
“මීට අවුරුදු තිහකට විතර කලින් මම දරුවා ලැබෙන්න ආවේ මේ රෝහලට. අපේ ගෙවල් තියෙන්නේ බොරැල්ලේ. ඒ වුණත් අපි බොහෝම පාන්දර තමයි එන්නේ. ඒ ඇවිල්ලත් පෝලිමේ ඉන්නවා. ක්ලිනික් දවසට හරි ම තදබදයක් තිබුණේ. රෝහලට එනවා කියන එකත් මහ මානසික වදයක්. දැන් මම අත්තම්මා කෙනෙක්. මගේ දුව දරුවා ලැබෙන්න ආවෙත් මෙහෙට. දුවගේ දෙවැනි දරුවා ලැබෙන්නත් එන්නේ මෙහෙට. පුදුමේ කියන්නේ පළමු දරුවා ලැබෙන්න එන කාලයට වඩා දැන් රෝහල හුඟක් වෙනස්. ඉස්සර වගේ අපි දැන් පෝලිමේ ඉන්නේ නැහැ වරු ගණන්. හැමදේම හරිම ඉක්මන්. මෙන්න මේ කාඩ් එකේ අංකය දුන්නම ඉක්මනින් හැමදේම කරගන්න පුළුවන්.”
කාසල් කාන්තා රෝහලේ රෝගීන් ලියාපදිංචි කිරීමේ කවුළුව ළඟදි හමුවුණු මැදිවියේ ගැහැනියක යුගයක වෙනස එසේ පැහැදිලි කළා ය. අපි රෝගීන් ලියාපදිංචි කිරීමේ කවුළුව අසල ස්වල්ප වේලාවක් ගත කළෙමු. වැඩි තදබදයක් නැත. රෝගීන්ගේ තොරතුරු ඉක්මනින් පරිගණක ගත වේ. ඉන්පසුව වෛද්‍යවරයා හමුවීම සඳහා ඔවුහු වාඩි වී සිටිති. ඒ ස්ථානයේ ඉදිරියෙන් ඇති තිරය මත අංක සඳහන් වේ. එසැනින් රෝගීන් තම අංකය පැමිණි විට වෛද්‍යවරයා හමුවට යනු ලැබේ.
රෝගීන් නිරීක්ෂණය කරන කාමරයේ වෛද්‍යවරු කිහිප දෙනෙකි. ඒ සෑම වෛද්‍යවරයකු ඉදිරියේ ම පරිගණකයකි. රෝගීන්ගේ තොරතුරු රෝග නිරීක්ෂණය, රෝගියාට ලබාදෙන බෙහෙත් වර්ග ආදි සියල්ල පරිගණක මත දිස්වේ. කලකට පෙර වෛද්‍යවරුන් ලියන බෙහෙත් වට්ටෝරුවේ අකුරු කියවා ගැනීමට බැරි යැයි රෝගීන්, ඖෂධවේදින් මැසිවිලි නැඟුවේය. නමුදු දැන් එසේ මැසිවිලි නඟන්නට දෙයක් නැත. බෙහෙත් වට්ටෝරුව දැන් පරිගණක ගත කර මුද්‍රිත පිටපතක් ලෙස ලැබේ. සියල්ල පැහැදිලිය. කුමක්ද මේ වෙනස. පොඩ්ඩ බැරි වන විට හැමදාමත් වෛද්‍යවරු වෙත ඇඟිල්ල දික්කළ මහජනතාවට රෝහල විසින් ඇතිකළ, විශේෂයෙන් ම කාසල් රෝහලේ මේ වෙනස පිළිබඳ අප තොරතුරු සොයි ගියෙමු.
