
වර්තමානයේ රියැදුරු සහායකයාට දුම්රිය නියාමකවරයා හෝ රියැදුරා යම් වගකීමක් පැවරුවහොත් එය ප්‍රතික්ෂේප කිරීමේ බලයක් නිල වශයෙන් ඔහුට හිමි නොවේ. එය ප්‍රතික්ෂේප කළහොත් යම් විනයානුකූල පියවරක් ගැනීමට හැකියාවක් ඇති නමුත් පසුගිය කාලයේදී රියැදුරු සහායකයන්ගේ ශ්‍රේණිය ඉහළට ගෙන ඒම නිසා එම කනිෂ්ඨ සේවකයන් මේ වන විට දුම්රිය රියැදුරු වැටුපට ආසන්න වැටුපක් ලබන තත්ත්වයට පත්ව ඇති අතර ශ්‍රේණියද ඉහළ නැඟ ඇත. මේ නිසා රියැදුරන් හෝ නියාමකවරුන් විසින් පවරනු ලබන යම් කාර්යයක්ප්රතික්ෂේප කළහොත් ඔවුන්ට විරුද්ධව විනය පරීක්ෂණ පැවැත්වීමේ ගැටලුවක්ද මතු වනු ඇත. එයද විසඳිය යුතු බරපතළ ප්රශ්නයකි.
පසුගිය වසර 5කට ආසන්න කාලයක් තුළ විවිධ වෘත්තීය සමිති හා රාජ්‍ය ආයතනවල පවත්වන ලද වර්ජන නිසා රටට බිලියන ගණනක ආර්ථික හානියක් සිදු වූ බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය. එම මුදල් ප්‍රමාණය ඉතිරි වූයේ නම් කොළඹ සිට යාපනය දක්වාම අධිවේගී මාර්ගයක් ඉදි කළ හැකි බවද අනාවරණය විය.
මේ වර්ජන ගර්ජන පිකටිං රැල්ල වඩාත් උග්‍ර වූයේ 2006 වසරෙන් පසුවය. එයට හේතු වූයේ 2006 වසරේ දී රාජ්‍ය සේවාවට නව චක්‍ර ලේඛයක් හඳුන්වා දීමයි. මේ චක්‍ර ලේඛයට අනුව සියලුම රාජ්‍ය සේවකයන් එකම ව්‍යුහාත්මක උසස්වීම් පටිපාටියකට හා වැටුප් තලයක් කරා යොමු කරන ලදී.
6/2006 චක්‍රලේඛය නමින් ආරම්භ වූ මේ චක්‍ර ලේඛය නිසා පෙර පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මෙන්ම යහපාලන ආණ්ඩුවටත් එහි පාපය ගෙවන්නට සිදුව ඇත.
රාජ්‍ය සේවාවේ සංවෘත හා විවෘත යනුවෙන් පැවැති ක්‍රමවේදය මේ 6/2006 චක්‍රලේඛය නිසා මුළුමනින්ම කණපිට හැරිණි. විශේෂයෙන්ම දුම්රිය, තැපැල්, සෞඛ්‍ය සේවාවන් හි මේ නිසා අර්බුද අලුතින් නිර්මාණය වන්නට පටන් ගත්තේය. සංවෘත රාජ්‍ය දෙපාර්තමේන්තු ලෙසින් හැඳින්වූයේ එම දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ සේවාවන්හි නිරතව සිටි සේවකයන් සේවය කරනු ලබන දෙපාර්තමේන්තුයි.
උදාහරණ ලෙසින් දුම්රිය රියැදුරන්ට මෙරට සේවය කළ හැකි වෙනත් ආයතනයක් හෝ සේවා ස්ථානයක් නොමැත. තැපැල් සේවකයන්ටද එසේමය. සෞඛ්‍ය අංශයටද එසේමය. හෙදියන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කළ නොහැකිය. තැපැල් සේවකයාට ගොස් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළ නොහැකිය.
එහෙත් විවෘත රාජ්‍ය සේවය හෙවත් ඒකාබද්ධ රාජ්‍ය සේවාවන්හි සේවාව මීට වෙනස්ය. කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කරන සේවකයාට ඉඩම් දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට හෝ මාරු වී ගොස් සේවය කළ හැකිය. එවන් මාරු කිරීම් මෙන්ම මාරු කර ගැනීම්ද නිරතුරුවම සිදු වේ.
