රට්ටු මොනවා කිව්වත් මගේ මැණි­කාට මාව විශ්වා­සයි! | Page 2 | සිළුමිණ

රට්ටු මොනවා කිව්වත් මගේ මැණි­කාට මාව විශ්වා­සයි!

ආදි­වාසී නාය­ක­යාගේ පෞද්ග­ලික ජීවි­ත­යට කළ මුල්ම එබී බැලීම

ලෝක ආදි­වාසී දිනය යෙදී ඇත්තේ මේ මස 08 වැනි­දාට ය. ඒ නිමි­ත්තෙන් අප සමඟ සංවා­ද­යට එක් වන්නේ ආදි­වාසි නායක ඌරු­ව­රිගේ වන්නිලැ ඇත්තන් ය. සිය පෞද්ග­ලික ජීවි­තය මාධ්‍ය­ය­කට අනා­ව­ර­ණය කළ මුල්ම අව­ස්ථාව මෙය බව ආදි­වාසී නාය­කයා කියයි.

• ඔබ උපන්නේ?

මම උපන්නේ එක්ද­හස් නව­සිය හත­ළිස් හතේ ජූනි දාහ­තර වැනිදා. මම පවුලේ වැඩි­මලා. නංගිලා මල්ලිලා නව­දෙ­නෙක්. ඒ අත­රින් දෙන්නෙක් මියැ­දුණා. අම්මි­ලැත්තෝ ඌරු­ව­රිගේ හිනි. අප්පි­ලැත්තෝ ඌරු­ව­රිගේ තිසා හාමි.

• කැලේ යන්න පුරුදු වුණේ කොහොම ද?

කැලේ යන්න වය­සක් ඕනැ නැහැ. අම්මි­ලැ­ත්තොයි, අප්පි­ලැ­ත්තොයි කැලේ යන­කොට මාවත් එක්ක යනවා. එත­කොට මට වයස අවු­රුදු හයක්, හතක් විතර ඇති.

• ඒ වගේ කුඩා අව­දි­යක කැලේ යන්න බය හිතුණේ නැද්ද?

අප්පි­ලැත්තෝ තමයි ඉස්ස­ර­වෙලා යන්නේ. අම්ම­ලැ­ත්තොයි, මමයි ඊට පස්සේ. අප්පි­ලැත්තෝ ළඟ ඉන්න­කොට බයක් දැනෙන්නේ නැහැ. අප්පි­ලැ­ත්තන්ට කැලේ ගෙදර වගේ හුරුයි. කැලේ ගස්වල ගෙඩි හට ගන්න කාල තියෙ­නවා. උල්කැන්ද, කොත­ලංගා, හිඹුටු, කෝන්, ලාවින්න, මාදං, මොර ගස්වල ගෙඩි කඩලා මට කන්න දෙනවා. ඒ ගෙඩි හරි රහයි. කන්න කන්න ආස හිතෙ­නවා. මේ ගෙඩි ජාති කන්න හුරු වුණාට පස්සේ ඒ ගෙඩි හැදෙන කාලෙට කැලේ යන්න ආස හිතෙ­නවා.

• වැදි රැහේ නාය­කයා වූ තිසාහාමි ඔබට කොහොම ද සැල­කුවේ?

අප්පි­ලැත්තෝ බොහෝම නීති ගරු­කයි. ඒ වගේම සැර­ප­රු­ෂයි. මට මත­කයි මම පුංචි කාලේ වර­දක් කෙරු­වම අප්පි­ලැත්තෝ තඩි­බාන්නේ අම්මට. මම ඒ නිසා වැරදි නොකර ඉන්න උත්සාහ කළා. පුංචි කාලේ ඉඳ­ලම මම කැලේ යන්න ආසයි. ඒ නිසා අප්පි­ලැත්තෝ මාව දාලා යන දව­සට මම කැලේ යන්න ඕන කියලා අඬ­නවා. අප්පි­ලැත්තෝ කැමති නෑ අඬ­න­වට. එත­කොට ගම­නට බාදායි ලු. සම­හර දවස්වලට මම කැලේ යන්න අඬලා ගුටි කාලත් තියෙ­නවා.

