සීත හිමය ගිනියම් කර අතුරුදන් වූ සමනල ගමේ දරු පැටියා! | සිළුමිණ

සීත හිමය ගිනියම් කර අතුරුදන් වූ සමනල ගමේ දරු පැටියා!

‘සමනලවත්ත’ බළංගොඩ මැතිවරණ කොට්ඨාසයේ වැවිලි ආර්ථිකයට ඓතිහාසික කතන්දරය එකතු කරයි. 1948 මේ ප්‍රදේශයේ තේ වැවීම සඳහා කුලියට මිනිසුන් ගෙන්වාගෙන ඇත්තේ පුවත්පත් දැන්වීම් පළ කිරීමෙනි. එසේ පැමිණෙන කම්කරුවන් සඳහා පදිංචියට නිවාස ලබාදී තිබිණි. සිංහල මෙන් ම දෙමළ ජාතිකයන් ද ඊට පැමිණියත් දැන් ඉතිරිව ඇත්තේ සිංහල පවුල් පනහකටත් අඩු සංඛ්‍යාවකි. දශක හයකට එහා වගා කරන ලද විශාල තේ ගස් අදට පැහැදිලිව දැක ගත හැකි ය.

බළංගොඩ, තුඹගොඩ විහාරය ආසන්නයෙන් ඇරඹෙන අතුරු මාර්ගයේ කිලෝමීටර් එකොළහක් දුරින් සමනලවත්ත පිහිටා ඇත. ‘පුංචි නුවරඑළිය’ ලෙසින් ප්‍රසිද්ධියට පත් සමනලවත්ත ශ්‍රීපාද අභය භූමියට මායිම් වේ. මේ ප්‍රදේශය තද මීදුමින් වෙළා නොගත් අවස්ථාවක් නැති තරම් ය. සමනලවත්ත වැසියන් ඉර හෝ සඳ දැක ගැනීමට නම් බළංගොඩ මස්සැන්න ප්‍රදේශයට පැමිණිය යුතු ය. සමනලවත්තට ඉර එළිය වැටෙන්නේත්, සඳ එළිය වැටෙන්නේත් ඉතා කලාතුරකින් ය.

සමනලවත්ත ගමට ප්‍රවේශ මාර්ගය අතිශය දුෂ්කර ය. බළංගොඩ සිට මුල් කොටසේ ස්ථාන කීපයක් කාපට් අතුරා තිබුණ ද ඉතිරි කොටස් වාහනයක් හෝ පා ගමනින් ද ගමන් කිරීමට අපහසු තත්ත්වයේ පවතී. පාරිසරික වශයෙන් ඉතා මනරම් වුව ද මෙහි ජීවත්වන උදවිය විඳින දුක අවබෝධ වන්නේ එහි ගිය අයකුට පමණි.

‘පුංචි නුවරඑළිය’ යැයි අනුවර්ථ නමින් හඳුන්වන සමනලවත්ත, ගිනියම් වූයේ පසුගිය 20 වැනි සිකුරාදා සවස හයේ සිට ය. සහන් කුමාර ධර්මසිරි දස හැවිරිදි දරුවෙකි. එච්. ධර්මසිරි (42) සහ දීපිකා සෙනෙවිරත්න (40) යන අයගේ පවුලේ වැඩිමල් දරුවා වූයේ සහන් ය. සහන්ගේ මවත්, සහෝදරියත් සහන් මෙන් ම කිසියම් මානසික දුර්වලතාවයක් හේතුවෙන් බළංගොඩ මූලික රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයෙන් කාලයක සිට ප්‍රතිකාර ගත්තේ ය. ප්‍රතිකාර තුළින් සහන් බොහෝ දුරට සුවය ලබා තිබුණේ ය.

පසුගිය 20 දා සුපුරුදු පරිදි පාසලට ගිය සහන් නිවසට පැමිණෙන අයුරු ගමේ කිහිප දෙනෙකු ම දැක ඇත.‍ එදින පාසල් වත්තෙන් ගෙනා ජම්බෝල ගෙඩිය නිවසේ සාලයේ දී කපා පියාටත්, නැඟණියටත් කැබැල්ලක් දීමට සහන් අමතක කළේ නැත. උදෑසන සමනලවත්තේ වැඩට ගොස් පැමිණි සහන්ගේ පියා දරමිටියක් සොයා ගැනීමට ශ්‍රීපාද රක්ෂිතයේ හුණුවලකන්ද ප්‍රදේශයට යෑමට නිවසින් පිටත් ව ඇත්තේ සවස 2.30 ට ය; ඒ බව සහන් දැන සිට නැත. ටික වේලාවකින් “අම්මේ තාත්තා කෝ කියා” සහන් අසා තිබිණි. තාත්තා දර කඩන්නට ගිය බව අම්මා පැවසුව හෙයින් සහන් නිවසින් පිටත්වී ඇත්තේ මවට ද නොකියා ය.

