
අපේ රටේ රැවුල්කාරයෝ බොහෝය. රැවුල මඟින් විටෙක පුද්ගලයාගේ පෞරුෂය විදහා දැක්ෙවයි. ඉකුත් දිනෙක මිනුවන්ගොඩ හීනටියන ගමට ගිය අපට දිගු රැවුල්කාරයෙක් හමු විය. ඒ අහම්බෙනි. ඒ රැවුල් කාරයාගේ කතාවයි මේ.
‘ඉස්සර මේ ගමේ රැවුල්කාරයෝ ඉඳලා තියෙනවා නේද? දැන් නැද්ද?’ හීනටියන ගමට ගිය ගමනකදී මඟ පෙන්වන්නට ගිය අයකුගෙන් නිකමට ඇසුවෙමි. ඉස්සර ඉඳලා තියෙනවා.... දැනුත් එක්කෙනෙක් ඉන්නවා. මඟ පෙන්වන්නා ‘රාළහාමි අයියාගේ’ නිවෙසට අප කැදවාගෙන ගියේය. රාළහාමි අයියා දකින තුරුම හිතේ ඇඳී තිබුණේ සාමාන්‍ය උඩු රැවුලක් , එහෙමත් නැතිනම් උඩු රැවුල, යටි රැවුල දෙකම වැවූ අයෙකුගේ චිත්රයකි. නමුත් වසා තිබූ දොර හැරගෙන අප ඉදිරියට ආවේ උඩු රැවුල යටි රැවුල දෙකම වැවූ සද්දන්ත මිනිසෙකි.
අපි ෙමාහොතකට සිටි තැනම නතර විමු.
‘වාඩුවෙමුකෝ’
ඔහුගේ හඬ දඩබ්බර ය.
‘මේ ගමේ ඉස්සර රැවුල් වවපු අය හිටියලු නේද ?’
ඔහුගෙන් එක් වරම ප්‍රශ්න අසන්නට හිත අදිමදි කරයි.
මොහු කෙබඳු පුද්ගලයෙක්ද.... චණ්ඩියෙක් ද, හිත නොයෙක් ප්‍රශ්න අසයි.
දැන් කවුරුත් නිහඬය. ඔහුට කතා කරන්නට දී අපි බලා සිටියෙමු.
‘ඔව්... ඉස්සර මේ ගමේ අය රැවුල් වැව්වා. රැවුල් කරකවපු අය හිටියා. දැන්නම් මේ ගමේ ඉන්න මේ විදියට රැවුල වවපු එකම එක්කෙනා මමයි.’
‘රාළහාමි අයියා’ පවසන්නේ ආඩම්බරයෙනි.
රැවුල පිරිමියෙකුගේ පෞරුෂය විදහා දක්වයි.
යටි රැවුල වැවීම කෙනෙකුගේ බුද්ධිය, උගත්කම, දාර්ශනිකත්වය සංකේතවත් කරන බව බොහෝ අයගේ මතයයි. තේජාන්විත බව, හැඩකාරබව විදහා දැක්වීමට උඩුරැවුල වවන බව තවත් මතයකි. කොහොම නමුත්, අද වන විට තරුණ පරම්පරාව අතර රැවුල වැවීම මෝස්තරයක් වී ඇත. රැවුල වැවීම ද එක්තරා කලාවකි. රැවුල මුළුමනින්ම ඉවත් කළවුන් ‘මුඩුමයා’ යැයි සමාජය හඳුන්වයි. නිවට ඇම්බැට්ටයා දුටු විට එළුවන් රැවුල පානවා යැයි කෙනෙකුගේ දුර්වලකම මතුකර දීමට ජනප්රවාදයේ එන යෙදුමකි. කොහොම වුණත් හීනටියන දී අපට හමුවූ රාළහාමි අයියා දිගට දිගේ දික් වූ තම රැවුල ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි.
