
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය, ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මහාචාර්ය හේමන්ත පෙෙර්රා සිය අත්දැකීම් සහ මතක අවදි කරමින් අප සමඟ දැක්වූ අදහස් මෙලෙස පෙළගැස්වේ.
ෆෝන් එකට කෝල් එකක් ආවා ලෙඩෙකුට රුධිර වහනයක් කියලා. මම කෙළින් ම රෝහලට ගියා. බැලුවාම ලේ බැංකුවේ රුධිරයත් ඉවරයි. ලෙඩා ඕ පොසිටිව්. වාසනාවට මමත් ඕ පොසිටිව්. ලේ දෙන්න කලින් සම්පූර්ණ විය යුතු කාරණා තියෙනවා. මම වෛද්‍යවරයා, මම කිව්වා ඉක්මනින් මගෙන් ලේ ගන්න කියලා. සර් කෑම කාලත් නෑ නේද කියලත් ඇහුවා. මම කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ඉක්මනින් ලේ ගන්න කියලා. ලේ දීලා මම කෙළින් ම තියෙටර් එකට ගියා.
• ඔබේ උපත, ගම්පළාත ගැන කතා කරමු මුලින්ම?
මං ඉපදුණේ 1955 දෙසැම්බර් 30 වැනිදා. ගම පාදුක්කෙ හඳපාන්ගොඩ. මගේ අම්මා ගමේ ළදරු පාසලක පාලිකාව හැටියට කටයුතු කළා. තාත්තා විදුහල්පතිවරයෙක්. ඒ වගේ ම සංගීතඥයෙක්. මම 3 පන්තියට යනකල් ගියේ ගමේ ඉස්කෝලෙට. අපි කිව්වෙ නාගහළඟ ඉස්කෝලෙ කියලා. 4 පන්තියට මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කළා. එතැන් සිට අපේ පදිංචිය පන්නිපිටිෙය්.
රමණීය භූමියක මේ විදුහල තිබුණේ. ඉඩම අනගාරික ධර්මපාලතුමා පරිත්‍යාග කළ එකක්. එතකොට යුද්ධ කාලෙ නිසා කොළඹ ආනන්ද විද්‍යාලය මෙතැනට ගෙනැත් තිබුණා. යුද්ධෙ ඉවර වෙලා ආනන්දෙ යළි කොළඹට රැගෙන ගියා. මෙතැන ධර්මපාල විදුහල ස්ථාපිත වුණා. තිස්ස අබේසේකර, රෝහණ වීරසිංහ වැනි පසුකාලීන කලා ලෝකයේ ඉහළට ම ආ චරිත මේ විදුහලේ ඉගෙනුම ලැබුවා. ධර්මපාලෙ තමයි ලංකාවේ ලොකු ම මිශ්‍ර පාසල.
අපි අද මේ තැන්වල ඉන්නේ අපට ඉගැන්වූ ගුරුවරු නිසා. ඔවුන් පාසල් කාලයෙන් පසුවත් අපට ඉගැන්වීම කළා. අපි ටියුෂන් ගියා නම් ඒ එක විෂයයකට වගේ. මේ ගුරු මවුවරුන්ට පියවරුන්ට අපි අදටත් ළැදියි. විශාල ගෞරවයක් භක්තියක් සිත්වල තියෙනවා.
• ඔබ උසස් පෙළට ජීව විද්‍යාව තෝරා ගත්තේ වෛද්‍යවරයකු වීමේ ඉලක්කය ඇතිවද?
නෑ. මට එහෙම අදහසක් තිබුණෙ ම නෑ. අම්මා - තාත්තා එවැනි බලපෑමක් කළෙත් නෑ. හැබැයි මගේ ලොකු අක්කා ජීව විද්‍යාව කළා. එයා ගෙදරදි ඉස්සො - කැරපොත්තො වගේ සතුන් ඉටි තැටියක් මත තියාගෙන විච්ඡේදනය කරනවා මම ආසාවෙන් බලා සිටියා. මං මේ වැඩවලට ඉටිපත්තුකරලා වගේ පොඩි වැඩ කරල දීල අක්කට උදව් වුණෙත් ඒ ආසාව නිසා. මම හිතන්නෙ ජීවවිද්‍යාව තෝරාගන්න ඔය ආසාව බලපෑවා. ඒ කාලෙ මේ විෂයයන්වලට තේරුවෙ 8 පන්තියේ ලකුණු අනුව. වැඩිම ලකුණු ගත්ත අය ගණිත අංශයට. ඊළඟ අය ජීවවිද්‍යා අංශයට. ඊට පසුව කලා - වාණිජ. මට ගණිත අංශයට යන්න ලකුණු තිබුණා. ඒත් මම ජීවවිද්‍යාව කරන්න ඉල්ලුවා. ඒකට අර කැමැත්තත් ගණිතයට එතරම් කැමැත්තක් නොතිබීමත් බලපෑවා. ඒත් ගුරුවරු කිව්වා ලේසි එක තෝරගත්ත නේද කියලා.
