
මේ පෙළ ගැසෙන්නේ රට බලාපොරොත්තු වූවක් නොවේ. මේ නොහික්මුණු ගැටව් නැවත වරක් ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලමකට ගෙනය. වාසනා ගුණය සහිත ජන්මීය ක්‍රීඩා කෞශල්‍යයෙන් යුතු යෞවනයෙකුගේ අවසාන ප්‍රාර්ථනාව ස්වකීය රට නියෝජනය කරන ක්‍රීඩා කණ්ඩායමෙහි සාමාජිකයෙකු වීමය. ඒ විරල අවස්ථාව උදා කරගත් විට රටට කෙසේ වෙතත් ලැබුණු අවස්ථාවට ගරු කර දවස් කීපයක් ස්වයං පාලනයෙන් සිටීමේ වගකීමක් පුද්ගලයෙකුට තිබේ. ඔහුට ක්‍රීඩකයෙකු ලෙස ආමන්ත්‍රණය කළ හැක්කේ එවිටය. එහෙත් තමන් රටක ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් බවත් රටින් තමන් වෙත දැවැන්ත වගකීමක් පැවරී ඇති බවත් අමතක වන තරම් බිහිසුණු ලෙස අයෙක් නොමග යන්නේ නම් එය සලකා බැලිය යුතු විශේෂ තත්වයකි. මේ සටහන තබන්නේ ඊට පෙරය.
ස්ත්‍රී දූෂණය
ස්ත්‍රී දූෂණ චෝදනාවක් පිළිබඳ රටම කතාවෙමින් ඇත. දූෂණය වී ඇත්තේ නෝර්වේ ජාතික තරුණියකි. ඇය නමින් හෙයිඩි බර්ජ් බැකේන්සීන්ය. ඇය ඇඟලුම් කර්මාන්තයක නියැළෙන 24 හැවිරිදි ව්‍යවසායක වරියකි. හෙයිඩි දූෂණ වී ඇතැයි කියන්නේ මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගෙන සිටින සුපිරි හෝටලයේ කාමරයක් තුළදීය.
හෙයිඩි බර්ජ් බැකේන්සීන් ගුවන්තොටුපළ පොලිසියට මේ සම්බන්ධව පැමිණිලි කළාය. අනතුරුව ඇය රටින් පිටව ගියාය. ඇයගේ පැමිණිල්ල අනුව මේ අමනුෂ්‍ය විනාශය කරන ලද බව කියන්නේ සංදීප් ජූඩ් සෙල්ලයියා නැමැත්තෙකි. පොලීසිය ලද තොරතුරු අනුව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සමීපතමයෙකි. මේ අපරාධයට ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ වන අයුරු අධිකරණයේදී කියැවෙන්නේ මෙසේය.
හෙයිඩි බර්ජ් බැකේන්සීන් සිය සමීපතම මිතුරියක වන සිල්ජේ නයිලෑන්ඩ් සමඟ ලංකාවට පැමිණෙන්නේ පසුගිය (15 ) දා ඉරිදාය. ඒ වන විට අප ගාල්ලේ පළමු ටෙස්ට් තරගය ජයගෙනය. 12 වැනිදා ඇරඹුණ ටෙස්ට් තරගය දින තුනකින් එනම් 14 දා වන විට නිමා විය.
ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිල්ජේ නයිලෑන්ඩ් සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ධනුෂ්ක ගුණතිලක හඳුනා ගන්නේය. අනතුරුව දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇති වන්නේය. අපරාධයක මුල දක්වා දුර දිග යන්නේ මේ හඳුනාගැනීමය.
මේ තරගාවලිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින්නේ කොල්ලුපිටියේ සුපිරි හෝටලයකය. ගුණතිලක සමග සම්බන්ධතාව ගොඩනගා ගන්නා සිල්ජේ නයිලෑන්ඩ්ට ඔහුගෙන් ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරය. ඒ ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණෙන ලෙසය.
ඇය ඒ වන විට සිටියේ ඇයගේ මිතුරිය වන හෙයිඩි බර්ජ් බැකේන්සි සමග ආනන්ද කුමාස්වාමි මාවතේ පිහිටි සුපිරි හෝලයකය. මේ ආරාධනාව පිළිගන්නා තරුණියෝ දෙපළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතී සිටි සුපිරි හෝටලයට එති.