“මම ඉඳලා හිටල පිටකොටුවේ යනවා. ඒ ගියහම මාර්කට් එක පැත්තේ ගොල්ලෝ අහනවා ‘ආ’...අයියා කවද්ද ආවේ කියලා. ඒ අයගේ හිතේ මම හිරේ ඉඳලා ආව කෙනෙක් කියලා.
තවත් අය අහනවා “ආ අයියා කවද්ද ආයේ යන්නේ” කියලා.
එහෙම අහන්නේ මම හිරේ යන දවස. මම කියනවා. ළඟදි යන්න තමයි ඉන්නේ කියලා! රාළහාමි අයියා පවසන්නේ හිනැහෙමිනි.
රාළහාමි අයියා, රාළහාමි මාමා ආදී නම් වලින් ගම්මුන් විසින් හඳුන්වන ‘රාළහාමි’ ගේ නම ජයසිංහ සිල්වා ය. වයස අවුරුදු හැටහතකි. වෘත්තියෙන් පෙදරේරුවෙකි.
“මේ ගම මගේ ආච්චිගේ සීයගේ කාලේ ඉදලම ‘රැවුල ට’ බොහෝම ප්‍රසිද්ධ ගමක්. අපේ සීයලා ට අක්කර නවසියක් තිබිලා තියෙනවා. නමුත් ඔවුන් ඉඩම් විකුණලා පින්කම් කරපු අය. මගෙ තාත්තාට ගොන් කරත්තයක් තිබුණා. ඔහු කිරි හරක් හැදුවා. ඉස්සර ගමේ මළගෙයක් වුණාම රැවුල වවාගත්ත කෙනෙක් සුදු ඇඳගෙන අවමංගල පෙරහරේ ඉස්සරහින්ම යනවා. අපේ රාළහාමි සීයා එහෙම ගිය කෙනෙක්. මං ගැන කිව්වොත් මම බස් එහෙක නැග්ගොත් කවුරුවත් මා ළඟ වාඩි වෙන්නේ නෑ. මට හිතෙනවා මිනිස්සු මගේ පෙනුමට බයයි කියලා.
‘ඇත්තට චණ්ඩියෙක් ද?’
‘මොන පිස්සුද ?’
ඔහු හක හක ගා හිනැහෙන්නට විය.
‘මගේ පෙනුම හැඩි දැඩි වුණාට මම චන්ඩියෙක් නෙමෙයි. මං බොහෝම අහිංසක මිනිහෙක්. මම මගේ දරුවෝ පවුල එක්ක බොහෝම සතුටෙන් ඉන්න කෙනෙක්. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. දුවක් ඉන්නවා. මං මගේ දරුවන්ට ගහලා හදලා නැහැ. ඒත් මගෙ දරුවෝ වැරදි කරන්නේ නැහැ.’
රාළහාමි අයියා තම පවුලේ විස්තර පවසයි. ඔහු තම දරුවන්ගේ මංගල ඡායරූප එකින් එක ගෙන පෙන්වයි. අප මුලින් දුටු මිනිහාට වඩා දැන් ඔහු වෙනස්ය. කතා බහ සරලය. කතා කරගෙන යන අතරතුර ඔහුට යමක් මතක් විය.
‘මං වන්ෂොට්ගේ මස්සිනා.’
‘වන්ෂොට් කියන්නේ හිටපු චණ්ඩියෙක් නේද?’
