
මේ මහා වන ගහනය තුළ දී සොඳුරු බව පමණට ම ගුප්ත බවක් ද දැඩි හුදෙකලා බවක් ද දැනෙයි.
සදා හරිත වනාන්තරයක ලක්ෂණ ප්‍රකට කරනා මේ කළුගල්කන්ද අක්කර 175ක පමණ හුදෙකලා රක්ෂිතයකි.
ජීවිතය පිළිබඳ නිවි හැනහිල්ලේ බොහෝ දේ සිතන්නට දැඩි බලපෑමක් ඇති කරන්නේ හුදෙකලාව විසින් නොවන්නේ දැයි මට සිතෙයි.
හුදෙකලාව මොන තරම් දැයි දිග පළල මැනීමට මේ පාළු වනයේ හැඩි දැඩි ගහ කොළ, වෙළී පැටළුණු ලියවැල් මිනුම් දඬු සපයන සෙයකි.
දෙපා පාලම් දෙකක් පසු කර එකලාව නැඟෙන පඩි පෙළකි. එය සෑදුවේ මිනිසුන් වුව ද පදමට දිය සෙවල බැඳී වියළි පත් වැතිරී එය ස්වභාව ධර්මයට ම ලියා දී ඇති සැටියෙකි. එතනින් එළැඹෙන වන දුර්ගය මෙන් ම ගිරි දුර්ගයක වෙහෙසින් සෙමෙන් පිය එසවිය යුතු වෙයි. සොබාදම සාදා සුමුදු කළ ගල් ලෑලි පඩි මතින් මම සෙමෙන් - එහෙත් අරමුණක් ඇතිව වන්දනා ගමනක් යමි. දුෂ්කර මඟෙක තබන පියවරක්, පියවරක් පාසා මනා සංයමය ද කල්පනාව ද අවශ්‍යය ය. නැතිනම් දිය සෙවල පිරි ජීවිතයෙ සේ ම ලිහිස්සනසුලු ගල් පඩි මතින් ලිහිස්සා වැටීමට ඉඩ ඇත.
සිත් පහදා ගත් මිනිසුන් වනයට බැලුම් හෙළා ඇති සැටියකි. තැන තැන බෝඩ් ලෑලි මත සටහන් ඇත්තේ ඒ නිසා ය. ‘නිශ්ශබ්ද වන්න’ තැනක පුවරුවකි.
හිත සමඟ හැර කා සමඟ මා දොඩමළු වන්න ද?
එහෙත් සොබා දහම මිනිසාගේ විධානයට අවනත නො වේ. පෙත් මඟ සමීපයෙන් ඇද හැලෙනා ‘වෑකළු දොළ’ නගන්නේ මහත් නාදයකි. එයට ඝෝෂාවක් යැයි කීමට මම මැළි වෙමි. මෙයට මට දැනෙන්නේ ස්වර පරාසයකට ලඝු කළ නොහෙන මහා සංගීතයක් ලෙස ය. හරියට පිරිත් සජ්ඣායනාවක් සේ ය.
අවනත නොවූ නන්නාඳුනන තවත් හඬවල් රාශියකි. ඒ කුරුලු පාරාදීසයක සුමිහිරි ගී ගැයුමකි. ‘නිශ්ශබ්ද වන්න’ කියන්නේ නිහඬ මුවින් ඒ හඬට ඉඩ දෙන්න කියා ය. වනයේ හඬට සවන් දෙන්න කියා ය.
මේ අපූරු නුහුරු වනයේ බිය සැක ගූඪ බව අනා රස කළ සුන්දරත්වය ද අත් විඳිමින් මා ගවුගණනාවක දුරක් පැමිණිෙය් ද? නැත, මා පැමිණියේ කි. මීටර් 1ක පමණ දුරකි. දැනුණේ ගවු ගණනාවක් සේ ය.