මේ වන විට ධනුෂ්ක තරුණියන් දෙදෙනාටත් තමන්ටත් ආහාර සහ ඔවුන් වෙනුවෙන් හෝටල් කාමරයක් වෙන් කරගෙන තිබිණි. ටික වෙලාවක් මේ දෙදෙනා සමග ගත කරන ධනුෂ්ක තමන්ට තවත් මිතුරෙකු ගෙන්වා ගැනීමට අවශ්‍ය බව පවසා සංදීප් ජූඩ් සෙල්ලයියා නැමැත්තා කාමරයට කැඳවූ බව කියැවිණි. මේ තැනැත්තා 26 හැවිරිදි පුද්ගලයෙකි. බ්‍රිතාන්‍ය ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකි. සංදීප් ජූඩ් සෙල්ලයියා හයිඩිව එම කාමරයේදී දූෂණය කළ බවටත් ධනුෂ්ක මේ අපරාධය සඳහා පහසුකම් සැලසූ බවටත් චෝදනා එල්ල වී තිබිණි.
අපරාධය සම්බන්ධව ධනුෂ්ක ගුණතිලකගෙන් කොල්ලුපිටිය පොලිසිය කටඋත්තරයක් ගත්තේය. අපරාධ චෝදනාවට ලක් වන සංදීප් ජූඩ් සෙල්ලයියා අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න වෙත පසුගිය 23 දා ඉදිරිපත් කරනු ලැබීය. ඔහුව 26 දා තෙක් බන්ධනාගාර ගත විය. එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට සැකකරු යොමු කරන්නට නියම කෙරිණි.
පසුගිය 26 වන දා සංදීප් ජූඩ් සෙල්ලයියා, තමන් විසින් කොල්ලුපිටියේ සුපිරි හෝටලයකදී නෝර්වේ ජාතික තරුණියකට ලිංගික ක්‍රියාවක් කළ බව නීතිඥයෙකු මාර්ගයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය. එම අපරාධය ස්වේච්ඡාවෙන්ම පිළිගෙන ඒ බව ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කළේය. එබැවින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කළාය.
වින්දිත තැනැත්තිය මේ වන විට විදේශගතවය. එබැවින් චූදිතයාගෙන් වින්දිත තරුණියට බලපෑමක් නැත. සැකකරු පලා යෑමට උත්සාහ කර තිබුණේත් නැත. මේ කාරණා සලකා බලා මහේස්ත්‍රාත්වරිය රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා ලක්ෂ තුනක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරියාය. මහේස්ත්‍රාත්වරියට අනුව ස්ත්‍රී දුෂක සැකකරුවෙකි. දැන් ඔහුගේ ගමන් බලපත්‍රය අත්හිටුවා ඇත.
සැකකරු එම ස්ථානයේදී පැමිණිලිකාරිය සිප වැලඳගෙන ඇත. අනතුරුව ඇයගේ විරෝධතාව නොතකා ඔහු ඇයට බලහත්කාර ලිංගික ක්‍රියා කර ඇත. පැමිණිල්ලේ ඉල්ලීම මත සිද්ධිය වූ හෝටලයේ තරුණියන් දෙදෙනාත් අපරාධකරුත්, ධනුෂ්ක ගුණතිලකත් හැසිරී ඇති ආකාරය පිළිබඳ සාක්ෂි ලබා ගැනීමට සීසීටීවී දර්ශන අධිකරණ නියෝග මත කොල්ලුපිටිය පොලිසියට ගැනීමට නියමිතය. නඩුව යළි කැඳවෙන්නේ සැප්තැම්බර් 20 දාය.
නැහැදිච්ච කම
මේ හෙළිදරව් වන්නේ හුදකලා පුද්ගලයෙකු පිළිබඳ කතාවක් නොවේ. රටක් නියෝජනය කරමින් ජාතියකට ආදර්ශයක් සපයන, ක්‍රීඩාවකින් ශික්ෂණය වී ඇතැයි අප විශ්වාස කළ මනුෂ්‍යන්ගේ අසංවර කමය. දණ්ඩනයෙන් හික්මවිය නොහැකි බව පෙන්වන අශික්ෂිත ස්වරූපය ය.
තරුණයෙකුට ලිංගික අවශ්‍යතා තිබේ. ඔහු කඩවසම් වන විට, රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රශස්ත හැකියාවන් දක්වන විට ඔහු කෙරෙහි වන නිරායාස සමාජ ආසක්ත බව දරා ගැනීමට පෞරුෂයක් හා විනයක් නැති වීමෙන් ඇති වන අභාග්‍යය අපට මේ මොහොතේ පෙන්වා දෙන්නේ ධනුෂ්ක ගුණතිලකය. මීට මාසයකට පෙර ඒ කතාව කීවේ ජෙෆ්රි වැන්ඩර්සේය.