• කැලේ සත්තු දකි­න­කොට මොකද හිතුණේ?

දව­සක් මම අප්පි­ලැත්තෝ සමඟ කැලේ යනවා. ඒ මද්ද­හන් වෙලාව. අපි කඳු­ගැ­ට­යක් වගේ තැන­කින් යමින් හිටියේ. ඉස්ස­ර­හින් ගිය අප්පි­ලැත්තෝ එක­පා­ර­ටම අතින් කිව්වා නතර වෙන්න කියලා. ඒ අනුව මම නිහ­ඬ­වම නතර වුණා. මම ඔහු අතින් සංඥාව දුන්න දෙස බැලුවා. මේන් මෙච්චර විතර දිග, මේන් මේච්චර විතර පළල (වන්නි­ලැත්තෝ අතින් සතාගේ ප්‍රමා­ණය පෙන්වයි) සතෙක් බැහැලැ යන්න ගියා. අප්පි­ලැත්තෝ කිව්වා ඒ තමයි පොල්ලැච්චා (කොටියා) කියලා. ඒ තමයි මම කොටි­යෙක් දුටුව පළමු දවස.

තවත් දව­සක, එත­කොට මට අවු­රුදු අටක් විතර ඇති. එදා මට උණ ගැනිලා. අප්පි­ලැත්තෝ මාව කරේ තියා­ගෙන කැලේ යනවා. කැලේ ඉදි­රි­යට යමින් හිටිය අප්පි­ලැත්තො එක­පා­ර­ටම නතර වුණා. කළු පාට විශාල සතෙක් අපිට ඉදි­රි­යෙන් මාරු වුණා. ඒ තමයි බොට­ක­ඳයා (අලියා). මම බොට­කඳයා මුලින්ම දැක්කේ එදා. මේ සිද්ධිය වෙන­කොට මට වයස අවු­රුදු දොළ­හක් විතර ඇති. දුරුතු මාසේ එක්තරා උද­යක අප්පි­ලැ­ත්තොයි මාදුරු ඔය කැලේ බුදු­රැස්වින්න කියන හරි­යෙන් යමින් හිටියේ. අප්පි­ලැත්තෝ පෙන්නුවා කළු­පාට විශාල සතෙක් දවට ගහක් ළඟ බිම නිදා­ගෙන ඉන්නවා. ඒ සතාගේ ඉල­පත පැත්තෙන් තව පැටි­යෙක් ඉන්නවා. අප්පි­ලැත්තෝ කිව්වා නිහඬ වෙන්න. ඒ තමයි කළු­මංඤ්ඤා (වලහා). ඉන් දවස් දෙක තු­නකට පස්සේ අපි කැලේ ඒ හරි­යෙන් ගියා. අර වලහා මැරිලා. එදා වලස් පැටියා කිරි බිබී ඉඳලා තියෙන්නේ මැරුණු වැල­හි­න්න­ගෙන්. මම අන්න ඒ විදි­හ­ටයි අප්පි­ලැ­ත්ත­ගෙන් කැලේ ගහ­කොළ සතා සීපාවා ගැන දැනුම ලබා ගත්තේ.

• ඉස්කෝලේ ගියේ නැද්ද?

