
බම්බලපිටිය වජිරාරාම භූමිය මාගේ ළමා කාලයේ බොහෝ මතක ගැවසී ගත් බිමකි. එහි වැඩ විසූ ස්වාමීන්වහන්සේ අප කුඩා කල සිට ම අපට බොහෝ යහපත් දේ ඉගැන් වූහ. බොහෝ ගුණ ධර්ම පුහුණු කළහ.
වජිරාරාම භික්ෂු ඇසුර අප මෑණියන්ට උරුම වූයේ එතුමිය විවාහ වීමටත් පෙර එක්තරා වස් කාලයක දී ය. අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් වහන්සේ වැඩ විසූ බළන්ගොඩ විහාරයේ පූජ්‍ය නාරද හිමියන් වස් විසීමට වැඩම කර තිබූ බැවිනි. ආනන්ද මෛත්‍රෙය හිමියන්ට සහ නාරද හිමියන්ට සියතින් ම දානය පිළියෙල කොට තෙමසක් පුරා උවටැන් කිරීමේ මහඟු අවස්ථාව තමන් ලද බවත් නාරද හිමියන්ගේ අනුශාසනා නිසා නිර්මාංසාහාර දිවියකට හුරු වූ බවත් අප කුඩා කල නොයෙක් අවස්ථාවල දී එතුමිය අප හා පැවසුවා ය. අප මෑණියෝ එකී සබඳතාව මත අක්කා මල්ලී සහ මා කුඩා කල සිට ම වජිරාරාම භික්ෂුන් වහන්සේ ඇසුරට යොමු කිරීමට කටයුතු කළහ. ඒ අනුව වයස අවුරුදු හතක පමණ වයසේ සිට වජිරාරාම දහම් පාසලේ ඉගෙනීමේ භාග්‍යය හිමිකර ගත්තෙමි. අනුර මල්ලී තුන් හැවිරිදි දරුවකුව අප සමඟ දහම් උගැන්මට පැමිණියේ ය.
අප මව සහ පියා කුඩා කල සිට ම අප පුරුදු කරන ලද්දේ සරල දිවි පෙවෙතක ට ය. අවුරුද්දකට අප එක් අයෙකුට ලැබුණේ ඇදුම් කට්ටල දෙකක් නැතිනම් තුනකි. බොහෝ විට අපට තෑගි ලෙස ලැබුණේ පොත් පත් ය. අප දෙමවුපියන් කිසිදු දිනෙක අපට අවංක විය යුතු බව හෝ අරපිරිමැස්ම ගැන හෝ අවවාද අනුශාසනා දුන් බවක් මට මතක නැත. එහෙත් ඔවුන් ජීවත් වූ ආකාරයෙන් අපි ජීවිතයට බොහෝ පාඩම් උගත්තෙමු. සේවකයන් කෙරෙහි ඔවුන් කටයුතු කළ ආකාරය දෙස බලා සිට කාරුණික ව සැලකීමට උගත්තෙමු. නිවෙසේ දී දෙමවුපිය ආදර්ශයෙන් සරල බව උගත් අපට දහම් පන්තියේ දී එය වඩාත් කාවැදිණි.
වජිරාරාමාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ හිමියන්ගේ ආශ්‍රය ලැබීමට ද අපි භාග්‍යවත් වීමු. කුඩා අප උන්වහන්සේගේ ජීවිතය තුළින් ද බොහෝ යහපත් චරිතාදර්ශ හඳුනා ගත්තෙමි. ඒ රටේ කීර්තිධර බහුශ්‍රැත පඬිරුවනක ලෙස ප්‍රකට ව සිටිය ද උන්වහන්සේ වෙත වූ නිහතමානී ගුණය යි. උන්වහන්සේ බාල - මහලු දුප්පත් - පොහාසත් උගත් - නූගත් බේදයකින් තොර ව සියලු දෙනාට ම කාරුණික වූ සේක. ඕනෑම පුද්ගලයකුට කිසි ම බාධාවකින් තොර ව පැළෑනේ මහනාහිමියන් මුණ ගැසීමේ අවකාශ තිබිණි. එයට අප දෑස් සාක්ෂ්‍ය සැපයීය. එකී උත්තරීතර ගුණය මම නාරද හිමියන්ගෙන් මඬිහේ හිමියන්ගෙන් මෙන් ම පියදස්සී හිමියන්ගෙන් ද දුටුවෙමි.
අප මෑණියන් ලෝකයේ ප්‍රථම අගමැතිනිය ව දිවුරුම් දී ආශිර්වාද ගන්නට පැමිණියේ ද වජිරාරාමයට යි. මඩිහේ මහානායක හිමියෝ මවගේ දේශපාලනයට සහ මාගේ දේශපාලනයට අවවාද අනුශාසනා ලබා දුන්හ. අපගේ සැපතේ දී මෙන් ම විපතේ දී ද අප අත නොහැර අපට ශක්තිය ධෛර්යය ලබා දුන්හ. බලය ඇති අවස්ථාවේ දී මෙන් ම බලය නැති අවස්ථාවේ දී ද අප තනි නොකළහ. වරදාන වරප්‍රසාද කිසිත් අපේක්ෂා නොකළා සේ ම ස්ව කැමැත්තෙන් රජය මගින් ලබා දෙන ගෞරව වරප්‍රසාද පවා අපගේ සිත් නොරිදෙන පරිදි කාරුණික ව ප්‍රතික්ෂේප කර බුද්ධ පුත්‍රයකු සතු විය යුතු අදීන ගුණ මහිමය මැනවින් ප්‍රදර්ශනය කළහ.
එමෙන් ම වජිරාරාම වාසී භික්ෂූන් වහන්සේ කිසිදු පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක අවශ්‍යතාවක් වෙනුවෙන් පෙනී නොසිටියහ. මහා සංඝරත්නයේ ගෞරවය උපරිමයෙන් ආරක්ෂා කරගනිමින් දිවි ගෙවූහ. ඒ අප්‍රමාණ ගුණ සමුදාය වජිරාරාම භික්ෂුන් වහන්සේට උරුමවූ සම්පතක් දැයි වරෙක සිතේ.
පූජ්‍ය වල්ගම සුගතානන්ද හිමියන් ඇසුරෙහි ධර්මයේ මූලික කරුණු සහ පාලි උගත් අපි පැළෑණේ හිමියන් නාරද හිමියන් මඬිහේ හිමියන් පියදස්සී හිමිවරුන්ගෙන් ජීවිතයේ සරල හා අවංකබව පිළිබඳ බාඩම් උගත්තෙමු. වසර ගණනක් රාජ්‍ය නායකයන් තිදෙනකු ව සිටි අපි ඒ කාල පුරාවට මහජනතාවගේ මුදල් රුපියලක් හෝ නිකරුණේ නාස්ති නොකර මහජන මුදල් සොරකම් නොකර මහජනතාවට සේවය කළෙමු. අද විවේකි ව ජීවිතය ගත කරන මේ මොහොතේ ඒවැනි ජීවිතයකට මඟ පෙන්වීම වෙනුවෙන් එහි ගෞරවය අපගේ දෙමවුපියන්ට අප ඉගෙන ගත් පාසලේ ගුරුවරුන්ට සහ වජිරාරාමයේ ස්වාමීන් වහන්සේට පිරිනමන්නට කැමැත්තෙමි.
සියක් වසරක් පුරාවට ජාතියේ දරු පරපුරේ ධර්ම ඥානය සහ ආකල්ප සංවර්ධනය වෙනුවෙන් පෙරටුගාමී මෙහෙවරක නියුක්ත වූ වජිරාරාම දහම් පාසලට එළඹෙන දෙවැනි සියවසයේ දී ද ඊටත් වඩා සාර්ථක ව එම යුග මෙහෙවර ඉටු කිරීමට හැකිවේවා යි වජිරාරාම දහම් පාසලේ උගත් ආදි ශිෂ්‍යාවක ලෙස අවංක ව ප්‍රාර්ථනා කරමි.