
මොරගහකන්ද ජලාශය නූතන වාරි ක්ෂේත්‍රයේ
අමරණීය සන්ධිස්‌ථානය යි. ඒ, සැතපුම් දහස් ගණනාවක් නිරර්ථකව ගාලා ගිය
මහා ජල ගඟක් අර්ථවත් අරමුණක් කරා යොමු කරමින් වියළී ගිය රජරට ජන දිවියට පිරිත් පැන් ඉසින නිසා ය. ශක්‌තිමත් බැම්මකින් වට වී නිද්‍රා සුවයේ කිමිඳුණු
යෝධයකු මෙන් කලක් සිටි ඒ මහා ජල ස්‌කන්ධය
මහා සඟරුවනේ සෙත් පිරිත් සඡ්ඡායනා මධ්‍යයේ
පෙණ බුබුළු ඉහළට නඟිමින් ගම් දනව් සිසාරා
අස්වැසිල්ලේ පණිවුඩය රැගෙන පිටත් වූ දසුන මෙරට මෑත ඉතිහාසයේ දෑසින් දැකිය හැකි වූ
විශිෂ්ටතම දර්ශනය වූවාට සැක නැත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නොසැලෙන අධිෂ්ඨානයේ බලයෙන් වැඩ නිමැවුණු මොරගහකන්ද ජලාශය, මෛත්‍රීපාල ජලාශය යනුවෙන් නම් ලබනු ඇති බවට බොහෝ දෙනා මත පළ කළහ. ඒත් පසුගිය දා සිදු වූයේ අනෙකකි. මොරගහකන්ද ජලාශය නම් වූ යුගයේ විශ්වකර්ම වාරි නිර්මාණය, කුලසිංහ ජලාශය, ලෙස නම් කිරීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි සිදු විය. පසුගියදා පැවති කළුගඟ දියවර රැඳවුම් මංගල්‍යයට සමගාමී ව මේ නම් තැබීමේ මහෝත්සවය පැවැත්විණ.
මොරගහකන්ද ජලාශයට තැබුණු කුලසිංහ නාමය එහි ජලකඳ තරමට ම දැවැන්ත යෝධයකුගේ ශ්‍රී නාමයකි. මේ ලිපිය ශ්‍රී ලංකාවට පහල වූ විරල ගනයේ විද්වතකු වන ඒ. එන්. එස් කුලසිංහ ශ්‍රීමතාණන් පිළිබඳ ව ය. ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා මෙරට විසූ කෘතහස්ත ඉංජිනේරුවෙකි. මොරගහකන්ද ජලාශ වේල්ල ඉදි කළ යුතු නිවැරදි ස්ථානය විද්‍යාත්මක පර්යේෂණයක් හරහා නිර්මාණය කිරීම එතුමන් මොරගහකන්දට ලබාදුන් දායකත්වයයි. මීට වසර ගණනාවකට ඉහතදී වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සම්බන්ධ මූලික තීන්දු ගනිමින් සිටි සමයේ දී මෙහි ඉංජිනේරුමය පර්යේෂණය සිදු කර තිබුණේ ද ආචාර්ය කුලසිංහයන් විසිනි. මොරගහකන්ද ජලාශය මතු සියවස් සිය ගණනක් පවත්නා තුරුම, ආචාර්ය කුලසිංහ ශ්‍රීමතාණන්ගේ නාමය දනන් තුඩ තුඩ රැව් නගනු නිසැක ය.
අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ දරුවා 1919 දී ජාඇළ උදම්විට ගමේ දී උපන් අතර ඔහු අධ්‍යාපනය ලැබුවේ උදම්විට පල්ලියේ පාසලල ගම්පහ අලුත්ගම රජයේ පාසල, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල යන පාසල් වලිනි. 1938 දී ඔහු පළමු පන්ති සාමාර්ථ්‍යයක් සහිතව මැට්‍රික් විභාගය සමත් වූයේ ය. ඉන්පසු 1939 අවුරුද්දේ දී මරදානේ කාර්මික විද්‍යාලයට ඔහු ඇතුළත් වූයේය. කාර්මික විද්‍යාලයේ දී ඔහු සිත්ගත් විෂය වූයේ ඉලෙක්ට්‍රොනික් විද්‍යාවයි. ඒත් ඒ විෂයයට ශිෂ්‍යයන් පස්දෙනෙක්වත් නොමැති නිසා ඉලෙක්ට්‍රොනික් විද්‍යාවට පන්ති නොපැවැත්වෙන බව ඔහුට දැනගන්නට ලැබිණි. ඔහුට සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරන්නට සිද්ධ වූයේ එබැවිනි. ප්‍රිය කළ විෂයය නොවුණත්, ඔහු හාස්කමක් පාමින් එහිදී ඉංජිනේරු යෝග්‍යතා කඩ ඉම පසු කළේ ශ්‍රී චන්ද්‍රසේකර ශිෂ්‍යත්වය ද දිනාගනිමිනි.
පෙරසවි කොන්ක්‍රීට්නි මැවුම්කරුවා
1939 අවුරුද්දේ දී ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ ආරක්ෂක හේතූන් මත මරදානේ කාර්මික විද්‍යාලය වසා දැමිණි. එහි විදුහල්පති ඊ.ආර් බට්ලර්න් මහතා මේ තරුණ කුලසිංහ සිසුවාව නෝටන් බ්‍රිජ් විදුලි බලාගාර වැඩබිමට පිටත් කළේය. එහි ප්‍රධාන ඉංජිනේරුවරයා කුලසිංහ සිසුවාව තාක්ෂණික සහකාර නම් නව තනතුරක පිහිටවූයේය. ශ්‍රී ලාංකේය ඉංජිනේරු ක්ෂේත්‍රයේ තාක්ෂණික සහකාරවරයකු වූ පළමුවැන්නා ඔහු ය.
1944 අවුරුද්දේ දී ඔහු කණිෂ්ඨ සහායක ඉංජිනේරුවරයෙකු ලෙස, වරාය දෙපාර්තමේන්තුවට, අනුයුක්ත කෙරුණේය. ඉතිහාසය වෙනස් කළ කඩඉම වූයේ එයයි. වරාය ඉදිකිරීම් සියල්ලක් ම පාහේ මුහුදු වතුරේ බලපෑමෙන් නිතර නිතර දුර්වල වූයේ යකඩ මිශ්‍ර කොන්ක්‍රීට් ඉදිකිරීම් නිසාය. මේ තරුණයා සිය ඉංජිනේරුමය ඥානය මෙහෙයවමින් අහස පොළොව ගැටලමින් කල්පනා කළේ මීට විසඳුම කුමක්ද යන්නයි. මුහුදු වතුරෙන් දිරාපත් වෙන යකඩ මිශ්‍ර කොන්ක්‍රීට් වෙනුවට ඔහු නව අත්හදාබැලීම් කර බැලුවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු 1956 අවුරුද්දේ දී ‘පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය‘ ලෝකයට හඳුන්වා දුන්නේය. ඔහු ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ද ලබා ගන්නා ලද අතර, කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, ලංකාවේ ඔහු වඩාත් ජනප්‍රිය වූයේ “කොන්ක්‍රීට් කුලසිංහ” යන ආදර අන්වර්ථ නාමයෙනි.
