තේකොළ කෝච්චියේ මතක මැදින් කැබ­ල්ල­වත්ත බෝක්කුව පසු­ කර ගියෙමු | Page 4 | සිළුමිණ

තේකොළ කෝච්චියේ මතක මැදින් කැබ­ල්ල­වත්ත බෝක්කුව පසු­ කර ගියෙමු

කෝච්චියේ ගියාට දකින්න බැරි දුම්රිය මඟේ අපූරු ස්ථාන - 11

මෙරට දුම්රිය මාර්ග පද්ධ­තියේ කෙටි දුරක් තුළ ඉහළ උස­කට ළඟා­ වන දුෂ්කර මාර්ග කොට­සක් ලෙස රඹු­ක්කන - කඩුග­න්නාව දුම්රිය මාර්ග කොටස හැඳින්විය හැකිය. ඒ ආශ්‍රිත සුවි­ශේෂ ස්ථාන සහ ඉංජි­නේ­රු­මය නිමැ­වුම් සොයා කඩු­ග­න්නාවේ සිට පාග­ම­නින් දුම්රිය මාර්ගය දිගේ යන සංචා­ර­යක් ඇසු­රෙන් සැක­සෙන ලිපි පෙළක පෙර කොටස් පසු­ගිය සිළු­මිණේ පළ­විය. මේ සතියේ පළ­වන්නේ එහි එකො­ළොස් වැන්නයි.

යටි­ව­ල්දෙ­ණිය දුම්රිය නැවැ­තු­මද, ඊට ඉදි­රි­යෙන් ඇති බෝධි­රා­ජා­රා­ම­යද පසු­කළ අපි නැවැත පල්ලම් බැසීම ඇර­ඹු­වෙමු. හක්ඔ­ළු­වාව ඔයේ, අංජි පහේ බෝක්කුවේ සිට අප පැමිණි දුම්රිය මඟ දකුණු පැත්තෙන් විහිද ගිය අල­ගල්ල කඳු­වැ­ටියේ අව­සාන ශිඛ­රය වන ඉඟු­රු­ගල කන්ද දැන් පෙනෙන්නේ වන වදුළු තුළිනි. ඈතට ඇදී යන අල­ග­ල්ලට මෑතින් දුම්රිය මඟට සමා­න්ත­රව දැන් මතු­වන්නේ ලබු­ගොල්ල කන්දය.

ලබු­ගොල්ල කන්ද මීටර් 520කට වඩා උසය. මේ කන්ද වඩාත් ප්‍රකට වූයේ 1971 කැරැල්ල සමයේ කැර­ලි­ක­රු­වන් සැඟව සිට ක්‍රියා­ත්මක වූ මධ්‍ය­ස්ථා­න­යක් එහි ස්ථාපි­තව තිබීම නිසාය. එම පක්ෂයේ ක්‍රියා­කා­රි­ක­යකු වූ උප­තිස්ස ගම­නා­ය­කගේ ඥාතීන් වාසය කළ පරපේ ප්‍රදේ­ශ­යත් පිහිටා ඇත්තේ මේ කන්දේ එක් කෙළ­ව­රක ය.

දැන් අපට මඟ පෙන්ව­න්නට ඉදි­රි­පත් වී සිටින්නේ ඒ.එම්. මද්දු­ම­බණ්ඩා මහතා ය. හැත්තෑ පස් හැවි­රිදි වුවද ඔහු තරු­ණ­යකු මෙන් ජව­ස­ම්පන්න ය; කථා­වෙහි ශූර ය. කඩි­ග­මු­වේත්, රඹු­ක්ක­නත්, ඉහළ කෝට්ටේත් යන දුම්රිය ස්ථාන­ව­ලට අනු­යු­ක්තව දිගු කලක් සේවය කළ නිසාම අත­ර­මඟ හමු­වන හැම සිල්ප­ර­යක්, රේල් පීල්ලක් පාසාම කිය­න්නට කතා­වක් ඔහුට ඇත.

