
කරදිය කාරම මුසු සුළං රැලි නැඟෙමින් ඇත. ඒ සුළඟ හා පොරබදන දළ රළ පෙළ වෙරළ සිපගනිමින් කිරි කවඩි පෙණ කැටි පුබුදුවමිනි. සැඳෑ හිරු රැසින් රත් පැහැ වන වෙරළ රාත්‍රී ජීවිතය සඳහා සැරසෙන මිනිසුන්ගේ නොඉවසිලිමත් පිය සටහනින් විකල් වෙමින් ඇත.
මේ අරුගම්බේ වෙරළ තීරය වැඩියෙන්ම ලෝකයට අලෙවි වන වකවානුවය. සර්පින් ක්‍රීඩාවට ලෝ ප්‍රකට වෙරළ තීරයක් සේ සැලකෙන අරුගම්බේ වෙරළ මේ වන විට විදේශිකයන්ගෙන් පිරී ඉතිරෙමිනි. හෝටල් කාමරවලට ඇති ඉල්ලුම අධිකය. මිලත් අධිකය. දුටු මනතින් නෙත් සිත් පැහැර ගන්නා අරුගම්බේ වෙරළ තීරයේ ජීවිතයේ මිහිරිම හෝරාවන් ගත කරනු රිසිව එන විදේශිකයන් අතර ගමන් කරමින් හිඳිමි. රැයේ ඇඳිරියත් සමග පැමිණෙන්නේ මේ මනුෂ්‍යයන්ගේ ප්‍රාර්ථනා අරුගම්බේ වෙරළ තීරය මත ගැටී බිඳී යන මුහුදු රළ සේම විසිරී යන මෙහොත නොවේදැයි සිතෙන විට ඇති වන්නේ වටහා ගත නොහැකි මූසල හැඟීමකි. මගේ ගමන් සගයා සමඟ නිහඬව පිය නඟමි. ඔහු මට කියමින් යන්නේ පෙනෙන චමත්කාරයට එපිටින් අපාය නිර්මාණය වෙමින් ඇති ආකාරයය.
මෑත තුරු සෙවණක නවතිමි. වෙරළ තීරය හසුරුවන ප්‍රධාන වෙළෙන්දා සිය ජාවාරම් කාර වෙළෙඳාමට සැරසෙමිනි. හෝටල් කර්මාන්තයේ ප්‍රගමනයට බවත්, සංචාරක ආකර්ෂණය දිනා ගන්නට බවත් ප්‍රකාශ කෙරන තවත් බීච් පාටියකට අරුගම්බේ වෙරළ සැරසෙමිනි.
“ සුද්දො වැඩේට කැමතියි මහත්තයා. මොකද මේ පාටි වෙනස්. ලෝකයේ තහනම් හැම ඩ්‍රග් එකක්ම වගේ මෙතැන තියනවා. මේ වැඩේ බලන්නම වටිනවා. අපි කොහොම හරි ඇතුළට යමු.” හිතේ ඇතිවන්නේ චකිතයකි. අඳුර වැටෙන විටම ඇරඹී අලුයම වන තෙක් දිවෙන බීච් පාටියක මත්ද්‍රව්‍ය ගෙන සිහි විකල් වූවන් සමග සමාජ ගවේශනයක් කිරීමේ අභිප්‍රායෙන් ගත කිරීම උමතුවකට ආසන්න සිතිවිල්ලකි. නිකමටවත් සැක හිතුණොත් ගුටි කන්නට වන්නේ නැව් පිටිනි. රටේ නීතිය මෙන්ම නීතිය කරවන උදවියත් තුට්ටුවට දමන මේ සාද වලදී සිදු වන මරණවලට නඩුත් නැත. අහුංගල්ලේ වෙරළ සාදයකදී සිවු දෙනෙක් මළ හැටි තවමත් අබිරහසකි.
“ පාටියට යන්න ටිකට් එකක් නම් නෑ... කොහොමද යන්නෙ...” මම ඔහුව විමසමි.
“ අරුගම්බෙ පාටි වලට ටිකට් නෑ මහත්තයා. අපි මේ යන්නෙ අරුගම්බෙ තියන ලොකුම බීච් පාටියට. ඒකට යනකොට නම් එන්ට්‍රන්ස් එකේදි ලෝකල් කට්ටිය රුපියල් දෙදාස් පන්සීයක් දෙන්න ඕන. එන කට්ටිය ගැන පොඩි සර්ච් එකක් දානවා එතැන උන්. සැක හිතෙන්නෙ නැතිව ඉන්න එකයි වැදගත් වෙන්නේ.”
