මහා සෑයේ චූඩාමාණික්‍යය බෞද්ධ ලෝකයේ අපරිමිත ශ්‍රද්ධාව එකලු කළ හැටි | Page 4 | සිළුමිණ

මහා සෑයේ චූඩාමාණික්‍යය බෞද්ධ ලෝකයේ අපරිමිත ශ්‍රද්ධාව එකලු කළ හැටි

චූඩාමාණික්‍යය වටේ මැණික්ගල් 4796ක්

වර්ෂ 1921 දී නාරන්විට සුමනසාර හිමියන්ගේ අපවත්වීමත් සමග නොසිතූ අර්බුදයක් නිර්මාණය විය. ගැටලුව පැන නැගුණේ රුවන්වැලි සෑයේ මිහිකාරිත්වය පිළිබඳවය. සුමනසාර හිමියන්ගේ ගෝලයෙකු බව කියාගත් හිමිනමක් පන්සලේ අයිතිය කියන්නට ඉදිරිපත් විය. ආරවුල උසාවියට ගියේය. එහෙත් උසාවි නියෝගයකින් ඒ හිමියන් ඉල්ලූ අයිතිය ප‍්‍රතික්ෂේප විය. රුවන්වැලිසෑ පන්සලේ හිමිකම උඳුරුව හල්මිල්ලෑවේ රේවත හිමියන් වෙත පැවරෙන්නේ ඉන් අනතුරුවය.

සුමනසාර හිමියන් අපවත් වන අවධිය වන විට ඇවරිවත්තේ රන්සිරිනෙල් පෙරේරා වෙදමහත්තයාගේ මූලිකත්වයෙන් රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම ඉතා ප‍්‍රායෝගික ප‍්‍රගතියක් දකිමින් සිය කටයුතු පවත්වාගෙන යමින් තිබිණි. එක්දහස් නවසිය විස්ස දශකයේ අග භාගය වන විට දාගැබ් ගර්භයේ කටයුතු නිමාවට පත්වුණේය. හතරැස් කොටුව සඳහා මුල්ගල තබා වැඩකටයුතු ආරම්භ කරගෙන යන ලද්දේ චෛත්‍ය වර්ධන සමිතියේ සභාපති රන්සිරිනෙල් වෙද රාලහාමිගේ ප්‍රධානත්වයෙනි.

මේ කටයුතු පවත්වාගෙන යන අතර රුවන්වැලි සෑ ප‍්‍රතිසංස්කරණයේ දී මහා සිටුවර භූමිකාව රඟ දැක්වූ සිටුගේ දොන් හේන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි අභාවප‍්‍රාප්ත වූයේය. ඒ වර්ෂ වර්ෂ 1932 දී ය.

මහාසෑයේ හතරැස් කොටුවේ ධාතු නිධන් කිරීමේ ගම්භීර උත්වය පැවැත්වුණේ වර්ෂ 1933 දෙසැම්බර් මාසයේය. මේ අවධිය වන විට රන්සිරිනෙල් වෙදරාලහාමි අතිශය රෝගී තත්වයෙන් පසුවූයේය. ඉන් වසර දෙකකට පසු, එනම් වර්ෂ 1935 දී රන්සිරිනෙල් වෙද රාලහාමි මෙලොව හැර ගියේය. දුටු ගැමුණු රජු චෛත්‍ය කර්මාන්තයේ අවසානය නොදුටුවා සේය. ‘සියවස් අටක් තිස්සේ වන වැදී තිබූ ජාතියේ මහා අභිමානය වූ මහා සෑය යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවූ මහා පුරුෂයන් තිදෙනා වන නාරන්විට සුමනසාර හිමි, සිටුගේ දොන් හෙන්ද්‍රික් සිල්වා හෙවත් හේනේගම අප්පුහාමි හා රන්සිරිනෙල් වෙදරාළහාමි ඒ උත්තුංග කර්තව්‍යයේ නිමාව නොදැක මෙලොව හැර ගියහ.,

රන්සිරිනෙල් වෙද රාලහාමිගේ දියණියගේ සැමියා වූ මහර ඒබරං එදිරිසිංහ වෙද මහත්තයාය. සිය මයිලනුවන් ගෙන ගිය ජාතික ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නට ඒබරං එදිරිසිංහයෝ ඉදිරිපත් වූහ. ඔහු චෛත්‍යවර්ධන සමිතිය සදහා නායකත්වය ලබා දුන්නේය.