“රෝහල් පද්ධතියට තොරතුරු තාක්ෂණවේදය හඳුන්වාදීම තමයි අපි මෙහිදි සිදු කළේ. මෙය බැරෑරුම් කාර්යයක්. නමුත් අභියෝග මැදින් ඒ කටයුත්තේ මූලික පියවර ජය ගැනීමට අපට හැකියාව ලැබුණා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මෘදුකාංගය ලබා ගැනීමට වෙනත් ආයතනයක් සමඟ කතා කළා. ඔවුන් ඒ වෙනුවෙන් ඉල්ලූ මුදල රුපියල් මිලියන 90 යි. නමුත් රටක සෞඛ්‍යය, රටක යුද රහස් වගේ ම වැදගත්. නමුත් අද වන විට අපට පුළුවන්කම ලැබිලා තියෙනවා අපේ රෝහල් පද්ධතියට ගැළපෙන තොරතුරු දත්ත ඇතුළත් කිරීමට මෘදුකාංගයක් සැකසීමට. මේ සඳහා මේ වන විට වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ නවයක් පමණයි. අපි අවුරුදු එකහමාරකට වැඩි කාලයක් මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර සාකච්ඡා පැවැත්වුවා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස තමයි මෘදුකාංගය නිර්මාණය කළේ. සෞඛ්‍ය තොරතුරු තාක්ෂණය රටට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ මහාචාර්ය වජිර දිසානායක මහතා. ඔහුගේ උපදෙස් ගුරුහරුකම් වගේ ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ගාමිණි විජේරත්න මහතාගේ ගුරුහරුකම් අපට ලැබුණා. අද වන විට මහරගම පිළිකා රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල, කුරුණෑගල රෝහල, මාතලේ රෝහල, ළමා රෝහල. ගම්පොළ රෝහල හා කාසල් රෝහලේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය තොරතුරු තාක්ෂණවේදි වෛද්‍ය ප්‍රවීන් ද සිල්වා පවසන්නේ මීට වසර කිහිපයකට පෙර ආරම්භ කරන ලද ව්‍යාපෘතියේ එදා සහ අද තත්වය පිළිබඳවය.
කුමන තැනක හෝ වෙනසක් ඇති කිරීම ලෙහෙසි පහසු නැත. සෞඛ්‍ය ක්ෂේත්‍රය විශේෂය. හැමදාමත්, රෝගීන් පිළිබඳ තොරතුරු ලේඛන ගත කළ, එක්ස්රේ පරීක්ෂණ පමණක් නොව වෙනත් තොරතුරු ලියූ කාලය දැන් නිමා වෙමින් පවතී.
“ඉස්සර එක්ස්-රේ එකක් ගන්න වරු ගණන් ඉන්න ඕන. එය මුද්‍රණය කරන්න ඕන. ඉන්පස්සේ ඒක අරගෙන වෛද්‍යවරයා ඉන්න තැනට යන්න ඕනෑ. අසාධ්‍ය රෝගියෙකුට නම් ගෙවන සෑම තත්ත්පරයක් ම ජීවිතය ගැන තීරණාත්මක මොහොතක්. නමුත් මේ තොරතුරු තාක්ෂණය නිසා අද සියල්ල කඩිනම් වී තිබෙනවා. අද වන විට මේ රෝහලේ එක්ස්රේ පිටපත් මුද්‍රණය වන්නේ නැහැ. ඒ නිසා එහි ලොකු ම ප්‍රතිලාභ ලබන්නේ පරිසරය. ක්ෂණයකින් පරිගණකය මතින් එය බලන්න පුළුවන්කම තිබෙනවා. පරණ එක්ස්රේ යන්ත්‍රය ම තමයි පාවිච්චි කැරෙන්නේ. නමුත් මිල අධික යන්ත්‍රයක් අලුතෙන් භාවිත කරනවා. එය මිල අධික වුණත් එයින් ලබන වාසි බොහෝමයි. රෝගියා යම් අයුරකින් වෙනත් රෝහලකට මාරුකර යවනවා නම් අපට පුළුවන් ඔවුන්ට “එක්ස්-රේ එකේ CD තැටියක් ලබාදෙන්න” වෛද්‍ය ප්‍රවීන් පවසන්නේ අද වන විට කාසල් රෝහලේ ඇති පහසුකම් ය. දැන් රෝහල වෙනදටත් වඩා ප්‍රියමනාපය. රෝහල් ගෘහය, මිදුල පමණක් නොව සියල්ල පිළිවෙළය.