ගමන් සගයා ගේ උපදෙස් අසමින් සාදය පැවැත්වෙන තැන වෙත ගමන් කරමින් හිඳිමි. නේක වර්ණ විදුලි බුබුළු දහරාවන් අතර කන පැළෙන සේ නැගෙන ඩී.ජේ සංගීත ඝෝසාව නැඟෙමිනි. පාටිය පවතින තැනට මීටර කීපයක් නුදුරින් පොලිසියේ නිලධාරීහු තිදෙනෙකි. ඔවුන් අප දැක මද සිනා නංවයි. තිදෙනා නිල ඇඳුමෙන්ම රාජකාරියේ ය.
ප්‍රවේශයේ සිට දකින දැකුම විකල් කරවන සුලුය. එක සීරුවට නැගෙන කන් පුපුරුවන ඩී.ජේ හඬට සියලඟම සලිත කරමින් නටන විදේශික ගැහැනු හා පිරිමිය. ඔවුන් අතරම වෙරළ තීරයේම දියවී යන අසාර තරුණයෝය. බියර් වීදුරුවෙන් දුම්වැටියෙන් ඇරඹෙන ගමන කෙළවර වන ආකාරය අරුමය. දෙස් විදෙස් මත්පැන් අවශ්‍ය තරමටය. ඒ අතරම එළිපිට මත්ද්‍රව්‍ය විකුණන පාදඩයෝය. විමතිය දනවන්නේ මීටර දහයක් පහළොවක් දුරින් නිල ඇඳුමෙන් සිටිනා පොලිස් නිලධාරීන් අඳුරු ඡායාවන් සේ පෙනෙමින් සිටීමය.
දේශීය අරක්කු උගුරක් කෝලා වර්ගයක් හෝ සෝඩා කලවම් කර දෙන වීදුරුවක් රුපියල් හයසියයකි. අරක්කු බෝතලයක් රුපියල් අටදහසකටත් වැඩිය. ඒ මිලට මත් පැන් ගත යුත්තේත් පොරකෑමකින් පසුය. මත් වෙන්නාහු එක සීරුවට නටති. “මහත්තයා... බියර් එකක් වත් ගන්න වෙයි. නැත්නම් මුන් සැක හිතනවා. දැනටමත් මහත්තයා ගැන පොඩ්ඩක් ඉව ඇවිත්. ” හිසකෙස් කොටටම කපා සිරුරට සිරවන සේ ඇඳි ටී ෂර්ට් එක නිසා මා අමුතුම හැඩයකට මේ මිනිසුන් දැක ඇති සෙයකි. අප දෙදෙනා නර්තනයේ යෙදෙමින්ම හාත් පස දකිමින් හිඳිමු.
“අර බලන්න මහත්තයා. අරූ ළඟ තියෙන්නෙ හෙරොයින්. ඕකා ළඟ අයිස් වුණත් තියනවා. ඌ ඒවා දෙන විදිහ බලන්න.” මහා ඝෝසාව අතර මා සගයා මගේ කනට ළං කර පවසයි. මම සීරුවෙන් බලා හිඳිමි. ඔහු චකිතයකින් තොරව සිය ගනුදෙනුව කරයි.
“මෙහේ වැඩිම මිලට යන්නේ අයිස් කියන ඩ්‍රග් එක. ග්‍රෑම් එකක් හැට දාහයි. කේ.ජි. ග්‍රෑම් 05ක් රුපියල් පන්දාහයි. අපේ ගංජා ග්‍රෑම් 50ක් දොලොස් දාහයි.
හෂීස් ග්‍රැම් 10ක් රුපියල් අට දාහයි. හෙරොයින් ග්‍රෑම් එකක්, කොකේන් ග්‍රෑම් එකක් රුපියල් දහතුන් දාහයි. එන්.ඩි.එම්.ඒ. එක ග්‍රෑම් එකක් දහ නවදාහයි. ඩි.එම්.ටි. ග්‍රෑම් එකක් විසි අට දාහයි. රෝස පාට ටැබ්ලට් එක දොලොස් දාහයි. වඳුරු මුණ තියෙන නිල් පාට පෙත්ත රුපියල් පහලොස් දාහයි. ගංජා මල තියෙන පෙත්ත දහනව දාහය. හැපි වෝටර් බිංදුවක් තිස් පන්දාහයි. කැලිපෝනියා සන් ෂයින් බිංදුවක් රුපියල් තිස් අට දාහටයි. මෙතැන ඒ ඔක්කොම විකිණෙනවා. අරුගම්බෙ කියන්නෙ දැන් අපායක්. මේ තියෙන්නෙ අපායට යන පාර...”
ඔහු කියන්නක් ඇසී නෑසී යයි. ටිකෙන් ටික අලුයමට ආසන්න වේ. මේ වන විට විදේශිකයන් බොහෝ දෙනෙක් මත්වය. දැඩි මත් ගතියෙන් යුතු විදේශිකයෝ තැනක වැටී සිටිති. මේ වන විට හැඩි දැඩි තරුණ පිරිසක් ඔවුන් අසල විමසිල්ලෙනි.
