කඳසුරිඳු අඩවිය වනසන වැලි ජාවාරමේ අවනඩුව | Page 2 | සිළුමිණ

කඳසුරිඳු අඩවිය වනසන වැලි ජාවාරමේ අවනඩුව

  • පොලිසියෙන් ගියාම ග්‍රාමනිලධාරී හැංගිලා.
  • බලපත්‍රය හදා දීමට සහාය වි ඇත්තේ ග්‍රාම සේවක
  • මහා පරිමාණ ගොඩ වැලි කැපීමේ ජාවාරමක් නිසා නිවාස ගිලා බැහැලා.

කතරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කරවිලේ 146 ඩී ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් සෙල්ලකතරගම පස්සරයාය ප්‍රදේශයේ මයිලගම කුඹුරු යාය අසල සිදු වෙන මහා පරිමාණ ගොඩ වැලි කැපීමේ ජාවාරමක් හේතුවෙන් වැවෙහි භූගත ජල මට්ටම අඩු වී අවට ඉඩම් හා නිවෙස් ගිලා බැසීමේ දැඩි අවදානමකට ලක්ව තිබේ. ගම්මානයක් මැද මෙලෙස පෞද්ගලික ඉඩම් වල ගොඩ වැලි කැපීමට ලබාදිම මහා අපරාධයක් සේම පරිසරයටද දැඩි හානි පමුණුවන්නක් බව ගම් වැසියෝ කීහ. මයිලගම ගොවි සංවිධානයේ ලේකම් කේ.ඩී.විමලතිස්ස මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප හා සංවාදයට එක් විය. “ගොවි පවුල් 158ක් විතර මේ ගමේ ජීවත් වෙනවා. ගොඩ වැලි කපන තැන වටේටම ගෙවල් තියෙන්නේ. මේ වැලි කැපීමේ ජාවාරම නිසා අවට නිවෙස් ගිලා බැසීමේ අවදානමකට ලක් වෙලා. ඒ විතරක් නෙමේ අවට තියෙන ළිං මේ වන විට හිඳිලා. වැවේ භූගත ජල මට්ටම අඩු වෙලා.

මෙතැන වැලි කපන්න පර්මිට් එකක් හදලා තියෙන්නේ අත යට ගනුදෙනුවලින්. මේ වෙන කොට වැලි ජාවාරම්කරුවන් මයිලගම වැවට මීටර් 300ක් පමණ දුරින් තියෙන ඉඩමක තමයි මේ වැලි කැපිම සිදු කරන්නේ.

වැලි කැපීම සඳහා බලපත්‍ර ලබාගෙන තියෙන්නේ පෞද්ගලික ඉඩමක අක්කර භාගයක් සදහා. නමුත් මේ වන විට වැලි කැපිම සිදු වෙන්නේ ඊට යාබදව පිහිටි කිසිදු බලපත්‍රයක් නැති ඉඩමක. වැලි ජාවාරම්කරුවන් මේ ඉඩමත් රුපියල් ලක්ෂ 20ක මුදලකට මිලදි අරගෙනයි මේ ජාවාරම කරන්නේ. ජාවාරම් කරුවන් ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වලා තමයි මේ ජාවාරම කරගෙන යන්නේ. මේ ගැන කතා කරනකොට ගමේ අපිට තර්ජන එල්ලවෙනවා. වැලි ජාවාරම නිසා ගම සම්පුර්ණයෙන්ම විනාශ වී යනවා. අපි 119 පොලිස් හදිසි දුරකථන අංකයට මේ ගැන කිව්වම පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් ඇවිත් මේ ස්ථානය බලලා ගියා. එච්චරයි. මේ සිදුවෙන පරිසර හානිය වහාම බලධාරීන් විසින් මැදිහත්ව නවතා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.,,

මයිලගම පදිංචි ඕ.ජී.කේ.කමල් කී කතාව මෙසේය.

“මේ ප්‍රදේශයේ පවුල් 158ක් පමණ ජීවත් වෙනවා. මේ ගම්වාසීන් කිසිවකුගෙන් වත් කිසිදු විමසීමක් නැතිව, මයිලගම ගොවි සංවිධනයෙන්වත් කිසිදු විමසීමක් කරන්නේ නැතිව පිටින් ආව වැලි ජාවාරම්කරුවන් පිරිසක් ගමේ එක පවුලක් රවට්ටාගෙන මහා පරිමාණ ගොඩවැලි කැපීමේ ජාවාරමක් කරගෙන යනවා.

කතරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී පවා ගොඩ ඉඩම්වල වැලි කැපීමට අවසර නොදිමට තිරණය කර තිබිය දි තමයි මේ ස්ථානයට වැලි කැපිමට බලපත්‍රයක් ලබා දී තියෙන්නේ. මේ පර්මිට් හදන්න ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා මැදිහත් වෙලා තියන වග අප දන්නවා.

ගමක් මැද මේ විදියටම මහා වළවල් කපලා වැලි ගොඩ දැමීමෙන් සිදු වෙන හානිය නිලධාරීන්ට නොපෙනුණ එක තමයි පුදුමේ. අපි මේ වන විට මේ සම්බන්ධයෙන් ගමේ සියලු දෙනාගේ අස්සනින් යුතුව මොනරාගල දිස්ත්‍රික් ලේකම් තුමිය හා අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

ඒ වගේම මේ වන විට ගොඩ වැලි කැපීම සඳහා ප්‍රදේශයේ තවත් කුඹුරු ඉඩම් කිහිපයක්ම පුරන් වෙන්න ඇරලා තියෙනවා. මේවා සිදු වෙන්නේ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිවයි. මේවා කරන ජාවාරම්කරුවන් නිලධාරීන් එක්ක අත යට ගනුදෙනු කරනවා.

මෙතැනට එන ඇහැකන පේන ඕන කෙනෙකුට පේනවා මෙතැන වැලි කැපුවම අවට පරිසරයට, වැව් ටිකට,ළිං ටිකට හා නිවාස ටිකට පරිසරයට මොකද්ද වෙන්නේ කියලා. නමුත් බලධාරීන් මෙහි ඇති ආදීනව පිළිබදව දැන දැනම මේ විදියට ගම්මාන මැද වැලි කැපීමට දෙනවා. වැලි කපන්න මහා පරිමාණ ලෙස වළවල් හෑරුවම අවට ගෙවල්වලට ඇති වෙන බළපෑම ගැනවත් කිසිදු අවධානයක් යොමු නොකර තමයි නිලධාරීන් මේවා සදහා අනුමැතිය දි තියෙන්නේ. අප මේ සම්බන්ධයෙන් නිළධාරී දැනුවත් කළත් මේ සම්බන්ධයෙන් නිලධාරීන් මුනිවත රකින්නේ කුමක් නිසාවෙන්ද කියලා අපි දන්නේ නෑ. අපි කියන්නේ මේ ගම විනාශ වෙන්න කලින් මේ මහා අපරාධය නතර කර දෙන්න කියලා.,,

වැලි ජාවාරම සිදුවෙන ස්ථානයටද අප ගොස් කළ නිරීක්ෂණයේදි දැක ගත හැකි වුයේ බලපත්‍ර නීති රීති පවා උල්ලංඝනය කරමින් මේ පිරිස් බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන මෙම ජාවාරම දැඩි පරිසර හානියක්ද සිදු කරමින් සිදු කරගෙන ගොස් ඇති බවය. එහි සිටි පිරිසගෙන් අප කළ විමසීමේදී ඔවුන් පැවසුවේ තමන් බලපත්‍ර රැගෙන මෙම කටයුත්ත සිදු කරන බවය. කෙසේ වෙතත් අප ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම් වලදී ඔවුන් පැවසුවේ බලපත්‍ර ලබා ගත් ඉඩමේ වැලි නැති නිසා අනෙක් ඉඩමෙන් වැලි කැපීම සිදු කරන බවත්, ඒ සදහාත් කඩිනමින් බලපත්‍ර සාදා ගන්නා බවත්ය.

එමෙන්ම ඉඩම හිමිකරුගෙන්ද අප විමසිමක් කළෙමු. මේ ඔහු කී කතාවයි.

“මට ඕන වුණේ මෙතැන ගොවිපළක් ඇති කරන්නයි. මේවා කැලෑ වෙන්න දෙන්න බෑ .ඒ නිසයි මං මේ ඉඩම වැලි කපන අයට දුන්නේ .මට ඕන වුනේ වැලි කපන්න දෙන්න නෙමේ. ගොවිපළක් හදන්නයි. නමුත් ගේ ළග කෙනෙක් නිතරම ඇවිත් මට බළපෑම් කළා මේක වැලි කපන්න දෙන්න කියලා. ඉතින් මං ගිවිසුම් පත්‍රයක් මත ඉඩම වැලි කපන්න දුන්නා. එතැන තිබුණු අනෙක් ඉඩමත් මේ අය රුපියල් ලක්ෂ විස්සක් දිලා අරගත්තා. මං දන්නේ නෑ ඉතින් ඉන් එහාට මොනවා කරනවද කියලා. නිලධාරීන්ට කියලා අවසර අරන් තමයි මේ අය මේ වැඩේ කරන්නේ. මගේ ඉඩමේ තිබුණු රුපියල් ලක්ෂ 20ක විතර පොල් හා තේක්ක ගසුත් විනාශ වුණා,, යැයිද පැවසිය.

ඉකුත් දින කිහිපය තුළදීම ගම්මු මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් වගකිවයුතු විවිධ පාර්ශ්ව වෙත දැනුම් දීමට කටයුතු කළහ. එහිදී කලබලයට පත් ජාවාරම්කරුවන් කපන ලද වැලි වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරිමට සැලසුම් සකස් කර තිබුණේ ඇතැම් වගකිවයුතු නිලධාරීන්ගේද සහාය ඇතිවය. කෙසේ වෙතත් ගම්මු ඊට එරෙහි වූහ. ප්‍රදේශයේ ජනතාව හා අවට විහාරස්ථානවල භික්ෂූන් වන්සේගේද සහභාගිත්වය ඇතිව සෙල්ලකතරගම පස්සරයාය හන්දියේදී විරෝධතා විව්‍යාපරයක් පැවැත් වුයේ ඉකුත් 06 වන දිනයි. එහිදී විරෝධතාකරුවන් පැවසුවේ වහාම මෙම වැලි ජාවාරම නැවැත්වීමට කටයුතු කර දෙන ලෙසය. පෙරවරු 08ට පමණ විරෝධතාව ආරම්භ වු අතර පෙරවරු 9.30ට පමණ කතරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු එම ස්ථානයට පැමිණි විරෝධතාව නවත්වන ලෙසත් මෙම ගැටලවට කඩිනමින් විසඳුමක් ලබා දෙන බව පැවසුවත් විරෝධතා කරුවෝ ඊට එකග නොවූහ. ලිඛිත පොරොන්දුවක් ලබා දෙන්නේ නම් විරෝධතාව අවසන් කරන බව පැවසීමත් සම ඟ එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජිතයා නැවත ගොස් පෙරවරු 11.30ට පමණ පැමිණ අදාල පොරොන්දුව ලිඛිතව ලබා දිමට පියවර ගත්තේය. ප්‍රාදේශීය ලේකම්වරයා වෙනුවෙන් පැමිණි නිලධාරියා මේ මස 14 වන දින දක්වා මෙහි වැලි කැපීම තහනම් කළ බවට ලිඛිත පොරොන්දුවක් ලබා දුන් අතර කතරගම ප්‍රාදේශීය සභාව විසින් වැලි ප්‍රවාහනය නතර කිරීමට පියවර ගත් බවට පොරොන්දු විමෙන් පසු විරෝධතාව අවසන් කිරිමට පිරිස කටයුතු කෙරිණි.

ඒ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා තංගල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් ගේ උපදෙස් පරිදි සිවිල් ඇඳුමින් සැරසුණු තංගල්ල කොට්ඨාස පාරිසරික අංශයේ නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ප්‍රදේශය වෙත ගියේ මෙම ජාවාරමේ සුලමුල සොයන්නටය. දහවල් 12 පමණ එම ස්ථානයට ගිය තංගල්ල කොට්ඨාස පාරිසරික අංශයේ නිලධාරීන්ට එහි සිදුව ඇති විනාශය පිළිබදව එකින් එක දැක ගැනිමට හැකි විය. ඒ අනුව එම අවස්ථාවේදිම වහා ක්‍රියාත්මක වු තංගල්ල කොට්ඨාස පාරිසරික අංශයේ නිලධාරීහු බලපත්‍ර නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඉඩම් හිමියා සහ වැලි කැපීමට බලපත්‍රය ලබාගෙන සිටි පුද්ගලයා හා වැලි කැපීමට යොදාගත් ස්කැවේටර් දෙකක්ද අත්අඩංගුවට ගත්හ. මෙහිදී ඉඩම් හිමියා අත්අඩංගුවට ගැනීමට සැරසෙද්දී ඔහු පලා යෑමටද උත්සාහ කර ඇතත් එය ව්‍යර්ථ වි තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වරයා සම්බන්ධ කරගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය ව්‍යර්ථ විම නිසා තංගල්ල කොට්ඨාස පාරිසරික අංශයේ නිලධාරින් ඔහුව හමුවට නිවසට ගියත් ඔහු ඒ වන විටත් පොලිසිය මඟ හැර ගොස් තිබේ..

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කතරගම පොලිසියට බාරදීමට කටයුතු කෙරුණි. මෙම වැටලිම සදහා තංගල්ල කොට්ඨාසපාරිසරික අංශයේ පොලිස් සැරියන් වරුන් වන සම්පත්(28435), තරංග(66611), බුද්ධික(82043) හා පොලිස් කොස්තාපල් රියදුරු ප්‍රදීප්(22978) එක්ව සිටියහ.

කෙසේ වෙතත් ගම්මුන් පවසන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් පරිදි පොරොන්දුව ඒ අයුරින්ම ඉටු වෙන තෙක් තමන් බලා සිටින බවය. ලබා දුන් පොරොන්දුව අනුව එළඹෙන 14 වන දින පැවැත්වෙන කමිටු රැස්වීමේදී මෙය සම්පුර්ණයෙන්ම තහනම් කිරිමට පියවර ගත යුතු බවත් එසේ නොකරන්නේ නම් නැවතත් පාරට බසින බවත් ගම්මු කියති.

 

 

Comments