ව­න්නට ය. ප්‍රඥාවේ ආලෝ­කය දල්වා ගන්නට අවැසි විවේක සුවය - විවේක බුද්ධිය සලසා ගන්නට සුදුසු ස්ථාන­යක් පෙන්වා දෙන්නට ය.

වාහ­ල්ක­ඩින් ඇතුළු වෙමි. පල්ලේ­මාලේ නමින් හැඳි­න්වෙන පර්වත පරි­ශ්‍ර­යකි. නොවූස් වූ ද, උස් වූ ද වේදිකා සැකසී තිබේ. වම්පස තවත් නැග්මක බෝ වෘක්ෂ­යකි. එතැ­නින් ඉහළ කඳු ගැට­යක පරි­ස­ර­යට සරි­ලන කුඩා ස්තූප­යකි. ඉදි­රි­පි­ටම ඇත්තේ බුද්ධ මන්දි­රය ද, ධර්ම­ශා­ලාව ද එක් තැන් කළ ගුහා­වකි. තුන්බෝ­ධිය සහිත මේ භූමියේ හිස් අව­කා­ශ­ය­න්ගෙන් නැගෙන උස් රුක් පෙළ. අපව වන අර­ණක් තුළට කැඳ­ව‍ා­ගෙන යයි. පත් සෙල­වෙයි පවන් සලයි - සිසිල ගෙනෙයි සෙවණ සදයි. සොබාව ධර්මයේ රම­ණීය සිතු­ව­මට සෞම්‍ය සදැ­හැති පැහැය පින්තාරු කර ආග­මික පසු­බි­මක් නිර්මා­ණය කර තිබේ. දැහැ­මෙන් සෙමින් පිවිස විහා­රයේ දොර හැර ගතිමි. එතැන බුදු මැදුර යි. පඩි කීප­යක් බැස ධර්ම ශාලා­වට ඇතුළු වුණෙමි. සම­හර තැන­කදී කෙළින් හිට­ගැ­නී­මට නොහැක ශෛල­මය සීලි­මෙහි හිස වදියි. මෙය මොල්ලි­යක් උඩ තුළ­නය කළ ගල් කුට්ටි දෙකකි. ඇතු­ළත හෑරී ගුහා­වක් බවට පත් වී තිබේ. ශෛල­මය ගුහාව වට­ලන ලෙස පිට­තින් කෙටූ කටා­රම් ලකුණු වඩාත් දිගු වෙයි. පුරා විද්‍යා­ඥ­යන් පව­සන්නේ මෙත­රම් දිගු කටා­රම් සට­හන් වෙනත් මෙවැනි තැන­කදී දකි­න්නට නො හැකි තරම් ඉතා විරළ දසු­නක් බව ය. මාලි­ගා­තැන්න පුරා වෘත්තය පව­සන්නේ වළ­ගම්බා රාජ්‍ය සමයේ දී මේ කටා­රම් සට­හන් කළ බව ය.

මේ ගුහාවේ 2000 කට පමණ ඉඩ පහ­සුව සැලසී තිබෙන බව කියැ­වෙන නිසා විශා­ල­ත්වය කොතෙක් දැයි දළ හැඟී­මක් ඇති කර ගැනීම පහසු ය.

එතැ­නින් නැගෙන පඩි පෙළ දිගේ ඉහ­ළට නගිමි. වම්පස තවත් කටා­රම් සහිත කුඩා ලෙනකි.

තවත් තැනක මඟ නැගී ඇත්තේ ගුහා­වක් ඇතු­ළ­තින්ය. මේවා හිතට නුහුරු ය. නෙතට නුපු­රුදු ය. නව අත්දැ­කීම් එකතු වන්නේ එවිට ය. අපූ­ර්ව­ත්ව­යෙන් සපිරි අත්දැ­කීම් සමු­දා­ය­කින් පිරෙන දිවිය හිස් නො වේ. මල් පිපී ඵල දරන්නේ ඒ නිසා යැයි සිතේ. ඒත් දැන් නම් ගමන එත­රම් පහසු නැත.