“අපි කණ්ඩායමක් මුල්වෙලා තමයි මෙය පටන් ගත්තේ. මට මතකයි මම මේ ව්‍යාපෘතිය මහරගම පිළිකා රෝහලේ ආරම්භ කිරීමට සූදානම් වෙද්දි එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ වෛද්‍ය කණිෂ්ක කරුණාරත්න මහතා. ඔහු මේ වැඩපිළිවෙළට ඉතාම කැමති වුණා. ඔහු අපට පරණ ස්ටෝරු කාමරයක් අස්කරලා හදලා දුන්නා. ඒක තමයි අපේ මුල්ම අයි.ටී. ලැබ් එක. ඉන්පස්සේ 2015 දී මෙය ක්‍රියාත්මක වන විට අධ්‍යක්ෂ ලෙස හිටියේ වෛද්‍ය ජී. විජේසූරිය මහතා. මුල්ම දවසේ රෝගීන් කලබල කරන්න ගත්තා. රෝගීන් ලියාපදිංචි කරන්න බොහෝ ප්‍රමාද වුණා.
පරිගණකය ක්‍රියා කරවන්නියන්ට එය හුරු නැහැ. ප්‍රශ්න තිබුණා. රෝගීන් එකතුවෙලා අධ්‍යක්ෂතුමාගේ කාර්යාලය ළඟට ගිහිල්ලා කළබල කළා. නමුත් එතුමා රෝගීන්ව සන්සුන් කරලා අපට සහාය දුන්නා. එදා ඒ ලැබුණ සහාය අපට මෙය ක්‍රියාත්මක කරන්න විශාල පිටිවහලක් වුණා. දැන් රෝගියකු ලියාපදිංචි කරන්න ගත වන්නේ තත්පර තිහකටත් අඩු කාලයක්. මේක හරියට බැංකු ජාලයක් වගෙයි. අද කොහෙන් සල්ලි දැම්මත් ගිණුම තියෙන බැංකුවට ම මුදල් ගන්න යන්න ඕනැ නෑ. ඕනෑම තැනකින් මුදල් ගන්න පුළුවන්. ඒ වගේ තමයි තවත් අවුරුදු කිහිපයක් යනවිට මේක එකම ජාලයක්. කොළඹ රෝහලේ ප්‍රතිකාර ගන්න රෝගියකු යම් ලෙසකින් දිවයිනේ වෙනත් රෝහලකට ඇතුළත් වුණත් ඔහුගේ තොරතුරු පරිගණකය මඟින් ක්ෂණිකව වෛද්‍යවරයාට බලාගන්න පුළුවන්. ඔහුෙග් රෝග ඉතිහාසය සියල්ල බලන්න පුළුවන්. මෙහි අත්හදා බැලීමක් ලෙස කරාපිටිය, ඇල්පිටිය, වටපොල රෝහල් ක්‍රියාත්මක වෙනවා.”
වෛද්‍ය තොරතුරු තාක්ෂණවේදී වෛද්‍ය නිශාන් දිසානායක මහතා පවසන්නේ තම කණ්ඩායම ආරම්භ කළ භාරදූර කාර්යයේ අද තත්ත්වය ගැනය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ලබන මෙම ව්‍යාපෘතිය, ආරම්භයට පෙර වෛද්‍යවරු අටදෙනෙකු සඳහා ඇමෙරිකාවෙදි මාසික පුහුණුවක් ලබා දුන්නේය.
