ශ්‍රේෂ්ඨ මිනිස්සු | සිළුමිණ

ශ්‍රේෂ්ඨ මිනිස්සු

විශ්වාස කරන්ඩ, කිසි ම වෙලාවක සීයගෙ ඇස්වල මාත් එක්ක තියන තරහක හෙවණැල්ලක්වත් වැටිල තිබුණෙ නෑ. ළමයි දාහක් කරන දඟ වැඩ මේ තනි මං කෙරුව. උදේට කන්ඩත් ඉස්සර හිට මහ රෑ වෙනකං මං කෙරුවෙ දඟ වැඩමයි. සමහර වෙලාවට මං ගෙදර ආවෙ මහ රෑ ජාමෙත් පහුවෙල පාන්දර තුනට විතර. සීය මොන තරම් හොඳ මනුස්සයෙක් ද? ‘උඹ හොඳට ම පරක්කු වෙලා. මේක ළමේක් ගෙදර එන වෙලාවක් නෙමේ’ කියල සීය කවදාවත් කියල නෑ. මං එහෙම පරක්කු වෙලා ගෙදර ආවෙ සැරයක් දෙසැරයක් නෙමේ. ඇත්තට ම සීය මං ඉස්සරහ බිත්තියෙ තියන ඔර‍ලෝසුව දිහා බලන එකෙනුත් මග ඇරිය.

පවුලේ සේවකයා - බූරා

මාව රැක බලා ගන්ඩ මගෙ ආරක්ෂාවට යොදවල හිටපු මනුස්සය අමුතු කෙනෙක්. මං එහෙම කිව්වෙ ඇයි? එයා තමයි අපේ ගමේ හිටිය එක ම සුදු මිනිහ. මිනිහ යුරෝපීයයෙක් නෙමෙයි. හැබැයි මොකක්දෝ වාසනාවකට වගේ මිනිහට තිබුණෙ ඉන්දියානු පෙනුමක් නෙමෙයි යුරෝපීය පෙනුමක්. එකත් එකට ම එයාගෙ අම්ම බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක වැඩ කරන්ඩ ඇති. එතෙන්දි උන්දැ ගැබ්බර වෙන්ඩ ඇති. ඒකයි කිසි කෙනෙක් සුද්දගෙ ඇත්ත නම නොදන්නෙ. සුද්ද කියන නම මිනිහගෙ ඇත්ත නම බවට පත්වෙලා. බූරට තිබුණෙ කෙනෙකුගෙ හිතට අල්ල යන පෙනුමක්. එයා අපේ සීය ළඟ වැඩට ඇවිත් තිබුණෙ පුංචි සන්දියෙමයි. වැඩකාරය වුණාට බූරට ගෙදර උදවිය සැලකුවෙ ගෙදර කෙනෙකුට වගෙයි.

මට මේ ලෝකෙ හුඟක් මිනිස්සු හම්බවෙලා තියනව. ඒත් බූර වගේ කෙනෙක් හම්බ වෙන්නෙ කලාතුරකින්. ඒකයි මං එයාට අමුතු කෙනෙක් කියල කිව්වෙ. බූර කියන්නෙ විශ්වාසය රකින මිනිහෙක්. ඔබ ඔහුට මොනව හරි දෙයක් කිව්වොත් ඔහු ඒක හැමදා ම රහසක් විදිහට රකීවි. මේක අපේ ගෙදර අයට හොඳින් වැටහුණේ සීය මැරුණට පස්සෙ.

කොච්චර ශ්‍රේෂ්ඨ මිනිහෙක් ද? ඒත් ඒ වගේ මිනිස්සු ටිකින් ටික ලෝකෙට අහිමි වේගන යනව. ඒ වෙනුවට ඉතුරු වෙලා ඒ අයගෙ තැන ගන්නෙ කපටියො. ඒ මිනිස්සු තමයි ලෝකෙ වැදගත් ම මිනිස්සු. මං බූරව අමුතු කෙනෙක් කියල හැඳින්නුවෙ කපටි ලෝකෙ සරල මිනිහෙක් වීම අමුතු දෙයක් හින්දයි. ඒක අමුතු වෙන්නෙ මේ ලෝකෙදි විතරක් නෙමෙයි.

