අතා­ර්කික විශ්ව­වි­ද්‍යාල වසා-දමමු! | Page 2 | සිළුමිණ

අතා­ර්කික විශ්ව­වි­ද්‍යාල වසා-දමමු!

ශ්‍රී ලංකාවේ බොහෝ විශ්‍ව­වි­ද්‍යා­ල­වල ඒ ඒ දෙපා­ර්ත­මේ­න්තු­ව­ලින් කිය­වෙන පොදු කතා­වක් පවතී. එනම්: ඒ ඒ විෂ­ය­යන් හදාරා ශාස්ත්‍ර ගවේ­ෂ­ණ­යට යොමු වන විද්‍යා­ර්ථීන් පිරිස අවම වෙමින් පව­තින බවය. විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශ­යේදී තොග වශ­යෙන් සිසුන් බඳ­වා­ගනු ලැබූ­වද දැනුම නිෂ්පා­ද­නය සඳහා යොමු වන්නට ඔවුහු මැළි­ක­මක් දක්වති. ඊට හේතුව සාති­ශය බහු­ත­රය විශ්ව­වි­ද්‍යා­ල­යට එන්නේ රැකි­යා­වක් සොයා­ගැ­නීම සඳහා සහ­තික පත්‍ර­යක් ලබා­ගැ­නීමේ අර­මු­ණින් වීමය. මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ රුහුණ විශ්ව­වි­ද්‍යා­ලයේ ආචා­ර්ය­ව­ර­යකු කදිම අද­හ­සක් ප්‍රකාශ කළේය. එනම්: විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රවේශ වන පළමු දව­සේ­දීම ශිෂ්‍ය-ශිෂ්‍යා­වන්ගේ අද­හස් විමසා, ඔවුන්ට අවශ්‍ය පන්ති සාම­ර්ථ්‍යය සහි­තව උපාධි සහ­ති­කය පිරි­නමා එම කාර්යය අව­සන් කළ යුතු බව හා අන­තු­රුව ඉතුරු වන හතර-පස්දෙ­නාට ශාස්ත්‍ර ගවේ­ෂ­ණය සඳහා සහාය වී ඔවුන් විද්‍යා­ර්ථීන් බවට පත් කළ යුතු බවයි. ඒ අන්ද­මින් කට­යුතු කළ හොත් සමා­ජ­යට අවශ්‍ය ඥාන ගවේ­ෂ­ණ­යට සුදුසු කිහිප දෙනකු හෝ බිහි කර­ගත හැකි බව ඒ ආචා­ර්ය­ව­ර­යාගේ දැඩි විශ්වා­සය විය.

ඥාන ගවේ­ෂ­ණය සදහා විශ්ව­වි­ද්‍යා­ල­යට පැමි­ණෙන සිසු දරු­වන් ප්‍රමා­ණය අතේ ඇඟිලි ගණ­න­ටත් වඩා අවම වී ඇත්තේ වෙළෙ­ඳ­පළ අව­ශ්‍ය­තා­ව­ලට හැඩ­ගැ­සී­මට ඔවුන් පුරුදු වී ඇති නිසා­යැයි කිව හැකිය. මේ යුගය තුළ සමාජ අභි­ලා­ශය වන්නේ විසල් වැටු­පක් ලැබෙන රැකි­යා­වක්, සුවි­සල් නිවෙ­සක්, සුඛෝ­ප­භෝගි කාර­යක් හා රුවැති සහ­කා­රි­යක හෝ පෞරු­ෂ­වත් සහ­ක­රු­වෙකි. ඒ පෘථ­ග්ජන ආශා තෘප්ත කර­ගත් පසු වෙනත් අභි­ලා­ශ­යන් පැන නොනඟී. ඊට හේතුව සමා­ජයේ දිළිඳු බහු­ත­රය නිද­හස් අධ්‍යා­ප­නය භාවිත කරන්නේ ඉහළ සමාජ පන්ති­යට පොළා-පැනී­මට අවශ්‍ය මෙව­ල­මක් ලෙස වීමය.