ඔය විදියට ජීවවිද්‍යා අංශයට ගියා මිසක වෛද්‍යවරයකු වීමේ සිහිනයක්, මුදල් හම්බකිරීමේ අරමුණක් තිබුණේ නෑ. ඇත්තට ම මේ ගැන ලොකු බරපතළකමක් වගකීමක් දැනුණෙත් නෑ.
• ඔබ උසස්පෙළ විශිෂ්ට ලෙස සමත් වෙනවා?
ඒ කාලෙ වෛද්‍ය විද්‍යාවට තෝරාගත්තේ 200 ක් විතර. වැඩි ම ලකුණු ගත්ත 125 කොළඹ වෛද්‍ය විද්‍යාලයට. ඊළඟ 75 පේරාදෙණියට. මං කොළඹට තේරුණා. මට අවුරුදු 16 දි උසස් පෙළ කරන්න පුළුවන්කම තිබුණා. අවුරුද්දක් පස්සට දාලා විභාගය ලිව්වෙ. ඒත් අඩුම වයසකින් වෛද්‍ය විද්‍යාලයට ගියා. වෛද්‍ය විද්‍යාලයෙදි අපේ ගුරුවරු අතර මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි අයත් සිටියා.
• වෛද්‍ය විද්‍යාලයෙදි ශිෂ්‍ය දේශපාලනය වගේ බාහිර දේවලට යොමුවුණේ නැතිද?
කොළඹ වෛද්‍ය පීඨයේ එවැනි තත්ත්වයක් තිබුණේ නෑ. වීරසූරිය ඝාතනය වුණාම නම් විරෝධතා ඇතිවුණා. මට හිතෙන්නෙ ඒ නැඹුරුව ඇති වෙන්නෙ ගුරුවරු ඔස්සේ කියලා. කාලෝ ෆොන්සේකාට, සේනක බිබිෙල් ට වගේ අයට එවැනි ආභාසයක් තිබුණේ නෑ. එහෙම තිබුණා නම් අපිත් යාවි. මේ නිසා අපි ඔය කාරණයෙදි ප්‍රධාන ධාරාවේ සිටියේ නෑ.
• වෛද්‍ය විද්‍යාලයට තේරිලා කියල දැනගත්තා ම ඔබේ දෙමවුපියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය කෙබඳු ද?
ඒ දෙදෙනා ම ගුරුවරු. මං මේක අම්මට කිව්වා ම අම්මගේ මුහුණේ ඇඳුණු උපේක්ෂා සහගත සිනහව මට අදත්... මේ දැනුත්... මැවිල පෙනෙනවා. අම්මත් - තාත්තත් එය බොහොම උපේක්ෂාවෙන් තමයි විඳ ගත්තෙ. ඒක වචනවලින් ප්‍රකාශ වුණේ නෑ. මං වුණත් එහෙමයි. ඕනෑවටත් වැඩියෙන් ආඩම්බර වෙන්න කාරණයක් වුණේ නෑ.
තාත්තා ප්‍රවීණ සංගීතඥයෙක් ද වන යූ.ඩී. පෙරේරා. තාත්තට මුදල් හදල් තිබුණා. කොලොම්බියා තැටි සමාගමේ නිෂ්පාදක හැටියටත් තාත්තාට ආදායමක් ලැබුණා. ඒත් පාටි දාන්න ලෝකෙට පෙන්නන්න ගියේ නෑ. ආදායමක් ඉපැයුවත් තණ්හාවෙන් ගොඩගහන සිරිතක් තාත්තාටවත් අම්මාටවත් තිබුණේ නෑ. මටත් අදටත් නෑ. ව්‍යාපාරික ඥානය කියල එකක් නම් ඇත්තෙ ම නෑ. එදත් එහෙමයි, අදත් එහෙමයි. ඒක තාත්තට තිබුණෙත් නෑ.
