ලංකාවේ නිවාඩුවෙන් මූණේ දැලි ගා ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී | සිළුමිණ

ලංකාවේ නිවාඩුවෙන් මූණේ දැලි ගා ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී

පාර්ලිමේන්තු සම්ප්‍රදායේ මහා හරයන්, වටිනාකම් තමා සතු බව බ්‍රිතාන්‍යය කියයි. එරට යටත්විජිත ලෙස පැවති ලෝකයෙන් අඩක්ම අද වන විටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව යමින් හැඩගැසුණු සිය පාර්ලිමේන්තු ක්‍රමයන්ගෙන් බැහැරට ගොස් නැත්තේය. මේ නිසාම වෙස්මිනිස්ටර් සම්ප්‍රදායේ වටිනාකම් හා සම්ප්‍රදායන් රැකගැනීමට ඔවුහු නිරතුරුව වෙහෙසෙති. තමන්ගේ වටිනාකම් රැකගන්නට බ්‍රිතාන්‍යයන් තැබූ පියවරක් අපේ රටේ දේශපාලනයේද කතාබහට ලක් වී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව සුඛෝපභෝගි ‘පවුල් නිවාඩුවක්’ ගත කිරීමට ලැබූ අනුග්‍රහයක් නිසා පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී ඉයන් පේස්ලි එරට පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරයකු ලද දීර්ඝතම පාර්ලිමේන්තු තහනමට ලක් වීමයි.

2013 වසරේදී එවකට පැවති රජයෙන් ඉයන් පේස්ලි වෙත මෙසේ ‘වරදාන’ දී ඇත්තේ ඒ කාලයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වන්නට නියමිතව තිබුණු මානව හිමිකම් චෝදනා පිළිබඳ විභාගයේදී තිබූ අවාසිදායක තත්ත්වය මඟහරවා ගැනීමට බව කියවේ. එහෙත් මේ කිසිදු තොරතුරක් ඉයන් පේස්ලි විසින් තම කරුණු දැක්වීමට අඩංගු කර නොගැනුණු අතරම, ඔහු තමාට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිගැනීමම සිදු කළේය.

‘තෙරේසා මේ’ ගේ වත්මන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ මන්ත්‍රීවරයකු වන ඉයන් පේස්ලි මෙසේ පාර්ලිමේන්තු තහනමකට ලක් වී ඇත්තේ 2013 වසරේදී එවකට ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය ඇතිව මෙරට සංචාරය කිරීම නිසාය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ ස්ටර්ලින් පවුම් 100,000ක මුදලක් ශ්‍රී ලංකා රජය ඔහු සහ ඔහුගේ පවුලේ සංචාරය වෙනුවෙන් වියදම් කරන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට දැනුම් නොදීමයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවුම් 300කට වඩා වැඩි ආධාරයක් ලබන විට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුය. එහෙත් ශ්‍රී ලංකා රජයේ ආධාර ඇතිව 2013 වසරේ මාර්තු සහ ජූලි මාසවලදී තමා ගෙවූ නිවාඩු සම්බන්ධයෙන් එවකට බ්‍රිතාන්‍ය අගමැතිව ඩේවිඩ් කැමරන් වෙත දැනුම් දීමට ඉයන් පෙස්ලි අසමත් වී ඇත. සම්ප්‍රදායන් කඩ කිරීමේ වරදට ඔහුට දින 30ක් පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගි වීම තනනම් කර ඇත. මේ පැනවූ තහනම 2018 වසරේ සැප්තැම්බර් මස 4 වැනිදා පටන් ක්‍රියාත්මක වීමට නියමිතවද තිබේ.

ඉයන් පේස්ලි මෙසේ පාර්ලිමේන්තු අවසරයකින් තොරව වරප්‍රසාද භුක්ති විඳ ඇති බවට 2017 සැප්තැම්බර් මාසයේදී මුල්ම වරට හෙළි කළේ ‘ඩේලි ටෙලිග්‍රාෆ්’ පුවත්පතයි. තොරතුරු සොයා බැලීමකින් පසු පවුලේ අය සමඟ ගත කළ නිවාඩු පිළිබඳ තොරතුරු විස්තර සහිතව ලබා දෙන ලෙස ඉයන් පේලිස් වෙත දන්වනු ලැබ තිබිණි. එහෙත් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් වී තිබුණු අතර “ඒ වියදම පවුම් 100,000ක් නොවේ, පවුම් 50,000ක් විතරයි,” යන්න පමණක් ඔහු ඉදිරිපත් කළ කරුණු දැක්වීමේ සඳහන්ව තිබිණි. පේස්ලිගේ පැහැදිලි කිරීම හාස්‍යට ලක් කරමින් ඇතැමුන් පවසා තිබුණේ පවුම් 50,000 පවුම් 300ට වඩා අඩු බව පේස්ලිට අමතක වී ඇති සෙයක් පෙනෙනා බවයි.