“අපි යමු මහත්තයා. මේ එක්ක වෙන තුච්ඡම වැඩේ මං මහත්තයාට පෙන්වන්නම්... ඒ වන විටත් අතිශයින්ම විඩාපත්ව සිටියෙමි. අප සාද භූමියෙන් පිටව එන විටිත් පොලිස් නිලධාරීන් වෙරළේ සාදය නුදුරින්ය. ගමේ අවුරුදු උත්සවයට පැමිණ රාත්‍රී දොළහ වන විට නවත්වන්නට අණ කරන පොලිසිය එළිපිට මත්ද්‍රව්‍ය විකුණමින් පාන්දර එක පසු වන විටත් සාද කෙළින ජාවාරම්කාරයන් අසල කීකරු සේවකයන් සේය.
අප වෙරළේ සිට හාත්පස මැනවින් පෙනෙන තැනක හිඳ ගතිමු. නුදුරින් දේශීය තරුණයෙකුට තුරුලු වී ඔහු හා අඳුරේ ඇවිද යන විදේශික කාන්තාවකි. ඔවුහු අඳුර සොයා ඇදෙති.
“අන්න බලන්න මහත්තයා. මේක තමයි මේ රටේ සිද්ධවෙන අසික්කිතම වැඩේ. රට සංචාරක කර්මාන්තයෙන් ගොඩ යවාගන්න ඕන නම් මේ තුච්ඡ තිරිසන් වැඩ නවත්වන්න ඕන. ඔය ගෙනියන සුද්දිට මෙලෝ සිහියක් නෑ. මේක මුන් කරන්නෙ ප්ලෑන් කරලා.
මහත්තයා දැක්ක නේද අන්තිමට අපි එනකොට සුද්දො වටේ කැරකි කැරකි හිටපු කොල්ලො ටික. උන් මේ ජඩ වැඩේ කරන්නෙ ප්ලෑන් කරලා. සුද්දො මෙතෙන්ට එන්නෙ උන්ගෙ රටේ ක්ලබ් එකකට යනවා වාගේ හැඟීමකින්. අනාරක්ෂිත හැඟීමක් නෑ.
මෙතෙන්ට එනකොටම මෙතැන ඉන්න උන් එක එක සුද්දිව තෝර ගන්නවා. සුද්දි ගන්න අරක්කු වීදුරුවට පෙති දානවා.
හැපී වෝටර් ටිකක් දැම්මොත් සියල්ල හරි. ජෝඩුවක් ඉන්නවා නම් දෙන්නගේ වීදුරු වලට පෙති දානවා. පැය කිහිපයක් යද්දි සුද්දා වැටෙනවා. ඊට පස්සේ සුද්දිව කරට අත දාන් අරන් යනවා. බෝට්ටුවකට හරි වැල්ලේ කොහෙ හරි තැනකට. සුද්දිට සිහිය ටිකක් හරි තියෙනවා නම් තව මොනවා හරි ජාරාවක් දිලා සිහිය නැති කරනවා. ඊට පස්සේ ඒ සුද්දිව තුන් හතර දෙනා සැරින් සැරේ දිගටම රේප් කරනවා.
සුද්දි දන්නේ නැහැ තමන්ට මොනවද වෙන්නේ කියලා.
මේ ඇසෙන්නේ මොන විදිහේ කතාවක් දැයි තේරෙන්නේ නැත.
“ඉතින් මනුස්සයො... එහෙම සිද්ධි ඇයි රිපෝට් වෙන්නෙ නැත්තෙ. ” මා විමසන්නේ පොලිසිය කැට දමා කියන කතාවක් අනුවය. ඔවුන් පවසන ආකාරයට මෙවැනි එකම සිද්ධියක්වත් පැමිණිල්ලක් සේ පොලිසියට වාර්තා වී නැත.
“ කෙහෙල්මල... මහත්තයා. මේ සුද්දියො රේප් වෙන්නෙ කා අතින්ද කියලා උන් දන්නෙ නෑ. උන්ගෙ මිනිස්සු දන්නෙත් නෑ. දැකපු එකෙකුත් නෑ. කවුද තමන්ට මේ අපරාදෙ කළේ කියලා කියන්න නිනව්වක් උන්ට නෑ. සමහර උන් තමන් රේප් වුණා ද කියලා දන්නෙත් නෑ. දැනගත්තත උන්ට ඒ සම්බන්ධව කතා කරන්න කිසිම සාක්කියක් නෑ. පොලිසිවලට ගිහින් මොනව කියන්නද?. මං දන්නවා එහෙම පැමිණිලි කරන්න යන්න හදන සුද්දියන්ව හෝටල් කාරයෝ වළක්වන විදිහ. උන් කියනවා යන්න එපා. ගිහින් වැඩක් නෑ.