වෛද්‍ය විද්‍යාලයට යද්දිත් මට ලොකුවට ඇඳුම් පැලඳුම් තිබුණෙත් නෑ. ඉංගිරිසි භාෂා දැනුම සාමාන්‍යයි. හැබැයි ඒක බාධාවක් කර නොගෙන අධ්‍යාපන කටයුතු කළමනාකරණය කර ගත්තා. ක්‍රමයෙන් දැනුම දියුණු කර ගත්තා. මම තවමත් විශ්වාස කරන්නේ ඉංගිරිසිය දක්ෂතාවක් නෙවෙයි, අවශ්‍යතාවක් කියලා.
• වෛද්‍යවරයෙක් හැටියට ඔබ තෝරා ගත්තේ ප්‍රසව හා නාරිවේදය. ඊට විශේෂත්වයක් තිබුණාද?
නෑ. ඒ තෝරා ගැනීම කළෙත් වෛද්‍යවරයකු වුණ විදිහට ම වගේ. සාමාන්‍යයෙන් මහාචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් මේ ගැන විමසනවා. එක් එක් අය නොයෙක් අංශ තෝරා ගන්නවා. මගෙන් අහනකොට ඔය අංශයත් තිබුණා. මං ඒ ඔස්සේ යන්න කැමැති වුණා.
• ඔබ උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා?
ඒ කාලෙ වෛද්‍යවරයකු ගේ වැටුප රුපියල් 700/- ක් වගේ.
මමයි බිරියයි ගෙයක් හදන්න ඉඩමක් මිලට ගත්තා. ඉඩම රුපියල් 55,000/-. ඒ තරමේ මුදලක් තිබුණේ නෑ. ඉතින් ඉඩම ගත්තෙ ණය වෙලා. ඔය අතර තමයි විදේශගත වෙන්න අවස්ථාව ලැබුණේ. එංගලන්තයට යනවා කිව්වට ඒ ගැනත් ලොකු අවබෝධයක් තිබුණේ නෑ. කලින් අවස්ථාවල වගේ ම මේකත් වැඩිය හිතන්නෙ නැතිව තෝරා ගත්තා. මං ස්කොට්ලන්තයට යන්න කැමැතියි කිව්වා. මේ පුහුණුවලට රජයේ වියදමෙන් යැව්වෙ. මහා බ්‍රිතාන්‍ය කියන්නෙ එංගලන්තය, ස්කොට්ලන්තය, අයර්ලන්තය කියලවත් ඒ කාලෙ අවබෝධයක් නෑ. කොහොම හරි එහෙ ගියා ම මාසික වැටුප පවුම් 2000 ක් විතර. ඒ කියන්නෙ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂයක් වගේ. පඩියෙන් දෙකෙන් ඉඩම ගත්ත ණය මුදල පියෙව්වා.
• නියමිත කාලයෙන් පසු ඔබ ලංකාවට එන්න තීරණය කළා?
ඔව්. හොඳට වැඩ කරන අය එහෙ තියාගන්න ඔවුන් කැමැතියි. හොඳ පඩි, වරප්‍රසාද ලැබෙනවා. ඒත් ඒවා ගැන බලන්නෙ නැතුව ලංකාවට එන්න තීරණය කළා. ඒ 1980 ගණන්වල මෙහෙ බෝම්බ පුපුරනවා. ඒත් යා යුතුයි කියල අපි සිතුවා. ඒකට බලපෑවේ දේශානුරාගය ම නෙවෙයි. නමුත් ලංකාවට තිබුණු කැමැත්ත. මුල් තිබුණේ මෙහෙ. මුල් ඇති තැනට ම යා යුතුයි කියල අපි සිතුවා. මෙහෙ අඩු පඩි, යුද්ධෙ මතක් වෙලා අනේ අපොයි කියල සිතුණේ නෑ.
• ලංකාවට ඇවිත් ඔබ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස ප්‍රදේශ කිහිපයක ම සේවය කළා. අමතක නොවන අත්දැකීම් එකක් දෙකක් ගැන සඳහන් කළ හැකිද?
