පෙර පින පෙන්වන අත්ලේ රේඛා | සිළුමිණ

පෙර පින පෙන්වන අත්ලේ රේඛා

ඔබ පෙර ආත්ම භවයේ කරන ලද කර්මය කියාපාන රේඛා රැසක් ඔබේ අල්ලේ වැටේ. ජ්‍යෝතිෂ විද්‍යාවේ කියැවෙන කාල සර්ප යෝගය අල්ලේ ද සනිටුහන් වන්නේ ය. එය අල්ලේ වැටෙන්නේ පළදෙන කාලයත් සමඟය.

කාල සර්පයෝගයක් කී පමණින් බොහෝ දෙනා බිය වෙති. එහෙත් එය එක් අතකින් ඔබේ ජීවිතය පුදුමාකාර අන්දමට වෙනස් කරයි.

මනුෂ්‍ය ජීවිතයක් කඩා වැටෙන්නා සේ ම කාල සර්පයෝගය යෙදුණු විට සමහර අයගේ ජීවිත රටාව නව පෙරැළියකට ගෙන ගොස් සම්පූර්ණයෙන් ම මහා දියුණු තත්ත්වයකට - (පෙරළිකාර තත්වයකට) පත්ව සිටින අය ද බොහෝ ය.

පෙර කළ කුසලා - කුසල කර්මය මත ම සිදුවන මෙය ඔබ කේන්ද්‍රයේ යෙදුණු විට බිය නොවිය යුතුය යන්න මගේ ස්වාධීන මතයයි.

මා දන්නා රටේ ඉහළ ම පවුලක උපන් කාන්තාවක විවාහ වී පැණි කුරුලු ජෝඩුවක් සේ එක මුතුව සිට පසුව විවාහය දෙදරා ගියේය. ඔවුන් දෙදෙනාගෙන් ස්ත්‍රියගේ අල්ලේ කාල සර්ප යෝග රේඛාවක් දක්නට ලැබුණි. ඒ මාතෘ රේඛාවේ ය. මේ රේඛාව දුටු විට මම මේ දෙදෙනාට එක් අවවාදයක් කෙළෙමි.

“මේ කාලයේ පරෙස්සම් වන්න. ඔබේ මාතෘ රේඛාවේ වගේ ම ශිර්ෂ රේඛාවේ ද දූපත් දෙකක් වැටී තිබෙනවා. දැඩි මානසික පීඩනයකට පත්වන්න පිළිවන්.”

ඔවුන්ගේ පිළිතුර වූයේ කේන්ද්‍රයක තිබුණු පළියට මේවා සියල්ල ම සිදුවේද යන්න ප්‍රශ්නයක් බවයි.

මුදල් දීලවත් එය නවත්වන්න පිළිවන් නම් හොඳ යැයි මම කීවෙමි. සෙනසුරු දශාව කේන්ද්‍රයේ යෙදෙන බව උගත් ජ්‍යෝතිෂවේදියෙකු පවසා ඇයට කාල වකවානුවක් ද දී තිබුණි.

“මුදලුත් බලයත් ආ විට මනුෂ්‍යයින් අතර සිටින ඇතැමුන් පිස්සු නටන්නේය.” මෙය ස්වභාවිකව බොහෝ දෙනාට සිදුවන ක්‍රියාවකි.

එය පැණි කුරුලු ජෝඩුවක් සේ සිටි දෙදෙනාට පටිසන් දුන්නේ දෙ ආකාරයකටය.

තරුණ බිරිය කඩවසම් තරුණ සැමියා සැක කරන්න පටන් ගත්තාය. ඒ වෙනත් කාන්තාවකගේ ඇසුරක් ඇති බවට චෝදනා කරමිනි.

සැමියා තමාගේ නිවැරැදි භාවය කියා පි‍ංසෙන්ඩු වුවත් බිරිය පිළිගත්තේ නැත. බලයත් ධනයත් සිය පවුලට හිමි ව තිබූ නිසා අහංකාරයෙන් සිටි ඇය සිය දෙමවුපියන් සොයා ආපසු ගොස් නිල නිවෙසේ රැඳුණාය.

ඇයට සිදුවන්නට යන විපතින් ඇය මුදවා ගන්නට ආදර සැමියා නොකළ දෙයක්න නැත. ඇයට අපල කාලය පෙන්වා දී එයින් මිදෙන‍ ලෙස ඔහු බලවත් සෙනෙහසින් ඉල්ලා සිටියේ තමාගේ කේන්ද්‍රයේ රාජයෝග ඇති බවද දක්වමිනි.

