යුද හමුදාවේ අලුත්ම සාමාජිකයා: මුගටි බළකාය | සිළුමිණ

යුද හමුදාවේ අලුත්ම සාමාජිකයා: මුගටි බළකාය

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යන්න මේ වන විට ලෝකයේ සියලු රටවලින් උදාහරණ සහිතව අපට දක්නට ලැබෙන්නකි. නව නිෂ්පාදනවලින් තොරව පෙරට යෑමේ හැකියාවක් ලෝකයේ කිසිදු රටකට නොවන බව මේ වන විට විද්‍යමාන වී හමාරය. ගෙදර මුළුතැන්ගෙයට අවශ්‍ය කුඩාම උපාංගයේ සිට හඳෙන් නොනැවතී විවිධ ග්‍රහලෝක කරා යෑමට උත්සාහ දැරීම දක්වා නවීකරණය වී ඇති යුගයක සියල්ලේම නවීකරණයක් නොවුණ හොත් එතැන එක තැන පල් වන සංස්කෘතියක් පමණක් බිහි වන අතර, ඉදිරි ගමනට එය මහත් වූ බාධාවකි. තාක්ෂණය මෙන්ම නව අත්හදා බැලීම් ඔස්සේ නව ගමන් මාර්ග සකස් කරගත් රටවල් මේ වන විට ලෝකයේ පෙරමුණ ගන්නට සමත්ව ඇත්තේ එහෙයිනි.

විශේෂයෙන්ම මිනිසාට බෙහෙවින් උපකාරී වන සත්ත්වයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර ඔවුන්ගෙන් උදවු-උපකාර ලබාගන්නට ලෝකයේ බොහෝ රටවල් කටයුතු කරන්නේද ඒ අනුවය. ලයිකා නමැති සුනඛ ධේනුව අභ්‍යාවකාශගත කිරීම ලෝකයේ සිදු වෙද්දී අපේ රටේ සංදේශ ගෙන යෑමට පක්ෂීන් හවුල් කරගැනීමේ ක්‍රමවේදයක්ද සිදු කරන ලදි. විශේෂයෙන්ම මිනිසාට බෙහෙවින් සමීප සුනඛයින් මෙහිදී විශේෂ පරීක්ෂණයන්ට බඳුන් කර ඔවුන්ගෙන් විශාල කාර්යයභාරයක් ඉටු කරගැන්මට ලෝකයේ බොහෝ රටවල් විසින් කටයුතු කරන ලදි. අපරාධකරුවන් හඳුනා ගැන්මට විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් යොදාගැන්ම මෙහිදී කැපී පෙනිණි. පොලීසිය මෙන්ම ආරක්ෂක අංශද මේ සුනඛයන්ගේ සේවාව ලබාගැන්මට කටයුතු කෙළේ එහෙයිනි. පොලීසිය අපරාධ සම්බන්ධව සුනඛයන් පුහුණු කර සේවාව ලබාගත් අතර, ආරක්ෂක හමුදා විසින් බිම් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සොයාගැන්මට සුනඛයෝ යොදාගනු ලැබූහ.

මෙහිදී විශේෂයෙන්ම යුද හමුදාවේ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය ඒ කාර්යයේ පෙරමුණ ගත්තේය. ඊට පුහුණු කරන ලද සුනඛයන් බහුලව යොදාගන්නා අතර, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු විය. උදාහරණයක් ලෙස පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා යොදාගන්නා එක් සුනඛයකු විදෙස් රටකින් මිල දී ගැනීමට රුපියල් ලක්ෂ 2ක් පමණ වැය වන අතර ආහාර, නඩත්තුව හා ඖෂධ සදහා වසරකට රු. 150,000ක් පමණ වැය වේ. තාක්ෂණ උපකරණ සඳහා යෙදිය යුතු පිරිවැය ඊටත් වැඩිය. එමෙන්ම ක්‍රියාන්විතවලදී සුනඛයන් යෙදවීමේ යම් අවහිරතාද හඳුනාගැනිණි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමේ ක්‍රියාන්විත සඳහා පහසුවෙන් යෙදවිය හැකි මෙන්ම වියදම් අඩු ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු වූයේය. එහිදී ශ්‍රී ලංකාව තුළ හමු වන තියුණු ඉවක් සහිත මුගටියන් මේ සඳහා පුහුණු කරවීම පිළිබඳ සලකා බැලිණි. ඒ 2016 වසරේදීය. ඉංජිනේරු බළසේනාව යටතේ ක්‍රියාත්මක කරන ලද මේ ව්‍යාපෘතිය පිළිබඳ එවකට යුද හමුදාපතිව සිටි ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ අවධානය යොමු වූ අතර, ඔහුගේ මඟපෙන්වීමද ඉවහල් කරගනිමින් මේ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලදි. යුද හමුදා පර්යේෂණ, විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කේආර්පී රොවෙල් මහතා විසින් එම යෝජනාවේ ක්‍රියාකාරිත්වය වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යුද හමුදා නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සදහා අනුමැතිය ලැබිණි.