එය අසමාන තීක්ෂණ ඥානයකි. ජැටියේ සහ විදුලි සම්ප්‍රේෂණ කුළුණේ ශිල්ප ඥානය ඔහු වරායට තිළිණ කළ මුල් කාලීන අපූරු නිමැවුම් ය. ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් විශ්ව කර්මයක් හැටියට හැඳින්වෙන ඔහු චෛත්‍යය තට්ටු නිවාස ආයතන, ගොඩනැගිලි පාලම්, මහ වැව් යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවක නිර්මාතෘවරයා වේ. 1948 දී නිදහස ලැබූ පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ දක්ෂතම විද්‍යාඥයකු හැටියට කුලසිංහයන් ව ආතර් සී ක්ලාර්ක් මහතා හඳුන්වා සිටියේය. වරක් ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරිම් ඇමතිවරයෙක් නිවාස ඉදිකිරිම සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගියේ ය. එහිදී මැලේසියානු නිවාස ඇමතිවරයා අපේ ඇමතිතුමාට පවසා තිබුණේ මැලේසියාවත් අඩු වියදම් ඉදිකිරීම් සම්බන්ධ ව උපදෙස් ගන්නේ ඔබේ රටින් බව ය. ශ්‍රී ලාංකික ඉංජිනේරු කුලසිංහ සිටියදී ඔබ මැලේසියාවට අවේ ඇයි දැයි අසා එරට ඇමතිවරයා පුදුම වී තිබුණි. කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනිසියාව, සිංගප්පුරුව, පිලිපීනය, තායිලන්තය වැනි රටවල් රැසක උපදේශක ඉන්ජිනේරුවරයකු ලෙස කටයුතු කර ඇත.
මාලිගාවත්තේ මහල් නිවාස පිහිට තැන 1960 ගණන් වල තිබුණේ විශාල මඩ වගුරකි. කුලසිංහ ට පුළුවන් ද ඔය මඩ වගුරේ ගෙවල් හදන්න?, එවක ජනපති ආර්. ප්‍රේමදාස මහතා ඔහු හමුවේ අභියෝගයක් තබා තිබිණ. පැකිලීම් නැත; පිළිතුර හා හොඳයි යන්න ය. මාලිගාවත්තේ මඩවගුර තට්ටු හතරේ ගොඩනැගිලි වලින් යුතු දැවැන්ත නිවාස සංකීර්ණයක් බවට පත්වුයේ එලෙසිනි. ඉන්පසු නාරාහේන්පිට මහල් නිවසත් ඔහු යටතේ ඉදිකෙරුණි. කුලසිංහයන්ගෙන් සිදුවූ මහාර්ඝ සේවයක් නම් වසර තිහකින් ඉදිකිරීමට යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර හයකින් නිම කිරීම ය. කඩිනම් මහවැලි ව්‍යාපෘතිය නම් මු එහි නල මාර්ග හා විදුලිබල මධ්‍යස්ථාන ඇතුළුව වික්ටෝරියා, කොත්මලේ, මාදුරුඔය, රන්දෙනිග, රන්ටැඹේ ජලාශ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කෙරුණේ කුලසිංහයන් විසිනි; ඒ ජලාශ ලැයිස්තුවට අලුතෙන් ම එකතුවූ නම මොරගහකන්ද යි.
දේශීය ඉංජිනේරුවන්ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විස්වාසය තැබුවේය. විදේශීය උපදෙස් ගැන ඔහු ඒතරම් තැකීමක් කළේ නැත. ඔහු ඇතැම් අවස්ථාවලදී විදේශීය ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ද සඳහන් වේ. ඊට හොඳම නිදර්ශනයක් මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීමයි. මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදී ඉහළින් ලැබුණු නියෝගයකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි; එයට හේතුව වූයේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීමයි. මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන් නමුත් වගකිව යුත්තන් ඒ පිළිබඳ තැකීමක් කළේ නැත. මිලියන 650 කින් නිමකරන්නට සැලසුම් කර තිබූ මේ ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන 2800 වැයකිරීමට සිදුවීම, පමණක් නොව දේශීය සැලසුම්වල මෙගාවොට් 6ක විදුලි බලාගාරයක් ද ඇතුළත් විය. එහෙත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුණේ නැත. එයින් ලැබෙන වාසිය ද ලංකාවට අහිමි විය. එහි ප්‍රතිඵලය වූයේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ යාමයි.
