
මහනුවර නගරය කළ එළි වී තිබේ. දළදා තේවාවද, හේවිසි නාදයද සාමාන්‍ය දිනවලට වඩා වැඩි ජනතා අවධානයකට පාත්‍ර වෙමින් වන්දනීය තලයකට පැමිණ ඇත. පංච තූර්ය වාදන සහිත සිවු දේවාල වල “ඇතුළේ පෙරහර”ද අවසන්ය. දළදා කරඬුව රැගත් කුඹල් පෙරහර ඇරඹී තිබේ. කුඹල් පෙරහරේ සිවු වැනි දිනය අදය. තව දෙදවසකින් ඇරඹෙන්නේ රන්දෝලි පෙරහරය. දළඳා පූජෝපහාරයට සමවැදෙමින්, කුඹල් පෙරහරේද, රන්දෝලි පෙරහරේද ශිල්ප දක්වන දහස් ගණනක ශිල්පීන් අතරින් පෙරමුණේම යන ශිල්පීන් සොයා “සිළුමිණේ” අප ද මහනුවරට ගියෙමු.
අර්ථ දැක්වීම් අනුව සම්පූර්ණ දළදා පෙරහර යනු මහ වැස්සක සංකේතයකි. වැසි ඵල ඇරඹීම ආශ්‍රිත පාරිසරික සිදුවීම් වන මේඝ ඝර්ජනාවත්, විදුලි එළියත් සංකේතවත් කිරීම පිණිස කස කරුවනුත්, ගිනිබෝලකරුවනුත් දළදා පෙරහරේ සංස්කෘතිකාංග අතරට පෙරමුණේම එකතු වී තිබේ. තැනින් තැන යන අලි ඇතුන්ගෙන් මේඝ වලාවන්ද, එක පෙළට ඇදෙන සෙසු සංස්කෘතිකාංග වලින් මහා වර්ෂාවද නිරූපණය වේ.
කසකරුවනුත්, ගිනිබෝලකරුවනුත් දළදා පෙරහරට එක්වූයේ කෙදිනක දැයි පැහැදිලි නැතත් ඒ 1828 න් පසු යළි ඇරඹුණු දළදා පෙරහරේදි වන්නට ඇතැයි සිතිය හැකිය. මන්ද දෙවන රජසිංහ රජ සමයේ සිරකරුවෙකු වූ රොබට් නොක්ස්ද, 1817 ඉංග්‍රිසී රජය විසින් තහනමට පෙර පැවැත්වූ අවසාන පෙරහර දුටු ජෝන් ඩේවිඩ්ද පෙරහරේ අංග ලෙස කස හෝ ගිනිබෝල තිබූ බවක් සටහන් කොට නැත.
ඒ කෙසේ වුවද අද දවස වන විට පෙරහරේ මුලින්ම ගමන් කරන්නේ කස කණ්ඩායමත්, ගිනි බෝල කණ්ඩායම් දෙකත්ය. පැය ගණනක් පෙරහර එන තුරු මඟ දෙපස නොඉවසිල්ලෙන් බලා සිටි පිරිස සන්සුන් වන්නේත්, සාදු නාද දෙන්නේත් ඔවුන් දකින විටය. කොඩිකරුවන් පෙරටු කරගත් සෙසු ශිල්පීන් එන්නේ අනතුරුවය. ඒ නිසා අපි මුලින්ම හමුවූයේ කස කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන උපාලි ජයරත්න මහතාය. ඔහු අපට හමුවූයේ දළදා මැදුර ආසන්න විෂ්ණු දේවාල බිමේදීය.
“අපේ මුල් ගම ගම්පොළ කොස්හින්නේ… දැනට පදිංචිය මුරුතලාවේ. දන්න තරමින් සීයලගේ කාලෙ ඉදලම කස ගහනවා… සීයා කියල තියෙන විදියට ඊට කලිනුත් අපි දළදා පෙරහරට ඇවිත් තියෙනවා... ඒ කාලේ ඉඳලම අපේ ගමේ අපේ නෑදෑ පරම්පරාවේ අය තමයි කස ගහන්නේ…. දැන් නම් හැම දෙනාම කොස්හින්න ගමේ පදිංචි නෑ… ඒත් දළදා පෙරහරට කොහේ හිටියත් අපි එකතු වෙනවා….”