රාජ්‍ය සේවයේ තිබූ මේ විවෘත හා සංවෘත සේවා ක්‍රම නිසි අයුරින් අධ්‍යයනය නොකර ඉදිරිපත් කළ 6/2006 අච්චාරු ක්‍රමවේදයේ ප්‍රතිඵල කෙසේ වුවත් වර්තමානයේ රාජ්‍ය වැටුප් වැඩිකිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද දැඩි විමර්ශනයක නියැළීමට සිදු වේ. එයට හේතුව වන්නේ රාජ්‍ය ආදායම වැඩි වශයෙන්ම වියදම් කළ යුත්තේ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා ලබා ගත් ණය ගෙවීමට හා රාජ්‍ය සේවක වැටුප් සඳහා වීමයි. එක් පිරිසකට වැටුප් වැඩි කිරීමේ දී සමාන්තර හෝ වෙනත් සේවාවන්ට එය බලපාන්නේ නම් ඒ සියලු ශ්‍රේණින් දෙස බලා කටයුතු කළ යුතුමය.
මේ වන විට මෙරට රාජ්‍ය හා සංස්ථාපිත මණ්ඩල හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරනු ලබන සමස්ත සේවක සංඛ්‍යාව 1375499 කි. එයින් ඍජුවම රාජ්‍ය දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ ආදියෙහි සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව 1141650 කි. එම රාජ්‍ය සේවක පිරිසට පමණක් වැටුප් ගෙවීම පිණිස රජය වාර්ෂිකව රුපියල් බිලියන 705ක අතිවිශාල වැය බරක් දරයි. 2015 වසර වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වාර්ෂිකව වෙන් කළ යුතු මුදල වූයේ රුපියල් බිලියන 405ක මුදලක් පමණි.
එහෙත් යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට වැඩි කරන ලද රුපියල් 10000ක මුදලත් සමඟින් අතිරේකව බිලියන 300ක මුදලක් වැටුප් සඳහා වැය කරන්නට සිදුව තිබේ. මේ නිසා වාර්ෂිකව වැටුප් සඳහා මේ වන විට රුපියල් බිලියන 705ක මුදලක් වෙන් කළ යුතුය. එසේම වැටුපට අමතරව රාජ්‍ය සේවකයන්ට රුපියල් 7800ක මාසික ජීවන වියදම් දීමනාවක්ද හිමි වේ.
ඊට අමතරව විශ්‍රාම සඳහා ද රජයට රුපියල් බිලියන 180ක් පමණ වාර්ෂිකව දරන්නට සිදු වේ.
එසේ වුවත් පසුගිය කාලයේ විශේෂිත දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය අංශයේ සේවා 4ක වැටුප් තල ඉහළ දැමීමටද රජයට සිදු විය. ඒ අතර නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අධිකරණ හා විශ්වවිද්‍යාල ද වේ. එයට ප්‍රධාන හේතුවක් වූයේ, විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නීතිඥයන් රඳවා ගැනීමේ අවශ්‍යතාව මත වැටුප් තල ඉහළ දැමීමයි. එම නීතිඥවරුන්ට මෙම ආයතනවලින් ඉවත්ව බාහිර සේවා සැපයීමෙන් අධික මුදලක් ලබා ගැනීමට හැකිව තිබියදී සාමාන්‍ය රාජ්‍ය වැටුපකට පැමිණීමට දක්වන ලද මැළි භාවය වළක්වාගෙන මේ ආයතනවල සේවයේ යෙදී සිටින පිරිස රඳවා ගැනීම පිණිසත් එසේ වැටුප් තල ඉහළ දමන ලදී.
මේ අතර රාජ්‍ය පරිපාලන සේවා වෘත්තිකයන් විසින් තම සේවා වෙනුවෙන් රුපියල් 50000ක් දක්වා වූ විශේෂ දීමනාවක් ඉල්ලා සිටියාත් ඒ හා සමාන්තර ශ්‍රේණි 18ක් ද එය ඉල්ලීමට කටයුතු කිරීම නිසා එයද මේ වන විට අතරමඟ ඇන හිට ඇත.
රජය මඟින් වැඩි කිරීමට යෝජිත වූ රුපියල් 10000ක වැටුප් වැඩි කිරීම පසුගිය 2016 වසරේ සිට වසරකට වරක් අවස්ථා 4කදී වාරික වලින් එම වැඩි කිරීම සිදු වන නිසා වසරින් වසර වැටුප් සඳහා වන ගෙවීම් වැඩි වන්නට පටන් ගෙන ඇත.