සහන් අවසන් වරට දැක ඇත්තේ සමනලවත්තේ පදිංචි දරුවන් දෙදෙනකු වන බිනුර සහ සංඛ පමණි. නිවසට මීටර් දෙසියකට එපිටින් පිහිටි ඇළක දිය නාමින් සිටි මේ දෙදෙනා අසලට පැමිණි සහන්ට නාන්න කතා කළ ද “දැන් නාන්න බැහැ. මම යනවා” යැයි ප්‍රකාශ කර අසල පිහිටි පාරට ගොඩවන අයුරු ඔවුන් දැක තිබිණි. සහන් රෝස පැහැයට හුරු කමිසයක්, දුඹුරු පාට කලිසමක් ඇඳ රතු පැහැති සෙරෙප්පු දෙකක් පැලඳ සිටි බව ද ඔවුන් අප සමඟ පැවසීය.

සහන් ව ඊට පසු කිසිවකු දැක නැත. මේ අතර සහන්ගේ පියා ගෙදරට ගොඩවී ඇත්තේ සවස හයට පමණ වෙද්දී ය. ටික වේලාවකින් “කෝ පුතා යැයි සහන්ගේ පියා ඇසුවේ ය. නිවසේ සිටි බව කීවේ දරුවා කොහේ ද දන්නේ නැති බව ය. ඇය සිතා ඉඳ තිබුණේ දරුව දර කඩන්නට ගිය පැත්තට යන්න ඇති කියා ය. එතැන් සිට සහන් ව සෙවීම ආරම්භ කළ පියා සහන් යන එන තැන් හැමතැනකට ම ගියේ ය. ඒත් සහන් හමු ‍වුණේ නැත. ගමේ උදවියට ද මේ පණිවුඩය දැන ගැනීමට වැඩි වේලාවක් ගත වී නොතිබිණි.

ගමේ ලොකු පොඩි හැම දෙනාම එක් වූහ. “සහන් පුතේ, සහන්, සහන් මල්ලී, සහන් අයියේ” යැයි කෑ ගැසූහ. නමුත් සහන්ගේ හඬ නෑසුණි. 20 දා රාත්‍රී පුරා ළඟා විය හැකි හැම තැනක ම සහන් සෙවූව ද තොරතුරු හමු නොවිණි. පසුදා සහන්ගේ පියා මේ ගැන බළංගොඩ පොලිසියට පැමිණිලි කළේ ය.

සමනලවත්තේ කන්ද මුඳුනට පැමිණෙන තුරු කිසිදු ජංගම දුරකතන ජාලයක සේවා ලබා ගත නොහැකිය. ස්ථාවර දුරකථන කිහිපයක් ගමේ තිබුණ ද ඒ මොහොතේ පොලීසියට දැනුම් දීමට කිසිවකු යොමු වී නැත.

බළංගොඩ පොලිසියට ලද පැමිණිල්ල අනුව 21 උදෑසනම පොලිස් නිලධාරීන් විසි දෙනෙක් පැමිණි ගමේ සියලු ම දෙනා සමඟ සහන් යන්නට ඇතැයි සැක කළ සෑම තැනක ම සෙවූහ; ප්‍රතිඵලයක් නොවුණි. පසු දා (22) උදේ සිට කුරුවිට යුද හමුදා කඳවු‍රේ හමුදා නිලධාරීන් පනස් දෙනකු ද මෙහෙයුමට එක් විය. ගමේ ජනතාවත් අවට ප්‍රදේශවල උදවිය ද සමඟ දෙතුන් සියයක් දෙනා ද පොලිස් නිල සුනඛයින් ගේ ද සහය ඇතිව ඝන සීතල වනාන්තරයේ වර්ග කිලෝමීටර් හතරකට වැඩි ප්‍රමාණයක සහන් සෙවීමේ මෙහෙයුම දියත් කෙළේ ය. සහන් ගැන කිසිදු තොරතුරක් නොලැබුණි.

