
බූරා ක්‍ෂුද්‍රයෙක්. ඒ කියන්නෙ උත්පත්තියෙන් ම අපිරිසිදු වෙච්ච එකෙක්. බූරාට පිරිසිදු වෙන්න කිසි ම ක්‍රමයක් තිබුණෙ නෑ. ඒක මනුගෙ වැඩක්. ඔහු තමයි පැරණි කුල ක්‍රමයට අදාළ මනු සංහිතාවයි, මනු ස්මෘතියයි කියන ආගමික ශුද්ධ ලියවිලිවල බලධාරිය. නීට්ෂේටයි, හිට්ලර්ටයි බලපෑවෙත් මනු ම තමයි. ඒ නිසයි මං ඔහු ප්‍රතික්ෂේප කරන්නෙ. පිළිකුල් කරන්නෙ. හෙළා දකින්නෙ. මේ මිනිහ ගැන ලෝකයා දැනුවත් කරන්න ඕනෑ. මොකද ඒ වගේ මිනිස්සු ගැන අපි නොදන්න තාක් කල් අපිට ඔවුන්ගෙන් බේරිල, නිදහස්වෙලා ඉන්ඩ බෑ. එහෙම නැත්නම් ඔවුන් මොනම ක්‍රමේකින් හරි අපිට බලපෑම් කරන්න පටන් ගන්නව. ඒ බලපෑම ජන වාර්ගික වෙන්නත් පුළුවන්. ඇමෙරිකාවෙ ඉන්න නීග්‍රෝ ජාතිකයොත් මනුට අනුව ක්ෂුද්‍රයො. ස්පර්ශ නොකළ යුත්තො.
ඔබ කල්ලෙක් වුණත්, සුද්දෙක් වුණත් මනුගෙ පිස්සු විකාර දර්ශනය ගැන අවබෝධයක් ලබා ගත යුතු වෙනව. එක්තරා සියුම් ආකාරයකින් ලෝක යුද්ධ දෙකට ම මනු බලපාල තියනව. තුන්වෙනි එකටත් බලපාන්න පුළුවනි. ඔහු හැබෑවට ම බලපෑම්කාරී මිනිහෙක්. මං හිතන්නෙ නෑ මනු තරම් මනුෂ්‍යත්වයට බලපෑම් කරපු තවත් කෙනෙක් ඇති කියල. ඔබ ඔහුගේ නම දැනගෙන හිටියත්, නැතත් අද පවා ඔහු ඔබට බලපෑම් කරනව. ඔබ හිතනව නම් ‘මං සුදු නිසා බලවන්තයි’ නැත්නම් ‘මං කළු නිසා බලවන්තයි’ කියල එහෙමත් නැත්නම් ‘මං පිරිමියෙක් නිසා බලවන්තයි, ‘මං ගෑනියක් නිසා බලවන්තයි’ කියල නිසැකව ම ඔබේ හිත යට වැඩ කරන්නෙ මනු. ඔහුව සහමුලින් ම අහක්කර දැමිය යුතුයි.
ඩයනා කුමාරිගෙ විවාහ උත්සවයෙ පින්තූර වගයක් බලද්දි ඒ මුළු විකාර සහගත ක්‍රියාවලියෙ මගෙ හිත ඇදිල ගියේ එක ම එක දේකට විතරයි. ඒ තමයි අර ලස්සන අශ්ව ගමන. ඒ ලස්සන අශ්වයන්ගෙ සන්තෝසජනක නැටිල්ල! හරිම අපූරුයි! ඒ අශ්වයො දිහෑ බලාගෙන ඉඳිද්දි මට මගෙ ළමා කාලෙ මතක් වුණා.
