එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වපසරියට යටත් වූ පාලනය තුළ මුළුමනින්ම යොදාගත්තේ හමුදාමය ආකෘතියකි. ඒ පාලනය හමුදාමය ආයතනයන්ට පමණක් සීමා නොවූ අතර සිවිල් ආයතනවල ක්‍රියාකාරීත්වයටද හමුදා නිලධාරීහු පත් කරන ලැබූහ..
පසුගිය ජූලි 25 වැනිදා පැවැති පාකිස්තානු මහා මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත්තේ හිටපු ක්‍රිකට් තරුවක් වූ ඉම්රාන් ඛාන්ය. ඉම්රාන්ගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් විශ්ලේෂණයක යෙදෙන ෆාතිමා බූතෝ ද ගාඩියන් පුවත්පතට ලිපියක් ලියමින් අපූරු කතාවක් පවසයි. ඈ කියන්නේ ඉම්රාන් ඛාන් යනු පාකිස්තානු හමුදාව විසින් නටවන සර්කස් ක්‍රීඩකයකු බවයි.
ෆාතිමා බූතෝ යනු පාකිස්තානයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදි මහා මැතිවරණයෙන් බලයට පත් සුල්ෆිකාර් අලි බූතෝගේ මිනිපිරියයි. ඈ කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධව නැත. තම සීයා මුහුණ පෑ අභාග්‍යසම්පන්න ඛේදවාචකය ගැන ඈ උනන්දුවෙන් සිටිනවා විය යුතුය. එනිසා පාකිස්තානයේ යුද හමුදා ක්‍රියාකාරිත්වය කොතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාවලියට අත පොවා බලපෑම් කරනවාදැයි ඈ විග්‍රහ කරයි.
පාලන ආකෘතිය
ආසියානු රටක් වන පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යූහයක් නැත. එහෙත් කොතරම් ප්‍රශ්න තිබුණත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය මනා ලෙස හැඩ ගැස්වී තිබේ. රජවරුන්ගේ පාලනය තුළ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් නොතිබුණද අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවට දුන් ලොකුම දායාදය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාෂ්ට්‍ර පාලන ආකෘතියයි. එය කොතරම් ප්‍රබලද කිව හොත් බොහෝ විට සමාජය පවා තවමත් ඒ පාලන ආකෘතියට නුහුරුය; නුපුරුදුය. එහෙත් අධිරාජ්‍යවාදීන් මෙරටට දායාද කළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් ඇතුළත් රාජ්‍ය පාලන සංස්කෘතිය ශක්තිමත් ව්‍යූහයකි. ඒ තුළ මහජන නියෝජිතයන්ට පමණක් ක්‍රියා කළ හැකි අතර, අවි බලය දැරුවද යුද හමුදාව හෝ වෙනත් අවි දරන රාජ්‍ය ආයතනවලට එතුළ ක්‍රියාකාරි බලයක් නැත. එනිසා පාකිස්තානයේ මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනයට හෝ ආණ්ඩු පත් කිරීමට හෝ මැදිහත් වන්නට ඔවුන්ට හැකියාවක් නැත. එය අපේ සමාජය භුක්ති විදින උපරිම සමාජ වටිනාකමකි.
එහෙත් මෑත ඉතිහාසය තුළ මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියට බලපෑමක් විය හැකි අත්හදාබැලීමක් වූයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපතිවරයා තෝරාගැනීමයි. එසේම උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස යුද හමුදාවේ හිටපු ප්‍රධානියකු පත් කිරීමත් එවැනි වැරදි අත්හදාබැලීමකි. රාජපක්ෂ දේශපාලනයට ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් මුහුණ දෙන්නට නොගොස් විසෙන් විස නසන ක්‍රමයකට යන්නට තැත් කිරීම එවැනි අත්හදා බැලීම්වල හරය විය. එහෙත් එවා මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයට යුද හමුදාව මැදිහත් කරගැනීමට කළ ආරාධනාවන් විය.
ඊට හේතුව වූයේ දස වසරකට ආසන්න කාලයක් පුරා රාජ්‍ය පාලනය කළ රාජපක්ෂ රෙජීමය මුළුමනින්ම අර්ධ හමුදා ජුන්ටාවක ස්වරූපය ගැනීමයි. එහි ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු හමුදා ප්‍රධානයකු වූ නිසා ඔහුගේ භාවිතය මුළුමනින්ම හමුදාමය ආකෘතියක් විය. ඔහුට ඒ රෙජීමය තුළ ලොකු ශක්තියක් තිබූ නිසා රාජ්‍ය පාලනයේ සැලකිය යුතු කොටසක් හමුදාකරණයට ලක් කිරීමට ඔහුට අවශ්‍ය විය.
රාජපක්ෂගේ වපසරිය
එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ වපසරියට යටත් වූ පාලනය තුළ මුළුමනින්ම යොදාගත්තේ හමුදාමය ආකෘතියකි. ඒ පාලනය හමුදාමය ආයතනයන්ට පමණක් සීමා නොවූ අතර සිවිල් ආයතනවල ක්‍රියාකාරීත්වයටද හමුදා නිලධාරීහු පත් කරන ලැබූහ. විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මුළුමනින්ම පාලනය කළේ යුද හමුදාවයැයි කිව හැකිය. එනිසා බත්තරමුල්ලේ පිහිටි දියත උයන කොළඹ මැද පාන්තිකයන්ගේ විවේකයට පහසුකම් සැපවූවා නොව ඔවුන්ගේ ජීවිතයට අඩත්තේට්ටම් කළ ස්ථානයක් විය.