මං ඉස්කෝලේ ගියා. මගේ ඉස්කෝලේ ගමන හරි අපූ­රුයි. දඹානේ ඉස්කොලේ තිබුණේ ඉලුක් හෙවි­ල්ලලා. අද ඔය තියෙන ලොකු අඹ­ග­හට එහා­යින් තමයි ඉස්කොලේ තිබුණේ. මට අවු­රුදු දහ­යක් විතර කාලේ ඉස්කොලේ යන්න ආශා­වක් ඇති වුණා. ඒත් මට ඉස්කෝලේ යන­වට වඩා ආසාව තිබුණේ කැලේ යන්න. කැලේ සත්තු දැක්කම පුංචි මගේ හිතට පුදුම සතු­ටක් දැනෙ­නවා. ඒ කාලේ වැදි ගම්මානේ හිටපු අපිට ඉස්කොලේ යන්න වෙලා­වක් නැහැ. ඉස්කොලේ යන­කොට මඟදි සත්තු හමු­වෙ­නවා. අපි ඒ දිහා බලා ඉන්නවා. අලි මාරු­වෙ­න­ තුරු බලා ඉන්නවා. කොහොම හරි අපි ඉස්කෝලේ යන වෙලාව තමයි ඉස්කොලේ පටන් ගන්නේ. ඒ කාලේ පෙරේරා කියලා ගුරු­තු­මෙක් හිටියේ. පමා වෙලා ඉස්කෝලේ එනවා කියලා බණි­නවා, ගහ­නවා. මෙහෙම වෙන­කොට මට ඉස්කෝලේ ගමන එපා වුණා. මම නතර වුණා. කොහො­මත් දවස් දෙක තුන­කට වඩා මම ඉස්කෝලේ ගිහිල්ලා නැහැ.

• අකුරු ලියන්න කිය­වන්න පුළු­වන්ද?

බැහැ. නමුත් අකුරු දිහා බලා­ගෙන අඳින්න පුළු­වන්. ඒත් අකුරු මොන­වද කියන්න දන්නේ නැහැ.

• පාසල් නොගි­යට, පොත පත නොබැ­ලු­වට ඔබ විශාල දැනු­මක් ඇත්තෙක්. ඔබ මේ දැනුම ලබාගත්තේ ‍ෙකාහොම ද?

මේ ලෝකෙට කෙනෙක් උප­දින කොට දැනුම, බුද්ධිය අර­ගෙන එන්නේ.

පොතින් පතින් ඉගෙන ගෙන ආචාර්ය, මහා­චාර්ය වුණාම එය එක තැන­කට සීමා වෙනවා. පාසල් ගියේ නැහැ, ඉගෙන ගත්තේ නැහැ කියලා මට දුකක් පසු­තැ­වි­ල්ලක් නැහැ. මම දැනුම ලබා ගත්තේ මහ කැලෑ­වෙන්. අප්පි­ලැත්තෝ මට කැලෑව, පරි­ස­රය, සතා සීපාවා, ගැන කියලා දුන්නා. මම මේ පරි­ස­ර­යෙන් ඉගෙන ගත්ත දේ බොහෝ­මයි. මගේ විශ්ව­වි­ද්‍යා­ලය මහ කැලෑව.

දව­සක් අප්පි­ලැ­ත්තොයි, මමයි කැලෑවේ යනවා. මී මැස්සෝ වතුර තියෙන තැන්වල ඉන්නවා. අප්පි­ලැත්තෝ අතින් කිය­නවා කන් දෙන්න කියලා. අපි කන්දෙ­නවා. අප්පි­ලැත්තෝ අතින් කිය­නවා මී මැස්සෝ ඉන්න පැත්තට අව­ධා­නය යොමු කරන්න කියලා. ඉන් පස්සේ අපි මී මැස්සෝ යන පාරෙම යනවා. මී මැස්සගෙ ගමන අනුව වදය තියෙන තැන, වදය ඇතු­ළට යන එන ආකා­රය අනුව පැණි තියෙන ප්‍රමා­ණය ආදිය කියන්න පුළු­වන්. එහෙම තමයි අප්පි­ලැත්තෝ මට පරි­ස­රය ඉගැ­න්නුවේ. ඒ ලබපු දැනුම ජීවි­ත­යට බොහෝම වැද­ගත්.