මට අශ්වයෙක් හිටිය. එකෙක් නෙමෙයි හතර දෙනෙක් ම හිටිය. එකෙක් මගෙ ම එකා. කිසි කෙනෙකුට මං ඌව අල්ලන්ඩවත් දුන්නෙ නෑ. සීයටවත් දුන්නෙ නෑ. ඒ වුණත් අනිත් හැමෝ ම ඒ අයගෙ අස්සයො පදින්ඩ මට ඉඩ දුන්න. ආච්චිටයි, සීයටයි අශ්වයො දෙන්නෙක් හිටිය. ඉන්දියාවෙදි ගෑනියක් අශ්වයකු ගෙ පිටේ නැගල යන එක අමුතු දෙයක්. ඒත් අපේ ආච්චි අශ්වයගෙ පිෙට් ගියා. මොනව කරන්ඩද? උන්දැ අමුතු ම කෙනෙක්නෙ. හතර වෙනි අශ්වය අයිති වෙලා හිටියෙ කැලේදි හැම තිස්‍මෙ වාගෙ දුර තියා මං පස්සෙන් එන්ඩ පුරුදු වෙලා හිටිය අපේ ගෙදර සේවකයට - බූරට.
දෛවය හරි අමුතුයි. මං මගෙ ජීවිතේ කිසි ම දාක කිසි ම කෙනෙකුට හිංසාවක් කරල නෑ. එහෙම දෙයක් හීනෙකින්වත් හිතල නෑ. මං එළවළු විතරක් කාපු කෙනෙක්. නමුත් දෛවයේ හැටියට මගෙ පුංචි කාලෙ හිටන් ම කවුරු හරි කෙනෙක් මාව මුර කෙරුව. මං දැනගෙන හිටියෙ නෑ ඒ මොකද කියල. බූර හිටිය කාලෙ ඉඳන් ම මං ආරක්ෂකයෙක් නැතුව ඉඳල නෑ. අද වුණත් මගෙ ආරක්ෂකයො මගෙ ඉදිරියෙනුයි පිටුපස්සෙනුයි ඉන්නව. හැම තිස්සෙ ම ඉන්නව. මේ සෙල්ලම පටන් ගත්තෙ බූර.
මං පොඩි කාලෙ හිටන් බූර ඈත තියා මං පස්සෙං එන්ඩ පටන් ගන්ඩ එක්තරා හේතුවක් තියනව. කවුදෝ මාව පැහැරගෙන යන්ඩ දෙපාරක් ම උත්සාහ කෙරුව. මාව පැහැරගෙන යන්ඩ හදන්නෙ මොකද කියන හේතුව මං දැනගෙන හිටියෙ නෑ. දැන් තමයි ඒක තේරෙන්නෙ. අපේ සීය පෝසත්. බටහිර පෝසත්කම මනින විදිහට අනුව නෙමේ අපේ ගමේ පෝසත්කම මැනපු විදිහට සීය පෝසතෙක් වෙලයි හිටියෙ.
මගෙ තරුණ කාලෙදි වුණත් ඉන්දියාවෙදි පෝසතුන්ගෙ දරුවො පැහැරගෙන යන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණ. ඒව කෙරුවෙ සංවිධාන වෙච්ච කල්ලි. එහෙම පැහැරගෙන ගිහිං දරුවගෙ දෙමවුපියන්ට තර්ජනය කරනව සල්ලි නොදුන්නොත් දරුවගෙ අත්දෙක කපල දානව කියල. දෙමවුපියො සල්ලි දුන්නොත් දරුවගෙ අත්දෙක බේර ගන්ඩ පුළුවන්. දරුවගෙ ඇස් දෙක අන්ධ කරනව කියලත් සමහර විට තර්ජනය කරනව. එහෙමත් නැත්නම් දරුව මරනව කියනව. දෙමවුපියො ඇත්තට ම පෝසත්තු නම් කෙරෙන තර්ජනය ඍජුයි. දරුවව බේර ගන්ඩ අර අහිංසක දෙමවුපියො කරන්ඩ පුළුවන් හැම දෙයක් ම කරනව.