ඊළ­ඟට අපට හමු­වන්නේ කඩි­ග­මුව දුම්රිය පොළයි. කොළඹ සිට කිලෝ­මි­ටර් 88.3ක් දුරින් මුහුදු මට්ටමේ සිට මීටර් 195ක් උසින් පිහිටි මෙම දුම්රිය පොළ වේදිකා දෙක­කින් සම­න්වි­තය.

1984 දී ගංගොඩ සහ කඩි­ග­මුව අතර පෙරළී ගිය තෙල් කෝච්චියේ චැසි, බෝගි සහ අබලි උපාංග කඩි­ග­මුව දුම්රිය ස්ථානය අසල කැල­යට හසු­වෙ­මින් තිබෙනු එය පසු කර යන කාටත් දැකිය හැක.

“කෑගල්ලේ තමයි චේගු­වේරා කැරැල්ල දරු­ණු­ව­ටම තිබ්බේ. මෙහෙ පොලීසිවල පාලනේ කැරැ­ලි­කා­රයෝ අතට ගියා. ඒ කාලේ කඩි­ග­මුව ස්ටේෂ­මත් පාල­නය කලේ ඒ ගොල්ලෝ. කෝච්චි දිව්වේ නෑනේ.”

1964 දී දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ කම්ක­රු­ව­කුව සේව­යට බැඳුණු ඒ.එම්. මද්දු­ම­බණ්ඩා මහතා 1983 දී සංඥා­ක­රු­වකු ලෙස කඩි­ග­මු­වට මාරුවී පැමිණ තිබේ. එතැන් සිට 2003 දක්වා වසර විස්සක කාල­යක් යාබද දුම්රිය ස්ථානවල සේවය කර ඇත.

“සුද්දා මුලින්ම කඩි­ග­මුව, බලන, ඉහළ කෝට්ටේ ස්ටේෂන් හැදුවේ උඩ පහළ යන කෝච්චි මාරු­වෙන්න පහ­සු­වට මිසෙක බඩු­වත්, සෙන­ඟ­වත් පට­වන්න නොවෙයි. ඒත් ඉතින් ටිකෙන් ටික මේ ස්ටේෂන් ජන­ප්‍රිය වුණා..”

1999 දෙසැ­ම්බර් 05දා අළු­යම කඩි­ග­මු­වේදී දුම්රිය දෙකක් එකි­නෙක ගැටීමේ අන­තු­රක් සිදු­විය. පසු­ප­සින් පැමිණි දුම්රියේ සිදු­වන තිරිංග දෝෂ නිසා මෙම මාර්ග කොටසේ මෙවැනි අන­තුරු සිදු­විය හැකිය. ඒවා බොහෝ විට සිදු­වන්නේ මාර්ගයේ පහ­ළම මට්ටමේ පිහිටි ඉහළ කෝට්ටෙන් පහළ දුම්රිය මාර්ග­යේය.

“එදා මම තමයි සිග්නල් කැබින් එකේ හිටියේ. කඩු­ග­න්නා­වෙන් තැපැල් කෝච්චිය පහළ බහිද්දි 579 බඩු කෝච්චිය කඩු­ග­න්නාවේ තිබිලා තියෙ­නවා. තැපැල් කෝච්චිය නම් හැම­දාම වගේ වෙලා­වට එනවා. ඉහළ කෝට්ටෙන් ආව කියල දැන­ග­ත්තට පස්සේ, එදාත් මම වෙනදා වගේම ඇතු­ළු­ වීමේ සංඥා­වත් පිට­වීමේ සංඥා­වත් හදල බලා­ගෙන හිටියා. ඒ අත­රෙදි බ්රේක් නැතිව 579 පහ­ළට එනවා කියල ආරං­චිය ලැබුණා. ඒ එක්කම තැපැල් කෝච්චිය ගියා. පීලි පන්නන පොයින්ට් එකෙන් පන්නන්න පුළු­වන් වුණත් කන්ට්‍රෝල් එකෙන් කියල තිබ්බේ ඒකත් පහළ යවන්න කියල. සිග්නල් වහන්න වෙලා­වක් නෑ.වේගෙන් 579ත් පහ­ළට ගියා. කඩි­ග­මුව ස්ටේෂම කෙළ­ව­රේදී කෝච්චි දෙක හැප්පුණා.”