කළුතර දිස්ත්‍රික්කයේ එක් ඉමකට ආසන්න මෙම පින් බිමට පැමිණෙන්නේ නම් කළුතර මතුගම හරහා බදුරලියට පැමිණිය යුතුය. බදුරලියෙන් පැලවත්ත කි.මී, 9ක් පමණ පැමිණ කදිරංකැටියේදී, වාහනයට සමුදී යා හැකි වන්නේ දෙපා වාරුවට පින් දෙමිනි. එතැන් සිට යා යුතු වන්නේ පෙර කී ලෙසම කිලෝ මීටරයක් පමණ දුරකි.
ගිරිදුර්ග වන දුර්ග, දිය කදුර පසුකර පැමිණි භූමිය සොඳුරු මිටියාවතකි. කළුගල ගිරිගහනයේ වන මේ මිටියාවත් ක්ෂේම භූමිය කළුගල වන සෙනසුනයි. අඳුරු වන භූමියෙන් එළියට පැමිණියා සේ ය.
කාර්යාලය ද - පින් වඩන ඇත්තන් දන් සකසන ස්ථානය ද පසු කර දෙපා පාලමෙන් ගොඩ වුණු විට දැනෙන්නේ, හැඟෙන්නේ ආලෝකය පතළ භූමියක් සේ ය.
පටන් ගැන්මේ ඇත්තේ වන ඉද්ද පුෂ්ප උදානයකි. සොඳුරු පරිසර පද්ධතියක මුව මඬලට සිනහව රැගෙන එන්නේ විකසිත පුෂ්පයන් යැයි සිතෙයි. සුදු ඉද්දමල පවිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් ද සිතය හැකි ය. එය මේ වන සෙනසුනට පූජෝපහාරයක් වේවායි! උතුම් ප්‍රාර්ථනයෙන් මහපොළොව පුදසුනේ තැබූ මල් වට්ටියකි.
කළුගල ගැන ලියවෙන, කියවෙන විට එක් මාණවකයකු කිසි සේත් මග හැරිය නො හැකි ය. ඔහු කළුගල සිරුරේ හදවත බඳු ය.
සමරදිවාකර රාලහාමි නැතහොත් දොන් පිලිප් සමරදිවාකර විජයසුන්දර රාලහාමි වලව් පැලැන්තියේ කුලවතෙකි. ධන වතෙකි. එහෙත් මීතිරිගල වලව්වේ උපන් සමරදිවාකර රාලහාමි ගත කළේ බ්‍රහ්මචාරී දිවියකි. වල්බෝලාන විදර්ශනා පිරිවෙනට ඇතුළත් වී ත්‍රිපිටකය හා භාවනාව පිළිබඳ අධ්‍යාපනය ලබූවෙකි. වනවාස නිකායේ නිර්මාතෘ වතුරුවිල ඤාණානන්ද මා හිමි පාණන් වහන්සේ ද මේ විදර්ශනා පිරිවෙනෙහි ආගමික අධ්‍යාපනය ලැබූ බව සඳහන් වේ.
ඔහු තමා සතු වූ අතිමහත් ධනය වැය කර ආරණ්‍යයක් ගොඩ නැගීමට සිතුවේය. ඒ වෙනුවෙන් ගාලු දිස්ත්‍රික්කයේ කළුවාමෝදර සාගරයට සමීප එක් බිමක් තෝරා ගැනිණි. එහි අාරණ්‍යය ගොඩ නගමින් සිටින විට පරිසරයේ විප්‍රකාර දැක හිත කලකිරිණි. ඇතැම් විදේශ සංචාරකයන් අඩ නිරුවතින් වැල්ලේ රඟන රැඟුම් දකිමින් මේ සත්්කාර්යය කළ නොහැකි බව රාලහාමි සිතුවේ ය. හේ දවසක් රෑ හීනයක් දුටුවේ ය. හීනයෙන් සුදුසු ස්ථානය පෙන්නුම් කළේ ය. ඒ තැන කොතනදැයි සොයමින් සමරදිවාකර රාලහාමි පැමිණියේ කළුගල කන්ද ආශ්‍රයේ එක් මිටියාවතකට ය. නිවැරදි තැන හමුවිය. එදා එතැන ජන ශුන්‍ය නොවිණි - කුඹුරු ඉඩම් විය. ෙහතෙම අක්කර 25 ක් පමණ වූ එ බිම මිලදී ගත්තේ ය. කළුගල ආරණ්‍ය සේනාසනය සෑදුවේ එතන ය. රජයේ කැලෑ භූමියෙන් අක්කර 150ක් ද බඳු නීතිය යටතේ ඈඳා ගත්තේ. අද මෙය අක්කර 175ක පමණ වනයට ම නතු වූ දැඩි වන අඩවියකි. දුරාතීතයේ දී සිංහරාජ වන අඩවියට අයත් ව තිබූ බවද කියැවේ. වන අලියා කොටියා පවා සැරි සැරූ භූමියකි.
