
ඉඳහිට ඔහුගේ දෑස් මහ මඟ දෙසට යොමු වෙයි. විටෙක දෑස් ලෑල්ල උඩ ඇති මල් ගොඩ මත ය. විටෙක ඇස් තව තැනක ය. ඇස් කොහේ ගිය ද හිත කොහේ ගියද ඔහු දෑත් එකම කාර්යයක ය. ඒ දෑත් කඩිසර ය. ඔහු මල් ගොතන්නේ පුරුදු වන්නට නොවේ. වසර ගණනාවක් තිස්සේ මල් ගොතන ඔහු වෘත්තියෙන් මල්මාලාකරුවෙකි. අව්ව වැස්ස රජයේ නිවාඩු දින කිසිවක් නැතිව ඔහු වෙහෙසෙන්නේ ජීවිතයේ අද දවස වෙනුවෙනි. ජීවිතයට ලතාවක් නොතිබුණ ද මේ මල්මාලාකරුවන්ගේ මල් වැල්වලට කලාවක් ලතාවක් ඇත.
උදෑසනට 120 මාර්ගයේ වැල්ලවත්ත කෝවිල අසල මාර්ග තදබදයට හසු වෙයි. දුවිලි, වාහන දුම් අතරින් බේරී හමා එන පිච්චමල් සුවඳ හිත පහන් කරයි. ඒ සුවඳ නහයට දැනෙන හැම මොහොතේ ඇස නතර වන්නේ ඉහත කී මල්කරු ළඟ ය. සැබැවින්ම අවට ලෝකය ගැන කිසිදු වග විභාගයක් නැති ඔහු මල් ගොතන්නේ කඩිසර දෑතිනි. ඉඳහිට පන්සල් යන්නට අප මල් මාලයක් ගොතන්නේ බොහෝ කාලයක් ගෙන ය. ඒ ඉදිකටුවකට නූලක් අමුණන්නට වෙනමම කාලයක් ගතකළ යුතුය. එහෙත් මේ මිනිසාට එවැනි කරදර නැත. ඔහු මල් ගොතන්නේ පොලිතින් නූලක ය. දවස පුරාම මල් ගොතන මේ මාලාකාරයන්ගේ ජීවිත හොයා පසුගිය දිනෙක අප කොළඹ අවට කෝවිල් සිද්ධස්ථාන කිහිපයකට ගියෙමු.
මිනිසුන්ට ජාති කුල ආගම් බේද ඇත. මල්වලට ද කුල ආගම් බේද ඇත. පැහැයෙන්, සුවඳින් නේක වුවද මේ සියලු මල් යන්නේ බුදු පුදට ය, නැති නම් දෙවි පුදට ය. එහෙත් අරුමය නම් මේ මල් මාලාකරුවන් අතර ජාති ආගම් බේදයෙන් තොර මිනිසුන් සිටීම ය.
මාලාකරුවන්ගේ ජීවිත පිළිබඳ සොයාගෙන යන ගමනේදී අපට හමු වූ අයෙකි මොහොමඩ්. ඔහු අපට හමුවූයේ මෝදර කෝවිල මාර්ගයේදී ය.
“මම කුලියට වැඩ කරන්නේ. මල් ගොතන්න ඉගෙනගත්තේ බලාගෙන ඉඳලමයි. දැන් මට හොඳට මල් ගොතන්න පුළුවන්. උත්සව කාලෙට කෝවිල වඳින්න එන අය අපෙන් මල් ගන්නවා. එක එක මිල ගණන්වලට මල් මාල විකුණනන්න තියෙනවා.“
මොහොමඩ් අප සමඟ කතා කරන අතරේ ම මල් අමුණයි.
මල් කඩ ඉදිරියෙන්ම ඇත්තේ එක එක ප්‍රමාණයේ උසට ගොතන ලද මල් මාලා ය. මේ මල් අතර පිච්ච මල්, ඉද්ද මල් මෙන්ම ඩේලියා මල් ද රත් මල් මාල ද වේ. මෝදර කාලි මෑණියන්ගේ කෝවිල ඉදිරිපිටම කඩය තරුණ පිරිමි ළමයි දෙදෙනෙකි.
“අපේ කඩේ කරන්නේ අම්මා. බුත්තල, පුත්තලම පැති වලින් තමයි මල් ගේන්නේ. අපි අම්මට උදව් කරනවා. පහමාර විතර වෙනකොට අපි මෙතනට එනවා. හවස හත විතර වනතුරු ඉන්නවා. සිකුරාදා, අඟහරුවාදා දවස්වලට බිස්නස් එකක් තියෙනවා. මම අවුරුදු දොළහේදී වගේ තමයි මල් ගොතන්න පුරුදු වුණේ. අපි බොහෝම සතුටින් තමයි මේ රස්සාව කරගෙන යන්නේ. උදාර පවසන්නේය.
