රැවු­ල්කාර ගමක අන්තිම රැවුල්කාරයා | Page 2 | සිළුමිණ

රැවු­ල්කාර ගමක අන්තිම රැවුල්කාරයා

අපේ රටේ රැවුල්කාරයෝ බොහෝය. රැවුල මඟින් විටෙක පුද්ග­ල­ය‍ාගේ පෞරු­ෂ­ය විදහා දැක්ෙවයි. ඉකුත් දිනෙක මිනු­ව­න්ගොඩ හීන­ටි­යන ගමට ගිය අපට දිගු රැවු­ල්කා­ර­යෙක් හමු විය. ඒ අහ­ම්බෙනි. ඒ රැවුල් කාර­යාගේ කතා­වයි මේ.

‘ඉස්සර මේ ගමේ රැවු­ල්කා­රයෝ ඉඳලා තියෙ­නවා නේද? දැන් නැද්ද?’ හීන­ටි­යන ගමට ගිය ගම­න­කදී මඟ පෙන්ව­න්නට ගිය අය­කු­ගෙන් නික­මට ඇසු­වෙමි. ඉස්සර ඉඳලා තියෙ­නවා.... දැනුත් එක්කෙ­නෙක් ඉන්නවා. මඟ පෙන්වන්නා ‘රාළ­හාමි අයි­යාගේ’ නිවෙ­සට අප කැද­වා­ගෙන ගියේය. රාළ­හාමි අයියා දකින තුරුම හිතේ ඇඳී තිබුණේ සාමාන්‍ය උඩු රැවු­ලක් , එහෙ­මත් නැති­නම් උඩු රැවුල, යටි රැවුල දෙකම වැවූ අයෙ­කුගේ චිත්‍ර­යකි. නමුත් වසා තිබූ දොර හැර­ගෙන අප ඉදි­රි­යට ආවේ උඩු රැවුල යටි රැවුල දෙකම වැවූ සද්දන්ත මිනි­සෙකි.

අපි ‍ෙමාහො­ත­කට සිටි තැනම නතර විමු.

‘වාඩු­වෙ­මුකෝ’

ඔහුගේ හඬ දඩ­බ්බර ය.

‘මේ ගමේ ඉස්සර රැවුල් වවපු අය හිටි­යලු නේද ?’

ඔහු­ගෙන් එක් වරම ප්‍රශ්න අස­න්නට හිත අදි­මදි කරයි.

මොහු කෙබඳු පුද්ග­ල­යෙක්ද.... චණ්ඩි­යෙක් ද, හිත නොයෙක් ප්‍රශ්න අසයි.

දැන් කවු­රුත් නිහ­ඬය. ඔහුට කතා කර­න්නට දී අපි බලා සිටි­යෙමු.

‘ඔව්... ඉස්සර මේ ගමේ අය රැවුල් වැව්වා. රැවුල් කර­ක­වපු අය හිටියා. දැන්නම් මේ ගමේ ඉන්න මේ විදි­යට රැවුල වවපු එකම එක්කෙනා මමයි.’

‘රාළ­හාමි අයියා’ පව­සන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

රැවුල පිරි­මි­යෙ­කුගේ පෞරු­ෂය විදහා දක්වයි.

යටි රැවුල වැවීම කෙනෙ­කුගේ බුද්ධිය, උග­ත්කම, දාර්ශ­නි­ක­ත්වය සංකේ­ත­වත් කරන බව බොහෝ අයගේ මත­යයි. තේජා­න්විත බව, හැඩ­කා­ර­බව විදහා දැක්වී­මට උඩු­රැ­වුල වවන බව තවත් මත­යකි. කොහොම නමුත්, අද වන විට තරුණ පර­ම්ප­රාව අතර රැවුල වැවීම මෝස්ත­ර­යක් වී ඇත. රැවුල වැවීම ද එක්තරා කලා­වකි. රැවුල මුළු­ම­නින්ම ඉවත් කළ­වුන් ‘මුඩු­මයා’ යැයි සමා­ජය හඳු­න්වයි. නිවට ඇම්බැට්ටයා දුටු විට එළු­වන් රැවුල පානවා යැයි කෙනෙ­කුගේ දුර්ව­ල­කම මතු­කර දීමට ජන­ප්‍ර­වා­දයේ එන යෙදු­මකි. කොහොම වුණත් හීන­ටි­යන දී අපට හමුවූ රාළ­හාමි අයියා දිගට දිගේ දික් වූ තම රැවුල ගැන කතා කරන්නේ ආඩ­ම්බ­ර­යෙනි.