කිරි කොහේකන්ද, බෙරලියාකොතකන්ද, හුණුමුල්ලා කන්ද, කළුගල කන්ද ආදී ගිරි වළල්ලෙන් වට ව මගුරු ඇළ මෙන් ම රුධිර ධමනී මෙන් දිවෙන ඇළ දොළින් පොහොසත් ය. නොඉඳුල් වන පරිශ්‍රය සිඹ එන සුපිරිසුදු වතාශ්රය සිරුර සුවපත් කරවන ප්‍රාණ වායුව ප්රදානය කරනා තිඹිරි ගෙයක් බඳු ය.
කළුගල අරණ්‍ය සේනාසනය තුළ සැරිසරන විට අපව අනුරාධපුර හෝ පොලොන්නරු යුග වෙතට රැගෙන යන සෙයකි. මෙහි භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සෑදු ලැගුම් කුටි හැර බොහෝ ඉදිකිරීම් කර ඇත්තේ පැරණි වාස්තු විද්‍යා ආකෘතියට සමගාමීව කළු ගලින් වීම සුවිශේෂ කරුණකි.
අාරණ්‍ය සේනාසනය මැදින් කිලෝ මීටරයකට ආසන්න දුරක් වෙනුවෙන් සකසා ඇති සුදු වැලි අතුළ පෙත් මඟ ස්පර්ශ කරමින්, පෙරදී මහත් හඬ නැඟූ වෑ කළු දොළට මනා සංයමයකින් සෙමෙන් ගලා බසින්නේ වන සෙනසුනට කෙරෙනා ගෞරවයක් වශයෙන් යැයි සිතෙයි.
ගල් විහාරය නමින් හඳුන් වන ස්ථානයේ ගලින් සෑදුණු ලෙනකි. එතැනින් පිය ගැට කීපයක් නැග ගිය පසුව ගල් විහාරයට පිවිසිය හැකිය. දොරටුපාල රූප, කොරවක් ගල් ආදියෙන් කළ සුවිශේෂ නිර්මාණය, අභිමානවත් ඈත අතීතය වෙත රැගෙන යයි.
තවත් සෛලමය පිය ගැට පෙළක් විසින් එකලාව මුදුන් තලය වෙතට අපව ඔසවා තබයි. එතැන වැඩ වසන චෛත්‍යය ද කළුගලින් ම කළ විශිෂ්ට නිර්මාණයකි. සල පතළ මළුව වට කළ වක්‍රාකර පවුර භාවනාව වෙනුවෙන් කළ කුටි පෙළකින් සමන්විත වේ. දුරගමන්, කෙටිමඟ දුවන සිත සංයමයට පත් කරවන, දඟලන්නට ඉඩ නොදෙන ගතට සීමාව කියා දෙන මම අපූරු ධාර්මික නිර්මාණය වෙනත් කිසිදු ස්ථානයකදී දකින්නට නොලැබෙන මනා චිත්ත ඒකාග්‍රතාවයේ අග්‍ර ඵලයකි.