“අන්න හරි’ වන්ෂොට් අසූ ගණන්වල මැරුණේ. ‘වන්ෂොට්’ කියලා නම වැටුණේ ඔහු ගහන පාරවල් ඉතාම දරුණුයි. මට මතකයි ඒ කාලේ ඔහුට මෝටර් සයිකලයක් තිබුණා. මේ මෝටර් සයිකලයේ නැගලා තමයි ඔහු ගම පුරාම යන්නේ. ‘ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි’ සින්දුව තමයි ඔහුගේ කටේ නිතරම තිබුණ සින්දුව අදටත් තියෙන හීනටියන නවක තරු එල්ලේ ටීම් එක හදන්න මුල් වුණේ ඔහු. මිනිස්සු කියන තරම් ඔහුගේ චණ්ඩිකමක් තිබුණේ නැහැ. පුංචි කතාවක් තමයි ලොකු කතාවක් වුණේ. රුපියල් හැත්තෑවේ ගෝඩා බැරල් එකක රණ්ඩුවක් දුර දිග ගියා. දෙපිලක් අතර ගැටුමක් ඇති වුණා. මගේ මස්සිනා විවාහ වෙලා හිටියේ නැහැ. එයා මැරෙන කොට වයස අවුරුදු 28 යි. 1998 අවුරුද්දේ තමයි මැරුණේ. ලස්සනට කොණ්ඩේ හදලා, සරම කමීසය ඇදලා තමයි ඔහු ඉන්නේ. අවුරුදු දහ අටක් විතර කාලෙදි වන්ෂොට් කියලා පච්චයක් කොටලා තිබුණා. මැරෙනකොට මල් වැලක් පච්ච කොටලා තිබුණා. ඔහුට හිටියා අයියයි, මල්ලියි තව ගෑනු ළමයි හතර දෙනෙකුයි. ඔහුගේ අයියත් අකාලයේ මැරුණේ. වන්ෂොට්ගෙයි, අයියගෙයි මිනී වළලා තියෙන්නේ මහගෙදර ගේට්ටුව දෙපැත්තේ.”
ජයසිංහ කියන්නේ තමන් දන්නා අතීතයයි. ඔහු විශ්වාස කරන්නේ ඔවුන් බලපිටියෙන් පැමිණි බවය. “අපේ මුත්තලා බලපිටියේ පදිංචි අය. පහු කාලීනව මේ ගමට ආව කියලා තමයි සීයලා ආච්චිලා කියන්නේ. මේ ගමේ වාසගම් හතරක් තියෙනවා. මහිත්තු, කාලිංග, දිනයාදු හා ලොකු අරුමගේ කියන පෙළපත් තාම තියෙන්නේ. මේ ගම්වල මිනිස්සු තාමත් හරිම එකමුතුයි. ගමේ කාට හරි දුකක් කරදරයක් වුණොත් ගමේම අය එතැනය.”
ජයසිංහ අපුරුය. ඔහු අපට විශේෂ වුණේ ඔහුගේ රැවුල නිසාය. ඔහු ඇවිදින්නේ ගාම්භීර අයුරිනි.
“මම විවාහ වෙනකොට රැවුල වවලා හිටියේ නැහැ. මේ රැවුලට අවුරුදු හතළිහක් විතර ඇති. ගෙදර කිසිම කෙනෙකුගේ අකැමැත්තක් නැහැ මම රැවුල වවනවට. මම රැවුලට හොඳට සත්කාර කරනවා. මාව දැක්කම මිනිස්සු හිතනවා ඇති මම චණ්ඩියෙක් කියලා. ඒත් මං චණ්ඩියෙක් නෙමෙයි. මගේ අම්මා නොහිටියා නම් මං අද චණ්ඩියෙක් තමයි.”
ඔහු දිගු කල්පනාවක ගිලෙමින් පැවැසුවේ රැවුල අතගාමිනි. දැන් සියල්ලෝම නිහඬය. ඔහු තප්පර විනාඩි ගණනාවක් නිහඬව සිටියේය.