• ඔබ දැන් දඩ­යම නතර කරලා. මස් මාංස ආහ­ර­යට ගන්නේ නැහැ?

ඔව්. මම දැන් නිර්මාං­සයි. 1980 ගණන්වල දඩ­යම නතර කළේ. ඒවාට නීතිය ක්‍රියා­ත්මක කෙරු­වම මම දඩ­යම නතර කළා. ඒ නිසා මස් අනු­භව කිරී­මත් නතර කළා. නමුත් අපි දඩ­යමේ යන කාලේ දඩ­යම් කිරීමේ සම්ප්‍ර­දා­යක් තිබුණා.

පැටව් මරන්නේ නැහැ. කිරි­දෙන සත්ත්ව අම්ම­ලාව මරන්නේ නැහැ. දිය බොමින් සිටින සත්තු මරන්නේ නැහැ. උදේට කැලේ පිටත් වෙන­කො­ටම ගෙද­රින් හිතා ගෙන යනවා, අද මරන්නේ මේ සතාව කියලා. එහෙම හිතා­ගෙන යන සතා මරා­ගෙන එනවා මිසක් එදාට හිතපු නැති සතෙක් ඇෙඟ් හැප්පු­ණත් මරන්නේ නැහැ. එදා දව­සට අවශ්‍ය එක සතයි මරන්නේ. කැලේ සත්තු ගොඩක් ඉන්නවා කියලා හිතූ හැටි­යට සත්තු මරන්නේ නැහැ. මරපු සතාව කැලේ­දීම මස් කරන් එනවා. සම­හර දවස්වලට දවස් දෙක තුන කැලේ ඉන්නවා. හතර පස්දෙනා එකතු වෙලා තමයි කැලේ යන්නෙත්.

• ඒ කාලේ වෙළෙන්දෝ එන­වද?

වෙළෙන්දො එන්නේ බුලත් පුවක් හුනු දුංකොළ අර­ගෙන. අපිට ඒවා දීලා වෙළෙන්දෝ අපෙන් මී පැණි, කුර­ක්කන්, ඇට වර්ග බුසල් ගණන් අර­ගෙන යනවා. ළඟම නග­රය පදි­ය­ත­ලාව. කාන්තාවෝ ඇන්දේ කම්බාය. පිරිමි ඇන්දේ සරම. පිරි­මි­යෙක් සර­මක් අවු­රුදු පහක් විතර පාවිච්චි කර­නවා. සරම ඕනෑ වුණේ රෑට පොරව ගන්න විත­රයි. ඒ කාලේ අපි කන්න බොන්න නැතිව දුක් විඳලා තියෙ­නවා. ඉරිඟු ඇට සේරු­වක් වපු­රලා ලොකූ අස්වැ­න්නක් ගන්න බැහැ. ඌරෝ ඒ ඇට කනවා. ගොවි­තැ­නට අටුව තමයි කැලෑව. එහෙම කියන්නේ ගොවි­තැ­නට අවශ්‍ය හැම­දේම කැලෑවේ තියෙ­නවා. නමුත් අද වෙන කොට ගොවි­තැන් කරන්නේ බොහෝම අඩු­වෙන්. හේන් කරපු කාලේ කැලෑවේ ලඳුවල තමයි ගොවි­තැන් කරන්නේ. ලොකු ගස් විනාශ කරන්නේ නැහැ. මාදු­රු­ඔය කැලෑවේ ලඳුවලට නම් තිබුණා. දැන් ඒ හැම දේම වෙනස් වෙලා. නමුත් අපි එදා හේන් ගොවි­තැන් කළේ කැලෑව ආරක්ෂා කර­මින්.

• විවාහ වුණේ?