“මම ඉඳලා හිටල පිට­කො­ටුවේ යනවා. ඒ ගිය­හම මාර්කට් එක පැත්තේ ගොල්ලෝ අහ­නවා ‘ආ’...අයියා කවද්ද ආවේ කියලා. ඒ අ‍ය‍ගේ හිතේ මම හිරේ ඉඳලා ආව කෙනෙක් කියලා.

තවත් අය අහ­නවා “ආ අයියා කවද්ද ආයේ යන්නේ” කියලා.

එහෙම අහන්නේ මම හිරේ යන දවස. මම කිය­නවා. ළඟදි යන්න තමයි ඉන්නේ කියලා! රාළ­හාමි අයියා පව­සන්නේ හිනැ­හෙ­මිනි.

රාළ­හාමි අයියා, රාළ­හාමි මාමා ආදී නම් වලින් ගම්මුන් විසින් හඳු­න්වන ‘රාළ­හාමි’ ගේ නම ජය­සිංහ සිල්වා ය. වයස අවු­රුදු හැට­හ­තකි. වෘත්ති­යෙන් පෙද­රේ­රු­වෙකි.

“මේ ගම මගේ ආච්චිගේ සීයගේ කාලේ ඉද­ලම ‘රැවුල ට’ බොහෝම ප්‍රසිද්ධ ගමක්. අපේ සීයලා ට අක්කර නව­සි­යක් තිබිලා තියෙ­නවා. නමුත් ඔවුන් ඉඩම් විකු­ණලා පින්කම් කරපු අය. මගෙ තාත්තාට ගොන් කර­ත්ත­යක් තිබුණා. ඔහු කිරි හරක් හැදුවා. ඉස්සර ගමේ මළ­ගෙ­යක් වුණාම රැවුල වවා­ගත්ත කෙනෙක් සුදු ඇඳ­ගෙන අව­මං­ගල පෙර­හරේ ඉස්ස­ර­හින්ම යනවා. අපේ රාළ­හාමි සීයා එහෙම ගිය කෙනෙක්. මං ගැන කිව්වොත් මම බස් එහෙක නැග්ගොත් කවු­රු­වත් මා ළඟ වාඩි වෙන්නේ නෑ. මට හිතෙ­නවා මිනිස්සු මගේ පෙනු­මට බයයි කියලා.

‘ඇත්තට චණ්ඩි­යෙක් ද?’

‘මොන පිස්සුද ?’

ඔහු හක හක ගා හිනැ­හෙ­න්නට විය.

‘මගේ පෙනුම හැඩි දැඩි වුණාට මම චන්ඩි­යෙක් නෙමෙයි. මං බොහෝම අහිං­සක මිනි­හෙක්. මම මගේ දරුවෝ පවුල එක්ක බොහෝම සතු­ටෙන් ඉන්න කෙනෙක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දුවක් ඉන්නවා. මං මගේ දරු­වන්ට ගහලා හදලා නැහැ. ඒත් මගෙ දරුවෝ වැරදි කරන්නේ නැහැ.’

රාළ­හාමි අයියා තම පවුලේ විස්තර පව­සයි. ඔහු තම දරු­වන්ගේ මංගල ඡාය­රූප එකින් එක ගෙන පෙන්වයි. අප මුලින් දුටු මිනි­හාට වඩා දැන් ඔහු වෙනස්ය. කතා බහ සර­ලය. කතා කර­ගෙන යන අත­ර­තුර ඔහුට යමක් මතක් විය.

‘මං වන්ෂොට්ගේ මස්සිනා.’

‘වන්ෂොට් කියන්නේ හිටපු චණ්ඩි­යෙක් නේද?’