මම වැඩ කළේ නුවර නම් අපි පවුල ම එහෙ පදිංචි වුණා. දරුවො පවා එහෙ ඉස්කෝලවලට ගියා. මාතර නම් එහෙ පදිංචි වුණා. දරුවො ගියේ මාතර පාසල්වලට. මේකෙන් ඒ අවුරුදු කිහිපයෙදි අපි ඒ පළාතේ ම අය වුණා. මේ නිසා ම රටේ නොයෙක් පළාත්වල අපට සමීප මිතුරන් සිටිනවා. 1989 - 90 භීෂණ සමයේ මම වැඩ කළේ මාතර රෝහලේ. අවුරුදු 4 1/2 ක් හිටියා. ඒ කාලේ අද වගේ විශේෂඥ වෛද්‍යවරු හිටියෙ නෑ. ඒ නිසා විශාල රෝගීන් ප්‍රමාණයක් ගැන වගකීමකුත් තිබුණා. මේ කාලයේ මාතර තත්ත්වය විශේෂයි. ඔය අතර රෝහලටත් තුණ්ඩුවක් දැම්මා වහන්න කියලා.
මට වහන්න බෑ. මොකද මගේ වගකීම යටතෙ හිටියෙ ගැබිනි මවුවරු. ඒ අයට අමාරුවක් වුණාම කියන්න කෙනෙක් ඉන්න ඕනැ. ප්‍රසූතිකාගාරයේ වැඩ නතර කරල බෑ. ඉතින් මම අනෙක් කාර්ය මණ්ඩලයටත් කිව්වා වගකීම මම ගන්නවා වහන්න බෑ කියලා. ළමා වාට්ටුවේ තත්වයත් මේ වගේ. පුංචි දරුවො හිටියා. අමාරුවක් වුණොත් කියන්නවත් බැරි. මං ඒ වාට්ටුවේ අයටත් කිව්වා අපි වැඩ. ඔයාලත් වැඩ කරන්න කියලා. මේ තීරණය අරගෙන මම හවස ගෙදර ගියා.
මගේ ගෙදර වැඩට කෙනෙක් සිටියා. තරුණයෙක් නෙවෙයි. මේ කාලයේ ජවිපෙට පක්ෂපාතීව හිටියෙ තරුණයො පමණක්මත් නෙවෙයි. මේ පුද්ගලයා මට කියනවා සර් අද අපේ සහෝදරයෙක් ආවා ගැබිනි වාට්ටුවයි, ළමා වාට්ටුවයි වහන්න අවශ්‍යයි කිව්වා කියලා. නියෝගය එනකොට මං තීරණය අරගෙන ඉවරයි. මං එතැනදි හිතුවෙ ගත්ත තීරණයෙ සාධාරණකම ඒ අයටත් පෙනේවි කියලා.
දිවා - රැය නොබලා වැඩ කළා. රෑ 9 වෙද්දි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. සමහර දවස්වල මම රෝහලෙන් ආවෙ හුඟක් රෑ වෙලා. එතකොට ඇඳිරි නීතිය. මම හිටියෙ කාලිදාස පාරෙ. උඩුගම්පොළ හිටියෙත් ඒ පාරෙමයි. ඒ නිසා රෑට පාර වහනවා. ආරක්ෂාව තර කළා.
මම උපක්‍රමයක් සොයාගත්තා. කොළඹ ආ විටෙක පංචිකාවත්තෙන් මගේ හිතවතකුට කියලා ඇම්බියුලන්ස්වල සවිකරල තියෙන විදුලි ලාම්පුවක් සොයා ගත්තා. නිල්පාට එකක්. මේක මගේ කාර් එකට සවි කළා. ඒක ලයිටරයට සම්බන්ධ කරල මම ම වාහනේ එළවගෙන ගියා. වීදුරු 4 ම ඇරල යන්නෙ. මේක එනකොට ඈත තියා ම එන්නෙ කවුද කියල හඳුනා ගත්තා. හමුදාවත් ඉඩ දුන්නා. ජවිපෙන් කරදරයක් වුණෙත් නෑ. රෑට එද්දි ඇතැම්විට මම දකිනවා පෝස්ටර් අලවමින් සිටි අය අගල්වලට බහිනවා. වෙඩි හඬ නොයෙක් පැතිවලින් ඇසුණා.
• ඔබ මාතරින් එන්නෙ?