මම විවාහ වුණේ අවු­රුදු තිහක් වගේ වය­සෙදි. ඒක ලොකු කතා­වක්. (වන්නි­ලැ­ඇත්තෝ සිය තුරුණු විය සිහි­පත්ව හිනැ­හෙයි)

මම විවාහ වුණේ ඌරු­ව­රිගේ හීන් මැණිකා එක්ක. මම කැකුළියෝ එක්ක කතා­ක­රන්න ලැජ්ජයි. යාළුවා විහිළු කරලා මට ලැජ්ජා හිතුණා. මම දුංකොළ වවලා වේළන තැනක වැඩ­කළා. හීන් මැණි­කත් එතැන වැඩ­කළා. හීන් මැණි­කගේ අයියා කැකු­ළි­යක් එක්ක යාළු­වෙලා හිටියා. මම අයි­යගෙ උද­ව්වට ගියා. හීන් මැණිකා ගැන කියලා මට යාළුවෝ විහිළු කර­නවා. අප්පි­ලැ­ත්ත­න්ටයි, අම්මි­ලැ­ඇ­ත්ත­න්ටයි කවුදෝ කියලා මම කැකු­ළි­යක් එක්ක යාළුයි කියලා. ඒ වෙන කොටත් මම හීන් මැණිකා එක්ක යාළු වෙලා හිටියේ නැහැ. අවු­රු­ද්ද­කට විතර පස්සේ මම හීන් මැණී­කට මගේ හිතේ ආද­රය කිව්වා. මට තේරුණා ඇය මට කැම­තියි කියලා. මේ බව කියලා මාස හත­ර­කට විතර පස්සේ අපි අද­හස් හුව­මාරු කර ගත්තා. කොහොම හරි මේ සම්බ­න්ධය දැන ගත්තම අප්පි­ලැත්තෝ මට හොඳ­ටම බැන්නා. කසාද බඳින්න හදන්නේ රස්සා­වක් තියෙ­නව ද ගෙයක් තියෙ­නව ද කියලා ඇහුවා. මම ගෙද­රින් යන්න ගියා. එකාලේ ගොවි හමු­දාව කියලා එකක් තිබුණා. මම ඒ ගෙවල් හදන තැනක වැසි­කිළි වළ­වල් කපන්න ගියා. එක වළ­කට රුපි­යල් විසි පහක් ගෙව­නවා. මම නතර වෙලා හිටියේ මගේ බෑනා කෙනෙක්ගේ සහෝ­ද­රි­ය­කගේ ගෙදර.

• ගෙද­රින් හෙව්වේ නැද්ද?

අප්පි­ලැත්තෝ දැනගෙන මම ගියේ අර බෑනා එක්ක කියලා. සති දෙක තුනක් විතර ගියා. දව­සක් බෑනා ඇවිත් කිව්වා මාමා ගෙදර යමු. නැත්නම් මාමාගේ අප්පි­ලැත්තෝ මාව මරයි කියලා. මම බෑනා ගැන හිතලා ගෙදර ආවා. ගෙදර ආවේ රෑ වෙලා. අම්මි­ලැත්තෝ දන්නවා ආවා කියලා. අප්පි­ලැත්තෝ දන්නේ නෑ. පහු­වදා උදේ අප්පි­ලැත්තෝ මට කතා කළා. කැකුළි කැමති නම් අද දවස ඇතු­ළත එක්ක එන්න. මම කන්න අඳින්න ගෙවල් දොර­වල් හැම­දේම දෙන්නම් කිව්වා. ඒක මට ලොකු අභි­යෝ­ග­යක්. මම මේ ගැන හිත හිතා පාරේ යන කොට හීන් මැණිකේ එයාගේ නැන්දා කෙනෙක් එක්ක පාරේ එනවා හමු වුණා. මම හීන් මැණි­කෙට කතා කරලා කිව්වා. මම ඇයට කතා කළේ දෙගි­ඩි­යා­වෙන්. මට පුදුම හිතුණා. හීන් මැණිකේ එ‍ෙව­ලෙම මා එක්ක එන්න කැමති වුණා. මම ඇයත් සමඟ ගෙදර ආවා. අම්මි­ලැත්තෝ උය­නවා අපි එද්දි. අපි දවල්ට කෑවා. අප්පි­ලැත්තෝ හිතුවේ නැහැ, මම ඔහුගේ අභි­යෝ­ගය බාර ගනීවි කියලා. මෙන්න හවස් වෙන­ක­කොට හීන් මැණි­කෙගෙ අයියා දිග පොල්ල­කුත් අර­ගෙන එනවා මට ගහන්න. අම්මා ඔහුට කතා කරලා කන්න දුන්නා. පස්සේ ඔහු යන්න ගියේ අපට දැන­මු­තු­කම් දීලා. පහු­වදා ගෙයක් හදන්න ගත්තා. හේන් කරන්න පටන් ගත්තා. හැම­දේ­ටම ඇය මට උදව් කළා.