· විනය නීතිය රටේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සංචිතගත වන විට අත්සන් කරන ගිවිසුමේ රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක් රක්ෂා කළ යුතු මූලික විනය නීති මාලාවක් තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයක නිරත වන කාලය තුළ පිළිපැදිය යුතු විනයක් තිබේ.
තරගාවලියක් පැවැත්වෙන වකවානුවේදී නවාතැන් ගෙන සිටිනා හෝටලයේ කාමරය වෙන් වන්නේ බොහෝ විට උදෑසන අහාර වේල සමගිනි. දිවා ආහාරය තරගය අතරතුර සැපයේ. රාත්‍රී අහාර වේල සඳහා ඩොලර් අසූවකට ආසන්න දීමනාවක් ලැබේ. බොහෝ විට ක්‍රීඩා කණ්ඩායම කරනු ලබන්නේ රාත්‍රී භෝජනය සඳහා වෙනත් ස්ථානයක් තෝරා ගැනීමය.
එහෙත් තරග සංචාරයක් අතර ජාතික කණ්ඩායමට ඇඳිරි නීතියක් පැනවේ. ඉන් කියැවෙන්නේ රාත්‍රී 10 ට පෙර තමන් ලැගුම් ගෙන සිටිනා හෝටලයේ තමන්ට වෙන්වූ කාමරයේ සිටිය යුතු බවය. අනවශ්‍ය වෙහෙස මගහැරීම, ක්‍රීඩාවෙන් අවධානය ගිලිහී යෑම වැළැක්වීම, ඉලක්ක අරමුණු වෙත දිශානුගත කර ඇති මානසිකත්වය විසිර යෑම ඉලක්ක කරගෙන මෙම ප්‍රධාන නීතිය පනවා තිබේ. මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම ඇත්තේ කණ්ඩායම් කළමනාකාර වරයාටය. එමෙන් කිසිම පිටස්තරයෙකු ස්වකීය කාමරය වෙත කැඳවීමේ අවකාශ නැත. එය ක්‍රීඩකයාගේ මෙන්ම ජාතික කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධවද මූලික අනතුරක් වන බැවිනි.
කාමරයට තට්ටු කර බලන්නට නොව අවශ්‍ය නම් සී.සී.ටී.වී නිරීක්ෂණය කර විනය කඩ කරන්නන් සොයා ගත හැකි වුවත් අප පහුගිය වකවානුව පුරාම ඇසුවේ තරගයක් පවතින අතරත් බීමතින් මාගමුන් හා හැසිරෙමින් රාත්‍රී සමාජශාලාවල රැය පහන් කළ උදවිය ගැනය. මේ චෝදනාවම මීට වසකරට පෙර ධනුෂ්ක ගුණතිලකට එල්ල විය. ඒ 2017 අවුරුද්දේය. පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවැත්වූ ඉන්දු ලංකා එක්දින තරගාවලිය අතරතුර බීමතින් රාත්‍රී සමාජශාලාවක රැය පහන් කර හසුවුණේය. ඒ වෙරිය පසුදා තරග පුහුණු සැසියට සහභාගී වීමට නොහැකි තරම් විය. මේ සම්බන්ධව කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය. ඔහු වරද පිළිගත්තේය. ලබා දුන්නේ තරග 6 තහනමක් හා වාර්ෂික ගිවිසුම්ගත මුදලින් සියයට විස්සක දඩ මුදලක් සහිත දඬුමකි.
අනතුරුව ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජය හරහා ඉදිරිපත් වූ අභියාචනයට අනුව තරග 6 තහනම තරග තුන දක්වා අඩු විය. තහනම ක්‍රියාත්මක කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් 30 සිටය. වරද පිළිගත් ඔහු යළිත් ඒ වැරැද්ද කර ඇත්තේ ඊටත් වඩා බරපතළ ආකාරයටය.
පසුගිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී මෙවැනිම සිද්ධියක් විය. ශාන්ත ලුසියාහි පැවති ශ්‍රී ලංකා බටහිර ඉන්දීයකොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අවසන් දිනය දා රාත්‍රී ජෙෆ්රි වැන්ඩර්සේ ඇතුළු ක්‍රීඩකයන් සිවු දෙනෙක් රාත්‍රී සමාජ ශාලාවකට ගොස් තිබිණි. වැන්ඩසේ සමග ගිය ක්‍රීඩකයන් අතර ධනුෂ්ක ගුණතිලකත් වී යැයි කියවිණි. කෙසේ වෙතත් අනෙක් ක්‍රීඩකයෝ පෙරයමට පෙර සිය ලැගුම්හල වෙත පැමිණියහ. වැන්ඩර්සේ සමාජශාලාවේ රැය පහන් කළේය. පසුදා උදෑසන වනවිටත් ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයට පැමිණ තිබුණේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තරගය සඳහා බාබර්ඩෝස් වෙත යෑමට ශාන්ත ලුසියා ගුවන්තොටුපළට යෑමට සූදානම් වන විටත් ඔහු පැමිණ සිටියේ නැත. කණ්ඩායමේ කළමණාකාරු ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පොලිසියට පැමිණිලි කළේය. අවසන් මොහොතේ කණ්ඩායම රැගෙන බස් රථය ගුවන්තොටුපළට යෑමට සැරසෙද්දී වැන්ඩර්සේ තුන්මුණින් දාඩිය දමාගෙන හෝටලය වෙත පැමිණ තිබිණි. ඔහු එදිනම යළිත් ලංකාවට ගෙන්වා ගත්තේය.
බීමතින් විකල්ව ගුවන් යානයේ දොර අරින්නට තැත් කළ රමිත රඹුක්වැල්ල ගැන කතාවක් වරෙක පුවත්පත්වල සිරස්තල සැරසුවේය. එහෙත් කණ්ඩයම් කළමනාකාර තැන කීවේ ඔහු ඇවිද තිබුණේ හීනෙන් බවය. සිද්ධිය යට ගියේය. ඔහු පාසල් ක්‍රීඩකයෙකුව සිටි අවධියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් සිටිද්දී තරගාවලියක් අතරතුර පුහුණු සැසි සඳහා සහභාගී නොවී රුසියානු මාගමක් හා නවාතැන් ගෙන සිටි හෝටලයේදීම හසුවිය. ඒ බව වාර්තා කළ කණ්ඩායම් කළමනාකාරතැන විතැන් වුණේය.
විනය නීති කඩ කරන විට, යළි යළිත් කඩ කරන විට ඔවුන් හික්මවීම සඳහා ලබාදෙන සිල්ලර දඬුවම අවසානයේදී නිර්මාණය කරන්නේ විහිළුවකි. මේ මොහොත වන විට ලංකා ක්‍රිකට් කණඩායමේ කළමනාකාරවරයාත් තරග තහනමකය. නිත්‍ය නායකයාත් තරග තහනමකය. පුහුණු කරුත් තරග තහනමකය. කණ්ඩායම කළමනාකරණය කරන පුද්ගලයන් සම්බන්ධව ක්‍රීඩකයන්ට තැකීමක් නැත.
තරුණයෙකුට ස්වකීය ෙපෟද්ගලික ජීවිතය සම්බන්ධ කාරණා සපුරා ගත යුතු නිර්මාණාත්මක විනයක් තිබේ. ජාතික කණ්ඩායමක් නියෝජනය කරමින් සංචාරයක යෙදෙන දින කීපය තුළවත් පිත කෝප කරගන්නේ නැතිව සිටීමට නොහැකි ස්වයං විනයක් නැති නම්, තමන්ට හිමි වගකීම සම්බන්ධව හැඟීමක් නැත්නම් ක්‍රීඩකයෙකු යැයි කිව නොහැකි එවැනි අවිනීත අර්ධ මනුෂ්‍යයන් දමා තරග පමණක් දිනීමේ ප්‍රයෝජනයක් රටකට නැත. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කුසලාන දිනුවේ ප්‍රංසය බව සැබෑය. එහෙත් මිනිස්සුන්ගේ ගෞරවාන්විත මතක තුළ රැඳුණේ ජපානය කණ්ඩායමක් ලෙස ප්‍රකට කළ විනය හා සංයමය ය. අප වැනි අවිනීත රටකට එපමණ දුරක් යන්නට හැකියාවක් නැති බව සැබෑය. එහෙත් අඩුම තරමින් අප ක්‍රීඩා කරන්නේ ක්‍රිකට් මිස ඇඟේ හයියට කරන ස්පාඤ්ඤ ගවපොර නොවන බව තේරුම් ගැනීම වැදගත්ය.