
පදියතලාව ප්‍රාදේශීය සභා සීමාවට අයත් කොකාගල කඳුවැටිය අසල දිවි ගෙවන කුඹුරුවල, හිප්පින්නගොඩ, වත්තේගම්තලාව ප්‍රදේශවල ජනජීවිතවලට කරන එබී බැලීමකි.
සද්දන්තයා ඉදිරියට ආවේ අප නොසිතූ මොහොතකය. ඒ වන විටත් කාෂ්ටක අවුවේ සැතපුම් 5-6ක් පයින්ම පැමිණ සිටි අපට අලුතින් දහඩිය දමන්නට ඉතිරිව නොතිබිණි. ගතම සීතල වී අප්‍රාණික වන්නට යන්නාක් මෙන් දැනිණි.
ගල් තලාවේ අපට යන්නට දිසාවක් තිබුණේ නැත. කිහිප දෙනකු ගල්තලාව දිගේ රූටමින් පහළට ඇදී ගියෝය. සෙස්සෝ තමන්ට ආරක්ෂිතයි සිතෙන තැන් සොයමින් සැඟවෙන්නට උත්සාහ ගනිමින් සිටියහ.
“කිරි මහත්තයා යන්ඩකෝ... ඔයාට අපෙන් කරදරයක් නැහැනේ...“ සිරිවර්ධනගේ මුවින් කාරුණික ඉල්ලීමක් පිට වූයේ ඔය අතරතුරය. අපි වාසනාවන්ත වීමු. තවත් මොහොතක් අප දෙස බලා සිටි ඒ දැවැන්තයා ආපසු හැරිණි.
කොකාගල කඳු තරණයේ අවසාන අදියරට ආසන්න වෙමින් සිටි අපට සිදු වූයේ ඉදිරියට පියවර තබා ගමන අවසන් කරන්නට නොව, ආපසු හැරෙන්නටය. මේ කන්ද පාමුලට තවත් අප සැතපුමක්-දෙකක් ආපසු යා යුතුය. තැනින් තැන හමු වන යෝධ ගස් මුල්, දිය දහරා, පර්වතලින් යුතු බෑවුමේ පහළට බැසගත් අපි වත්තේගම්තලාව ගම්මානයට පැමිණියෙමු.
මාස ගණනාවකින් වැහි පොදක් බිම නොවැටුණු මහ පොළොව නඟන්නේ එකම අඳෝනාවකි. ඒ අඳෝනාව අපට දරා සිටිය නොහැකිය. ගත දහඩියෙන් තෙමෙයි. ඉඳහිට හමන සුළංද ගත දවා ලනවා විනා සිසිලක් ගෙන එන්නේ නැත. පය තබන හැම විටම ඉහළට නැඟ එන දූවිල්ල දණහිස් මට්ටමට පැමිණෙයි. එයට සුළඟ මුසු වූ කල එය තවත් ඉහළට නැඟ එයි.
කලකට ඉහතදී වගා කර අතැර දැමුණු කුඹුරු පසු කරමින් ඉදිරියට ඇදෙන්නට වීමු. කොකාගල කන්දේ සිට ගලා යන දිය දහරාවක් දෙකක් ඉඳහිට අපට හමු වේ. දිය මත පා ගැටෙත්ම දැනෙන්නේ පුදුමාකාර සහනයකි. අපට තරමක් ඈතට වන්නට ගවයන් එකා දෙන්නා එක් වනු පෙනෙන්නට වූයේ මේ අතරය. තවත් මොහොතක් ගත වත්ම එකා දෙන්නා බැගින් වූ ගවයෝ සියයක දෙසීයක රංචුවක් බවට පත් වී, අප දෙසට එන්නට වූහ.
“ඒ පාර මොකක්ද වෙන්නේ?“ අපට නැඟණු ගැටලුවකි.
“මුන් ටික ආවොත් නම් පෑගිලා මැරෙන්නයි වෙන්නේ...“ පැතුම්ට කියැවිණි.
“හෝ... හෝ!“ කියූ නයනානන්ද තවත් වදන් කිහිපයක් පිට කර කෑගසන්නට වූයේ මේ අවස්ථාවේය. ගවයෝ ක්ෂණයෙන් නැවතුණහ. ඊළඟට උන් අප දෙස බලා සිටියේ සීරුවට සිටගෙනය.