ඔහු පවසන පරිදි කණ්ඩායමේ ප්රසාරණයක් කිසි දවසක සිදු නොවේ. අතීතයේ සිටි සාමාජිකයන් ගණන ඉදිරියටත් ඒ හා සමානවම පවතී. පියාගෙන් පසුව කණ්ඩායමට එක් වන්නේ පුතා හෝ බෑනාය. කිසිදු විටෙක එකම පවුලකින් දෙදෙනෙකුට එක්වීමට අවස්ථාව නැත. කස ගැහීම ගැන දැන සිටිය ද, බොහෝ දෙනා එහි සම්ප්රදායයන් දන්නේ නැත. උපාලි ගේ පැහැදිලි කිරීම කස සම්ප්රදාය පිළිබඳවය.
“කස පිපිරවීමේ සම්ප්‍රදායන් දෙකක් තියෙනවා… උඩරට සහ පහතරට කියලා… අපි උඩරට.. අපි ගහන්නේ රතිඤ්ඤාව. පහතරට ගහන්නේ අත්පොඩිය. රතිඤ්ඤාව එකක් පස්සේ එකක් වැදීගෙන යනවා… අත්පොඩියෙදි සේරම එකට.”
කස ගසන්නට අවශ්‍ය කසය සකසාගැනිම ද ඔවුන්ගේ වැඩකි. එය සකසන්නේ කොහු ලණු සහ නියඳවලිනි. කසයක අඩුම දිග අඩි අටකි. උපරිම දිග අඩි දොළහකි. නමුත් පුහුණුව සඳහා යොදාගන්නේ අඩි හයක කසයක්. “මුලින්ම ලණු පදම් කරනවා… එක කස වර්ගයක් ලණු එකකට එකක් අඹරලා තමයි හදන්නේ…ලණු ගොතල හදන එකකුත් තියෙනවා… කොහොම හැදුවත් කසයක් කිලෝ දහයකට කිට්ටුව බරයි…ඊට පස්සේ රෙදි පටි ඔතලා කසය ලස්සන කරනවා…දළදා පෙරහරට රතු සහ කහ රෙදි වලින් කසය ඔතනවා...කසය කෙළවර හදන්නේ නියඳ කෙදි වලින්… හැබැයි වැස්සට නියඳ කසවලින් ගහන්න බෑ… ඒනිසා තංගුස් සහ ප්ලාස්ටික් පටිවලින් කෙළවර හදාගන්නවා…”
කිලෝ දහයක කසයක් හරඹ පාමින් කිලෝමීටර් දෙකක පමණ දුරක් යෑම අසීරු කටයුත්තකි. එහෙත් නරඹන්නන් මොහොතක්වත් ශිල්ප නොදක්වමින් යනවාට අකැමැති නිසාම වෙහෙස දරාගෙන වුවද රාජකාරිය ඉටු කළ යුතුමය. කස ගැසීම පහසු කටයුත්තක් නොවේ.. සැලසුම වැරදුණහොත් කසය කෙළවර කැරකී විත් වදින්නේ ශිල්පියාගේ ඇස කෙළවරටය. ඒනිසාම ඇසට සැත්කම පවා සිදු කළ කස කරුවෝ බොහෝය.
“හරි ආඩම්බරයක් දැනෙනවා… පෙරහරේ ඉස්සෙල්ලාම යන්නේ අපි නිසා... මිනිස්සු ගරු සරු කරන්නේ දළදා පෙරහර ට කියල දන්නවා… ඒත් ඒ ගෞරවය පුදන්නේ අපි ඉස්සරහ දී නිසා දැනෙන සතුටට ඇස්වලට කඳුළු උනනවා.” යනුවෙන් කළ අදහස් දැක්වීම අවසානයේ උපාලි ජයරත්නගේ ඇස් කෙවෙනි තෙත් වෙනු අප පැහැදිලිවම දුටුවේය.