අප­හසු ගිරි­දුර්ග මතින් මේ මහ කන්දේ තවත් එක් මර්ම­ස්ථා­න­යක් වෙතට පැමි­ණෙමි. මෙතැ­නට ‘දෙග­ල්දො­රුව’ වශ­යෙන් හඳු­න්වයි. ‘කුරු­බිලි ගල් අඩි­පාර’ වශ­යෙන් ද හඳු­න්වන්නේ මෙය ම ය. මහ කළු­ගල් පර්ව­තය දෙබෑ­කර අඩි­පා­රක් සකසා දී ඇත - පාදමේ සිට බලන විට සිතෙන්නේ මේ මහා දෙබො­ක්කාව මධ්‍යයේ දී සිරුර හිර කර ගමන නව­තා­විද කියා ය.

ගිරි සිර­සෙහි කුඩා ස්තූප­යකි.

මා දැන් සිටින්නේ මුහුදු මට්ට­මින් අඩි 850 ක් පමණ උස් වූ කඳු මුඳු­නක ය. එසේත් නැති­නම් බස්නා­හිර පළාතේ ඇති උසම ස්ථානයේ ය. සිහින් වැහි පොද වැටෙ­මින් වලා­කුළු ඔබ මොබ පාවී යමින් අනන්ත අප­රි­මාණ පහත් බිම් වක්‍රය බොඳ කර තිබේ. මා නෙත්මා­න­යෙන් ද වලා­කුළු පාවී ඇදී යයි. දැන් උදා වී ඇත්තේ නිබ­ඳව අත් විඳිය නොහැකි විශේෂ පාරි­ස­රික තත්ත්ව­යක් බව සිතෙයි. මේ සොඳුරු අත්දැ­කීම තව නිමේ­ෂ­ය­කින් වෙනස් විය හැකිය. හෙට මෙය අතීත ස්මර­ණ­යකි. සදා­ත­නික සුවය ඇත්තේ කොතැන ද? මෙතැන හුළං කපොල්ලේ දී රහත් ඵලය ලද අමි­තා­සභ නම් භික්ෂූන් වහන්සේ පිළි­බඳ මත­කය අවදි වෙයි.

මෙතෙක් මා ඔබ සමඟ දොඩ­මලු වූයේ වර්ත­මාන ගමන් ම‍ෙග් සැරි සර­මින් ය. වර්ත­මා­නය ද අනා­ග­තය ද පෙහො­සත් වන්නේ අතීත පෙළ ගැස්ම අභි­මා­න­වත් වන තර­මට ය.

අතීත වංශ කතාව සැක­සී­මට පැරණි ලේඛන ඉති­හාස ග්‍රන්ථ, ජන­ශ්‍රැ­තීන් පුරා විද්‍යා­ත්මක සාධක විභාග කර­මින් වඩාත් නිවැ­රදි නිග­ම­න­ය­කට එළැ­ඹිය යුතු වෙයි.

මාලි­ගා­තැන්න විවේ­කා­ශ්‍ර­මයේ වැඩ වසන ශ්‍රාස්ත්‍ර­වේදී මාලි­ගා­තැන්නේ සුසීම තරුණ භික්ෂූන් වහන්සේ මාගේ ගැටලු වලට පිළි­තුරු සප­යති. ‍

සුසීම හිමි­යන් පව­සන්නේ පුරා විද්‍යා ගවේ­ෂ­ණ­යන් මඟින් මෙහි කාල නිර්ණය කර, ක්‍රි.පූ 01 වැනි සිය­වස තෙක් සාධක සොයා­ගෙන ඇති බවකි. මෙය ක්‍රි.පූ. 01 වැනි සිය­වසේ වළ­ගම්බා රජ­තු­මාගේ ආර­ක්ෂක බළ­කො­ටු­වක් වූ බව කියැ­වෙයි. ඒ යුගයේ මෙය හඳුන්වා ඇත්තේ වට­ගල නමිනි.

වංශ කතා­වන්ට අනුව වසර 07 මෙහි වැඩ වාසය කළ මිත්තා­සභ භික්ෂූන් වහන්සේ උඩ මළුවේ සුළං කපො­ල්ලේදී රහත් ඵල­යට පැමි­ණි බවක් ද කියැ­වෙයි.

වළ­ගම්බා රජ­තුමා රාජ සභාව මෙන් ම සේනාව රැස් කළ සුවි­සල් ලෙන ද මෙහිදී දැක ගැනී­මට පුළු­වන.