කළුතර චෛත්‍ය ඉඳිකළා
වානේ සංස්ථාව හා පිටි කම්හල ඉදිකිරීම්වලදී ද මෙවැනි පරස්පර විරෝධතා නිසා කුලසිංහයන් රුසියානු ඉංජිනේරුවන් සමඟ ගැටුණු බව ඔහුගේ සමකාලීනයෝ පවසති.
කළුතර බෝධිය කුලසිංහයන්ගේ තවත් මාහැඟි නිර්මාණයකි. මෙහිදි ඔහුට ගැටෙන්න සිද්ධ වුණේ අපේ ම අය සමඟ ය. මහාචාර්ය සෙනරත් පරණවිතාන කුලසිංහගේ සැලස්මට එකඟත්වය පළකළේ නැත. කලුතර බෝධියේ අභ්‍යන්තරය බැතිමතුන් වැඳපුදාගැනීම් සඳහා ප්‍රවේශවන ගෘහයකිග දුටුගැමුණු යුගයේවත් මෙවැනි ගෘහයක් සහිත චෛත්‍යයක් ඉදිකර නැති බවට සෙනරත් පරණවිතානයන් තර්ක කළේය. ඊට කුලසිංහ දුන්නේ මෙවන් පිළිතුරකි.
‘දේශීය පැරණි තාක්ෂණය මා අගය කරනවා. පස්වලින් වේලි හදපු රටක් මේක. ඒත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ අද මේ තියෙන තාක්ෂණය තිබුණේ නැහැ. තිබුණ නම් එතුමත් අනිවාර්යයෙන් ම යොදා ගන්නේ මේ තාක්ෂණය. චෛත්‍යය හදන්නේ ගඟක් (කළු ගඟ) ආසන්නයේ. වර්ග අඩි 100 ක විෂ්කම්භයක් ඇති මේ චෛත්‍යය ගලෙන් බැන්දොත් ඒක ගිලා බහිනවා.”යනුවෙන් කුලසිංහයන් සිය සැලැස්මට හේතුව පෙන්වාදුන්නේ ය.
ග්‍රහලෝකාගාරයත් කුලසිංහ නිර්මාණයක්
කළුතර චෛත්‍යයේ නිර්මාණ සැලැස්ම දුටු ලංකාවේ කිසිම ඉදිකිරීමේ සමාගමක් එය ඉදිකිරිම භාර ගත්තේ නැත. අවසානයේ කුලසිංහ ම ඉදිරිපත් වී චෛත්‍යයේ වැඩ නිම කළේය. (මෙහි වටදාගෙය වාස්තු විද්‍යා උපදේශක ජස්ටින් සමරසේකර නිමැවුමකි). අපේ රටේ ඉදිකිරීම් ප්‍රතිපත්තියක් නැති කම ගැන කුලසිංහයන් නිරන්තරවම කතා කළේය.
‘අපේම සම්පත් උපයෝගි කරගෙන, දේශගුණයට සරිලන පරිදි වියදම් අඩු, පරිසරයට හානියක් සිදු නොකරන ඉදිකිරීම් ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනෑ”, යනුවෙන් ඔහු නිතර කියුවේය; ඒ වෙනුවෙන් වැඩ කළේය. එවිට විදේශීය සමාගම්වලට ඉදිකිරීම් කොන්ත්‍රාත් දීම අවශ්‍ය නොවන බව ඔහු තුළ සිටි දේශීයත්වය අගයන දාර්ශනිකයාගේ මතය විය.
දුර සිට වුවද පෙනෙන පරිදි උසැති කොන්ක්‍රීට් පාදමක් මත ඉදි වූ වරාය චෛත්‍ය තවත් කුලසිංහ නිවැවුමකි. වර්තමානයේ චීනයේ පෝට් සිටිය නිසා මුහුදින් මඳක් ඈතට ගියත් අදටත් කොටුව වරාය අසබඩ සියල්ලට ඉහළින් දිස්වෙන අලංකාර නිර්මාණයක් ලෙස එය පිහිටා තිබේ.