අප ඊළඟට ගියේ කඩුගන්නාව හේනාවලටය. දළදා පෙරහරට නූතන ගිනිබෝල කලාව හඳුන්වා දී ඇත්තේ කඩුගන්නාවේ පදිංචිව සිටි දෙණියේගෙදර කරුණාදාසය. ඒ 1957 දී පමණය. වෙනත් පෙරහරවල් වල ගිනිබෝල කරකවනු දුටු කරුණාදාස තරුණයා තනියම එය ප්‍රගුණ කළේ “ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නට” සිතුණ නිසාය. අවසානයේ එතෙක් පන්දම් පමණක් ගෙනගිය දළදා පෙරහරට ගිනිබෝල එකතු කරන්නට ඉටාගත් ඔහු එවකට දියවඩන නිලමේවරයාව සිටි කුඩා බන්ඩාර නුගවෙල නිලමේ තුමාව හමු විය. අවසරය ලැබිණි. දිනකට රුපියල් දෙකක ගෙවීමක්ද අනුමත විය. කඩුගන්නාවේ සිට බසයක නැඟ නුවරට ගොස් දළදා පෙරහරට සහභාගි වූ කරුණාදාස කන්ඩායමක් ලෙස දළදා පෙරහරේ ගිනිබෝල කරකවන්නට වූයේ 1980න් පසුවය. වයෝවෘද්ධ කරුණාදාස මහතාට දැන් ගිනිබෝල කරකවන්නට බැරි නිසා දැන් ඒ කටයුත්ත කරන්නේ ඔහුගේ පුත්‍රයාය. ඔහු ප්‍රසන්න දෙණියේගෙදරය. වයස අවුරුදු 33කි. පදිංචිය හන්තානේ බෝවල වත්තේය.
“මම අවුරුදු පහේදී තමයි පෙරහරට ගියේ… දැන් මගේ පුතාලත් පෙරහරේ යනවා… අපි ගින්දරට බය නෑ… මගේ කණ්ඩායමත් එහෙමයි… තාත්තාට වයස නිසා 2010න් විතර පස්සේ මම කණ්ඩායම බාරගත්තා… මුලින් පහළොවක් විතර හිටපු කණ්ඩායම දැන් තිස් පහක් විතර ඉන්නවා...දළදා පෙරහරට අපි යන්නේ මුදල් බලාගෙන නොවෙයි… ඒකට ආරාධනා කරන එකම ගෞරවයක් විදියටයි අපි හිතන්නේ… ඒත් අනෙක් පෙරහරවල්වලදි කොන්ත්‍රාත් ක්‍රමයට භාර අරගෙන තමයි යන්නේ…”
ප්‍රසන්නගේ කණ්ඩායම පිරී ඇත්තේ තරුණයන්ගෙනි. ඔවුන්ගේ කණ්ඩායමේ විශේෂත්වය වන්නේ ගිනිබෝලය සහිත ලණුව හිසකෙස් වල බැඳ කැරකවීම නිසාය.