ධර්මය පවතින තාක් කල නොනැසී පවතීවායැයි අධිෂ්ඨානයෙන් අක්ෂර කළ කළුගල කථිකාවත නම් ශිලා ලේඛනය කළුගල ආරණ්‍ය ප්‍රතිපදාව නොනැසෙන සුලු බව මෙනෙහි කරවයි. වන මිටියාවත රුක් පෙළ අතර අග්‍ර ඵලය වන බෝධීන් වහන්සේ අසල දිය පොකුණකි.
මේ පෙත් මඟ අවසන් වන තැන ඇත්තේ බළකොටුවක් වැනි ස්ථානයකි. එයට ඇතුළුවීමට දොර කවුළු හැර ගත යුතු වෙයි. විවර කරගත් දොරකවුළු තුළින් ධර්ම ශාලාවට පිවිසිය හැකිය. එයද වට කළ ඍජු කෝණාශ්රකර පවුර ද සෑදී ඇත්තේ කුඩා කුටි පෙළකිනි. මෙයද භාවනාමය අත්දැකීමකට සිත පොලඹවන අපූරු සංකල්පනාත්මක ආකෘතියකි. එතැන ධර්ම ශාලාවේ අස්ථි පඤ්ජරයකි. පෙරදා අප හා බැඳී ප්‍රියමනාපව සිටි සමස්ත මානවයාගේ සංඛාර ලෝකය සංකේතවත් කරනා එය අසල සටහනක මෙසේ සඳහන් වේ.
“අට්ඨික සඤ්ඤා බහුලව භාවිත කිරීමෙන් ජීවිතයට විශාල පහසු බවක් ඇති වේ. දුක අවසන් වන පරමාර්ථය සඵල වේ. ප්‍රිය මනාප සියල්ල අත් හැරීමට හැකිවේ. අනාගාමී ඵලය හෝ අරහත් ඵලය ලැබේ.”
ඉහැත්තෑවේ වැඩ වසන බුදුන් වහන්සේ දකින්නට පියගැට නැග යා යුත්තේ මේ ධර්ම ශාලාව තුළින් ය.
ගිලන්පස ශාලාව අසලින් මඳ දුරක් ගොස් තවත් නැග්මකින් පසුව දිස්වන ශ්‍රී ධර්ම ද්වීප ශිලා ලේඛනය කළු ගලක් දමනය කරමින් කළ නිර්මාණයකි. එය ලංකා චෛත්‍ය වශයෙන් නම් කර ඇත.
මෙය ඉතා ගැඹුරු චින්තනයකි. ලංකාව නොහොත් ධර්මද්වීපය ගොඩ නැඟී පවතින්නේ බෞද්ධ සංස්කෘතියේ පදනම මත ය. ගලේකෙටූ සංක්ෂිප්ත ත්‍රිපිටක ධර්මය ධර්ම ද්වීපයේ අධ්‍යාත්මය බව සංකේතාත්මකව පවසන සෙයකි.
මේ සියල්ල සිදු කළ සමරදිවාකර නම් අසහාය උත්තමයා පිළිබඳ සඤ්ඤාවක් ලබා ගැනීම උදෙසා එහි පහත් සඳහන් මෙම කවි පේළි දෙක ප්‍රමාණවත් යැයි සිතේ.
“බලී එමර සෙන් බිඳ යදමින් කුරිරූ
මෙ ලී පිනෙන් බුදු වෙම්වා තිලෝගුරූ”
එතුමා ප්‍රාර්ථනා කළේ බුද්ධත්වය නම් මේ භවයේදී මහා පාරමිතාවක් පිරූ බව කළුගල ආරණ්‍ය සේනාසනය සංකේතවත් කරයි. එතුමා තම සියලු ධනය වැය කළා පමණක් නොව, ඉතිහාස ශාසන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කළ මහා සිටුවරයකු වූවා පමණක් ද නොව, සේනාසනය ඉදිකිරීම වෙනුවෙන් මහා කළුගල් හා ඔට්ටු වෙමින්, රාත්‍රී ඝනාන්ධකාරයේ ලී පට්ටල් මත නිදි වරමින් සුකුමාර ජීවිතයෙන් අත්මිදුණා පමණක් ද නොව, බ්‍රහ්මචාරී දිවියක අවසාන මොහොත ද ගත කළේ කළුගල වන සෙනසුන් කුඩා කුටියක් තුළ ය.