එහෙත් ඇය ඔහුගේ අවවාද පිළිගත්තේ නැත. ඔහු අත්හැර දමා ගියාය. එහෙත් ඇය නිකම් සිටියේ නැත. සැමියාට බොරු නඩුවක් දමා අපහාසයට පත් කර විනාශ කරන්නට ද සිතුවේය. නීතිඥයෙකු ද අල්ලාගෙන සැමියා උසාවි ගෙනාවේය. ඒ සැමියා හිර කූඩුවේ දමා වෙනත් ඇසුරකට යෑමේ බලාපොරොත්තුවෙනි.

උපායශීලීව සැමියා නඩුවට ද පටලවා ඇය නිදහස් වූවාය. ඇය තවමත් අලුත් සැමියෙකු සොයන්නීය.

සැමියාගේ කේන්ද්‍රයේ කාල සර්ප යෝගයෙන් ඔහු මහා ධනවතකු වූයේ තවත් රූමත් තරුණ කාන්තාවකගේ ද ඇසුර ලබා දෙමිනි.

මනුෂ්‍යයෙකුගේ කර්මය හා ඒ පිටුපස මහා නොපෙනෙන තිරයක් තිබේ.

කල්පයක් සඳහ ජ්‍යෝතිෂ සිද්ධාන්ත මහා යුග 71 කි. ඒ මහා යුගයක් සම්පූර්ණ වීම සඳහා කෘත - නේත්‍රා - ද්වාපර - කලියුගය නමැති උප යුග හතරකි.

මෙම මහා යුගයේ අවසාන භාගය, කලියුගයේ අවසාන කාලය තුළ විශ්ව තලයේ වාසය කරන මිනිස් සත්ව කොටස් හා ගස් කොළන් ද විනාශයට පත්වේ. ගුණ දහමින් ද මනුෂ්‍ය වර්ගයා පිරිහෙන්නාහ.

පව් පින් තේරුම් නොගන්නෝ එමට ය.

එහෙත් ස්වභාව ධර්මයට අනුව පව්කාර අයට එක් ලෝකයකුත් පින්කාර අයට තවත් ලෝකයකුත් ඇතැයි ආගමික ශාස්තෲන් පෙන්වා දුන්නේ ඒ නිසා ය.

ඉතින් අද ධර්මයට පිටුපා කටයුතු කරන අය වැඩිය. කර්ම දොළහක් පදනම් කරගත් ග්‍රහචාර වළල්ලක ඔබ උපත ලබයි. ඔබ කරන ලද කර්මපල විපාක අල්ලේ ද දෙ‍පයේ ද මුහුණේ ද සිරුරේ ද සටහන් වේ.

මනුෂ්‍යයෙකුගේ ජීවිතය පිළිබඳ විවිධ තොරතුරු හෙළි කරන අල්ලේ වැටෙන රේඛා අතර පුදුමාකාර රේඛා රැසකි.

සාමුද්‍රිකා ඍෂිවරුන් විසින් මෙම රේඛා බොහොමයක් හඳුන්වා දී ඇත්තේ කාල සර්ප රේඛා නාග ශීර්ෂ රේඛා ඊතල රේඛා ගිනි කඳ විවර රේඛා වශයෙනි. මනුෂ්‍යයෙකු ගේ ගති පැවතුම් ක්‍රියාකාරකම් හෙළි කරන එවැනි රේඛාවන්ගෙන් එකක් දෙකක් හෝ අල්ලක දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.

අල්ලක ඒ ඒ මංඩල තුළ වැටෙන මේ රේඛාවලින් කියැවෙන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කාන්තාවක හෝ කරන කියන දෑය. පතාගෙන ගෙනා දෑය.

මනුෂ්‍යයෙකු උපදින වෙලාව අනුව සකසන කේන්ද්‍රය තුනට පැමිණියා වූ ශනි කුජ රවි යන ග්‍රහයින් කරණ කොට ගෙන ජ්‍යෝතිෂය අනුව “සර්ප” නම් යෝගය වන්නේය.

එවැනි උත්පත්තියක් ලද්දා වූ පුද්ගලයා දුක් ඇත්තා වූ කෙනෙක් වන්නේ ය. එපරිද්දෙන් ම කේන්ද්‍රයෙහි සිටි ගුරු ශුක්‍ර බුධ යන මොවුන් කරන කොට ගෙන දළ නම් යෝගය වන්නේ ය. එහි උපන් අයට භව භෝග සම්පත්තිය ධනය දෙන්නේය.