හමුදාව සිවිල් පාලනයට යොදාගැනීම කොතරම් බරපතළ ලෙස සිදු වූවාද කිව හොත්: ගොඨාභයගේ පාලනයෙන් පිටත තිබූ ආයතනයන්ට පවා පත් කරන ලද්දේ හමුදා නිලධාරීහුය. රජයට පවරාගත් පැල්වත්ත සීනි කර්මාන්තායතනයේ සිට ත්‍රිකුණාමලය දිසාපති ධුරය දක්වාත් උතුරේ හා නැඟෙනහිර ආණ්ඩුකාර ධුරයන් දක්වාත් පත් කරන ලද්දෝ හමුදා සාමාජිකයෝය. සිවිල් සමාජයේ පරිපාලනයට හමුදා නිලධාරීන් පත් කිරීම කොතරම් ව්‍යසනයක් වුවත් සමාජය ඒ සම්බන්ධයෙන් විය යුතු තරම් උනන්දු නොවීම බරපතළ ඛේදයකි.
භයානක පූර්වාදර්ශ
මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති ධුරය හොබවන්නේ ආචාර්ය දීපිකා උඩගමය. ඈ හිටපු සිවිල් සේවකයකු, අධ්‍යාපනඥයකු වූ ආචාර්ය ප්‍රේමදාස උඩගමගේ දියණියයි. විශිෂ්ට පුද්ගල චරිතයකට හිමි කාන්තාවක මෙන්ම අගය කළ යුතු සමාජ කාර්යභාරයක්ද කරන දීපිකා සම්බන්ධයෙන් පසුගියදා හිටපු හමුදා ප්‍රධානයකු අශ්ලීල අදහසක් පළ කරන ලදි. එනම් දේශද්‍රෝහී ලෙස හැසිරෙන ආචාර්ය දීපිකා උඩගම එල්ලා මැරිය යුතු බවයි. බලකාමයෙන් වියරු වැටී සිටින මේ හමුදා නිලධාරීන් විශිෂ්ට සේවා චරිතයක් හිමි සිවිල් පුද්ගලයන් එල්ලා මැරීමට යෝජනා කිරීම භයානක පූර්වාදර්ශයක් බව කිව යුතුද? ඒ පූර්වාදර්ශය දෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා වටා එක් රෝක් වී සිටින හමුදා නිලධාරීන් විසිනි. රටක සිවිල් පාලනය හා හමුදා පාලනය අතර එකිනෙකට විශාල වෙනසකින් යුතු ආකෘතිමය හැඩයක් පවතී. කිසිම විටෙක හමුදාමය සංස්කෘතිය තුළ හැදුණු වැඩුණු අයකු රටක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට තබා සිවිල් පාලනයක බලගතු තනතුරකට හෝ යෝග්‍ය නොවේ. හමුදාමය භාවිතය තුළ පවතින යම් යම් සමාජ පුරුෂාර්ථමය වටිනාකම් නිසා ඒවා අගය කරමින් ඔවුන් සිවිල් පාලනය සදහා යොදාගත්තද සමාන්‍ය සිවිල් ජනතාව සමඟ කටයුතු කිරීමට ඔවුන්ගේ භාවිතය යෝග්‍ය නොවේ. එනිසා ගෝඨාභය රාජපක්ෂ වටා ගොනු වී සිටින මිලිටරි ජුන්ටාව කිසි සේත්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සංස්කෘතිය ශක්තිමත් කරන්නට කිසිම දායකත්වයක් ලබා නොදෙන බව ස්ථිරය.
ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය
මහා මැතිවරණයක් වැනි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවකදී වුව පාකිස්තානයේ පවතින්නේ හමුදාමය සංස්කෘතියකි. එහෙත් ශ්‍රී ලංකාවේ සමාජය භුක්ති විදින වරප්‍රසාදයක් වන්නේ එවැනි අගතිකාමී භාවිතයක් මෙහි නොවීමයි. යුද හමුදාව මුළුමනින්ම සිවිල් පාලනයට යටත් දේශපාලනික නොවන ආයතනයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රටක විය යුතු දෙයකි. එහෙත් ඒ ආකෘතිය වෙනස් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ජුන්ටාව කටයුතු කරමින් සිටිති. ඒ සඳහා ඔවුන් යොදාගන්නේ ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාවය වැනි සංවේදී දේශපාලන කාරණාය.
රටට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව සත්‍යයකි. ඒ මඟින් රාජ්‍යයේ ආකෘතිය පවා වෙනස් කළ යුතු බව සත්‍යයකි. එහෙත් ඒ සියල්ල විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක, මහජන සංවාදයක් මඟිනි. ඉන් බාහිරව කිසිම දේශපාලන ප්‍රතිසංස්කරණයක් සමාජ ප්‍රගමනය සදහා දායක නොවේ. යම් පිරිසක් එසේ කරන්නට තැත් කරයි නම්, එය මුළුමනින් රටේ පාලන ආකෘතිය හමුදාකරණයට ලක් කිරීමේ තැතකි. පාකිස්තානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නැති රටවල පවතින්නේ එවැනි සංස්කෘතියකි. එහෙත්, ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුවද ශ්‍රී ලංකාවේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය රැකගත යුතු භාවිතයකි.
ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ මිලිටරි ජුන්ටාව රට ඇදගෙන යෑමට තැත් කරන්නේ වෙනත් දිසාවකටය. ඒ තුළ ආචාර්ය දීපිකා උඩගම වැනි අගය කළ යුතු කාන්තා චරිතයකට පවා නිදහසේ ජීවත් විය නොහැකිය. එසේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ජන කොටස් මේ ව්‍යසනයෙන් රට මුදාගැනීමට සූදානම් විය යුතුය.
කේ.ජී. පිලිප් ශාන්ත
[email protected]