කොත්මලේ ජලාශයට යටවූ ගම් බිම් විහාරාරාමවල වන්දිය ගෙවීම පිණිසත් රජ දවසින් පසු විශාල චෛත්‍ය කර්මාන්ත ඉදිකිරීමේ හැකියාව පෙන්වීමටත් ගාමිණි දිසානායක මහතා කොත්මලේ මහා සෑය ඉදිකරන්නට හිතුවේය. ඊට මැදිහත් වූ කුලසිංහ මහතා කොන්ක්‍රීට් පාදම් 32කින් සවිමත් ව කුහරයක් සහිතව රුවන්වැලි මහා සෑයට ඉතා මදක් කුඩා වන්නට කොත්මලේ මහා සැය ඉදි කළේය.
ශ්‍රී ලංකාවට කොන්ක්‍රීට් සිල්පර තාක්ෂණය මුලින් ම හඳුන්වා දෙන්නෙත් කුලසිංහයන් ය. මෙමගින් සිල්පර කොටන් යොදනවාට වඩා සියයට 25ක මුදලක් අදටත් රජයට ඉතිරි වෙයි.
සෑම විශාල ඉංජිනේරු ඉදිකිරීම් කාර්යයක් ම විදෙස් කොන්ත්‍රාත්කරුවන් ලබාගනිමින් ඔවුන් විශාල මුදලක් රටින් ලබාගන්නා අයුරු දුටු කුලසිංහ මැතිතුමා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය ඇරඹීමටත් ඒ හරහා විශාල ඉදිකිරීම් රාජ්‍ය මැදිහත්වීමෙන් සිදු කර විශාල මුදලක් රජයට ඉතිරි කර දෙන්නට මාවත විවර කළේය. අද වනවිට ඒ රාජ්‍ය ආයතන අයහපත් පරිපාලන සහ වංචා ආදිය නිසා පාඩු ලැබුවත් කුලසිංහ මහතා වැනි දැඩි කැපවීමකින් රට ගැන සිතූ අය සිටි කාලවල ඒ රාජ්‍ය ඉංජිනේරු ආයතන ඉදිකිරීම් කටයුතු වලට ප්‍රබල ලෙසම මැදිහත් වී රටේ ජාතික ධනය සුරැකීමට මැදිහත් විය.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයත් එතුමන්ගේ සැලැස්මකි. පිලී පිලී මෙන් ඇති හැඩයේ කොටස් සියල්ලම බිමදී හදා පසුව සවිකරන ලද ඒවාය. එකෙන් එක උඩට උස්සලා පුරුද්දලා සවි කළ එය ඉන්ජිනේරුමය විස්වකර්ම වැඩකි.
මාලිගාවිල සුවිසාල බුදුපිළිමය එසවීම, තේ දලු අඹරන කාර්යක්ෂම යන්ත්‍රයක් නිපදවීම, පුත්තලම් සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිකිරීම, මැලේෂියාවේ චෙන්ඩරින් වරාය ඉදිකිරීම් අධීක්ෂණය, ටයර් සංස්ථාවල ජාතික විද්‍යා පදනම, ලේලන්ඩ් සමාගමල ලංකා වානේ සංස්ථාවල වැනි ආයතන වලට නායකත්වය සැපයීම, එක්සත් ජාතීන්ගේ ප්‍රමිතිකරණ අධීක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීම ආදිය එතුමන්ගේ මහ මෙහවරෙහි යම් යම් කොටස් ය.
1979 අවුරුද්දේ දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය ධුරයකින් පිදුම් ලැබූ මෙතුමා 2006 අවුරුද්දේ දී අප අතරින් සදහටම සමුගත්තේ ය. නැවත මේ පොළොවේ උපදිතැයි අදහන්නට බැරි අසමාන විද්වතකු හැටියට ඒ. එන්. එස්. කුලසිංහ නාමය අනාගතයට ඉතිරිවනු ඇත. මොරගහකන්ද ජලාශය ඒ නමින් නම් කිරීම රටට වැඩ කළ නිහඬ මිනිසකුට කළ කළගුණ සැලකීමකි.