තැපැල් දුම්රියේ ප්‍රධාන නියා­මක තැනට බර­ප­තළ තුවාල සිදු­ක­ර­මින්, තවත් එක් මගි­යෙක් මර­ණ­යට පත් කර­මින් අව­සන් වූ එම දුම්රිය අන­තුර ප්‍රදේ­ශයේ ප්‍රසි­ද්ධව ඇත්තේ “තේකොළ කෝච්චියේ” අන­තුර ලෙසය. පත්තම් පිටියේ පදිංචි දුම්රිය දෙපා­ර්ත­මේන්තු සේව­ක­ය­කු­ටම අයත් ඕවි­ට­කට පෙරළී ගිය දුම්රිය මැදි­රියේ තිබූ තේකොළ අව­සා­නයේ නතර වී ඇත්තේ ප්‍රදේ­ශයේ නිවෙස් වල සහ වෙෙළ­ඳ­සල්වලය.

කඩි­ග­මුව දුම්රිය පොළේ සිට මීටර් දෙසී­යක් පමණ පල්ලම් බසින විට දකුණු පසින් ඇත්තේ සොහොන් බිමකි. සොහොන් බිම අස­ලට පැහැ­දිලිව පෙනෙන්නේ ලබු­ගොල්ල කන්දයි. කඩු­ග­න්නා­වෙන් පසු පළමු වරට ප්‍රසිද්ධ බස් මාර්ග­යක් දුම්රිය මඟට හමු­ව­නුයේ මේ සොහොන් බිම කෙළ­ව­ර­දීය. ඒ රඹු­ක්කන සිට මාව­නැ­ල්ලට දිවෙන ප්‍රධාන මාර්ග­යයි. මෙතැන් හත­ර­ලි­යද්ද හන්දිය ආස­න්නය දක්වාම දුම්රිය මඟ විහිදී ඇත්තේ පස් පිරවූ වේල්ලක් දිගේය.

දුම්රිය මඟ රඹු­ක්කන මාව­නැල්ල පාර හරහා යන්නේ දුම්රිය හරස් මඟ­කින් නොවේ. එහි ඇත්තේ බෝක්කු කටකි. මහා මාර්ග­යට ඉහ­ළින් දුම්රිය මඟ ඇදී යන මෙවැනි බෝක්කු කට­වල් කිහි­ප­යක් මෙරට දුම්රිය මර්ග පද්ධ­තියේ දී හමු­වන නමුත් එවන් ඉදි­කි­රී­මක් කඩු­ග­න්නාව සහ රඹු­ක්කන මාර්ග කොට­සේදී හමු­වන එකම අව­ස්ථාව මෙතැ­නය.

අතීත හතර කෝර­ළ­යේත්, හත් කෝර­ළ­යේත් කෘෂි නිෂ්පා­දන කන්ද උඩ­රට තව­ලම් මඟින් ප්‍රවා­හ­නය කර ඇත්තේ මේ මාර්ගය ඔස්සේය. පසු­කා­ලී­නව එය කරත්ත පාරක් බවට පත්වී වර්ත­මා­නයේ බස් පාරක් බවට පත්වී ඇත. එහෙත් සුද්දා මහ­නු­ව­රට දුම්රිය මාර්ගය ඉදි­ක­රන සමයේ එය බස් මාර්ග­යක් නොවූ නිසා කැබැ­ල්ල­වත්ත බිංගෙ­යින් දිගු බස් රථ­යක් අද වන විට එහා මෙහා මාරු වන්නේ ඉතා­මත් අසී­රු­වෙනි.