අතරක් නැති කේන්ද්‍රයන්ට ගියාවූ ග්‍රහයින් ගෙන් ආකෘති යෝග අටළොසක් (18) ක් වෙති. මේවා අතරින් ග්‍රහයින්ගේ ගමන අනුව ප්‍රථම වූ “ගද්‍රා යෝගය” වන්නේය.

මේ අය යාග කරන්නන්ද වස්තුව ඇත්තන් ද ධනයෙහි ආශා ඇත්තන් ද වන බව දෛවඥ කාමධෙනුවේ කියැවේ. ‘ශකට යෝගය’ ගැල්පෑවන - පිළිකුල් කරන ලද දරුවන් භාර්යාව ඇත්තන් ද “විභංග යෝගය” කළහ කරන්නන්ද “ශෘංගාවක යෝගය” අන්තිම කාලයෙහි සැප විඳින්නන්ද ‘හල යෝගය’ වැවිලිකරුවන් ද “පද්ම යෝගය” ධනවතෙකු වන බවට ද ආදී වශයෙන් විවිධ චරිත මේ යෝග දහඅටේ උපදින බව පෙන්වා දී ඇත්තේය.

මෙය සාමුද්‍රිකා ඍෂිවරුන් පෙන්වා දී ඇත්තේ අල්ලේ රේඛාවලිනි.

මිනිස් අල්ලේ ප්‍රධාන රේඛා හතකි. ඒ හතෙන් විස්තර වන්නේ විශ්වය තුළ පවතින ශක්ති බලවේගයන්ය. ග්‍රහ තාරකා කිරණයන්ය. මෙම කිරණ ශක්තිය සප්ත ආකාරයකි. ග්‍රහයින් හත්දෙනාගේ ගමන් අනුවය.

මිනිස් අ‍ල්ලේ රේඛා වැටෙන්නේ තත්පරයක දශම .01 කටත් අඩු කාලයක ඍධි වේගයකිනි.

කාලානුරූපව එය සිදුවේ.

ඒ කාල යෝගයයි. කාල විෂ යෝගය - කාල සර්ප ‍යෝගය ලෙස අල්ලේ දිස්වේ. මහා භාරතයේ සාමුද්‍රිකා ශාස්ත්‍රයේ දෙවියන්ගේ රේඛා ලෙස සැලකේ. ශිව දෙවියාගේ බලය, ඊස්වර රේඛාව කාලි රේඛාව හා ලක්ෂ්මී රේඛාව මේ ආදී වශයෙන් හස්තයේ රේඛා විස්තර කෙරේ.

දෙවියන්ට ප්‍රිය වූ විට යහපත් සිතුම් අනුව සම්පත් රේඛා වැටෙන බව ජන විශ්වාසයයි.

කාල සර්ප යෝග රේඛා

මෙම රේඛාව වශයෙන් සලකන්නේ කිසියම් රේඛාවක ආරම්භයේදී හෝ අතර මඟදී දූපත් සලකුණ ඇති ඒවාය. මෙහි අංක 1 පීතෘ රේඛාව (ජීවන රේඛාව) බලන්න. මෙවැනි රේඛාවක එවැනි විවර දූපත් ඇති කාලය ජීවිතයේ බිඳ වැටීම් සිදු වන්නේය. එයට කාල සර්ප රේඛාව යැයි කියමු.

කාල සර්ප ජීවන රේඛාවේ මෙබඳු ලකුණක් ඇතිව යෙදුණු විට බාල වියේදී නොයෙකුත් දරුණු දෑට මුහුණ පෑමට සිදුවේ. මෙම සලකුණ අවජාත දරුවන්ගේ අල්ලේ ඇතිවෙන බව එක් මතයකි. එහෙත් ඒ කාලය පියා මව ඇසුරෙන් ඈත්වන අයට පිහිටයි.

එහි රේඛාවේ දූපත වැටෙන කාලයේදී ඔහුගේ ධන හානි විවාහ බිඳ වැටීම් දරුවන් ඈත්වීම් සිදු වන බව සරල මතයයි. කාල සර්ප යෝගය යෙදෙන්නේ කිනම් වකවානුවකදැයි එහි වැටෙන ලක්ෂණ වලින් මැන ගත යුතුය. අල්ලේ සෙසු මංඩලවල රේඛාවන් ද මේ පිළිබඳ සලකා බැලිය යුතුය. කාල සර්ප යෝගය පෙර පාප පටිසන් දෙන ලක්ෂණයකි.

නාග ශිර්ෂ රේඛාව

ශිර්ෂ රේඛාවේ මෙවැනි දූපත් ලක්ෂ වැටුණු විට එයට නාග ශිර්ෂ රේඛාව යැයි සාමුද්‍රිකා ශාස්ත්‍රයේ කියැවේ.