“අපි ඉක්මනට යං!“ නයනානන්ද කීය.
“පේනවා නේද අපේ ජීවිතවල හැටි? එක්කෝ අලි; නැත්නම් හරක්. අපි මේ ගම්වලින් ඈත් වෙලා ඉන්නේ මේ හින්දා“ සිරිවර්ධන කටහඬ අවදි කළේය.
පදියතලාව ප්‍රාදේශීය සභා සීමාවට අයත් වත්තේ ගම්තලාව ගම්මානයේ මිනිසුන් ගෙවන ජීවිතය විඩාබර වූවකි. එහි සැනසීමක් දක්නට නැත. පදියතලාව නගරයෙන් හැරී කුඹුරුවල ගමට පැමිණි අපි ඉන් පසුව හිප්පින්නගොඩ පසු කර වත්තේගම්තලාවට පැමිණියෙමු. එහි ජනතාව සමඟ කළ කතාබහ අතරතුර ඔවුහු කොකාගල කන්දේ ඓතිහාසික පසුබිම ගැන තොරතුරු රැසක් හෙළි කළහ. එහිදී කියැවුණේ 1818 අරගලයේදී එහි සටන්කරුවන් රැසක් මෙහි රැඳී සිටි බවයි.
එපමණක් නොව, අරගලකරුවන් රාජත්වයේ ලා සැලකූ විල්බාවේ කුමරු මෙහි කලක් සැඟව සිටි බවද කියැවිණි. වත්තේගම් තලාවේ ජනජීවිත ගැන සොයා බැලීමට ගිය අපට කොකාගල තරණයට අදහස ඇති වූයේ එහිදී ගැමියන් සමඟ කළ කතාබහෙනි.
කොකාගල කන්ද තරණය කෙසේ වෙතත් ඒ ජනජීවිත අත්විඳින සැබෑ කටුකත්වය නම් අපට පැහැදිලිව අත්විදින්නට හැකි විය.
කාලයකට පෙර වත්තේගම්තලාවේ නිවාස හැට ගණනාවක් තිබුණු බව එහි අද වගා කටයුතු කරන ගැමියෝ අපට කීහ. එහෙත් අද වන විට ඉතිරිව ඇත්තේ කිහිපයකි.
එයට හේතු වී ඇත්තේ මෙහි ඇති කර්කශ පරිසරය, වන අලි තර්ජන ආදි කරුණුය. මේ පරිසරය විඳිමින් අපද තවත් බොහෝ දුර යා යුතුව තිබේ. ඒ අතර සිරිවර්ධන තම ජීවන අරගලය ගැන අපට තොරතුරු හෙළි කරන්නට වූයේය.
“මට දැන් අවුරුදු පනහක් වෙනවා. පවුල මාව දාලා ගියේ පුංචි පුතාට අවුරුදු එකහමාරක් වෙනකොට. රස්සාවත් කරන ගමන් ඒ අයගේ වැඩ කටයුතුත් කරගෙන යනවා.
අපි මේ ඉඩම්වල එක කන්නයකට වී වගා කරනවා. අනික් කාලවලදී බඩ ඉරිඟු, තල, කුරක්කන්, කවුපි, වට්ටක්කා, කොමඩු වගා වවනවා. මේ දවස්වල අඩු මිලට තමයි මේ හැම දෙයක්ම ගන්නේ.
මම පසුගිය දවස්වල තළන බටු වගයක් හිටෙවුවා. මුදලාලි කියනවා ගන්න බැහැ, විකුණාගන්න අමාරුයි කියලා. අන්තිමට කිලෝ එකක් රුපියල් පහ ගානේ තමයි දීලා දැම්මේ! ගස්ලබු වගා කළා. ඒකට අලි ගහලා විනාශ කළා. දැන් වගාවට වඩා මුල්තැන දීලා තියෙන්නේ ගල්කොරියේ වැඩවලට. “
මීට අමතරව මෙහි ජනතාව ගව පාලනයේද නිරත වන බව නයනානන්ද අපගේ කතාබහට එක් වෙමින් කියා සිටියේය.