කැබැ­ල්ල­වත්ත බිංගෙය වැද­ගත් වන තවත් හේතු­වක් තිබේ. ඒ 1971 ඇතිවූ කැරැ­ල්ලට සම්බන්ධ කතා­වකි. 1971 අප්‍රේල් 05 වැනි දින ඇර­ඹුණු චේගු­වේරා කැරැල්ලේ දී කැර­ලි­ක­රු­වන්ට වාසි­දා­යක වූ ප්‍රදේ­ශ­යක් ලෙස කෑගල්ල ප්‍රදේ­ශය හඳු­න්වා­දිය හැකිය. මාස­යක් ඉක්මවා ගියද අරා­ජි­ක­ත්වය රජ­කළ මේ ප්‍රදේ­ශයේ වරින් වර කැර­ලි­ක­රු­වන්ගේ බලා­ධි­කා­රය මතු විය.

කැර­ලි­ක­රු­වන් විසින් කැබැ­ල්ල­වත්ත බෝක්කුව පුපු­රුවා දමා දුම්රිය ධාව­නය අඩ­පණ කර­න්නට සැල­සුම් කළේ 1971 මැයි මස 06දාය. කඩි­ග­මුව පදිංචි හැත්තෑ­හය හැවි­රිදි කේ.එම්. චන්ද්‍ර­ති­ලක ඒ ගැන කතාව අපට කියුවේ මෙලෙ­සය.

“අපි කල්ලි­යට බැඳිලා නෑ. ගබ්බ­ලින්, පරපේ, හේනේ­පොළ පැත්තෙන් දෙසී­යක විතර සෙන­ඟක් ආවා. පහු­වදා උදේ පාන්ද­රම අහු­වෙන ආයු­ද­යක් අරන් එන්න කිව්වා. බෝක්කුව කඩන්න. මටත් කිව්වා. ඒ වෙන­කොට කෑගල්ලේ ඇර අනෙක් පැති­වල රජයේ පාල­නය තහ­වුරු වෙලා තිබ්බා. තාත්තා මට කිව්වා, ඕකට යන්න එපා. ගියොත් අමා­රුවේ කියලා. මම පහු­වදා පාන්ද­රින්ම අමු­ඩෙත් ගහ­ගෙන, කන්දේ පුරන් වෙලා තිබ්බ කුඹූ­රට ගියා. දව­සම කොටල, කොටල හවස ගෙදර ආවා.”

චන්ද්‍ර­ති­ලක මඟ­හැර ගියද, විප්ල­වය මඟ හැර නොගිය සිය­ය­කට වැඩි කැර­ලි­ක­රු­වන් පිරිස පසු­වදා උදෑ­සන සූදා­නම් වූයේ අධි­රා­ජ්‍ය­වා­දයේ යදම් බිඳ ප්‍රග­ති­ශී­ලි­ත්වයේ පාල­න­යක් බිහි­ක­ර­න්නට අවශ්‍ය තවත් පිය­ව­රක් තබ­න්න­ටය. ඒ අනුව එදින සිට රඹු­ක්ක­නින් ඉහ­ළට දුම්රිය ධාව­නය අඩාළ කිරී­මට කැබැ­ල්ල­වත්ත බෝක්කුව පිපි­ර­වීම ඔවු­න්ගේ වෑය­මය.

“කට්ටි­යක් බෝක්කුව යටින් ගිහින් කටුවලින් කඩල කුහ­ර­යක් හැදුවා. පස්සේ ඉස්කෝ­වල විද්‍යා­ගාරවලින් පැහැ­ර­ගත්තු විවිධ රසායන ­ද්‍රව්‍ය දාලා පුපු­රු­වන්න ලෑස්ති කළා. මිනි­ස්සුත් පිරිලා. ඈතට වෙලා බලා­ගෙන හිටියා. ටික වෙලා­ව­කින් පුපු­රන සද්දේ ඇහුණා. අපිත් හිතුවේ බෝක්කුව ඉව­රයි තමයි කියලා. ඒත් පවුලේ අය බලන්න යන්න දුන්නේ නෑ. පුපු­ර­වන්න ලෑස්ති කරලා කැරලිකාරයෝ පැනල ගියා. ලබු­ගොල්ල කන්දට. ඒත් සද්දේ ඇහු­ණට බෝක්කුවේ අඟල් දහ­යක විතර සිදු­රක් විත­රයි හැදුණේ.”