සෑයේ උසට ගැළපෙන අන්දමේ කොත් වහන්සේ නමක්‌ නිර්මාණය කිරීමේ කාර්යය රන්සිරිනෙල් වෙද රාලහාමි ජීවත්ව සිටි අවධියේදීම පිත්තල කර්මාන්තයේ නියැළෙන පිළිමතලාවේ විසූ ශිල්පීන් කණ්‌ඩායමකට භාර කර තිබිණි. ඔවුහු අඩි 26 ක්‌ උසැතිව පිත්තලින් කොත් වහන්සේ නමක් ඉදිකළහ. එහි බර ටොන් 6 ක්‌ පමණ විය. කොතේ වැඩ නිමා කරන විට රන්සිරිනෙල් වෙදරාලහාමි ජීවතුන් අතර නොවීය. පිළිමතලාවේ සිට කොළඹට රැගෙන ආ කොත් වහන්සේගේ ස්‌වර්ණාලේප කිරීමේ කටයුත්ත සුබ මොහොතින් ආරම්භ කරනු ලැබුවේ රන්සිරිනෙල් වෙද රාලහාමිගේ බිරිඳ වූ මැටිකොටුවේ හාමිනේ විසිනි. කොත් වහන්සේගේ ස්වර්ණාලේප කටයුතු අවසන් කිරීමට තුන් මසක් ගත විය.

අනතුරුව චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීහු තවත් ගැටලුවකට මුහුණ දුන්හ. ඒ කොත් වහන්සේට සරිලන ප්‍රමාණයේ චූඩාමාණික්‍යයක්‌ නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ සොයාගැනීමය. බොහෝ ආයාසකර උත්සහයන්ගෙන් අනතුරුව මෙම චූඩාමාණික්‍යය මේ රටෙන් සොයාගත නොහැකි බව ඔවුහු අවබෝධ කරගත්හ.

චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීහු අවසානයේ ඒ වන විට ලංකාවේ වැඩ සිටි බුරුමයේ යූ. විනයාලංකාර නාහිමි සොයා ගියහ. මේ අවධිය වන විට උන්වහන්සේ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමය සහ දෙමටගොඩ ශ්‍රී මකුටාරාමය යන උභය විහාර ආරම්භ කරමින් එහි විහාරාධිපතිව වැඩ විසූහ. උන්වහන්සේ ලංකා ස්‌වේජින් මහානිකායේ මහානායක වශයෙන් ද කටයුතු කරමින් උන්හ.

චූඩාමාණික්‍යයක් සපයා දීම පිළිබඳව ආරාධානව චෛත්‍යවර්ධන සමිතියෙන් ලැබෙන අවධියේ විනයාලංකාර හිමියන් සිටියේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහභාගී වෙමිනි. විනයාලංකාර හිමියෝ ඇරයුම පිළිගත්හ. දළදා මාලිගා ප්‍රතිසංස්කරණ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වූහ. අනතුරුව චූඩාමාණික්‍යය සඳහා සුදුසු පළිඟුවක් සෙවීමේ අපේක්ෂා පෙරදැරිව වර්ෂ 1938 මැයි මාසයේදී බුරුමයට වැඩම කළහ.

හවැනි පළිඟු සෑදීම සඳහා ප්‍රකටව පැවතියේ බුරුමයේ මෝගොක්‌ නම් නගරය ය. විනයාලංකාර හිමියෝ කෙළින්ම මොගොක් වෙත වැඩම කළහ. වැඩමකොට සිය අභිප්‍රාය එහි විසූ ප්‍රධාන ව්‍යාපාරික පිරිසට දැන්වූහ.මෝගොක් හි එවකට සාරවත් ව්‍යාපාරයකට හිමිකම් කියූ දානපති සිවුපොළක් තමන් සතුව තිබූ විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ විනයාලංකාර හිමිට ලබා දුන්හ. ඒ සඳහා ඔවුහු ශතයක මුදලක් ලබා නොගත්හ. පින් තකා ඒ මහානර්ඝ පළිඟුව පූජා කළහ.

වර්ෂ 1938 අගභාගයේ දී විනයාලංකාර හිමියන් මෙරටට වැඩම කරන්නේ බුරුම ධානපතියන් පූජා කළ පළඟුවත් රැගෙනය. උන්වහන්සේ චෛත්‍යවර්ධන සමිතියට පළිඟුව භාරදුන්හ. එහෙත් ඒ වන විට එවැනි විශාල පළිඟුවකින් චූඩාමාණික්‍යයක් කැපිය හැකි තාක්ෂණය අපේ රටෙහි නොවීය. චූඩාමාණික්‍යය සඳහා ඇවැසි මිනුම් ද පළඟුවද රැගෙන හිමියෝ නැවත වරක් බුරුමයේ මොගොක් නගරය වෙත වැඩම කළහ. එවැනි මැණික් කැපීමේ තාක්ෂණය ප්‍රගුණ කළ කර්මාන්තකාරයෝ ඒ නුවර විසූහ. නියම කර තිබූ මිනුම්වලට පළිඟුව කැපීම ඇරඹිණි. එහෙත් නියමිත හැඩය ගැනීම සඳහා පළිඟුවේ එක පසකින් අවශ්‍ය ප්‍රමාණය නොවීය. දැන් විනයාලංකාර හිමියන්ට සිදු වී තිබුණේ ගත් සියලු උත්සාහයන් අත්හැර චූඩාමාණික්‍යය කැපීමේ කාර්යය නවතා දැමීමට ය. එහෙත් අධෛර්යයට පත් නොවූ උන්වහන්සේ නැවත වරක්‌ බුරුමයෙන් විශාල ප්‍රමාණයේ පළිඟුවක්‌ සෙවීමේ මෙහෙයුම ඇරඹූහ.