“මේ මිනිස්සු ගව පාලනය කරනවා. උදේට කිරි අරගෙන කුඹුරුවෙල ගමට ගෙනිහින්ලා කිරි මණ්ඩලයේ ලොරියට කිරි දෙනවා. “
ගමන අතරමඟදී අපට හමු වුණු එච්.එම්. පියදාස මහතා කියා සිටියේද මේ දුෂ්කර ජීවිතය තම දරුවන්ගේ ජීවිතවලට බලපා ඇති ආකාරයයි.
“අපිට වගා කරන්න තමයි මේ ඉඩම් දුන්නේ. වගා කරනවා කියලා අපිට අඹු-දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න බැහැ. ඒ අයත් එක්ක තමයි මේ ඉඩම්වල පැලක් හදාගෙන ඉන්නෙ. ඒත් ළඟ-පාතක පාසලක් නැහැ. ළමයිව ඉස්කෝලෙට යවනවා නම් පදියතලාව ටවුමටම යන්න ඕනේ. ඉතින් මෙහෙ ඉඳන් ළමයින්ව ඉස්කෝලෙ යවන්න අමාරුයි. ඒ හින්දා ළමයි වෙනම ගෙදරක ඉන්නේ. සිකුරාදා හවසට ළමයි මෙහාට එක්කගෙන එනවා. ආයේ සඳුදාට ඉස්කෝලේ යවන්න ඕනේ නිසා ඉරිදා හවසට ගිහින් දානවා. එහෙම තමයි අපිට ළමයි එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.“
මේ අන්දමට ජීවත් විය නොහැකි නිසා ප්‍රදේශයේ පවුල් රැසක්ම ගම හැර ගිය බව ගම්වාසීහු කියති.
“අපි කොහොමද මෙහ ඉන්නේ? හදිසියකට ඉස්පිරිතාලයක් නැහැ යන්න. දවසක් මහ රෑ මගේ පුතාට හොඳටම අමාරු වුණා. බයිසිකලයක තියාගෙන රෑම මමයි නෝනයි පුතාව පදියතලාවේ ඉස්පිරිතාලෙට ගෙනියන්න පිටත් වුණා.
යද්දි පාරේ අතරමඟදී අලියෙක් ඉස්සරහට ආවා. කරන්න දෙයක් තිබුණේ නෑ. ළමයට හොඳටම අමාරුයි. ආපහු යන්නත් බෑ. දෙයියෝ සිහි කරගෙන බයිසිකලේ පුළුවන් තරම් වේගයෙන් අලියාව පහු කරගෙන ඉස්සරහට ගියේ. ඊට කලින් අවුරුදු තුනක විතර ළමයකු මහ රෑ සර්පයෙක් කෑවා. ඉස්පිරිතාලෙට අරගෙන යද්දි පාරෙ අලි ඉඳලා තියෙනවා. අලියා යන කල් ඉඳලා ළමයාව ඉස්පිරිතාලෙට අරන් යද්දි ළමයා මැරුණා...“
මෙලෙස වත්තේගම්තලාව ගම්මානයේ තොරතුරු කතාබහ කරමින්ම අපි ගමන් කරන්නට වීමු. කොකාගල කන්දෙන් අපි ඈත් වෙමින් සිටියෙමු. කේඬෑරි වී ගිය ගස් කොළංවලින් පිරුණු මාවතේ තවත් ඉදිරියට යත්ම හොඳින් වගා කළ බිමක් හමු විය. ඒ පුංචි මැණිකාගේ පැල්පතයි.
“මෙහෙට වතුර ගන්න තියෙන කිරිමැටි ඇළ අමුණ විනාශ වෙලා. ඒ හින්දා වතුර නැහැ. ඒත් කොකාගල කන්දේ ඉඳන් යන ජල පහරක් මෙතැනින් ගලනවා. අපි ඒ වතුර යොදාගෙන තමයි මේ වගාව කරන්නේ. ඒත් මේ වගාව අලි, හරක්, මොනරු ඇවිත් විනාශ කරනවා. ඒවාටත් පුළුවන් විදිහට විදුලි වැටක් අපිම හදාගෙන තියෙන්නේ. “ පුංචි මැණිකා පවසයි.