ඉහළ ආර්ථික ශක්ති­යක් පව­තින පවු­ල්වල දරු­වන් අද යොමු වන්නේ විදේශ විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබා­ගැ­නී­ම­ටය. මෙරට විශ්ව­වි­ද්‍යා­ල­යන්ට ප්‍රවේශ වන්නේ ඉහළ මැද පන්තියේ සුළු­ත­රය හා පහළ මැද පන්තියේ බහු­ත­ර­යයි; එසේම නිර්ධන පන්තියේ පිරි­සයි. මේ කිසිම සමාජ තීරු­වක දරු­ව­කුට ශාස්ත්‍ර ගවේ­ෂ­ණය සදහා උසස් අධ්‍යා­ප­නය අවශ්‍ය බවක් දක්නට නොලැබේ. ඔවුන් එක් අයකු නෑර විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබන්නේ රැකි­යා­වක් සොයා­ගැ­නීම සඳහා සහ­ති­ක­යක් ලබා­ගැ­නී­ම­ටය. එනිසා විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රවේශ වූ දා සිට සිතන්නේ සහ­ති­කය ගෙන ගෙදර යන අන්දම ගැනය. ස්ව-අධ්‍ය­ය­නයේ යෙදීම, පොත-පත කිය­වීම, පර්යේ­ෂණ සිදු කිරීම, දැනුම නිෂ්පා­ද­නය ඔවුන්ට අර­හංය. විශ්ව­වි­ද්‍යා­ල­යට ප්‍රවේශ වී උසස් අධ්‍යා­ප­නය සම්පූර්ණ කර ආචාර්ය මණ්ඩ­ල­යට ඇතුළු වූ අයට පවා තම පෞද්ග­ලික චරි­තය ආර්ථික අතින් ශක්ති­මත් කර­ගැ­නීම හැර වෙනත් අභි­ලා­ශ­යක් නැත. එනිසා ඔවුහු එදි­නෙදා වැඩ කට­යුතු සිදු කර තම වෘත්තීය පැවැත්ම සහ­තික කර­ගැ­නීම හැරෙ­න්නට, ශාස්ත්‍ර ගවේ­ෂ­ණයේ හෝ පර්යේ­ෂ­ණයේ හෝ යෙදී දැනුම නිෂ්පා­ද­නය කර­න්නට නොපෙ­ල­ඹෙති.

අද විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය මුහුණ දෙන බර­ප­ත­ළම අර්බු­දය වන්නේ එයයි. මේ තත්ත්වය ඇති වන්නේ වෙළෙඳ අව­ශ්‍ය­තාව මත අධ්‍යා­පන ප්‍රති­පත්ති සකස් වී ඇති නිසාය. මේ යුගය තුළ එය නොවැ­ළැ­ක්විය හැක්කක් වුවත් දැනුම නිෂ්පා­ද­නය කිසිම සමා­ජ­ය­කට ප්‍රති­ක්ෂේප කළ නොහැ­ක්කකි. ඒ නිසා රැකි­යා­වක් බලා­පො­රො­ත්තු­වෙන් අධ්‍යා­පන ධාරා­වට පැමි­ණෙ­න්නන්ට කාර්මික ක්ෂේත්‍රයේ උප­රිම අධ්‍යා­ප­න­යත්, ශාස්ත්‍ර ගවේ­ෂ­ණය සඳහා පැමි­ණෙ­න්නන්ට විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­න­යත් ලබා දිය යුතුය. රැකි­යා­වක් සඳහා සුදු­සු­කම් සොය­න්නන්ට විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබා­දීම අන­වශ්‍ය ක්‍රම­යකි. ඔවුන්ට ශක්ති­මත් කාර්මික අධ්‍යා­ප­න­යක් තහ­වුරු කර දිය යුතුය. එහෙත් ඥාන ගවේ­ෂ­ණය සඳහා පැමි­ණෙ­න්නන්ට උප­රිම පහ­සු­කම් සලසා විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය දිය යුතුය.

අබ­රන්

Comments