
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රබල උනන්දුව මත ක්‍රියාත්මකවූ අද රටේ දිස්ත්‍රික්ක 8කට ප්රතිලාභ දෙන මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘති ගණනාවකි. මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වයඹ මහඇළ ව්‍යාපෘතිය ඒ අතර සුවිශේෂ ව්‍යාපෘතියකි.
බෝවතැන්න අසල සිට වයඹට කිලෝමීටර් 96ක මහ ඇළක් කපන මේ ව්‍යාපෘතිය අරඹන්නේ බෝවතැන්න ලෙනදොර සිට ය. බෝවතැන්න ජල විදුලි බලාගාරයෙන් අඹන් ගඟට ගිය ජලය හා නාලන්දාවෙන් බෝවතැන්නට ගිය ජලය ද උපයෝගි කරගෙන ය. මොරගහකන්ද ජලාශය තිබෙන නිසා දැන් මේ ජලය අඹන් ගඟට ලබාදීම අවශ්‍ය නැත. එම ධාරිතාව සම්පූර්ණයෙන් ම දැන් වයඹ හා මධ්‍යම පළාත්වල ප්‍රයෝජනයට ලබාදීම වයඹ ඇළ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ. මේ යටතේ මුලින් ම කරන්නේ මේ බෝවතැන්නෙන් දඹුලු ඔයෙන් හා නාලන්දා ජලාශයෙන් එන ජලය වෑමැඩිල්ල ව්‍යාපාරය හා දේවහූව ජලාශය වෙත රැගෙන යෑමට ඇළ මාර්ග හා නිර්මිත සංවර්ධනය කිරීමයි. ඊට පසු නාලන්දා ජලාශයේ ජලය බෝවතැන්නෙන් එන මහවැලි ජලය කුරුණෑගල දිස්ත්‍රික්කය වෙත ගෙන යාමට, ගබඩා කිරීමට අමතර ඇළ මාර්ග හා නිර්මාණ හා ජලාශ සංවර්ධනය කෙරේ. බෝවතැන්න ජලාශයේ සිට දැනට දඹුලු ඔය වෙත යවන ජල ප්‍රමාණය ව්‍යාපෘතිය යටතේ දෙගුණ වන අතර ඒ ජලය පළමු වන අදියරේදී ඉදි කළ ඇළ මාර්ග පද්ධතිය වෙත මුදා හැරීම වෑමැඩිල්ල ජලාශය අසලදී සිදු කෙරෙනු ඇත.
වයඹ ඇළ කිලෝමීටර් 96ක් දිගින් යුක්තව මීටර් 3.5ක් පළලට ඉදි කෙරේ. එය බෝවතැන්න ලෙනදොර සිට ගල්ගමුව ඇහැටුවැව දක්වා ඉදිකෙරෙන අතර ඉන් වයඹ හා මධ්‍යම පළාත්වල කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 8ක් මහවැලි දියවරෙන් පෝෂණය වේ.
මෙතෙක් කල් වකුගඩු රෝගය, ජලය හිඟකම, දරිද්‍රතාව, ෆ්ලෝරෝසියාව සමඟ අලි කරදර නිසා දුක් වින්ද වයඹ ගම්බද හා අර්ධ නාගරික ජනතාවට ඇති තරම් වාරි ජලය හා පානීය පිරිසුදු ජලය දෙන වයඹ මහ ඇළ ව්‍යාපෘතිය 2016 දී ආරම්භ වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීම මත ය. එහි ප්‍රථම අදියර 2020 අවසන් වන අතර දෙවන අදියර 2024 දී අවසන් වන බව මහවැලි ජල සුරක්ෂිතතා වැඩසටහනේ වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා පවසයි.
මේ අනුව මේ ව්‍යාපෘතිය යටතේ මාතලේ දේවහූව වැව ඇතුළු මහවැව් 8කට හා වයඹ හා මධ්‍යම දෙපළාතේ කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් 350කට මහවැලි දියවර ලැබේ. මේ ජලය මීට පෙර බෝවතැන්නෙන් අඹන් ගඟට ගොස් වැඩිපුර වැස්ස ඇති කාලවලදී පහළ ප්‍රදේශයේ ගංවතුර ද ඇති කර වැඩක් නොගෙන මහවැලි ගඟ ඔස්සේ මුහුදට ගිය ජල ස්කන්ධයකි.
මේ යටතේ වැඩිම වැව් ප්‍රමාණයක් පෝෂණය වන්නේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය ඇතුළතය. ඒ වැව් ප්‍රමාණය 119කි. ඊට අමතරව මහව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැව් 107ක් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වැව් 91ක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 30ක් ද දඹුල්ලේ වැව් 5කට පලාගල ප්‍රදේශයේ එක් වැවක් ද මහවැලි ජලයෙන් පුරවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ අෙශා්ක පෙෙර්රා මහතා පවසයි.