මේ අතර දිවියකු විසින් මරා කොටසක් ආහාරයට ගන්නට ඇතැයි සැක කරන ගෝනකුගේ මළ සිරුරක් පරීක්ෂණ කණ්ඩායමට හමු විය. එසේ නම් සහන් වුව ද දිවියකුගේ ග්‍රහණයට හසුවූවා ද? පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වූයේ ඒ වෙතයි. එහෙත් මිනිස් සිරුරක් දිවියකුට මුළුමනින් ම අනුභව කළ නොහැකි ය. එසේ නම් හිස් කබල, ඇඳුම්, සෙරෙප්පුවලට කුමක් සිදුවීද? මෙය දිවියකුගේ ප්‍රහාරයක් නොවන බව පරීක්ෂණ කණ්ඩායම සිතුවේ ය.

පොලිස් නිල සුනඛයා ද සහන් අවසන් වරට සිටි ස්ථානයේ සිට වැඩි දුරට ගියේ නැත. නැවතත් නිල සුනඛයා පැමිණ ඇත්තේ සහන්ගේ නිවස දෙසට ය; සහන්ගේ නිවස පිහිටා ඇත්තේ හුදකලාව නොවේ. නිවාස රැසක් ඒ අසල දක්නට ලැබේ. මේ වනවිට කැලෑව ඇතුළත සහන් සෙවීමේ මෙහෙයුම් නතර කර ඇත. පොලිසියේ බුද්ධි තොරතුරු අංශයත් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති බව බළංගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජේ.ඩී.ඩී.පී‍.‍ ජයකොඩි පවසයි.

සහන්ගේ මවගෙන් ද සහන් පිළිබඳ ව නිවැරැදි තොරතුරක් ලබා ගැනීම පහසු වන බවක් දැනගන්නට නැත.‍ ඊට හේතුව නම් ඇය යම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන හෙයිනි. විටින් විට ඇය දක්වන ප්‍රතිචාර අසාමාන්‍ය බව පොලිසිය පවසයි.

මේ අතර සහන් නිතර ආව ගිය නිවසක් පිළිබඳව ප්‍රදේශයේ ජනතාව තුළ සහ පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමුවී තිබේ. මේ පිළිබඳව සහන්ගේ ඥාතිවරියක් බළංගොඩ පොලිසිය‍ට දැනුම් දී ඇත. පරීක්ෂණ කටයුතුවලට බාධාවක් සිදුවිය හැකි බැවින් එම තොරතුරු හෙළි කිරීම සුදුසු නොවේ. නමුත් පරීක්ෂණ කටයුතුවලට දැඩිව බාධාවන හේතු කීපයකි. එකක් තමා ළඟ සිටින අනෙක් පුද්ගලයා නොපෙනෙන තරමට මීදුම පතිත වීම ය. නගරයේ සිට ඒ ප්‍රදේශයට ළඟා වීමේ ඇති දුෂ්කරතාවය ය; දැඩි සීතල ය.‍ අඩියක් තබා අඩියක් ගන්නා විට පා වසාගන්නා කූඩැල්ලන් ය. ගම ම අඳුරු ස්වභාවයක් ගැනීමත් මේ අතර ප්‍රමුඛ ය.

ගමේ කිහිප දෙනෙකු ම සහන්ට දක්වන ආදරය සෙනෙහස නිසා ම නොපෙනෙන බලවේගවල, ශාස්ත්‍ර, අඳුන් බැලීම්, පේන ඇසීම් වල ද පිහිට පතා ඇති බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි ය. සහන් ජීවත් ව සිටින බව එක් ශාස්ත්‍ර කරුවකු පවසද්දී, නාඳුනන පිරිසක් සහන් පැහැර ගෙන ගොස් ඇති බව තවකෙනෙක් පවසයි; සහන් නිරාහාරව ගලක් පල්ලට වැටී සිටින බව තවත් පේන සපයන්නකු පවසයි. සහන්ව මත් කර රඳවා තබා ගෙන ඇති බව තවත් අඳුන් බලන්නකු කියයි. ගමේ මිනිස්සු නොපෙනෙන බලාපොරොත්තු සොයමින් සිටිති.