‘ඉස්සර නම් කියන්නේ 1960 ගණන්වල මේ ගමේ ‘චණ්ඩි සිරම්මා’ කියලා මිනිහෙක් ඉඳලා තියෙනවා. හීනටියන පන්සලේ ලොකු හමුදුරුවෝ තමයි ඒ මිනිහව මෙල්ල කරලා තියෙන්නේ. පස්සේ මිනිහා හාමුදුරුවන්ට බය නිසාම හොඳ මිනිහෙක් වුණාලු. මගෙ අම්මා බොහෝම සැර පරුෂ කෙනෙක්. මගේ තාත්තා ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. ඔහු බොහෝම නිහඬ නිවුණු පුද්ගලයෙක්. මට මතකයි මට අවුරුදු අටක් නවයක් විතර කාලේ මම බූරුවා ගැහුවා. ශත පනහ, ශත දහයේ ඔට්ටුවට තමයි බූරුවා ගැහුවේ. මම රුපියල් අටක් දිනුම්. කොහොම හරි අම්මා මේක දැන ගත්තා. අම්මා මාව කඹදාලා ගොරොක් ගහේ බැන්දා. අක්කලා දෙන්නා තමයි මාව ගහේ බඳින්න අම්මට උදව් කළේ. මෙන්න මිනී මරනවෝ කියලා මම කෑගැහුවා. ඒත් අම්මා නෙමෙයි මට අනුකම්පා කළේ. අපේ අම්මා කිව්වොත් කිව්වා. ගමේම අය අම්මට බයයි. ගමේ හැමෝම අම්මට කිව්වේ ඇජි ලොක්කි කියලා. අම්මගෙ නියම නම ඩාර්ලිනෝනා කොහොම හරි අම්මවත් අක්කලාවත් මාව ගහෙන් ලෙහෙව්වේ නැහැ. තාත්තා ගෙදර එනතුරුම මාව ගහේ බැඳලා දිමියෝ ඇඟ පුරාම කනවා පුදුම වේදනාවක් තාත්තා මාව දැකලා හැමෝටම බැන්නා. තාත්තා මාව ගහෙන් ලිහලා ශත දොළහකට කැවුම් දෙකක් ගෙනැල්ලා දුන්නා. ඒ තමයි මම බුරු ගහපු පළවෙනි සහ අවසාන දවස. ඉන් පස්සේ මම නරක වැඩවලට ගියේ නැහැ.
එදා ගොරොක් ගහේ බැඳ දිමි ගොටු දැමු පොඩි කොලුවා දැන් වියපත් මිනිසෙකි. ජීවිතය දෙස ආපසු හැරී බලමින් ඔහු අද ගැන තුටු වන්නේය.
“මිනිසුන්ට චණ්ඩිකම් පෙන්නලා මොකටද? මේ රැවුල මට ආඩම්බරයක්. මං කැමතියි ලස්සනට ඉන්න. මට මගේ ලෝකය කියන්නේ මගෙ බිරිය හා දරුවන්. මං විවාහ වන දවසේ මගේ දෙවැනි මනමාලයට හිටියේ වන්ෂොට්. කවුරුත් ඔහුට වන්ෂොට් කිව්වට ඔහුගේ නියම නම වී ධර්මරත්න සිල්වා ගමේ අය කිව්වේ මයියා කියලා. තව සමහරු චමල් මහත්තයා කිව්වා. එල්ලේ කණ්ඩායමට බෝල, පිති අරන් දීලා ඔහු හොඳට උදව් කළා.
‘එතකොට අර වන්ෂොට් චිත්‍රපටයේ තියෙන්නේ ධර්මෙගෙ කතාවද ?’
රාළහාමි අයියාගේ කතාවේ මැදට පැන අපි ඇසීමු. ‘මොන පිස්සුද. ඒක චිත්රපටයක්නේ. මේ අපේ ධර්මේ මල්ලිගේ කතාව නෙමෙයි ඒකේ තියෙන්නෙ’. දිග රැවුලා එසේ පැවැසුවේ ගොරෝසු හඬිනි. ඔහුගේ බිරිය ලේලිය ඔහු අසලය. හැඩි දැඩි පෙනුමැති දිග රැවුලාට යට වී සිටින මිනිසා සැබැවින්ම වෙනස්ය. ඒ වෙනස්කම හඳුනා ගන්නට නම් ඔහු සමඟ කතා කළ යුතුමය. නමුදු ඕනෑම පොඩි එකෙක් පමණක් නොව කවුරුන් වුවත් ඔහු දුටු සැණින් මොහොතකට තිගැස්සෙනු නොඅනුමානය.
ඡායාරූප - සමන්ත වීරසිරි