“අන්න හරි’ වන්ෂොට් අසූ ගණ­න්වල මැරුණේ. ‘වන්ෂොට්’ කියලා නම වැටුණේ ඔහු ගහන පාර­වල් ඉතාම දරු­ණුයි. මට මත­කයි ඒ කාලේ ඔහුට මෝටර් සයි­ක­ල­යක් තිබුණා. මේ මෝ‍ටර් සයි­ක­ලයේ නැගලා තමයි ඔහු ගම පුරාම යන්නේ. ‘ලෝකය පෙර­ලෙයි කාලේ ගෙවී යයි’ සින්දුව තමයි ඔහුගේ කටේ නිත­රම තිබුණ සින්දුව අද­ටත් තියෙන හීන­ටි­යන නවක තරු එල්ලේ ටීම් එක හදන්න මුල් වුණේ ඔහු. මිනිස්සු කියන තරම් ඔහුගේ චණ්ඩි­ක­මක් තිබුණේ නැහැ. පුංචි කතා­වක් තමයි ලොකු කතා­වක් වුණේ. රුපි­යල් හැත්තෑවේ ගෝඩා බැරල් එකක රණ්ඩු­වක් දුර දිග ගියා. දෙපි­ලක් අතර ගැටු­මක් ඇති වුණා. මගේ මස්සිනා විවාහ වෙලා හිටියේ නැහැ. එයා මැරෙන කොට වයස අවු­රුදු 28 යි. 1998 අවු­රුද්දේ තමයි මැරුණේ. ලස්ස­නට කොණ්ඩේ හදලා, සරම කමී­සය ඇදලා තමයි ඔහු ඉන්නේ. අවු­රුදු දහ අටක් විතර කාලෙදි වන්ෂොට් කියලා පච්ච­යක් කොටලා තිබුණා. මැරෙ­න­කොට මල් වැලක් පච්ච කොටලා තිබුණා. ඔහුට හිටියා අයි­යයි, මල්ලියි තව ගෑනු ළමයි හතර දෙනෙ­කුයි. ඔහුගේ අයි­යත් අකා­ලයේ මැරුණේ. වන්ෂො­ට්ගෙයි, අයි­ය­ගෙයි මිනී වළලා තියෙන්නේ මහ­ගෙ­දර ගේට්ටුව දෙපැත්තේ.”

ජය­සිංහ කියන්නේ තමන් දන්නා අතී­ත­යයි. ඔහු විශ්වාස කරන්නේ ඔවුන් බල­පි­ටි­යෙන් පැමිණි බවය. “අපේ මුත්තලා බල­පි­ටියේ පදිංචි අය. පහු කාලී­නව මේ ගමට ආව කියලා තමයි සීයලා ආච්චිලා කියන්නේ. මේ ගමේ වාස­ගම් හත­රක් තියෙ­නවා. මහිත්තු, කාලිංග, දින­යාදු හා ලොකු අරු­මගේ කියන පෙළ­පත් තාම තියෙන්නේ. මේ ගම්වල මිනිස්සු තාමත් හරිම එක­මු­තුයි. ගමේ කාට හරි දුකක් කර­ද­ර­යක් වුණොත් ගමේම අය එතැ­නය.”

ජය­සිංහ අපු­රුය. ඔහු අපට විශේෂ වුණේ ඔහුගේ රැවුල නිසාය. ඔහු ඇවි­දින්නේ ගාම්භීර අයු­රිනි.

“මම විවාහ වෙන­කොට රැවුල වවලා හිටියේ නැහැ. මේ රැවු­ලට අවු­රුදු හත­ළි­හක් විතර ඇති. ගෙදර කිසිම කෙනෙ­කුගේ අකැ­මැ­ත්තක් නැහැ මම රැවුල වව­න­වට. මම රැවු­ලට හොඳට සත්කාර කර­නවා. මාව දැක්කම මිනිස්සු හිත­නවා ඇති මම චණ්ඩි­යෙක් කියලා. ඒත් මං චණ්ඩි­යෙක් නෙමෙයි. මගේ අම්මා නොහි­ටියා නම් මං අද චණ්ඩි­යෙක් තමයි.”

ඔහු දිගු කල්ප­නා­වක ගිලෙ­මින් පැවැ­සුවේ රැවුල අත­ගා­මිනි. දැන් සිය­ල්ලෝම නිහ­ඬය. ඔහු තප්පර විනාඩි ගණ­නා­වක් නිහ­ඬව සිටි­යේය.