නිකම් ප්‍රසිද්ධ වෙන එක විතරයි වෙන්නෙ. වැඩ හරියට වෙන්නෙ නෑ. රටට යන්න පරක්කු වේවි... දාහක් ජාති කියනවා. ඉතින් උන් යන්න යනවා රටට සාප කර කර. මේ අපරාදෙ හැම බිච් පාටියකදිම සුද්දියෝ කිහිප දෙනෙකුට වෙනවා. කොතැනින් මේ තිරිසන් වැඩ කෙළවර වෙයිද කියලා මං දන්නෙ නෑ...”
ඒ ආවේගාත්මක කතාව අසා හිඳිමි. මා අසලින් ඇවිද ගිය විදේශීය ගැහැනිය හා ලාංකික පිරිමියා ආ ගිය අතක් පේන්නට නැත. ඔවුන් අඳුර අතර සැඟවීය. ඈත වෙරළ දෙසට ඡායාවක් සේ වැනි වැනී යන තවත් තරුණයෙකු පෙනෙයි. සුද්දීව රැගෙන ගිය නරුමයාට පසු අවස්ථාව ගන්නට සූදානම් තිරිසනා ඒ දැයි නොදනිමි. පොලිසිය එපිටින් හිඳී. ටිකකින් මාළු බෝට්ටු ඇති පෙදෙසට අඳුරේම යන එකෙක් විදුලි පන්දම් දල්වා බෝට්ටුවෙන් බෝට්ටුව පිරික්සයි.
“ඔය වැටිලා ඉන්න සුද්දියො හොයන එකෙක්...”
පාන්දර පහ පසුවෙන්නට ආසන්නය. පොලිස් නිලධාරීන් ස්වකීය රාජකාරිය නිමා වී නැඟිට යනු පෙනේ. සාදය හමාර වන්නේ පාන්දර හයටය. දකින්නේ අපායක දැකුමය. තැන තැන වැටුණ පිරිමිය. ඒ අසල හිස ගසාගෙන සිටන ගැහැනුය. සමහරු වැනි වැනී ස්වකීය හෝටල් කාමර සොයා යති.
සුසුමක් පිට වන්නේ අනායාසයෙනි. උන් තැනින් නැඟිට ඉදිරියට යමු.
ඉදිරියෙන් වූ වෙරළ තීරයේ සිට වේදනාවෙන් බලා ඉන්නා විදෙස් කාන්තාවක් අප දෙස පිළිකුලෙන් බලා දෙනෙත් ඉවතට හරවයි. ඇය මගේ ගමන් සගයාව මින් පෙර වෙරළ සාදයකදී හමු වූ අයෙකි.
ඔහු සුබ උදෑසනක් පතමින් ඇය අමතයි. ඇය මුහුණ හරවා අප දෙස බලන්නේ නැත. අප ඇය පසුකරත්ම ඇසෙන ආවේගාත්මක හඬ තමත් මා කම්පනය කරමින් ඇත.
“ මම අද යනවා. ආයෙ කවදාවත් එන්නෙ නෑ ලංකාවට. දන්න කෙනෙකුට එන්න දෙන්නෙත් නෑ. ලෝකෙ වෙයි කියලා හිතන්න බැරි ජරා වැඩ මේ වෙරළෙ වෙනවා. කැමැත්තෙන් කැමති කෙනෙක් එකට හිටියට කමක් නෑ. ඒත් මාව හොඳටම මත් කරලා වෙරළට අරන් ගිහින් තිබ්බා. මම දන්නේ නැහැ.
මට පාන්දර සිහිය ඇවිත් බලද්දි මම හිටියේ බෝට්ටුවක් ළඟ. මගේ ඇඟට හරිම ආමාරුයි. මට තේරුණා මට ඉතා දරුණු විදිහට අතවර කරලා කියලා. මම දන්නේ නැහැ මට මේ දේ කළේ කවුද කියලා. පොලිසියට කියන්න ගියාම වෙන්නේ අපිට කරදර විඳින්න. උඹලා මේ තරම් ම්ලේච්ඡ ද. අපි ආවෙ ගෝත්‍රිකයන්ගෙ රටකට ද? ”
ඇය කීවා නිවැරදිය. අප ම්ලේච්ඡය. අප අප ගැන හිතාගෙන ඉන්නවාට වඩා ම්ලේච්ඡය. ගෝත්‍රිකය. ඒ ප්‍රමාණය තේරෙන්නට වැඩි කලක් යන එකක් නැත. වැල්ලේ කොල්ලන්ගෙන් සමූහ දූෂණයට ලක්වෙන්නට ඔවුන්ට ලංකාවට එන්නට අවශ්‍යතාවක් නැත. අපේ ඇත්ත කතාව අරුගම්බේ වෙරළෙන් ලෝකය දැන ගනු ඇත.