ක්‍රි.ව. තෙවැනි සිය­වසේ දී පමණ මුග­ලන් කුමරු සැඟවී සිටියේ මේ ආර­ක්ෂිත ස්ථානයේ බවත් ඉන්දි­යාවේ සිට සේනාව රැගෙන පැමි­ණියේ ද මේ බළ­කො­ටු­වට බවත් කියැ­වෙන අතර ම එතුමා සෑදූ වෙද හලක නට­බුන් මෙහි දකි­න්නට ලැබෙන බව ද පැව­සෙයි. මෙහි ඇති ඇඹ­රුම් ගල් එයට ප්‍රබල සාක්ෂි සප­යයි.

එම යුගයේ නෙළන ලද හිටි පිළි­ම­යක පද්මා­ස­නය ද යන්ත්‍ර ගල ද, මුල­සුන ද ඉති­හාස කියැ­වී­මට අවශ්‍ය අක්ෂර පෙළකි. අවශ්‍ය වන්නේ නිසි තැනට ගොනු­කර පැහැ­දිලි සට­හ­නක් සැක­සීම පමණි.

ක්‍රි.ව. 1215 දී පමණ කාලිංග මාඝ ආක්‍ර­ම­ණ­ය­න්ගෙන් ආරක්ෂා කිරී­මට දන්ත­ධා­තුන් වහන්සේ මෙත­නට රහ­සින් රැගෙන එන ලද්දේ දිඹු­ලා­ගල මහා කාශ්‍යප මහ රහ­තන් වහ­න්සේගේ තුන්වන ශිෂ්‍ය වාචී­ස්වර සංඝ­රාජ මහ තෙරුන් වහන්සේ බව ද වංශ කතා­ව­ලින් තහ­වුරු කර­ගත හැකි බව සුසීම හිමියෝ පව­සයි.

කෝට්ටේ රාජ්‍ය සමයේ 06 වැනි පරා­ක්‍ර­ම­බාහු රජ­තු­මාගේ යුගයේ දී මෙහි තිබී ඇත්තේ අවි ගබ­ඩා­වකි.

කෝට්ටේ යුගයේ සකලකලා වල්ලභ නම් ප්‍රාදේ­ශීය පාල­ක­යකු මේ භූමිය විනෝ­දා­ස්වා­දය වෙනු­වෙන් උද්‍යා­න­යක් ලෙස සැකසූ බවක් ද කියැවේ. උඩ මළුවේ අෂ්ටා­කාර මන්දි­ර­යක් ගොඩ නගා ආර­ක්ෂා­වට දෙග­ල්දො­රුව පටු මඟ සාදා අනෙ­කුත් පිවි­සුම් මාර්ග ආව­ර­ණය කළ බවක් ද පැව­සෙයි. තවත් යුග­යක මාලි­ගා­තැන්න හඳුන්වා ඇත්තේ කෙහෙ­ල්වේ­රු­ගල යන නමිනි. තිසර සන්දේ­ශයේ ඒ පිළි­බඳ සඳ­හන් වෙයි.

කෝට්ටේ යුගයේ දන්ත ධාතූන් වහන්සේ ගේ භාර­කා­ර­ත්වය දැරුවේ කීර­ගල දිය­ව­ඩන නිලමේ තුමා විසිනි. ඒ යුග­යේදී මෙය හඳුන්වා ඇත්තේ උය­න්බ­ඩ­කන්ද වශ­යෙනි. පෘතු­ගීසි ආක්‍ර­ම­ණ­ය­න්ගෙන් පසු රූකඩ රජකු බවට පත් වූ දොන් ජුවන් ධර්ම­පා­ලගේ අභාග්‍ය සම්පන්න යුගයේ දී කීර­වැල්ලේ නිලමේ තුමා දිනක රාත්‍රි­යක දී සිහි­න­යක් දුටුවේ ය. සිහි­නෙන් ඇවි­දින් ඔහුට පැව­සුවේ

“කෝට්ටේ කලාලේ කිසිල්ලේ - දත මැද­ගන් රාළේ” කියාය.