බූර අපේ සීයට කීකරු සේවකයෙක් වෙලා හිටියට මං නං හොඳ යාළුවෙක් වෙලයි හිටියෙ. හුඟක් වෙලාවට අපි වෙලේදි, කැලේදි, වැවේදි වාගේ හිටියෙ එකට. හෙවණැල්ලක් වාගෙ මං පස්සෙන් ඇවිත් මගෙ වැඩවලට ඇඟිලි නොගහ හැම තිස්සේ ම උදව්වක් කරන්ඩ බලාගෙන හිටපු බූරට තිබුණෙ ශ්‍රේෂ්ඨ හදවතක්. බූර හුඟාක් ම දුප්පත්. ඒ වගේ ම එක පැත්තකින් පෝසත්.

හැබැයි, බූර කිසි ම දවසක ‘යං අපේ ගෙදර’ කියල මාව අඬගහගෙන ගිහින් නෑ. ‘බූර, මාව එහෙ එක්කගෙන යන්නෙ නැත්තෙ ඇයි?’ කියල දවසක් මං බූරගෙන් ඇහුව. ‘අඬගහගෙන යන්ඩ බැරි මං දුප්පත් හින්දයි. මං කැමති නෑ උන්නැහැ ඒ අවලස්සන ගේයි, එතන තියන දහ ජරාවයි දකිනවට. මේ ජීවිතේදි නං මට උන්නැහැව අපේ දිහෑ එක්කං යන්ඩ ලැබෙන එකක් නෑ. ඒ හින්ද මං අදහස අත්හැරල දාලයි තියෙන්නෙ.’ බූර කිව්ව.

බූර ඉන්න ගම කොටස් දෙකකට බෙදිලයි තියෙන්නෙ. එක පැත්තක ඉන්නෙ ඉහළ කැලේ ඇත්තො. වැවෙන් අනිත් පැත්තෙ ඉන්නෙ අන්ත දුප්පත්තු. ඒ හරියෙ තමයි බූරගෙ ගේ තියෙන්නෙ. මං හුඟ වතාවක් බූරගෙ ගේ පැත්තෙ යන්ඩ හැදුවත් මට ඒක කරගන්ඩ බැරුව ගියේ මිනිහ මගෙ හෙවණැල්ල වගේ මං පස්සෙ ම වැටිල හිටිය නිසයි. මං ඒ පැත්තට අඩිය තියනකොට ම මිනිහ මාව වැළැක්කුව.

ඒ නිසා මගෙ අස්සයත් මිනිහගෙ බහට හුරුවෙලයි හිටියෙ. අස්සය බූරගෙ ගේ දිහෑවට හැරෙන කොට ම ‘එපා! යන්ඩ එපා!’ කියල බූර අණ කරනව. ඇත්ත ම කියන්නං. බූර තමයි අස්සයව පොඩි කාලෙ ඉඳල ම හදා වඩාගෙන තිබුණෙ. ඒ හින්ද දෙන්නට දෙන්න තේරුම් අරගෙනයි හිටියෙ. බූරගෙ වචනෙට අස්සය නවතිනව. බූරගෙ ගේ පැත්තෙ තියා දුප්පත්තු ඉන්න හරියකටවත් යා ගන්ඩ මට විදියක් තිබුණෙ නෑ. මට ඒ පැත්ත දැක ගන්ඩ පුළුවන් වුණෙත් ගමේ බ්‍රාහ්මණයො, ජෛනාගම්කාරයො වාසය කරපු හරියෙ ඉඳල දුර තියයි.

ලබන සතියට...

Comments