“අපේ තාත්තා ප්‍රසිද්ධ වුණේ ඒ නිසා...ජනාධිපතිවරුන් පවා තාත්තාගේ දක්ෂතාව අගයලා තියෙනවා...සුද්දෝ එහෙම පුදුම වෙලා බලාගෙන ඉන්නවා…”
ප්‍රසන්නලා ගිනිබෝල සකසාගැනීම සිදු කරන්නේ බට ගස් වලිනි. ඒවා නිසි මිම්මට කපා, කම්බිවලින් බැඳ වෘත්තාකාරව සකසාගැනීමම අපූරු කලාවකි. ඊළඟට රෙදි පොට්ටනි සකසා කම්බි දැල්වලින් බැඳ ගිනි බෝල සකසා ගනී. ප්‍රසන්නගේ කණ්ඩායමේ පුරුදුකරුවන්ට මේ වැඩ හුරුය. පුරුදුය. දැන් දැන් ප්‍රසන්නගේ උදව්වට එන්නේ ඔහුගේ පාසල් යන වයසේ පුත්තුය. ඒ මේ දස්කම් ද සමඟ ඉදිරි පරම්පරාවද පෙරහරේ ගිනිබෝල කරකවන බවට ලැබෙන නිහඩ
සාක්ෂියකි.“මිනිස්සු පුදුමයෙන් අපි දිහා බලාගෙන ඉන්නවා… පෙරහරේ යද්දි ලොකු අභිමානෙකින් යන්නේ… දස දහස් ගණනක් බලන පෙරහරක මුලින්ම යන ගිනිබෝල කණ්ඩායම තමයි අපි. අපේ ගිනි බෝලවල එළියට මිනිස්සුන්ගේ මුහුණු කල එළි වෙන කොට අපේ මහන්සියත් ඉබේම නැතිව යනවා…”
දළදා පෙරහරේ කුඹල් පෙරහර අලංකාර වන්නේ එක් ගිනිබෝල කණ්ඩායමකින් වුවද, රන්දෝලි පෙරහරේදි ගිනිබෝල කණ්ඩායම් දෙකක් දළදා පෙරහරට එකතු වේ. ලංකාවේ සුප්‍රසිද්ධ ගිනිබෝල කණ්ඩායමක් වන “වල්පොළ ගිනිබෝල කණ්ඩායම” දළදා පෙරහරට එක්වන අනෙක් ගිනිබෝල කණ්ඩායමයි.
එහි නියමුවා වන්නේ වල්පොළ පදිංචි ඊ.ඩී.තිලකරත්න මහතාය. ඔහුගේ කණ්ඩායම රජයේ ලියාපදිංචි කර ඇත්තේ 1968 දී ය. වසරකට වරක් සිසුන් බඳවාගෙන කලායතනයක් ලෙස පවත්වාගෙන යන වල්පොළ ගිනිබෝල කණ්ඩායම සංවිධානාත්මකව පවත්වාගෙන යන එකකි.
“මේක අංගම්පොර සහ චීනඩි කලාවේ දිගුවක්.. සුද්දා අංගම්පොර තහනම් කළාට පස්සේ ඒකේ ලක්ෂණ එක්ක තමයි ගිනිබෝල බිහි වුණේ… මම ඉගෙන ගත්තේ පෑලියගොඩ සීමන් ගුරුන්නාන්සෙගෙන්. ඉපදුණේ 1953දි. අවුරුදු දහය වෙන කොටත් මම සීමන් ගුරුන්නාන්සේ ගාව ඉගෙන ගත්තා… රස්සාව හැටියට මුලින්ම කළේ වෙළඳාම. පස්සේ මුලින්ම වල්පොළ පෙරහරට තමයි ගිනිබෝල කැරකෙව්වේ…”
කලාවක් පමණක් නොව ඕනෑම ශිල්පයක් පරිණාමය විය යුතුව ඇතැයි තිලකරත්න මහතාගේ අදහසයි. ගිනිබෝල කළවටද එය අදාළ බවත්, තමන්ගේ හැට වසරක ගිනිබෝල හුරුව අනුව, පර්යේෂණ කරමින් ගිනිබෝල කලාව ශිල්පීය ක්‍රම විසිපහක් දක්වා වර්ධනය කළ බවත් ඔහු පවසයි.