මල් විකිණීම තම ජීවන වෘත්තිය කරගත් මේ අය නිසා තවත් පිරිසක් ජීවන වෘත්තිය ලෙස මල් තෝරාගෙන සිටී. ඒ මොවුන්ට මල් ගෙන එන්නෝ ය. වතු සුදු ඉද්ද ආදී මල් ගෙන එන්නේ පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයෙනි. පිච්ච මල් ගෙන එන්නේ බදුල්ල ප්‍රදේශයෙනි. කපුරු ආදි මල් ගෙන එන්නේ දියතලාව ආදි ප්‍රදේශ වලිනි.
මල් වවන්නන් මේ මල් කෝච්චියට හෝ බස් රථවල කොළඹට පටවා එවන අතර කොළඹ සිටින අතරමැදියෙකු ඒ මල් භාරගෙන අදාළ මල්කරුවන්ට ඒවා බෙදා දෙනු ලැබේ. ඇතැම් පායන කාලවලට මල් පිපෙනවා අඩුය. එවිට මල්වල මිල ගණන් ඉහළ යනු ඇත. සුදු පැහැ මලක ඇති සොඳුරු බව මේ මල්කරුවන්ගේ ජීවිතවල නැත.
කුරුණෑගල උපන් ඔහු කොළඹට එන්නේ හිතුවක්කාර ගමනකි. ඒ ගමන ඔහුගේ ජීවිතය වෙනස් කළේය. අද ඔහු ස්වාධින මිනිසෙකි. කුමාර අපට මුණ ගැසුණේ ගාලු පාරේ කදිරේෂන් කෝවිල ආසන්නයේ ඇති මල්කඩ පේලියේදීය.
“මම කොළඹට ඇවිල්ලා අවුරුදු තිස් ගාණක් වෙනවා. අපේ පවුලේ ඔක්කෝම එකොළොස් දෙනයි. මම පවුලේ නවවෙනියා. මම අපේ ගමේ මාමා කෙනෙක් එක්ක කොළඹ ආවා. එතකොට මට අවුරුදු නවයක් විතර ඇති. ගෙදරට නොදන්වා හිතුවක්කාර කමට ආවේ. මම ඒ මාමාගේ මල් කඩේ වැඩ පුරුදු වුණා. කෑම බීම ලැබුණට, ඉන්න ලැබුණට පඩියක් ලැබුණේ නැහැ. මාස දෙකක් විතර තමයි මට ඉන්න ලැබුණේ. ගෙදරින් ඇවිල්ලා මාව එක්කගෙන ගියා. ආයෙත් අවුරුදු දාහතේදි තමයි මම කොළඹ ආවේ. මම අනුන්ගේ මල් කඩයක වැඩ කෙරුවා. ඉන් පස්සේ මගේම කියලා එකක් පටන් ගත්තා. කුලියට කෙනෙක් අරන් වැඩ කරන්න අමාරුයි. ඒ කෙනාට දවසට රුපියල් එක්දහස් පන්සීයක් දෙන්න ඕන. ඒනිසා මමයි කඩේ වැඩ කරන්නේ. දුරින් ගේන පිච්ච මල් අපට විකුණන්නේ සේරු ගානට. මල් බෑග් එකක් රුපියල් පන්සියක් වෙනවා. වතුර ඉහලා දවස් තුනක් විතර තියා ගන්න පුළුවන්. හරියට වෙලාවට විකුණ ගන්න ලැබුණේ නැත්නම් මල් පරවුණාම විසි කරනවා. මහා ලොකු ලාභයක් නැති වුණාට ජීවත්වෙන්න මේ හොඳටම ඇති. “
කූමාර ලහිලහියේ ඉද්ද පොහොට්ටු ගොතමින් පවසන්නේ ය. මීට කලකට පෙර මල් ගොතනු ලැබුවේ කෙසෙල් පට්ටා වලිනි. ඒ කාලයේ මේ මල්කරුවන්ට කෙසෙල් පට්ටා සපයන්නෝද වූහ. නමුත් දැන් මාලාකරුවන් කෙසෙල් පට්ට වෙනුවට භාවිත කරන්නේ පොලිතීන් ය.
ජීන්තුපිටියේ ඒ.ඇල්.ඒ සුසන්ත කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මාවතේ මල් කඩයක් කරගෙන යන්නෙකි.
“අපේ පුංචි අම්මලාගේ ගෙදරට කුලියට ආව කෙනා මල් ගොතනවා. මම ඔහුගෙන් තමයි මල් ගොතන්න ඉගෙනගත්තේ. එතකොට මට අවුරුදු දාහතක් විතර ඇති. දැන් මම බැඳලා දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අපිට මහා ලොකු දියුණුවක් නැහැ. ඒත් හම්බවෙන මුදල ජීවත් වෙන්න ඇති. නැකැත් කාලෙට තමයි ගානක් හොයා ගන්න පුළුවන්. දෙසැම්බර් මාසෙට මල් අඩුයි.