කැබැ­ල්ල­වත්ත බෝක්කුව අස­ලම ඇති යු.එච්. ටිකි­රි­බණ්ඩා මහ­තාගේ වෙ‍ෙළ­ඳ­සලට ගොඩ­වුණු ප්‍රදේ­ශ­වා­සීන් කිහි­ප­දෙ­නකු තමන් එදින දුටු සිදු­වීම අපට විස්තර කළේ එලෙසිනි.

“පස්සේ නුවර පැත්තෙන් එංජි­මක් පුර­ව­ගෙන හමු­දාවේ අය ආවා. කැර­ලි­කා­රයෝ පැනල ගිහින් නිසා, වටේ­ටම වෙඩි තියල ආපහු නුවර පැත්තට ගියා. බලන්න ආව අයට මොකුත් කළේ නෑ. ඒත් ටික වෙලා­ව­කින් ආව පොලී­සිය, බලන්න ආව අය­ගෙන් තුන් දෙනෙක්ව කුද­ල­ගෙන ගියා. පස්සේ පහ­ර­දීලා, දස­වද දීලා, මාස තුන­කට විතර පස්සේ තමයි ගෙවල්වලට එව්වේ. ඒත් නඩුව ගියා සෑහෙන කල්.”

බී.පී. මුදි­යන්සේ, කේ.ජී. ජේමිස් සහ යූ.එච්. මුදි­යන්සේ හෙවත් ලොක්ක­යියා මෙසේ අත් අඩං­ගු­වට ගත් තිදෙනා වූ අතර ඉන් දැනට ජීව­තුන් අතර ඇත්තේ කේ.ජී. ජේමිස් මහතා පමණි. අත්අ­ඩං­ගු­වට ගත් යූ.එච්. මුදි­යන්සේ හෙවත් ලොක්ක­යියා යනු ඒ අස­ලම වෙ‍ෙළ­ඳස­ලක් පව­ත්වා­ගෙන යන යු.එච්. ටිකි­රි­බණ්ඩා මහ­තාගේ මහ­ප්පාය.

කැබැ­ල්ල­වත්ත බෝක්කුවේ ශක්ති­යට, පිපි­ර­වි­මෙන් කිසිදු හානි­යක් නොවූ අතර ඇතිවූ සිදුර සිමෙ­න්ති­යෙන් සකසා යළි ඒ මතින් දුම්රිය ධාව­න­යට හැකි­යාව ලැබිණි. පසු­කා­ලී­නව යකඩ පීළි යොදා සවි­මත් කිරී­මක්ද සිදු­කර ඇත්තේ වැඩි ආර­ක්ෂා­ව­ටය.

පිහිටි පොළොවට ඉහ­ළින් එහෙත් සීඝ්‍ර බෑවු­මක පහ­ළට ඇදෙන දුම්රිය මාර්ගයේ මීළඟ වැද­ගත්ම ස්ථානය හමු­වන්නේ අංක 04 බිංගෙ­යට ආස­න්න­වය.

පෙර­දින සාකච්ඡා කළ තෙල් දුම්රිය අන­තුරේ අව­සාන මැදිරි කිහි­පය පෙරළී ගියේ ඒ ආස­න්න­යේය. දුම්රිය මාර්ග­යට ආස­න්නව, පහ­ළින් වූ මාර්ග­යට පෙරළී ගිය තෙල් ටැංකි­යක් නිසා ඒ අසල නිවෙ­සක්ද ගින්නට මැදිවූ අතර නවී­ක­ර­ණය නොකළ එම නිවසේ අද­ටත් ගින්න නිසා ඇතිවූ බිත්ති පිපි­රීම් හඳු­නා­ගත හැකිය.