‘ඉස්සර නම් කියන්නේ 1960 ගණ­න්වල මේ ගමේ ‘චණ්ඩි සිරම්මා’ කියලා මිනි­හෙක් ඉඳලා තියෙ­නවා. හීන­ටි­යන පන්සලේ ලොකු හමු­දු­රුවෝ තමයි ඒ මිනි­හව මෙල්ල කරලා තියෙන්නේ. පස්සේ මිනිහා හාමු­දු­රු­වන්ට බය නිසාම හොඳ මිනි­හෙක් වුණාලු. මගෙ අම්මා බොහෝම සැර පරුෂ කෙනෙක්. මගේ තාත්තා ඊට හාත්ප­සින්ම වෙනස් කෙනෙක්. ඔහු බොහෝම නිහඬ නිවුණු පුද්ග­ල­යෙක්. මට මත­කයි මට අවු­රුදු අටක් නව­යක් විතර කාලේ මම බූරුවා ගැහුවා. ශත පනහ, ශත දහයේ ඔට්ටු­වට තමයි බූරුවා ගැහුවේ. මම රුපි­යල් අටක් දිනුම්. කොහොම හරි අම්මා මේක දැන ගත්තා. අම්මා මාව කඹ­දාලා ගොරොක් ගහේ බැන්දා. අක්කලා දෙන්නා තමයි මාව ගහේ බඳින්න අම්ම‍ට උදව් කළේ. මෙන්න මිනී මර­නවෝ කියලා මම කෑගැ­හුවා. ඒත් අම්මා නෙමෙයි මට අනු­කම්පා කළේ. අපේ අම්මා කිව්වොත් කිව්වා. ගමේම අය අම්මට බයයි. ගමේ හැමෝම අම්මට කි‍ව්වේ ඇජි ලොක්කි කියලා. අම්මගෙ නියම නම ඩාර්ලි­නෝනා කොහොම හරි අම්ම­වත් අක්ක­ලා­වත් මාව ගහෙන් ලෙහෙව්වේ නැහැ. තාත්තා ගෙදර එන­තු­රුම මාව ගහේ බැඳලා දිමියෝ ඇඟ පුරාම කනවා පුදුම වේද­නා­වක් තාත්තා මාව දැකලා හැමෝ­ටම බැන්නා. තාත්තා මාව ගහෙන් ලිහලා ශත දොළ­හ­කට කැවුම් දෙකක් ගෙනැල්ලා දුන්නා. ඒ තමයි මම බුරු ගහපු පළ­වෙනි සහ අව­සාන දවස. ඉන් පස්සේ මම නරක වැඩ­ව­ලට ගියේ නැහැ.

එදා ගොරොක් ගහේ බැඳ දිමි ගොටු දැමු පොඩි කොලුවා දැන් විය­පත් මිනි­සෙකි. ජීවි­තය දෙස ආපසු හැරී බල­මින් ඔහු අද ගැන තුටු වන්නේය.

“මිනි­සුන්ට චණ්ඩි­කම් පෙන්නලා මොක­ටද? මේ රැවුල මට ආඩ­ම්බ­ර­යක්. මං කැම­තියි ලස්ස­නට ඉන්න. මට ම‍ගේ ලෝකය කියන්නේ මගෙ බිරිය හා දරු­වන්. මං විවාහ වන දවසේ මගේ දෙවැනි මන­මා­ල­යට හිටියේ වන්ෂොට්. කවු­රුත් ඔහුට වන්ෂොට් කිව්වට ඔහුගේ නියම නම වී ධර්ම­රත්න සිල්වා ගමේ අය කිව්වේ මයියා කියලා. තව සම­හරු චමල් මහ­ත්තයා කිව්වා. එල්ලේ කණ්ඩා­ය­මට බෝල, පිති අරන් දීලා ඔහු හොඳට උදව් කළා.

‘එත­කොට අර වන්ෂොට් චිත්‍ර­ප­ටයේ තියෙන්නේ ධර්මෙගෙ කතා­වද ?’

රාළ­හාමි අයි­යාගේ කතාවේ මැදට පැන අපි ඇසීමු. ‘මොන පිස්සුද. ඒක චිත්‍ර­ප­ට­යක්නේ. මේ අපේ ධර්මේ මල්ලිගේ කතාව නෙමෙයි ඒකේ තියෙන්නෙ’. දිග රැවුලා එසේ පැවැ­සුවේ ගොරෝසු හඬිනි. ඔහුගේ බිරිය ලේලිය ඔහු අස­ලය. හැඩි දැඩි පෙනු­මැති දිග රැවු­ලාට යට වී සිටින මිනිසා සැබැ­වින්ම වෙනස්ය. ඒ වෙන­ස්කම හඳුනා ගන්නට නම් ඔහු සමඟ කතා කළ යුතු­මය. නමුදු ඕනෑම පොඩි එකෙක් පම­ණක් නොව කවු­රුන් වුවත් ඔහු දුටු සැණින් මොහො­ත­කට තිගැ­ස්සෙනු නොඅ­නු­මා­නය.

ඡායා­රූප - සමන්ත වීර­සිරි

Comments