• ඇයත් ඔබත් පැමිණි ගමන කොයි වගේ ද?

ඇය විටින් විට අස­නීප වුණා. මීට අවු­රදු දහ­ය­කට පෙර ඇයට වකු­ග­ඩු­වක් බද්ධ කරන්න වුණා. ඇයට වකු­ග­ඩුව දුන්නේ දුව. අපට දරුවෝ පස්දෙ­නෙක් ඉන්නවා. ඒ ගොල්ලෝ බොහෝම හොඳින් ජීවත් වෙනවා. මගෙන් පසුව වැඩි­මල් පුතු ආදීවාසි නාය­කයා වෙන්නේ.

• මුල්ව­රට විදේ­ශ­ගත වීම මත­කද?

මම මුල්ව­රට ගියේ නේපා­ලයේ තිබු ආදිවාසි සමු­ළු­වට. මම ගුවන් යාන­යක ගිය පළමු වතාව තමයි ඒ. ගුවන් තොටු­ප­ළේදි මිනිස්සු මා දිහා බැලුවේ අමුතු විදි­හට. උසුළු විසුළු කළා කිය­ලත් දැනුණා. මගේ හිතට බයක් දැනුණා ගුවන් යානයේ යන්න. අන්ති­මට මම හිත හදා ගත්තා මැරු­ණොත් මම විත­රක් නෙමෙයි, මේ ඉන්න ඔක්කෝම මැරෙ­න­වානේ කියලා. 1986 නේපා­ලයේ පැවැති සමු­ළුව පැවැත්වුණේ, ඒ රටේදී හොර රහසේ. එයට රට­වල් 136ක් සහ­භාගි වුණා. ඉන් පස්සේ 1996 දී ජිනීවාවල පැවැති සමු­ළු­වට ගියා. මේ හැම ගම­නක්ම යන්න මට උදව් කළේ මාව උනන්දු කළේ විවේකා. ඇයට වැදි භාෂාව හොඳට කතා කරන්න පුළු­වන්.

• කවුද විවේකා කියන්නේ?