කෝට්ටේට කළ ආලය පසෙ­කලා දන්ත ධාතූන් වහන‍්සේ රට මැදට ගෙන යන්න යැයි එහි අරුත විය. කීර­වැල්ලේ නිලමේ තුමා මෙම ප්‍රදේ­ශයේ කෙනකු වූ බැවින් ඉණේ බැඳි හව­ඩියේ සඟවා ගත් දන්ත ධාතූන් වහන්සේ දෙල්ගමු රජ­මහා විහා­රය වෙත රැගෙන යෑමට ප්‍රථම දින කීප­යක් සඟවා තබා ගෙන තිබුණේ ඒ වන විට උය­න්බ­ඩ­කන්ද ලෙස නම් වූ මෙම ස්ථානයේ වූ උඩ­ම­ළුවේ මාලි­ගය තුළ ය. මාලි­ගා­කන්ද වශ­යෙන් අද හඳු­න්වන නම පට­බැ­ඳුණේ උඩ­ම­ළුවේ වූ මේ මාලි­ගාව නිසා ය.

පෘතු­ගීසි පූජ­ක­ව­ර­යකු වූ ක්වේරොස් ගේ ‘ලංකාවේ පෘතු­ගීසි ප්‍රය­ත්නය’ ග්‍රන්ථයේ සඳ­හන් කරන්නේ පෘතු­ගී­සීන් විසින් උය­න්බඩ කන්ද නම් වූ මෙම භූමිය ගිනි­බත් කළ බව ය.

මෙය විවිධ යුග­ව­ලදී බළ­කොටු වශ­යෙන් ද වන­වාසී භික්ෂු ආරා­ම­යක් මෙන් ම දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි පූජ­නීය ස්ථාන­යක් ලෙස ද ප්‍රකට වෙමින් ඉති­හා­සයේ වංශ කතා­වට සුවි­ශේෂ පරි­ච්ඡේ­ද­යන් කීප­යක් එක්කළ ජාතික ආග­මික උරු­මයේ සැම­රුම් සිහි­ව­ට­න­යකි. වසර 1600 පමණ වන විට ගිනි­ගත් භූමිය පෝෂ­ණය වූයේ කටු කොහො­ලිනි - වන වදු­ලෙනි - වසර 300 කට පමණ පසු 1924 වස­රේදී මැණික් දිවෙල දේවා­නන්ද නාහිමියන්ට පින් සිදු­ව­න්නට නැව­තත් විවේක සේනා­ස­න­යක් බවට පරි­ව­ර්ත­නය විය. ඒ වන විට නොයෙ­කුත් නොප­න­ත්කම් වලින් පිරුණු මේ බිමේ ලෙන් විවිධ මිනි­සුන්ගේ නිවාස බවට පත් වී තිබිණි. එව­කට මෙහි විසූ කඳු­මුල්ලේ - ගොරො­ක්ග­හ­දෙ­නිය වලව්වේ එස්.ඊ.ආර්. ගුණ­සේ­කර මුහ­න්දි­රම් ලොකු රාල­හාමි මාලි­ගා­තැන්න පින් බිම පවිත්‍ර කළේ තම ඉඩ­ක­ඩම් පවා මේ බිම ආක්‍ර­ම­ණය කළ මිනි­සුන්ට පරි­ත්‍යාග කර­මිනි.

දහ­අ­ට­පො­ළක ඉර හඳ ලකුණු සට­හන් කර හතර දෙසින් වඩිනා මහා සංඝ­ර­ත්න­යට අත­පැන් වත්කර මේ බිම නැවත පූජා කළ මුහ­න්දි­රම් රාල­හාමි ගේ නාමය නිශ්චිත මෑත ඉති­හා­සය විසින් ලියා තබ­නුයේ පරි­ත්‍යා­ග­ශීලී උත්ත­ම­ය­කුට කරනා උප­හාර පූජා­වක් ලෙස ස්වර්ණ­මය අක්ෂ­ර­යෙනි. කටා­රම් සට­හන් ඇති ලෙන් 15 කින් පමණ සම­න්විත මෙම භූමිය අද අක්කර 75 කට පමණ ලගු වී තිබේ. පරි­ස­ර­යට කරනා විපත් නිසා පෙරදා නොසි­ඳුණු දිය උල්පත් සිඳී යමින් පව­තින බව අස­න්නට ලැබිණි.

ජනක වෙත්තසිංහ

Comments