මහවැලි කළුගඟ ජල රැඳවුම් මංගල්‍යය | සිළුමිණ

මහවැලි කළුගඟ ජල රැඳවුම් මංගල්‍යය

‘ස්වයංපෝෂිත යුගයකට මඟ කියන දියවර ලකුණ’ තේමාව යටතේ හෙට 23 වැනිදා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද හා කළුගඟ ආශ්‍රිතව යෝධ සංවර්ධන වැඩසටහන් රැසක් ජාතියට දායාද කෙරේ. මධ්‍යම, උතුරුමැද, උතුරු හා නැගෙනහිර පළාත්වල පුද්ගලයන් ලක්ෂ 10කට සෙත සලසන මේ මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියෙන් වසරකට රටට ලැබෙන ප්‍රතිලාභය රුපියල් කෝටි 800කට අධික බව මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න මහතා පවසයි.

මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ව්‍යාපෘතිය වසර 30කට පසු මෙරට ඉදිවන හා මෙරට වැඩිම ප්‍රදේශයක් කරා ව්‍යාප්ත වන බහුකාර්යය ව්‍යාපෘතිය වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සෘජු පෞද්ගලික අධ්‍යක්ෂණය මත මෙම ව්‍යාපෘතිය වේගවත්ව ක්‍රියාවට නැංවිණි.

රුපියල් කෝටි 23000ක වියදමින් අක්කර අඩි 66000ක් ජලය රදවන ‘මහවැලි කළුගඟ ජල රැඳවුම් මංගල්‍යය’ යටතේ හෙට පෙරවරුවේ මොරගහකන්ද ජලාශය ‘කුලසිංහ ජලාශය’ ලෙස නම් කිරීම සිදුකෙරේ. මොරගහකන්ද වේල්ල පරිශ්‍රයේ ඉදිකර ඇති අවුකන බුදු පිළිම අනුරුව ආගමික කටයුතු සඳහා නිරාවරණය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුකෙරේ.

මෙරට වසර 30කට පමණ පසු මහවැලි අධිකාරිය මගින් මෙගා වොට් 25ක් ජාතික විදුලිබල පද්ධතියට යොමු කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරය ජාතියට දායාද කිරීම ද ජනාධිපතිතුමා අතින් 23 පෙරවරුවේ සිදු කිරීම මෙහි සිදුවන ඊළඟ වැදගත් කටයුත්ත වේ.

ඊට පසු ජනාධිපතිතුමා උතුරුමැද මහ ඇළ ඉදිකිරීම අධීක්ෂණය කිරීමට ද නියමිත ය.

කළුගඟ ජලාශයේ ජලය ගබඩා කරන මහවැලි කළු ගඟ ජල රැඳවුම් මංගල්‍යය 23 වැනිදා කළු ගඟ මහ වේල්ල අසලදී සිදුකෙරේ. කළුගඟ හා මොරගහකන්ද යා කරන මහ ඇළ හා උමග කැනීම ආරම්භ කිරීම ද එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කිරීමට නියමිත ය.

පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය මගින් දිස්ත්‍රික්ක 9ක ජනතාවට පිරිසුදු පානීය ජලය හා වාරි ජලය ලැබෙයි. ඒ මගින් අලුත් ඉඩම් අක්කර ලක්ෂ 3ක් යල මහ අස්වැද්දීමට අවස්ථාව ලැබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජයරත්න මහතා පවසයි. ඊට අමතරව මෙගාවොට් 25ක ජලවිදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක්වෙන අතර උතුරු මැද ඇළ හා වයඹ ඇළ ව්‍යාපෘති මගින් වැව් 3000කට පමණ මොරගහකන්ද කළුගඟ ජලයෙන් පෝෂණය වනු ඇත.

Comments