රත්නපුර මහ රෝහලට. මේ ප්‍රදේශ ගංවතුරට යට වෙනවා. අපි හිටියෙ නන්ද එල්ලාවල මහත්තයගෙ මුද්දුව ගෙදර. මුද්දුවත් ගංවතුරට යටවෙනවා. අපි යන්නෙ මූද්දුව පිරිවෙනට වටේ ම ගංවතුරට යටවෙලා. රෝහලට ගියේ ඔරුවෙන්. මම දුවත් එක්ක ඇවිත් එයා ඉස්කෝලෙට ඇරලලා ආවා. ආපහු එයාව ඇරලුවෙත් පිරිවෙනට.
දවසක් ඔහොම ඔරුවෙන් යන අතර ඒ කාලෙ තිබුණු සෙල්ටෙල් ෆෝන් එකට කෝල් එකක් ආවා ලෙඩෙකුට රුධිර වහනයක් කියලා. මම කෙළින් ම රෝහලට ගියා. බැලුවාම ලේ බැංකුවේ රුධිරයත් ඉවරයි. ලෙඩා ඕ පොසිටිව්. වාසනාවට මමත් ඕ පොසිටිව්. ලේ දෙන්න කලින් සම්පූර්ණ විය යුතු කාරණා තියෙනවා. මම වෛද්‍යවරයා, මම කිව්වා ඉක්මනින් මගෙන් ලේ ගන්න කියලා. සර් කෑම කාලත් නෑ නේද කියලත් ඇහුවා. මම කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ ඉක්මනින් ලේ ගන්න කියලා. ලේ දීලා මම කෙළින් ම තියෙටර් එකට ගියා. ඔබ මගෙන් විෙශ්ෂ මතක ගැන ඇසූ නිසා මම මේ කතාව කියන්නෙ, මගේ වීරකමක් ගැන කියන්න නෙවෙයි. නමුත් වෛද්‍යවරයකුට මෙවැනි අත්දැකීම් තියෙනවා.
මම ඔපරේෂන් එක පටන් ගත්තා. ඒ අතර තියෙටර් එකට ලේ ලැබුණා. එතැන සිටි වෛද්‍යවරු ඒවයේ ලේබල කියවලා කිව්වා සර් මේවයෙ තියෙන්නෙ සර් ගෙ නම කියා. මම ඔව් කිව්වා. ලෙඩාට මම ම ඔපරේෂන් එක කරද්දි මගේ ම ලේ දුන්නෙ. ලෙඩාගේ ජීවිතය බේරගන්න අපට පුළුවන් වුණා.
• තවමත් ඔබ නොයෙක් ප්‍රදේශවල සෞඛ්‍ය කඳවුරු පවත්වනවා?
මේ වැඩේ නිසා අපට කල්තබාම අවදානමක් ඇති රෝගීන් හඳුනා ගැනීමට පුළුවන්. නැත්නම් ඔවුන් රෝහලට එනකොට සමහරවිට විය යුතු හානිය වෙලා, බේරගන්න අමාරුයි. අපි හතර දෙනාගේ කණ්ඩායම් වශයෙන් මේ කඳවුරු පවත්වනවා. නොයෙක් ප්‍රදේශවලට යනවා.
• ඔබ ජයවර්ධනපුර රෝහලට එන්නෙ?
1997 දී. එතැන් සිට මේ දක්වා ම මම මෙහෙ. මේ වෘත්තියෙදි පැය 8ක කියල වැඩ කරන්න බෑ. ඒ නිසා උදේ 5.00 ටත් එන්න වෙනවා. රෑ බෝ වෙනකල් ඉන්න වෙන්නත් පුළුවන්. ඔය අතරෙ වගේ ම මහ රෑ වුණත් ඕනෑ ම වෙලාවක අපේ සේවය අවශ්‍ය වෙන්න පුළුවන්.
මේ අංශයේ අපිට බාර වෙන්නෙ ලෙඩුන් ම නෙවෙයි. ගැබිනි මවුවරුන්ට ලෙඩුන් කියන්න බෑ. මේක අසනීපයක් නොවෙයි. ඒත් ඇතැම්විට යම් අවස්ථාවකදී හදිසියේ වෙනස් තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැන අවධානයෙන් ඉන්න වෙනවා. මේ නිසා වෙනත් වෛද්‍යවරයෙකුට මේ කටයුතු පවරා යන්න බැරි වුණොත් දුර බැහැර නොයන පුරුද්දක් මට තියෙනවා. ඒක මගේ ප්‍රතිපත්තියක්. කොළඹටවත් එහෙම යන්නෙ නෑ. රෝගීන් වෙනුවෙන් කැපවීමට අමතරව ගතවූ කාලයේ ගෝලයො විශාල පිරිසකුත් බිහි කරන්න දායක වෙලා තියෙනවා. ඒකත් සතුටක්.