මෙය යෝගාවචර භික්ෂූන් වහන්සේ වෙනුවෙන් නිරාවරණය වන්නේ 1942 වසරේ අගෝස්තු මාසයේ 24 වැනිදාය. එනම් හරියට ම මීට වසර 76 කට පෙර දී ය.
වනවාස නිකායේ නිර්මාතෘ බෝධි සත්ව ගුණෝපේත වතුරුවිල ඤාණානන්ද සංඝ පීතෘන් වහන්සේ සමඟ සද්ධානන්ද නම් තවත් භික්ෂූන් වහන්සේ නමක කළුගල වන සෙනසුනෙහි වස් වසීමෙන් ආරම්භක ඓතිහාසික අවස්ථාව උදා විය.
අද මෙහි සේනාසනාධිපතීන් වහන්සේ වනවාස නිකායේ - කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යාය කඹුරුපිටියේ සරණතිස්ස නා හිමිපාණන් වහන්සේ ය.
මම උන්වහන්සේ බැහැ දැක වැඳ නමස්කාර කර එකත් පසකව හිඳ ගතිමි.
පිළිසඳර කතාවේදී මට හැඟුණේ රුධිර පීඩනය, වායුවේ තෙරපීම්, බර මනිමින් පණ කෙන්දේ පවා එල්ලී දඟලන අප නිබඳ දිවි ගෙවන්නේ මරණ බයෙන් ඔද්දල් වී සසල වූ සිතත් සමඟ බව ය. ජීවිත යථාර්ථය පිළිබඳ සිතන්නට පෙලඹවීමක් ඇති කළ මේ කෙටි පිළිසඳර අවබෝධයෙන් බණ පොතක් කියවූවා හා සමාන යැයි මට සිතෙයි.
කළුගල වන සෙනසුන වෙතට පැමිණෙන විට සිත මෝදු කළ හැඟීම් සමුදාය සමුගන්නා මොහොත වන විට මෝරා වැඩෙමින් පවතින සෙයකි. එදා බුදුන් වහන්සේ බෝධිරාජ කුමාර සූත්‍රයේ දී උරුවෙල් දනව්වේ සේනානි නියම් ගම වර්ණනා කරන විට මනසේ ඇඳෙන සොඳුරු සිත්තම - මසැස ඉදිරියේ දිස්වන සෙයකි.
“සුදු වැලි තලා යහපත් තොටවල් ගලා යන ගඟ හා අවට ගොදුරු ගම් ද සහිත සිත් පහන් කරන සතුටු කරන වන ළැහැබක් ඇති බිම් පෙදෙසක් දුටිමි. ඒකාන්තයෙන් ම මේ බිම් පෙදෙස සිත් අලවන්නේය. සුදු වැලි තලා සහිත මනා තොටුපළවල් ඇති නදිය සිත් අලවන්නේය. මේ රමණීය භූමිය වීර්ය වැඩීමට සුදුසු යැයි සිතා වීර්යය වැඩීම පිණිස එහිම උන්නෙමි”
එහෙත් මම දැන් ෙමයින් නික්ෙමමි; යළිදු ආපසු පැමිණෙමි - වීර්ය පාරමිතාව පුරණ කළුගල යෝගාවචරයාණන් වහන්සේලා එහිම වැඩ වසනු ඇත.
විශේෂ ස්තුතිය - පිටිගල එච්.එම්. සිරිදාස, කේ. නිහාල් උදයරත්න, සුමනසිරි රණතුංග, වීරවර්ධන ජයනන්ද, ජස්ටින් දොඩන්ගොඩආරච්චි, ආර්.ඩී. චමින්ද යන මහත්වරුන්ට.
ජනක වෙත්තසිංහ