මෙවැනි අය තදියම් හදිස්සිකාරයෝය. කුජ මංඩලයේ මෙම ලක්ෂණය වැටුණු විට දරුණු පළිගැනීම් ක්‍රියා කරන්නෝය. පාලකයෙකුට මෙවැනි සලකුණක් වැටුණු විට දරුණු රාජ්‍ය පාලනයක් ගෙන යයි. (අංක 2) ශිර්ෂ රේඛාවේ කාල සර්ප නාග ශිර්ෂ ලක්ෂණය වැටුණු විට බොහෝ දෙනාගේ විවාහය පවා අවුල් කර ගනියි. අප්‍රසන්න තත්වයට මහජනයා අතර පත්වෙති.

අභ්‍යන්තර ශරීර සෞඛ්‍ය තත්ත්වය පිරිහීම මානසික පීඩා රෝගවලට පාත්‍රවීම සිදුවේ. මෙම දර්ශනය යම්තාක් කල් දෑතේම දිස්වේද ඒ තාක්කල් එය පවතී. නාග ශීර්ෂ රේඛාව චන්ද්‍ර මංඩලයට වැටී ඇත්ද (අංක 3) නොවරදවාම ඒ තැනැත්තා උන්මාදයෙකු බවට පත්වන්නේය.

නාග ශිර්ෂ රේඛාව රවි මංඩලයට අත්වේද එය පවතින තාක් කල් ඒ පුද්ගලයාට ගරුත්වයට - නම්බුවට රැකියාවට හානි පැමිණේ (අංක 4) එවැනි අවස්ථාවක රැකියාවෙන් පහත වැටීම ද ව්‍යාපාරයක නම් එය බිඳ වැටීම ද සිදුවේ. මුදල් හානි ද වේ.

බුද මංඩලයට වැටී ඇත්නම් විවාහ රේඛාවේ ගැටී ඇත්නම් විවාහය බිඳ වැටේ. නැතිනම් දෙදෙනා ඒ තාක් කල් වෙන්ව සිටියි. (අංක 5)

කාල සර්ප දෛව රේඛාව

කාල සර්ප දෛව රේඛාව පිරිමි හස්තයක වැටුණු විට උරුම කරුමයෙන් ලබන වස්තුව විනාශ කර ගන්නේ නොදැනිවය. මෙවැනි අය විවාහක අය ස්ත්‍රීන් හෝ වෙසඟනන් පසු පස ඔවුන් පිනවීමට යන්නෝය. තමන් සතු ධනය පිරිහීමක් ඇති කර ගනියි. මෙම රේඛාවේ මුල මැණික් කර මුදුනේ මත්ස්‍ය ලාංඡනය හෝ නෙළුම් මල් දර්ශනය මීට වඩා වෙනස්ය. වස්තුව ලබන්නේ අනියම් ආකාරයෙනි.

මෙය කිසියම් ස්ත්‍රී අල්ලක වැටී තිබුණ විට ඇය තමාට වඩා වැඩිමහල් කෙනෙකු සමඟ හාද කම් පවත්වා ගනී. ඒ ගැන අල්ලේ භාතෘ ස්ථානයේ වැටෙන රේඛා බලා නිගමනය කළ යුතුය. විවාහ රේඛා තුළ ද ඒ දර්ශන ඇතිවිය යුතුය. (අංක 6)

සිකුරු කුජ ඊශ්වර රේඛාව

මෙම සටහන කිසියම් අල්ලක වැටෙන්නේ සිකුරු මංඩලය තුළය. එය ඊශ්වර ඊතලයක් ලෙසය. (අංක 7) මෙවැනි අය ස්ත්‍රී සම්පත් ලබන්නේය. ස්ත්‍රියක් නම් පර පුරුෂ සම්පත් ලබන්නීය. මෙය මත්ස්‍ය රූපයක ආකාරයට විහිදී ඇත්නම් රාජ මැදුරක සැප සම්පත් විඳින කාන්තාවකි. මෙය මත්ස්‍ය ඊශ්වර රේඛාවයි.

කුජ මංඩලයෙන් එන ගිනි කඳු විවර රේඛාව

මෙය තාරකා හෝ ත්‍රිකෝණ ලක්ෂණයකින් ආරම්භ වන්නේය. මෙවැනි අය අපරාධ නඩුවලට පැටලේ. මෙය ඊතල ආකාරයට වැටුණු විට ජීවිතයේ නොයෙක් කරදරවලට පත්වේ.

(තවත් කොටසක් ලබන කලාපයට)

Comments