• පොත පතට තියෙන ලැදියාව කොහොමද?
පොත පත කියැවීමට මට කාලය අවමයි. ඒ ගැන කනගාටුවකුත් තියෙනවා. ගෙවී ගිය කාලය ආපසු ගන්න ඇත්නම් කියල හිතෙන්නෙ එතැනදි. මම එහෙම වුණත් මගේ දුව නම් පුංචි කාලෙ ඉඳල ම පොත් ගුල්ලෙක්. සමහර දවස්වල නුවර සිට කොළඹට එන අතර එයා රාමායනය වගේ පොත් කියවලා මගෙන් ප්‍රශ්නත් අහනවා. මම වාහනය පදවමින් එන්නෙ. උත්තර දෙන්න බැරි වුණොත් තාත්තා හරියට අහගෙන හිටියෙ නෑ කියලත් මට දොස් කියනවා.
ජයවර්ධනපුර රෝහලේ වැඩ කරන අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේත් ඉගැන්වීම කරනවා.
• ඔබ සංගීතයට විශාල ඇල්මක් දැක්වීමට විශේෂයෙන් ඔබේ පියාගේ ආභාසයත් බලපෑවා. අපි ඒ ගැන කතා කරමු?
ඉස්සෙල්ල මම තාත්තා ගැන ටිකක් කතා කරන්නම්. බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ මිනිස්සු සංගීතය කියල වින්දෙ නූර්ති හා නාඩගම් සංගීතය. ඊට පසු ග්රැමෆෝන් යුගයේ ප්‍රධාන ගීත රචකයා වුණේ මගේ පියා, මෙරට සිටි ප්‍රසිද්ධ සංගීතඥයකු වන යූ.ඩී. පෙරේරා. එවකට කොලොම්බියා තැටි සමාගමේ තනු නිර්මාපකයා වුණේ මොහොමඩ් ගවුස් මාස්ටර්. පද මාලා රචකයා වුණේ තාත්තා. එදා සිට අද දක්වා ජනප්‍රිය ගී රැසක් විශේෂයෙන් බොදු බැති ගී ඔහු අතින් ලියැවුණා. මුනිනන්දන සිරිපාද වඳිම්, මහබෝධි මුලේ, රාජසඟබෝ, නාමෙ නොදිරනා, සිළුමිණ සෑය වඳිම් වගේ රාශියක්. මොහිදින් බෙග් ගේ ගායකයකු ලෙස ක්ෂේත්රයට ආවේ තාත්තා ලියූ කරුණා මූදේ නාමු ගිලීලා ගීතය ගයමින්. තාත්තා නිල් අහස් තලේ අගේ..... ගීතය ලිව්වෙ ශිෂ්‍ය ගුරුවරයෙක් හැටියට ගුරු විදුහලේ සිටියදී. මේ ගීතය එහිදී තාත්තා ඉදිරිපත් කළ පාඨශාලීය ගීත කියන නිබන්ධනයට ඇතුළත් වුණා. ගීතයේ පදමාලාව සංගීතය දෙකම තාත්තගෙ.
• පවුලේ තොරතුරු කොහොම ද?
මගේ බිරිය වසන්තා පෙරේරා. පුතා හෙෂාන්, වෛද්‍යවරයෙක්. දුව සචිනි නීතිවේදිනියක්. පුතාවත්, දුවවත් මේ වෘත්තීන්ට යොමු වුණේ අපේ බලකිරීමට කැමැත්තට නෙවෙයි. ඒ අයගේ ම කැමැත්තට. මට ඔවුන් ගැන සතුටුයි. පවුලක් හැටියට අපි සතුටින් සිටිනවා. මට සහෝදර සහෝදරියො තුන්දෙනයි. ලොකු අක්කා විශ්‍රාමිකයි, ඇය ගුරුවරියක්. අයියලා දෙන්නයි.
සේයාරූ - තුෂාර ප්‍රනාන්දු