පිටස්තර රහස | සිළුමිණ

පිටස්තර රහස

දෙසැ­ර­යක් ම ඔවුන් මාව හොරකං කර­ගෙන යන්ඩ හැදුව. ඒත් එක්තරා දෙන්නෙක් හින්ද මං බේරුණ. එක්කෙ­නෙක් තමයි මගෙ අස්සය. ඌ ශක්ති සම්පන්න හැබෑ අරාබි අස්ස­යෙක්. අනිත් කෙනා තමයි අපේ සීයගෙ සේව­කය - බූරා. බූරට අපේ සීය නියෝග කරල තිබුණෙ මාව පැහැ­ර­ගෙන යන්ඩ හදන මිනි­හට වෙඩි තියන්ඩ නෙවෙයි අහ­සට වෙඩි තිය­න්ඩයි. මොකද මිනි­ස්සුන්ට වෙඩි තියල මරන එක ජෛනා­ග­මට විරු­ද්ධයි. ඒ හින්ද උන් ව බය කරල පන්නල දාන්ඩයි අහ­සට වෙඩි තියන්නෙ. හැබැයි අපේ ආච්චි බූරගෙ කනට කරල කිව්වෙ මේකයි, “උන්දැ කියන දේ අහන්ඩ එපා. ඉස්සෙල්ල උඩට වෙඩි තියපං. හරි ගියේ නැත්තං උන්ට වෙඩි තියල දාපං. උඹ උන්ට වෙඩි නොති­බ්බොත් මං උඹට වෙඩි තියල දානව කියන එක මතක තියා ගනිං!’

ආච්චි කියන්නෙ හරි­යට එල්ලෙට වෙඩි තියන්ඩ පුළු­වන් ගෑනි­යක්. උන්දැ වෙඩි තිය­නව මං දැකල ති‍ෙය­නව. හරි­යට ම කෙස් ගහට වෙඩි තිය­නව. දශ­ම­ය­ක්වත් එහාට - මෙහාට වෙන් නෑ. උන්දැ ඒ වචන ටික බූරගෙ කනට කරල කිව්වට ඒක කෙඳු­රු­මක් නෙමෙයි. උන්දැ කියපු දේ සීය­ටයි මටයි විත­රක් නෙමේ ගමට ම ඇහෙන්ඩ ඇති. ඒ තරං හයි­යෙන් ඒක කියල දැම්මෙ.

අපේ සීය අහක බලා ගත්ත. මං හයි­යෙන් හිනා­වෙලා සීය­ගෙන් ඇහුව, “ඇයි සීයෙ අහක බලා ගත්තෙ? ආච්චි කියපු දේ ඇහුණ නේද?” කියල “ඔයා නියම ජෛනා­ගම් කාර­යෙක් නං දැන් බූරට කියන්ඩ කිසි කෙනෙ­කුට වෙඩි තියන්ඩ එපා කියල’ කිය­ලත් මං කිව්ව.

ඒත් සීය කට හොල්ල­න්ඩත් කලින් ආච්චි කිව්ව “ඔහේ කට පියා­ගෙන ඉන්නව” කියල. උන්දැ සීය­ටත් වෙඩි තියල දාන්ඩ පුළු­වන් ජාතියෙ ගෑනි­යෙක්.

ඒ වෙන­කොට මං දෙව­තා­වක් ම පැහැ­ර­ගෙන ගිහිං තිබුණ. මුල් වතාවෙ මගෙ අස්සය මාව ගෙද­රට අර­ගෙන ආව. ඊළඟ වතාවෙ තුව­ක්කුව පත්තු කරන්ඩ බූරට සිද්ධ වුණා. වුව­මනා වුණා නම් බූරා මාව පැහැ­ර­ගෙන යන්ඩ හදපු මිනි­හට වෙඩි තියල දාන්ඩත් ඉඩ තිබුණ. ඒත් ඒක වුව­මනා වුණේ නෑ. ඒ හින්ද මිනිහ බේරුණා වගේ ම අපේ සීයගෙ ජෛනා­ග­මත් බේරුණා.

ජෛනා­ගම කියන්නෙ ලෝකයෙ ති‍යන වැඩි­යෙන්ම තප­සට බර ආග­මක්. වෙන විදි­ය­කින් කිය­නව නං වඩාත් ම ස්වපී­ඩක වගේම පර­පී­ඩක අ‍‍ාග­මක්. ජෛන භික්ෂුන් තමන්ට කෙ‍ාච්චර වධ හිංසා පමු­ණුවා ගන්න­වද කිය­තොත් ඔවුන් එහෙම කර­ගන්නෙ පිස්සු හැදිල ද කියල කෙනෙ­කුට හිතෙ­න්නත් පුළු­වනි. ඔවුන්ට ඇති පිස්සු­වක් නෑ. ජෛන හාමු­දු­රු­වරු එක්තරා විදි­යක බිස්න­ස්කා­රයො වග­යක් ඔවුන්ගෙ අනු­ගා­මි­කයො හැමෝ­මත් තවත් විදි­යක බිස්න­ස්කා­රයො කට්ටි­යක්. මුළු මහත් ජෛන ජන සමා­ජ­යම පිරිල තියෙන්නෙ මේ බිස්නස් එකෙන් කියල කිව්වොත් ඔබට පුදුම හිතෙයි. ආගම මූලික වශ­යෙන්ම උත්තේ­ජ­නය කෙරෙන්නෙ පර­ලොවේ යහ­පත, ලාබය නිසා ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි. ජෛන­යින් තම­න්වම වධ හිංසා­වට ලක් කර­ගන්නේ තමන්ට මේ ලෝකෙදී ළඟා කර­ගන්න බැහැයි කියල ඔවුන් හිතන ලාබ­යක් පර‍ලො­වින් ලබා ගන්නයි.

මං මුලින්ම නිරු­වත් ජෛන භික්ෂු­වක් දකින කොට මගෙ වයස අවු­රුදු හත­රක් පහක් ඇති. ඒ භික්ෂුව අපේ ආච්චිලෑ ගෙද­රට වැඩියෙ ආරා­ධ­නා­ව­කට අනු­වයි. භික්ෂුව දැක්ක හැටියෙ මට හිනා ගියා. හිනා­නොවී ඉන්ඩ බැරුව ගියා.

“ඔය හිනාව නව­ත්තපං! උඹ මහ වධ කාර­යෙක් විත්තිය මං දන්නව. අහල පහළ උද­වි­යට උඹ වධ­යක් වෙලා ඉන්න එක මට ඉව­සන්ඩ පුළුවං. ඒත් උඹ දැන් මගෙ ගුරු හාමු­දුරු‍වො එක්ක නටන්ඩ හදන සෙල්ල­මට නං මගෙන් උඹට කිසිම සමා­වක් හම්බ වෙන්නෙ නෑ. උන්නාන්සෙ මගේ ගුරු­ව­රයා! මගෙ නාය­කයා! ආගමේ ඇතු­ළා­න්තයේ තියෙන රහස් ගැන දැන ගන්ඩ මට මුල පුරල දුන්නු උත්ත­මය!’ සීය කිව්ව.

‘ඇතු­ළාන්ත රහ­සක් ගැන නං මම දන්නෙ නෑ. ඒ වුණාට පිට­ස්තර රහස් නං එයා හොඳ­ටම පෙන්න­නව. ඇයි එයා හෙලුවෙං ඉන්නෙ? ඇයි ජංගි­යක් හරි ඇඳ­ගෙන එන්ඩ බැරි?’මං ඇහුවා.

Comments