“අපි අවුරුද්දකට පෙරහර පනහකට විතර යනවා… කණ්ඩායමේ ශිල්පීන් පනහකට කිට්ටුව ඉන්නවා.. ඒ නිසා අපේ ගිනිබෝල රාමු ගොඩක් වෙලාවට හැදෙන්නේ යකඩෙන්… රාමුවක් කිලෝ අටකට වඩා බරයි… හැමෝටම හොඳ වැටුපක් දීලා විනයක් ඇතිව පවත්වාගෙන යනවා.. දැන් මටත් වඩා මේ ගැන බලන්නේ මගේ පුතාල දෙන්නා තමයි ”
වල්පොළ ගිනිබෝල කණ්ඩායම පළමුව දළදා පෙරහරට එක්වන්නේ 1986 දීය. 1989 දී තිලකරත්න මහතාගේ ලොකු පුතා මුල් වරට දළදා පෙරහරට ගිනිබෝල කැරකවු අවස්ථාව ජනමාධ්‍යවල පවා අවධානයට ලක්වූ බවත්, එවර සහභාගීවූ ළාබාලතම ශිල්පියා ලෙස තම පුත්‍රයා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා අතින් සහතිකපත් ලබාගත් බවත් තිලකරත්න මහතා කියන්නේ ආඩම්බරයෙනි.
“දැනටත් මගේ කණ්ඩායමේ මගේ මුනුපුරා ඉන්නවා… මෙවර දළදා පෙරහරෙත් ඔහු ඉන්නවා… අපේ කණ්ඩායමේ තිස් දෙනෙක් මේ පෙරහරට සම්බන්ධ වෙනවා… අපි දළදා පෙරහරට යන්නේ මුදල් බලාගෙන නොවෙයි… හැබැයි අපේ කණ්ඩායමට හොඳ ගෙවීමක් පෙරහර කමිටුවෙන් ලැබෙනවා…” “අපි පෙරහරේ යද්දි අලංකාරය මතු වෙන විදියට තමයි කණ්ඩායම පෙළ ගස්වන්නේ...ඒ නිසාම පෙරහරට හොඳ පෙනුමක් එනවා…මිනිස්සු අපේ කණ්ඩායම් දකිද්දිම හිත් පහන් කරගෙන ඉවරයි… ඒ මුහුණූ දකිද්දි, දළදා වහන්සේට දක්වන ගරුත්වයෙන්ම අපි දිහා බලද්දි ඇති වෙන හැඟීම කියන්න නම් බෑ…”
දළදා පෙරහරට සහභාගි වන ඕනෑම කණ්ඩායමක් පෙරහරට සහභාගි වන්නට පෙර දළඳා වැඳ, සිවු දේවාලවලට ගොස් ආශිර්වාද ලබාගනී. අනතුරුව පෙරහරට සහභාගී වන ඔවුහු මහ දේවාලයේ පවත්වන “වලියක් මංගල්‍යයට”ද සහභාගි වී වස්දොස් දුරුකරගනිති. කසකරුවන්ටත්, ගිනිබෝල කරුවන්ටත් ඒ කරුණු එක සේ පොදුය.
පෙරහර පෙරටුව එන කසකාරයන්, ගිනිබෝලකරුවන් පෙරහර ළඟ එන සලකුණු හැඟවූව ද පෙරහර නරඹන බොහෝ දෙනා විමසිලිමත් වන්නේ කරඬුව ගෙන යන ඇතුන්ද, සෙසු ඇතුන්ද, නැටුම් කණ්ඩායම්ද දකින්නටය ඔවුන්ගේ හැඩරුව සහ දක්ෂතා ගැන කතාකරන්නටය එහෙත් අභිමානයෙන් යුතුව පෙරහර පෙරමඟ එන කස කාරයන්ටත්, ගිනිබෝල කරුවන්ටත් කියන්නට කතාවක් තිබිණි. ඒ කතාව කියවූ ඔබට හෙට දිනයේදී පෙරහැර පෙරමඟ එන ඔවුන් වඩාත් හොඳින් දකින්නට අවකාශ ලැබෙනු ඇත.
ඡායරූප - ශාන් රඹුක්වැල්ල/
චාමින්ද නිරෝෂණ/ සුදම් ගුණසිංහ