“අපිට ඒ පුහුණුව ලබාදීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චම්පික වික්‍රමසිංහ තමයි අවස්ථාව ලබා දුන්නේ. සුදර්ශන වික්‍රමසිංහ, ප්‍රසාද් රණතුංග, කසුන් රඹුක්වැල්ල, චමින්ද වීරවර්ධන, උදිත පෙරේරා, නේරංජ ලියනාරච්චි යන වෛද්‍යරු අප සමඟ මෙම කටයුත්තේ අත්වැල් බැඳගෙන සිටිනවා. මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්නේ නැතිව දෙයක් කිරීම අමාරුයි. අප මෙම කටයුත්ත ආරම්භ කිරීමට පෙර මුලින් ම කළේ රෝහලේ අයට පරිගණක පුහුණුව ලබාදීම. අදටත් අපි රෝහලේ සුළු සේවකයාගේ පටන් ඕනෑම කෙනෙකුට මේ පුහුණුව ලබා දෙනවා. එය ඉදිරියේදි මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට විශාල සහායක් වෙනවා. අද වන විට රාගම රෝහල රෝගීන් ලියාපදිංචිය පරිගණක මඟින් කරන්නේ. රෝගීන් පිළිබඳ තොරතුරු පිටතට යන්නේ නැහැ. අන්තර්ජාලයට විවෘත නැහැ. ඒ වගේ ම මෙහි යම් බිඳවැටීමක් වුණොත් පිටින් ගෙන්වලා හදන්නෙත් නැහැ. ඒ සඳහා අපි යම් අය පුහුණු කරලා තියෙනවා. ඔවුන්ට ‘සොෆ්ට් වෙයාර් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුම ලබාදී තිබෙනවා. ඒ වගේම තමයි අපත් සමඟ කවිදු, චතුරංග, හසිත, නදුන්, ජෙරොම් යන මෘදුකාංග ඉංජිනේරුවෝ කටයුතු කරනවා.
වෛද්‍ය ප්‍රවීන් තමන්ට සහාය දක්වන සෑම සිහි කරන්නේ යමක් සාර්ථක වීමට නම් එයට සියලු දෙනාගේ ම දායකත්වය තිබිය යුතු නිසාය. එමෙන් ම මුදල් ආයෝජනය ද තිබිය යුතුය. මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය දක්වා තිබේ. එමෙන්ම මේ සඳහා ලද මුල්ම මුදල් පරිත්‍යාගය ලබාදී ඇත්තේ අසාමඩ් සමාගමය.
“ඔව්. ඔවුන් අපට ලක්ෂ දාහතරක මුදලක් පරිත්‍යාග කළා. අපි එය කැලණිය විශ්ව විද්‍යාලයට ලබාදුන්නේ. වැඩිපුරම මුදල් වැය වුණේ වැටුප් ගෙවන්න. අද වන විට පුද්ගලික රෝහල්වලවත් මේ ක්‍රමවේදය නැහැ. සෞඛ්‍ය සේවාව ගුණාත්මක තත්වයට පත්විය යුතු සේම එය කාර්යක්ෂම විය යුතුයි. තොරතුරු තාක්ෂණ සංස්කෘතියක් ඇති කිරීම, රෝහල් පද්ධතිය තුළ යම් කාර්යක්ෂම බවක් ඇති කිරීමයි අපේ අරමුණ. මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට පෙර අපි ජනතාවට මෙය කිව්ව නම් එය සිහිනයක් කියලා හිතයි. නමුත් දැන් මෙය ක්‍රියාත්මකයි.”
වෛද්‍ය නිශාන් දිසානායක පවසන්නේ තමන් එක්වී කරන කාර්යයේ දියුණුව ගැන නිහතමානී සතුටක් විඳිමිනි.
දැන් පෙරට වඩා කාසල් රෝහල කාර්යක්ෂමය. උදෑසන සිට දහවල් එක, දෙක, තුන වනතුරු රෝගීන් සිටින පෝලිම් දක්නට නැත. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නලින් ප්‍රේමදාස මහතා පවසන්නේ මෙවැනි කතාවකි.
හැම වෙලාවෙම ජනතාව කැමතියි රෝහලකට ආව ගමන් පැය ගණන් රස්තියාදු නොවී තම කාර්යය කරගෙන ඉක්මනින් ගෙදර යන්න. කාලය කියන එක හැමෝටම බොහෝම වටිනවා. අපි හැම විටම සලකන්නේ රෝගියා අපේ පාරිභෝගිකයෙක් කියලා. ඒ නිසා ඔවුන්ට තෘප්තිමත් සේවාවක් ලබාදීමයි අපේ අරමුණ. මේ සිස්ටම් එක හරහා අපට ජනතාවට කඩිනම් සේවාවක් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ඉදිරියේදි මේවා තවත් දියුණු වෙනවා. එමෙන් ම මේ සිස්ටම් එක නිසා රජයට මුදල් ඉතිරි කිරීමක් ද සිදු කැරෙනවා.
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු