ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් විදේශගත වන්නට පටන් ගත්තේ 1970 න් පසුව ය. නිසි අධ්‍යාපනයක් හා රැකියාවක් නොමැති හෙයින් මෙන් ම දැනුමේ හැටියට කරන්න දෙයක් නැති තැන ද බොහෝ දෙනෙකු ඩුබායි හෙවත් මැදපෙරදිග කරා යන්න පටන් ගත්තේ කුමාර සැප විඳින්න නොව, තම දරුවන්ගේ අනාගතය ගොඩ දාගන්නය. ඒ බොහෝ දෙනක් නතර වුණේ ගෘහ සේවිකා හා කම්කරු තනතුරුවලය.
අපේ සමහර දේශපාලකයන් ප්‍රකාශ කළ පරිදි ඔවුන් රටවිරුවන් වූයේ නැත. ඉන් පසු ව කාලකන්නි කළු ජූලිය නිසා ගේ දොර අහිමි වූ දෙමළ ජනතාව ද විදේශ රටවලට ගාල් වුණේ රටක් ජාතියක් නැති සරණාගතයන් ලෙසය. කෙසේ වෙතත් මැදපෙරදිග ගොස් කට්ට කන අයට වඩා යහපත් වටාපිටාවක ජීවත් වන්නට දෙමළ සරණාගතයන්ට අවකාශයක් ලැබිණි. ඒ අයට ද ලැබුණේ මහා ලොකු රස්සා නො වේ. බොහෝ දෙනෙකු කරන්නේ යූරෝපීය ජාතිකයන් කරන්නට අකැමැති රැකියාය. එහෙත් අපේ රටට වඩා හොඳින් ඒ රටවල් ඔවුන් බලා ගන්නා බව නම් සත්‍යයකි.
මට, ඔහු හමු වුණේ ස්විට්සර්ලනත්යේ ලූසර්න් නගරයේ අවහන්හලක දී ය. මා දෙස බොහෝ විපරමින් බලමින් සිට මගේ ඇණවුම රැගෙන පැමිණි ඔහු මට කථා කෙළේ තරමක් චකිතයකිනි.
“ඔබ ලංකාවේ ද?” මම හිස සලා වැඩි තැකීමකින් තොර ව පිළිතුරු දුන්නෙමි. එයට හේතුව ඔහු දමිල අයෙකු බව මට වැටහුණු නිසා ය. සමහර අවස්ථාවල යුරෝපයේ දී දමිල අය සිංහලයන් හමුවේ තමන්ගේ තරහ දමා ගසන අවස්ථා ඇති බව මම දැන සිටියෙමි. මම ද එවන් අවස්ථාවන්ට මුහුණ දී ඇත්තෙමි.
“ඇයි ඇහුවේ?”
“මමත් ලංකාවේ. දැන් නම් මෙහේ ඉන්නේ.” ඔහු ඉතා ප්‍රසන්න සිනහවකින් මට පිළිතුරු දීම මා සිතේ පැවති චකිතය නැති කරන්නට හේතු විය.
“ලංකාවේ දී මොනවාද කෙළේ?” මම එසේ විමසුවේ ඔහු කෙරෙන් කිසියම් බුද්ධිමත් බවක් පෙන්නුම් කළ නිසා යි.
“කරපු දේ ඔබ නම් පිළිගන්නේ නැති වෙයි. මම දොස්තර කෙනෙක්. හැබෑවට කියනවා නම් ශල්‍ය වෛද්‍යවරයෙක්. ජීවත් වුණේ යුද කලාපයේ. කරන්න දෙයක් නැති නිසා රටින් පැන්නා. දරුවයි නෝනයි එක්ක. නෝනා ගේ කකුල කැඩුණා බෝම්බයක් නිසා.” ඔහු තම අවිධිමත් හිස සකස් කරන ගමන් මට කියා සිටියේ ය. ඉන්පසු හිස් වීදුරුව අතට ගෙන නැවතත් මා දෙස බැලූවේ කිසියම් වේදනාත්මක හැඟීමක් සමගය.
“මෙහේ දී දොස්තර රැකියාව කරන්න බැහැ නේද?” මා අසා සිටියේ යුරෝපයේ ඒ සඳහා ඇති නොවක් බාධා ගැන දැනීමක් මට වූ නිසා ය.
“ඔව්. මුලින් ම ඉහළ මට්ටමකට භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒ භාෂාවෙන් දොස්තර කෙනෙක් වෙන්න සහතිකය සඳහා විභාගයට පෙනී සිටින්න ඕනේ. මේ දෙකට ම විශාල කාලයක් හා මුදලක් වැය කරන්න වෙනවා. ඒ වුණත් මට එක් කරන්න අමාරුයි.”
මම දැන් ඔහු ගේ දෑත් දෙස විපරමින් බැලූවෙමි. ඒවායින් වෛද්‍යවරයෙකු ගේ ගති ලක්ෂණයන්ට වඩා කම්කරුවෙකු ගේ ස්වරූපයක් දර්ශනය විය.
“මේ රස්සාව වැඩක් නැහැ නේද?” මම එක එල්ලේ ප්‍රශ්න කෙළෙමි.
“මට දැන් අවශ්‍ය අප තුන්දෙනාට ජීවත් වෙන්න මාර්ගයක්. මම එංගලන්තයේ ඉගෙන ගන්න ගිහින් ආපන ශාලාවක පිඟන් හේදුවා කීයක් හරි හොයා ගන්න. මෙහේ නිවාඩුවකටද?” ඔහු මගෙන් මෙවර විමසා සිටියේ තමන් ගේ බර අන් අයෙකුට දීමෙන් කිසිදු පලක් නැති බව සිතාගෙන විය යුතුයි.
“නැහැ. රාජකාරී වැඩකට ආවා.” මම මුදල් ගෙවන ගමන් ඔහුට යම් කිසි වැඩි මුදලක් ලබා දෙන්න උත්සාහ කළත් ඔහු එය ඉතා කාරුණිකව එය ප්‍රතික්ෂේප කෙළේ ය
“පිස්සුද අයියා. ඔයා අපේ කෙනෙක්. මට ටිප් එපා.”
අනාගතය ගැන මොකද හිතන්නේ? මම නැඟිටින ගමන් ඇසුවෙමි.
“ඒක කියන්න බැහැ. මොනවා වුණත් මේවා අපේ රටවල් නො වෙයි. ඒ නිසා මේ ගොල්ල කියන විදිහට ඉඳලා දරුවා ලොකු මහත් කර ගන්න ඕනේ. ලංකාවට දැන් ම යන්න අදහසක් නැහැ.”
මම ඔහුට සමු දී ආපන ශාලාවේ ද්වාරයට පිවිසුණෙමි. සුපිරිසුදු ජල තලයට එපිටින් ඇති කඳු යායේ තැනින් තැන සුදුපාට හිමි කැට රැස් වී තිබෙනු දැකිය හැකි විය. කුඩා මාවතේ රැස්කමින් ගමන් කරන මිනිස් සමූහයා අතරට මම ද එකතු වුණෙමි. ඔහු පිළිබඳ දැන් මට ඇත්තේ තරමක් බොඳවූ මතකයක් පමණි.
ලංකාවේ ඉපදීමේ වරදට වඩා එහි වැරදීමකින් ඉපදුණු සමහරුන් ගේ මරි මෝඩකම් නිසා පව් ගෙවන තවත් කෙනෙක් ලෙස ඔහු ගැන මගේ මතකය සකස් කර ගත්තෙමි. ඒ තුළින් මගේ සිතේ ඇති වූ බර සැහැල්ලූ විය.