මේ අතර විනයාලංකාර හිමිට දැනගන්නට ලැබෙන්නේ මීට පෙර තමන්ට පළිඟුවක් පරිත්‍යාග කළ ව්‍යාපාරිකයන් සිවුදෙනාගේ පතලකින් මෙතෙක්‌ මෝගොක්‌ නගරයේ කිසිදු පතලකින් හමු නොවූ තරමේ විශාල පළිඟුවක්‌ හමු වූ බවය. උන්වහන්සේ නැවත වරක් එම ව්‍යාපාරිකයන් වෙත වැඩම කළහ. තමන්වහන්සේ මුහුණ පෑ ගැටලුව විස්‌තර කළහ. කතාව සාවධානව අසා සිටි මේ සුධීහු ඒ දැවැන්ත පළිඟුව ද විනයාලංකාර හිමියන්ට පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූහ.

අනතුරුව මෝගොක්‌ නගරයේ පළිගු කපන්නන් ලවා උසින් අගල් 18 ක්‌ ද, වට ප්‍රමාණය අගල් 25.5 වන සේ චූඩා මාණික්‍ය කපාගැනීමට විනයාලංකාර හිමියෝ කටයුතු කළහ. එය බරින් රාත්තල් 12.5ක් විය.‌ චූඩාමාණික්‍යය ස්‌වර්ණමය ආධාරකයක්‌ මත පිහිටුවා බුරුම බෞද්ධයන්ගේ පරිත්‍යාගයක් ලෙස ලංකාවට ලබාදීමට කටයුතු සම්පාදනය විය. එහි මුල්තැන ගත්තෝ විනයාලංකාර හිමියෝය. බොහෝ බුරුම බෞද්ධයන් රන්රිදීමැණික්‌ මෙන්ම මුදල් ද මෙම කාර්යය සදහා පරිත්‍යාග කළහ. චූඩාමාණික්‍යය තැන්පත් කරන ස්‌වර්ණමය ආධාරකය තැනීමේ කාර්යය මෝගොක්‌ නගරයේ සිටි ධනවත් බෞද්ධයෙක් භාරගත්තේය. ඒ සඳහා හෙතෙම නව උපකරණ මිලට ගත්තේය. අනතුරුව රන්කරුවන් සිය නිවසේ නවතාගෙන එම නිර්මාණය නිමා කිරීමට කටයුතු කළේය.

ස්‌වර්ණමය ආධාරකය රිදියෙන් වාත්තු කොට රන් ආලේප කිරීමට සැලසුම් විය. ස්‌වර්ණමය ආධාරකය පුරා මැණික්‌ ඔබ්බවීමටත්, චූඩාමාණික්‍යය මස්‌ථකයේ රනින් ධාතු කරඬුවක්‌ නිමවීමටත්, ඒ මත සිට සිවු දිශාවට මැණික්‌ වැල් දැමීමටත් කටයුතු යෙදිණි. ස්‌වර්ණමය ආධාරකය නිර්මාණය කරන්නට මාස නවයක් ගතවිය. ආධාරකය ඉදි කරන්නට රන් රාත්තල් 12 ක්‌ සහ රිදී රාත්තල් 152 ක්‌ යොදාගෙන තිබිණි. ඊට ඔබ්බා තිබූ මැණික්‌ ගල් ප්‍රමාණය 4796 ක් විය. අවසාන චූඩාමාණික්‍යය මත පිහිටු වූ ස්‌වර්ණමය ධාතු කරඩුවේ සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක්‌ තැන්පත් කෙරිණි.

සියලු වැඩ කටයුතු නිමාවීමෙන් පසු මෝගොක්‌ නගරයේ සිට විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනගරයට වැඩම කරවනු ලැබූ ස්‌වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය කෙටි කලක්‌ ලෝක ප්‍රකට ශ්වෙදගොන් චෛත්‍යය සමීපයේ ගොඩනැගිල්ලක තැන්පත් කෙරිණි. ශ්‍රද්ධා සම්පන්න බුරුම බෞද්ධයෝ රොද බැඳගෙන විත් චූඩාමාණික්‍යය වන්දනාමාන කළහ. අනතුරුව බුරුම ආණ්‌ඩුවෙන් ලංකාණ්‌ඩුවට පිරිනමන රාජකීය භාණ්‌ඩයක්‌ වශයෙන් චූඩා මාණික්‍යය බුරුමයේ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර ශ්‍රීමත් ඩගල්ස්‌ කොක්‌රේන් විසින් ලංකාවේ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෲ කොල්ඩිකේට්‌ වෙත වර්ෂ 1940 දී එවන ලදී.

 

Comments