මීට අමතරව ලෝකයේ සුවිශේෂ ජල සංරක්ෂණ පද්ධතියක් ලෙස සම්මාන ලබා ඇති අපේ එල්ලංගා පද්ධති වලට ජලය ලබාදීම මේ ව්‍යාපෘතිය මඟින් සිදුකිරීම විශේෂත්වයකි. ඒ අනුව මීඔය, හත්වටුනාඔය කලාඔය මානින්ගමුව, හැලඹගහමුල ඇහැටුවැව උල්පතවැව, පොල්පිතිගම, කාතරගම යන එල්ලංගා පද්ධති සඳහා ද ජලය ලැබී සංවර්ධනය වනු ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහකිතුල, හක්වටුණ ඔය, පාළුකඩවල, අතරගල්ල, අඹකොළවැව වැනි විශාල වැව්වලට මේ ව්‍යාපෘතියෙන් ජලය ලැබේ. වකුගඩු රෝගීන් බහුලව වෙසෙන පොල්පිතිගම හා නිකවැව ආශ්‍රිත ප්‍රදේශවලට මහවැලි පිරිසුදු ජලය ලබාදීම ඒ ජනතාවගේ ඉතා සතුටට කරුණකි. වකුගඩු රෝගයෙන් බේරීමට මගකි. ව්‍යාපෘතිය මඟින් වසරකට ජලය යන ලීටර් දස ලක්ෂ 130ක් මෙම ප්‍රදේශයට ලබාදෙන අතර ඉන් සියයට 10ක් පිරිසුදු පානීය ජලය ලෙස වෙන් කර ඇත.
මේ අනුව සමස්ත ලෙස ගත් විට වයඹ ඇළ ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු කොටස වෙත ලැබෙන ජලය ප්‍රමාණය වාර්ෂිකව අක්කර අඩි 105000ක් බව මහවැලි ජල සුරක්ෂිත වැඩසටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා පවසයි. සම්පූර්ණ ව්‍යාපෘති වියදම රුපියල් කෝටි 3000ක් වන අතර 2024 වසර අවසන් වීමට ප්‍රථම මේ ව්‍යාපෘතිය නිසා පුද්ගලයන් ලක්ෂ 2කට ප්රතිලාභ ලැබීමට නියමිතය.
මේ ව්‍යාපෘතිය යටතේ හක්වටුණ ඔය ජලාශය යටතේ හෙක්ටයාර 2500ක් පමණ ද මී ඔය ජලධාරා පද්ධතියේ හෙක්ටයාර 3500කට ඇතුළුව මුළු ගොවිබිම් අක්කර 12000ක් යල මහ අස්වැද්දීමට අවශ්‍ය ජලය ලැබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජල හිඟයෙන් පීඩා විඳින ප්‍රදේශ වන පොල්පිතිගම, මහව, ඇහැටුවැව, අඹන්පොළ හා ගල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මහවැලි ජලය ලබාදී එම බිම් සරු කිරීම මෙම වයඹ ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඊට අමතරව සංවර්ධනය කෙරෙන ඇළ මාර්ග මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, නාවුල ප්‍රදේශවල කුඩා වැව් වෙත ජලය ලබාදීමත් වෑමැඩිල්ල හා දේවහූව මහ වාරි ව්‍යාපෘතිවලට සුරක්ෂිත ජල සැපයුමක් ලබාදීමත් මේ ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ.
මේ සමඟම අගෝස්තු 24 වැනිදා පෙරවරුවේ මෙරට ප්‍රථම වරට එල්ලංගා පද්ධති හා සබැඳුණු ග්‍රාමීය වැව් 2400 පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමේ සමාරම්භක උලෙළ ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනේ අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා පවසන පරිදි මේ මඟින් වයඹ, උතුරු මැද, උතුරු හා ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැව් 2400ක් පිළිසකර වේ. එක් වැවක් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් දස ලක්ෂ 7ක් වැය වන අතර මේ අනුව මුළු ව්‍යාපෘතියටම වැය වන මුදල රුපියල් කෝටි 1680කි. මේ අනුව වයඹ පළාතේ වැව් 242ක් ද අනුරාධපුරයේ වැව් 352ක් ද මාතලේ දිස්ත්‍රික්කයේ වැව් 35ක් ද උතුරු පළාතේ වැව් 1200ක් ද ඌව පළාතේ වැව් 96ක් ද ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ. මේ මඟින් අනුරාධපුරය, වවුනියාව, මන්නාරම, යාපනය, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොනරාගල, බදුල්ල හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය හා වාරි ජලය නොඅඩුව ලබාදීමට කටයුතු කෙරේ. ඒ සමඟම කිරිඳිඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ නිම්නය උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරේ. ඒ මඟින් තණමල්විල, වැල්ලවාය, හම්බන්තොට ආදී ප්‍රදේශවල ජනතාවට ප්රතිලාභ රැසක් හිමි වේ.
වැව් 2400ක් පිළිසකර කිරීමේ කටයුතු සිදු කෙරෙන්නේ හඳුනාගත් කාලගුණික හා දේශගුණික විපර්යාසවලට ගොදුරුවී අක්‍රීය වී ඇති එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද වශයෙනි. මීඔය, උමා ඔය, මල්වතු ඔය, යාං ඔය ආශ්‍රිතව මේ කටයුතු ක්‍රියාත්මක වන අතර එම ප්‍රදේශවල ජනතාවට මේ මඟින් දිගු කාලීනව වාරි හා පානීය ජලය නොඅඩුව ලැබීමේ භාග්‍ය ද උදාවේ.
මේ වැඩපිළිවෙළ මඟින් පූර්ණ කාලීනව රටේ ලක්ෂ 5කට අධික ජනතාවකට සෙත සැලසේ. එමෙන් ම මෙය රටේ කෘෂිකාර්මික වාරිමාර්ග, සෞඛ්‍ය හා ආර්ථික ක්ෂේත්රවල ප්‍රවර්ධනය ඇති කරන සුවිශේෂ ජන හිතකාමී ව්‍යාපෘති දෙකක් ලෙස ද හැඳින්විය හැකි ය.