ගමේ එක්තරා නිවසකට නාඳුනන පුද්ගලයන් නිතර පැමිණෙන බවට ද ගම්මුන් තුළ කතාවක් පවතී. මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේරසිංහගේ උපදෙස් පරිදි බළංගොඩ සහකාර පොලිස් අධිකාරි සේනානායක, බළංගොඩ පොලිස් ස්ථානාධිපති යූ.බී. තෙන්නකෝන්ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති ජේ.ඩී.ඩී.පී‍. ජයකොඩි ඇතුළු නිලධාරීහු සහන් පිළිබඳ පරීක්ෂණ පවත්වති.

මේ වනවිට සහන්ගේ අභිරහසක් සමඟ ම සමනලවත්තේ සෙසු දරුවන් ද භීතියට පත්ව සිටිති. වෙනදා දැඩි ස‍ීතලේ ද සෙල්ලම් කළ දරුවෝ නිවසින් පිටතට නොඑති. සහන්ට මොකද වුණේ? රටට ම ප්‍රශ්නයකි.

සහන් ගී ගයන්නට ඉතා දක්ෂ ය. තවත් දින හතකින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පෙරුම් පිරූ සහන් ගැන පන්තියේ මිතුරු මිතුරියෝ ද කම්පාවට පත්ව සිටිති. සහන්ගේ නිවසේ සිට සමනලවත්ත විද්‍යාලයට ඇත්තේ කිලෝමීටර් එක හමාරකට ආසන්න දුරකි. එහෙත් කෙටි පාරවල් ඔස්සේ දිනපතා කෙළිදෙලෙන් දුව පැන යන සහන් පාසල තුළ ද ඉතා ජනප්‍රිය වී ඇත්තේ අපූරු ගීත ගායනා නිසා ය.

සමනලවත්ත විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලබන අචිනි මධුෂිකා (16) සහන් පිළිබඳ මෙසේ කියයි. “අපේ පාසල තියෙන්නේ නගරයෙන් ඉතා ම ඈත; යන්න එන්න පාරක් හරිහැටි නැහැ; සීතලත් එක්ක ජීවත්වෙන්න පුදුම සටනක් කරන්න ඕන; අපි ජීවත්වන පැරණි ගෙවල්වල රාත්‍රියට අපට ලැබෙන්නේ අම්ම තාත්තාගේ තු‍රුලේදී ලැබෙන උණුසුම විතරයි. ඉරක් හඳක් දකින්නෙ කලාතුරන්. දැන් අපිට හරිම බයයි; සහන්ව හමුවෙයිද... එයාට මොකක් ද වුණේ‍? මේ ඉරණම තවත් මේ ගමේ දරුවන්ට වෙයිද? අපිට ඉගෙන ගන්න හිතේ ඉඩ නැහැ. අපි කියන්නෙ කොහොම හරි සහන් ව හොයල දෙන්න කියල; මට හිතෙනව සහන් කොහේ හරි ඇති කියලා.

එම්. සමන්තා (37) සමනලවත්ත ජීවත්වෙන කාන්තාවකි. “අපි ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. බළංගොඩ ඉඳල ගමට තියෙන කිලෝමීටර් එකොළහ ගමන් කරන්න පැය ගාණක් යනවා‍. මේ පැත්තේ ගොඩක් දෙනෙක් කුඩා දරුවන් ද ඇතුළු ව ඇඳුම රෝගයෙන් පෙළෙනවා; නුවරඑළියටත් වඩා සීතලයි‍. ගමට එන පාරවත් හරියට තිබුණා නම් මේ වගෙ කරදරයක් වෙච්ච වෙලාවට කොච්චර ලේසිද? දැන් අපේ දරුවොත් හරිම බයෙන් ඉන්නේ. හැකි ඉක්මනින් සහන් පුතාට මොකද වුණේ කියල හොයල දෙන්න කියලයි අපි කියන්නේ.

ආර්ථික ගැටලු මැද ජීවිතයත් එක්ක සටන් වදින සමනලවත්ත පදිංචි පවුල්වල ජනතාව සුසුම්ලමින් බලා සිටින්නේ සුරතල් සහන්ට කුමක් ‍සිදුවීද? පොලිසිය සහන් සොයා ගනීද? ගමේ ඉදිරියේ දී තවත් මෙවැනි සිදුවීම් සිදුවෙයිද? තම ආරක්ෂාවට ගත හැකි පියවර කුමක්ද කියා ය.

ඡායාරූප -

රාස්සගල සම්පත් ප්‍රියනන්දන

Comments