“එදා අපේ අම්මා මහ­නු­වර රෝහලේ නව­ත්තලා හිටියේ. තාත්තා ඒනිසා නුවර නැව­තිලා හිටියේ. අපිට නින්දෙන් හෝ ගාන සද්ද­යක් ඇහුණා. ටික වෙලා­ව­කින් දඩ බඩං ගාලා සද්ද­යක් ඇහුණා. මම මල්ලිට කිව්වා අහස් යානා­වක් කඩා වැටුණා බලමු කියලා. බලන කොට ගේ ඉස්ස­රහ තෙල් ටැංකි­යක් වැටිලා ගිනි ගන්නවා. වත්තේ පොල්ගස් සේරම ගිනි ගත්තා. රස්නෙට එළි­යට එන්නත් බෑ. ඉන්නත් බෑ. පැයක් විතර ගිනි­ගත්තා. හැබැයි ගෙට ඇවි­ළුණේ නෑ. හැබැයි රස්නෙට බිත්ති පිපි­රුවා. දෙපා­ර්ත­මේ­න්තු­වෙන් රුපි­යල් හය­දා­හක් වන්දිත් දුන්නා.”

කැබැ­ල්ල­වත්ත හන්දිය අස­ලම ඇත්තේ බෝ ගසකි. මේ බෝගස පාමුල අපූරු ළිඳක් ඇත. දිගු ඉඩෝර කාල­ය­කට පවා නොසි­ඳෙන මේ ළිඳට වතුර එන්නේ උඩු­ගම කන්දේ වෙල් යාය­කිනි. දුම්රිය මාර්ගය ඉදි­ක­රන සමයේ සිට එහි සේවය කරන ලද සේව­ක­යන්ට නා ගැනීම සදහා සැකසූ යකඩ බට­යක් මෙම ස්ථානයේ පැවැති බවත්, පසුව 1918 දී පමණ ගම්වැ­සි­යන් එකතු වී එහි ළිඳක් ඉදි­කළ බවත් පැවසේ. ඒ අනුව මේ ළිඳට වසර සිය­ය­කට වඩා වැඩි ඉති­හා­ස­යක් තිබේ.

“තෙල් ටැංකි පෙර­ළුණු දවසේ මේ ළිඳ­ටත් භූමි­තෙල් සහ පෙට්රල් කාන්දු­වුණා. ඒ දව­ස්වල නියඟෙ නිසා ළිදේ වතුර තිබ්බේ භාග­යයි. මෙතැ­නින් යන්න ගිය මනු­ස්ස­යෙක් ළිඳ පිරිලා තියෙ­නවා ඡායා­වට දැකල හොඳට බලන්න හුළු අත්ත ළං කරලා. එක පාර­ටම ළිඳට ගිනි ඇවි­ළුණා. ඒ කාලේ ගහල තිබ්බ ටක­රන් වහ­ලෙත් ඇවි­ලිලා බෝ ගහ­ටත් ගිනි ඇවි­ළුණා”

අද­හා­ග­න්නට නොහැකි අපූරු මතක කත­න්දර අස­මින් ඊළ­ඟට අප පිවි­සියේ අංක 04 දරණ බිංගෙ­ය­ටය. ‘කැබැ­ල්ල­වත්ත බිංගේ ලෙසත්, මහ බිංගේ ලෙසත් ප්‍රදේ­ශ­වා­සීන් හඳු­න්වන මේ බිංගෙය දිඟින් අඩි 394කි.

දිගු ගම­නක අව­සා­නය සමඟ ලබන සතියේ හමු­වෙමු.

ස්තූතිය - අව­සර ගැනීම් සම්බ­න්ධී­ක­ර­ණය කළ ජ්‍යෙෂ්ඨ දුම්රිය රිය­ැදුරු සමන් ගුණ­ව­ර්ධන මහ­තාට, දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­පා­ලන නිලධාරී (සම්බ­න්ධි­ක­රණ ලේකම්) විරාජ් නානා­ය­ක්කාර මහ­තාට, තොර­තුරු තහ­වුරු කර ගැනි­මට සහාය වූ කොටුව දුම්රිය මාර්ග අධී­ක්ෂණ කළ­ම­නාකරු ඇන්ටන් වික්‍ර­ම­රත්න මහ­තාට, නාව­ල­පි­ටිය ප්‍රවා­හන අධි­කාරී කාර්යා­ල­යට සහ ගමන ගවේ­ෂණ කණ්ඩා­ය­මට

ඥානේන්ද්‍ර ප්‍රදීප් පති­රණ

Comments