වැඩි කළ වැටුප රුපියල් 10000ක් ලෙස දැක්වුණද සාමාන්‍ය රජයේ සේවකයකුගේ වැටුප 2020 වන විට 2015 වත්මන් රජය බලයට පත් වන විට තිබූ ප්‍රමාණයට වඩා 107%කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශ්‍ය පෙන්වා දෙයි. රුපියල් 11000.00ත පමණ ආරම්භක මූලික වැටුපක් ලබන අයකුට රුපියල් 10000ක වැටුප් වැඩිවීම මත එම වැටුප පමණක්ම 95%කට ආසන්න ප්‍රමාණයක වැඩිවීමක් වන අතර වැටුපට අමතරව වැටුප පදනම් කර ගනිමින් වැඩිවන අතිකාල, දීමනා ඇතුළු අනෙකුත් සියල්ල සමඟින් බොහෝ රාජ්‍ය සේවකයන්ට මේ ප්‍රතිශතය හිමි වන බවත් මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීය.
එමෙන්ම බොහෝ විධායක ශ්‍රේණිවල වැටුප් වැඩි වීමේ අනුපාතය 1ට 4ක් වන හෙයින් ඔවුන්ට රජය මඟින් වැඩි කළ රුපියල් 10000ක මුදල වෙනුවට රුපියල් 40000ක මුදලක් වැඩි වන බවද එම ප්‍රකාශකයා කීය. ඒ අනුව ඔවුන්ට 2016 වසරේ සිට මේ දක්වා රුපියල් 10000ක් බැගින් වසරකට වරක් වැඩි වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. 2015 වසරේ රාජ්‍ය සේවයේ වැටුප් ගෙවීමට වෙන් කළ රුපියල් බිලියන 405 වෙනුවට රුපියල් බිලියන 705ක් 2018 වසරේ වෙන් කිරීමට සිදු වූයේ ඒ නිසා බවද ඔහු පෙන්වා දුන්නේය.
එසේ වුවත් වැටුප් වැඩි කිරීම් සම්බන්ධව කතා කරනු ලබන කිසිදු වෘත්තීය සමිතියක් මේ අයුරින් වැටුප් වැඩි කිරීම ගැන කතා කරන්නේ ද නැත.
දුම්රිය වෘත්තීය සමිති විසින් විශේෂයෙන්ම රියැදුරන් නියාමකවරන් පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන් මූලික වැටුප රුපියල් 44600 සිට රුපියල් 56205ත් දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා සිටියද එම වැටුප් වැඩි කිරීමේ දී තවත් සමාන්තර ශ්‍රේණි 28කට එය ඍජුවම බලපානු ලබන හෙයින් ඒ සම්බන්ධව විමර්ශනය කර සමස්ත ව්‍යුහයේම වැටුප් වැඩි කිරීම සම්බන්ධව සොයා බලා වාර්තාවක් සකස් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කොමිසමක් පත් කිරීමට ද කටයුතු යොදන ලදී.
දුම්රිය වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ කැබිනට් අනුකමිටුවක් මඟින් තම ශ්‍රේණි සඳහා වැටුප් ඉහළ නැංවීමට යෝජනා කළ බවත් එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් ක්‍රියාවට නංවන ලෙසත්ය.
එසේ වුවත් මුදල් ඇමැතිවරයා පෙන්වා දෙන්නේ එක් පිරිසකට වැටුප් වැඩි කිරීමේදී අනෙක් සමාන්තර ශ්‍රේණිවල ඇති වන ගැටලු වැළැක්වීම පිණිස කොමිසම විසින් වාර්තාවක් සකසනු ඇති බවයි.
ඒ අනුව අදාළ වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය සකස් වනු ඇත. සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ක්‍රම ඒ අනුව සකස් වනු ඇතැයි අපි ද අපේක්ෂා කරමු. එක් එක් ශ්‍රේණිවලට පමණක් වැටුප් වැඩි කිරීමේ ආදීනව අපි දැක ඇත්තෙමු. තැපැල් සේවකයන්ට පමණක් වැටුප් වැඩි කළ විට සෞඛ්‍ය හෝ වෙනත් සමාන්තර ශ්‍රේණියක් තමන්ටද වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටිති. ඔවුන්ට වැඩි කළ විට තවත් ශ්‍රේණියක් ඉල්ලා සිටිති.
මෙවන් අර්බුද නොවන ලෙසින් නව ක්‍රමවේදය ගෙන ඒමට කොමිසමේ බලධාරීන් විසින් කටයුතු කළ යුතුය. මන්ද 2006 වසරේදී රාජ්‍ය සේවය කනපිට හැරවීමට සකස් කරන ලද 6/2006 ඔලමොට්ටල චක්‍රලේඛය නිසා මේ දක්වා වූ වර්ජන රැල්ල අප දැක ඇති නිසාය. එහි පීඩනය හොඳට අත් විඳ ඇති නිසාය.