බ්‍රෙක්සිට් ජන්ද විමසීමේදී තමන්ට පක්ෂව ලැබෙනා ඡන්දයක් අහිමි වන බව දැන දැනම බ්‍රිතාන්‍ය අගමැතිනිය පේස්ලිට පනවන්නට නියම කෙරුණු පාර්ලිමේන්තු තහනමට අනුමැතිය දී ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව පවසමිනි. කෙසේ වෙතත් පාර්ලිමේන්තු තහනම අනුමත වීමෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාවක්ද පේස්ලි හට ලබා දී තිබුණි. පාර්ලිමේන්තුව අමතමින් කළ කතාව අතරතුර විටින් විට සංවේදි වූ බවක් පේස්ලි වෙතින් පෙනෙන්නට තිබිණි.

“මුලින්ම මේ පත් වී සිටින දුෂ්කර සහ අපහසු තත්ත්වය මා පිළිගන්නවා. මේ සිදුවීම වුණේ 2013 අවුරුද්දේ මුල් සභා වාරයේදී. මා පෞද්ගලිකව සහභාගි වුණු විදෙස් සංචාර දෙකක් ගැන නිසි ආකාරයෙන් පාර්ලිමේන්තුවට දැන්වීමට නොහැකි වීම ගැන මා කනගාටු වෙනවා. මා දන්නවා ඒක බරපතළ වරදක්. මා පෞද්ගලිකව දන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට මට වගකීමක් තිබෙන බව එවැනි ගමනක් ගැන පාර්ලිමේන්තුවට දැනුම් දීමට. එසේ නොකිරීම නිර්ව්‍යාජවම වරදක්! ඒ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවෙන්, මගේ සහෝදර මන්ත්‍රීන්ගෙන් වගේම 2010 වසරේදී මා මෙතැනට පත් කර, මා ඔවුන්ගේ හඬ බවට පත් කරගන්න බලාපොරොත්තු වුණු ජනතාවගෙනුත් සමාව ඉල්ලනවා. මා සිතනවා ඔබ හැම දෙනාම මා පත් ව සිටින තත්ත්වය තේරුම් ගනීවි කියලා.

“මා සිතනවා මේ සිදුවීමෙන් අප හැම කෙනකුම වටහාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා කියා: වගකිව යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවෙන් එහා ජීවිතයේදී අප කරන දේවල් ගැනත් අප වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඒ වගේම අපේ ජීවිතවලදී අපට සිදු වන වැරදීම් අපට අපවම පෙන්වා දෙනවා. ඒ මඟින් අපි කවුරුද, අපේ චරිතය මොන වගේද කියන දේ ගැන වැටහීමක් අපටම ඇති කරගන්න පුළුවන්. ඒ නිසා මම යළි යළිත් මේ සිදු වුණු දෙය ගැන කනගාටු වන බව කියන්න ඕනෑ. ඒ වගේම අප අතින් සිදු වන වැරදි, අපේ පෞද්ගලික ශක්තිය මැනගන්නත් වැරදීම් හොඳ අවස්ථා කරගන්න අපට පුළුවන්. පූජක උතුමකු කියපු කතාවක් මට මේ වේලාවේ මතක් වෙනවා: ‘තමන් තමන් එක්ක තරහා ගත්තම, ඒ තරහව තමන්ගේ ගමන්මඟ වෙනස් කරනවා. ඒකෙන් තමන්ගේ ගමන්මඟ පහසු වෙනවා!’ කියලා. මා බලාපොරොත්තු වෙනවා මේ සිදුවීමෙන් ඒ පාඩම ඉගෙනගන්න.”‍ ඉයන් පේස්ලි පාර්ලිමේන්තුව අමතමින් සිදු කළ ඒ කතාව පසුතැවීමේ ප්‍රකාශයක් ලෙස ගිණිය හැක්කේය.

‘ඉයන් පෙස්ලි’ ලෙස හඳුන්වනු ලැබූවත්, මොහු බ්‍රිතාන්‍ය වැසියන් හොඳින් හඳුනන්නේ ‘කනිෂ්ඨ ඉයන් පේස්ලි’ ලෙසය. බ්‍රිතාන්‍යය ගෞරවාන්විත දේශපාලනයේ කැපී පෙනෙන පුද්ගලයකුව සිටි සහ ප්‍රජාතන්ත්‍රවාදි සාංගමික පක්ෂයේ නිර්මාතෘ වූ ජ්‍යෙෂ්ඨ ඉයන් පෙස්ලිගේ සමු ගැනීමෙන් පසු දේශපාලනයෙන් ඉදිරියට ආ ඉයන් පේස්ලි දේශපාලනයේ ඇසූ පිරූ තැන් ඇත්‍ෙකු ලෙස සැලකේ.

Comments