එලෙස 2017 වසරේ ආරම්භ කරන ලද මේ ව්‍යාපෘතිය මේ වන විට එහි දෙවන අදියර කරා එළැඹ ඇත. මේ ව්‍යාපෘතිය ‘Human Animal Integrated System for Explosive Detection‘ යනුවෙන් නම් කර තිබේ. එහි මූලික අදහස හා පූර්ණ අධීක්ෂණය ඉංජිනේරු බළසේනාවේ හිටපු බළසේනාධිපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එස්ජේඑම්ඒආර් සෙනෙවිරත්න විසින් සිදු කරන ලදි. ඒ අනුව මෙරට මුගටියන් වඩාත් හීලෑ සතුන් බවට පත් කරගෙන ඔවුන් සමඟ කටයුතු කිරීමේ හැකියාව මේ වන විට හඳුනාගෙන තිබේ. එමෙන්ම මුගටියන් විවිධ පාරිසරික තත්ත්ව හා විවිධ ක්‍රම යටතේ ක්‍රියා කිරීමට හැකියාව තිබීමේ වාසියක්ද තිබේ.

මුගටියන්ගේ අධික ඉව නිසා ඔවුන්ට බොහෝ දේ පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව තිබෙන බවට මේ වන විට යුද හමුදාව විසින් පසක් කරගෙන ඇති බව මේ ව්‍යාපෘතිය භාර නිලධාරියා ලෙස කටයුතු කරන කපිතාන් එම්.ඒ.එන්. ජයතිලක මහතා පෙන්වා දෙයි. තීක්ෂණ ඉව මෙන්ම ඕනෑම අස්සක මුල්ලක කරා රිංගායෑමට ඔවුන්ට ඇති හැකියාව මුගටියාගේ සුදුසුකම් වඩාත් ඉහළ නංවා තිබේ. මුගටියන් සුරතල් සතුන් ලෙස මිනිසා සමඟ කටයුතු කිරීමට දැඩි ඇල්මක් දක්වන බවද මේ වන විට පරීක්ෂණවලින් සොයාගෙන ඇත. මෙරට ප්‍රධාන මුගටි විශේෂ දෙකක් මේ වන විට යුද හමුදාව විසින් තම කටයුතු සඳහා පහසුවෙන් යොදාගැන්මට හැකි බව හඳුනාගෙන ඇති අතර, මුගටියන්ට ආහාර ලබා දීම, අභිජනනය ඇතුළු කරුණු රැසක් සම්බන්ධව මේ වන විට අවධානය යොමු කර ඇත. එවන් සත්ත්ව කොට්ඨාසයක් මඟින් රටට විශාල සේවාවක් ලබා දෙන්නට හැකි වීම යුද හමුදාව ලැබූ ජයග්‍රහණයක්ද වනු ඇත. මේ වන විටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට විශාල පිරිසක් අපේ යුද හමුදාවෙන් ලබාගෙන ඇත්තේ විවිධ විදේශ බලපෑම් පවා අපේ හමුදාවන්ට එල්ලව තිබියදීය. ගරිල්ලා සංවිධානයක් පරාජය කළ යුද හමුදාවේ බොහෝ අත්හදාබැලීම් ලොව පුරා සාර්ථක වූවා සේම අපේ යුද හමුදාවට නුදුරේම එක් වන මේ මුගටි බළකායද ලෝකයේ අනෙක් රටවලට ආදර්ශයක් වනවා නිසැකය.

නව මුගටි බළකාය මඟින් වෙඩි බෙහෙත් පුපුරන ද්‍රව්‍ය පමණක් නොව මත්කුඩු පවා සොයාගැන්මට හැකියාව ලැබෙනු ඇත. මේ වන විටත් මුගටියන් පුහුණු කර ඇති සොයාගැනීම් කෙතෙක් දුරට සාර්ථක ප්‍රතිඵල දක්වා ඇත්දැයි පවසතොත්: කන්ටේනර් ඇතුළේ ඇති දේ පවා ඉවෙන් සොයාගන්නට මේ මුගටියන් සමත්ව ඇත. එය ඔබ අප කාටත් සුබ ආරංචියක් වුවත් අපරාධකරුවන්ට මත් කුඩු බෙදා හරින්නන්ට නම් සුභාරංචියක් නොවනු ඇත!

සේයාරූ - විපුල අමරසිංහ

Comments