ඇය ස්වීඩන් කාන්තා­වක්. ඇය අප බලන්න එන විට ඇයට වයස අවු­රුදු දහ­න­ව­යක් විතර ඇති. පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ ඉගෙන ගත්තා මට මතක හැටි­යට. අපේ ආදි වාසීන් ගැන පර්යේ­ෂ­ණ­යක් කළා. ඇය කැලේ ගහ­කොළ එක්ක අපි කන බොන දෑ කාලා තමයි ජීවත් වුණේ. ඇය මට කතා කළේ වන්නි අයියා කියලා. එක එක්කෙනා ඇය ගැන කත­න්දර කියන්න ගත්තා. ඇය කොටින්ට උදව් කර­නවා කියලා. නමුත් අපි දන්නවා ඇය මේ රටේ ආදීවාසීන් පිළි­බඳ ලොකු වුව­ම­නා­ව­කින් උන­න්දු­ව­කින් කට­යුතු කළ බව. අපට රට රට­වල් සමඟ සම්බ­න්ධතා හදලා දුන්නේ ඇයයි. මගේ බිරි­ඳට ගමේ අය විවේකා ගැන කතා හදලා කියලා තිබුණා. ඒත් හීන් මැණිකා මා ගැන බොහෝම විශ්වා­සයි. ඇය මේ කිසි­වක් පිළි­ගත්තේ නැහැ. එක් වරක් මම කොළඹ මාධ්‍ය ආය­ත­න­ය­කට ආවා‍. එහිදී නිවේ­ද­ක­යකු මගෙන් ඇහුවා විවේකා ළඟ ඉන්න මගේ දරුවා ලංකා­වට එන්න තාම කැමැති නැද්ද කියලා. මම කිව්වා නෑ මයේ දරුවා එන්න කැමති නැහැ කියලා. මේ බොරු කත­න්දර නිසා මගේ හිත රිදුණා. එත් මම හිත හදා ගත්තා මේ රටේ මිනිස්සු හිතන්නෙ මේ විදි­හට තමයි කියලා. කවුරු හරි ගැහැ­නි­යක් පිරි­මි­යෙක් කතා කළොත් හිතන්නේ වැර­දි­යට. ඒක මේ රටේ හැටි කියලා හිතලා මම හිත හදා ගත්තා. මගේ බිරිඳ අකුරු දන්නේ නැහැ. සමා­ජයේ ඇවි­දලා කරලා නැහැ. ඒත් මම දෙයක් කරන්න යද්දි එයත් එක්ක කතා කර­නවා. මම සම­හර දේවල් එයා එපා කියද්දි කරන්න ගිහින් වැර­දිලා තියෙ­නවා. ඇය මගේ ගම­න­ට විශාල සහා­යක්.

• වැදි සමා­ජ­යෙන් පිට ඔබට යහ­ළුවෝ නැද්ද?

මට බොහෝ යහ­ළුවෝ ඉන්නවා. ඒ යාළුවෝ අත­රින් මම මගේ සහෝ­ද­රයෝ දෙන්නා වගේ ආශ්‍රය කරන්නේ නුවර ඉන්න ව්‍යාපා­රික මනෝජ් ජය­සිංහ. අනෙක් කෙනා රේගූ අධ්‍යක්ෂ ආනන්ද කුල­සේ­කර. මගේ ජීවිතේ ඕනෑම ප්‍රශ්න­යක් ආවාම මම මේ දෙන්නා එක්ක කතා කර­නවා. ඒ දෙන්නත් එහෙ­මයි.

• ඔබේ දේශ­පා­ල­නය?

මට දේශ­පා­ල­න­යක් නැහැ. පක්ෂ­යක් පාටක් නැහැ. මේ රට වෙනු­වෙන් අපේ පර­පුර වෙනු­වෙන් හොඳ දෙයක් කරන අයට අප සහාය දක්ව­නවා. මේ රටේ ඕනෑම කෙනෙ­කුට මගේ පැලට එන්න අව­ස­රය තියෙ­නවා.

• ඔබේ හෙට දවසේ බලා­පො­රො­ත්තුව?

මට හෙට කියලා දව­සක් නැහැ. මම මේ මොහොතේ ජීවත් වන්නේ. ඕනෑම වෙලා­වක මේ ජීවි­තය දාලා යන්න මට පුළු­වන්. ඒ මම කිසිම දෙයක් පොදි ගහන්නේ නැති නිසා. මගේ හිත බොහෝ ම සැහැ­ල්ලුයි. ගහක් යට වුණත් මට සැන­සිල්ලේ නින්ද යනවා.

විශේෂ ස්තුතිය - ආරි­ය­පාල රත්නා­යක මහ­තාට

ඡායා­රූප- තුෂාර ප්‍රනාන්දු

Comments