ඒ කාලෙට වැඩි ගානකට අරගෙන තමයි මල් ගොතලා විකුණන්න වෙන්නේ. පිච්ච මල් විකුණන්නේ යාර ගානට. කෝවිලට පල්ලියට විතරක් නෙමෙයි මඟුල් ගෙවල් සරසන්නත් සමහරු අපෙන් මල් අරගෙන යනවා. රාජ මොට්ටු මල් මාල වගේම ඊතණ මාල, හාතවාරියා කොළ මාල, විකුණන්න තියෙනවා. ඒ කොළමාල ගන්නේ ගණදෙවියන්ට පුජා කරන්න.
සුසන්ත කියන්නේ තමන් ළඟ විකුණන්ට ඇති දෑ පිළිබඳ ය.
“මෝදර කාලි මැණියන්ගේ දේවාලය අසල මල්කඩවල රත්මල් මාල විකුනන්ට ද තිබේ. මේ රත් මල් මාල ගෙතීම පහසු නැත. අක්කා නගෝ දෙදෙනෙක් ඒ අසල හෙවණකට වී ඉතාම සකසුරුවමට රත්මල් මාල ගොතන දෙස අප බලා සිටින්නට වීමු. ඔවුන් අප හා කතා කරන්නට අකැමැති විය. නම, ගම කියන්නට ද අකැමැති විය. කවුද දන්නේ මොකට ද කියලා. අපි සෑහෙන කාලයක් තිස්සේ මේ රස්සාව තමයි කරන්නේ. එපා වෙන්නේ නැහැ. එත් කම්මැළි හිතුනම ටිකක් විවේක ගන්නවා.“
මැදි වියේ පසුවන අක්කා නගෝ පවසන්නේ රත්මල් මාල අමුණන අතරේය. මිනිසුන් ජීවත් වන්නට නොකරන දෙයක් නැත. මේ ඔවුන්ගේ ජීවන වෘත්තියයි. මොවුන් මල් ගණන් ගියැයි කියා උද්ඝෝෂණ කරන්නේ නැත. කාටවත් දොස් කියන්නේ ද නැත.ඔවුන් ගැන සොයන්න බලන්න ද කෙනෙක් නැත. එහෙත් ඔවුහු ජීවත් වෙති. දෙවියන් වෙනුවෙන් මල් ගොතති.
“ඉස්සර වගේ නෙමෙයි, දැන් හැමදේම මිලයි. මේ මල් මාලවල දාලා තියෙන රිබන් ගන්නේ සල්ලිවලට. මල් මාලේ මැදට දාලා තියෙන්නේ වල් කොළ. මේවා වල් කොළත් නෙමෙයි. කැලෑවල තියෙනවා සුදු පාට රෝස පාට මල් පිපෙන වැල් ජාතියක්. අන්න ඒ වැල්වල කොළ තමයි මේ මල් මාලවල මැදට දාලා තියෙන්නේ. මේ මල් කඩේ අයිති නවරත්නම් මුදලාලි ඉන්නේ කුරුණෑගල, මාවතගම.
අපි තමයි දැන් කඩේ කරගෙන යන්නේ. ඔහුයි අපි සහෝදරයෝ වගේ. මොනවා උනත් මල් එක්ක දවස ගතකරන එක සතුටක්. මේ තියෙන්නේ වතු සුද්ද මල් පොහොට්ටු. මේවා දේවාලේ වඳින්න යන අය ගන්නේ නැහැ. මේ මල් මාල ගන්නේ කොණ්ඩේ සරසන්න. අවුරුදු 7න් තමයි මල් ගොතන්න පුරුදු වුණේ. දැන් මට අවුරුදු පනහක් වෙනවා වයස.“ මනෝජ් කුමාර් පවසන්නේය.
සුදෝ සුදු පැහැ ඉද්ද මල් පොහොට්ටු එක ගොනුවකට ගොතා තිබෙන විට හරි අපුරු ය. හීන් නූලක් ඇමිණූ පිච්ච මල්වලින් විහිදෙන සුවඳ සිත සනසයි. දාස්පෙතියා මලින් ගෙතෙන මල්මාල සියල්ල හැඩ වන්නේ පිරිමි දෑත් වලිනි. ඔවුහු ඒ සියුම් කාර්යයේ දක්ෂයෝය. ඈත වතුවල පිපී අතින් අත ගැටී කොළඹ අවට සිද්ධස්ථාන අසල මල් කඩවල එක පෙළට එල්ලී සිටින මේ මල් මාල අහිංසක මිනිසුන් රැසකට ජීවිතය ගෙන එයි. සැබැවින්ම ගසක පිපී එගස පාමුලම පරවී වැටි මිය යන මල්වලට වඩා මේ වතුසුදු, ඉද්ද, පිච්ච දාස්පෙතියා අරලිය ආදි වූ මල්වලට බොහෝ වටිනාකමක් ඇත.