ආයිත් දකින්න නම් ගොඩක් කල් ජීවත්වෙන්න පුතේ! | සිළුමිණ

ආයිත් දකින්න නම් ගොඩක් කල් ජීවත්වෙන්න පුතේ!

වොන් යුන් ඒ වෙද්දී අට හැවි­රි­දිය. උතුරු කොරි­යාවේ ටයිඩොං ගං ඉවුරේ සිට ඔහු ඈත නොපෙනී යන අත්තම්මා හා බාල සහෝ­ද­රි­යන් දෙදෙනා දෙස බලා සිටියේ කඳුළු පිරි නෙතිනි. ඔවුන් නොපෙනී යද්දී යුන්, තම අත්තා දෙම­වු­පි­යන් හා සහෝ­ද­ර­යන් තිදෙනා සම­ඟින් උතුරු කොරියා දේශ සීමාව පසු­ක­ර­මින් දකුණු කොරි­යාව දෙසට පැන ගත්තේ යුද උණු­සු­මින් දෙරට ගිනි­යම් වෙද්දීය.

ඒ 1950 වස­රයි. කොමි­යු­නි­ස්ට්වාදී උතුරු කොරි­යාව උන්හිටි ගමන් දකුණු කොරි­යාව ආක්‍ර­ම­ණය කර­මින් කොරි­යානු යුද්ධය අර­ඹද්දී ‍මහ බල­ව­ත්හුද දෙපැත්ත බෙදී දෙර­ටට සහාය දීමට පෙරට ආහ. යුද්ධ­යට මැදිව අස­රණ වූ බොහෝ උතුරු කොරි­යා­නුවෝ අතට හසු­වන දෙයක් රැගෙන දකුණු කොරි­යා­වට පැන ගත්හ. මෙසේ පැන ගත් ජනයා එදා සිතුවේ එය තාව­කා­ලික වෙන්වී­මක් බවය.

දැන් යුන් හැත්තෑ හය හැවි­රි­දිය. පසු­ගිය දිනෙක ඔහු ලක ලැහැස්ති වූයේ වසර හැට­ක­ටත් එපිට සිට පුන පුනා බලා සිටි ඒ අපේ­ක්ෂාව ඉටු කර ගැනී­ම­ටය. එදා උතුරු කොරි­යාවේ නතර වූ සිය නැග­ණි­යන් දෙදෙනා යළි දැක ගැනීම ඔහුගේ එකම සිහි­න­යයි. ඒ සිහි­නය සැබෑ­ව­න­තුරු ඔහු සිටියේ ඇඟිලි ගනි­මිනි.

බොහෝ දෙනා මේ යුද්ධය අම­තක වූ යුද්ධය ලෙසින් හැඳි­න්වූහ. මන්ද බල අර­ග­ල­යත් සමඟ මානු­ෂීය හැඟීම් යට­පත් වෙද්දී වෙන්වූ පවුල් යළි එකතු කිරී­මට කිසි­ව­කුත් පෙර­මුණ නොගත් බැවිනි. අව­සා­නයේ බොහෝ ඉල්ලීම් හමුවේ එව­කට උතුරු කොරි­යානු නාය­ක­යාගේ එක­ඟ­ත්වය මත එවන් හමු­වක් යෙදුණේ 2000 වස­රේ­දීය. එතැන් පටන් විසි වාර­යක් පමණ වරින් වර පවුල් යළි මුණ ගැස්වීම් සිදු විය. එහෙත් එසේ මුණ ගැසු­ණේද 20000ක් පමණි. ඉන්පසු මෑත වසර තුනක් තිස්සේ නෑදෑ­යන් මුණ ගැසීම් සිදු වූයේ නැති­ත­රම්ය. උතුරු කොරි­යාවේ න්‍යෂ්ඨික අවි හා මිස­යිල අත්හදා බැලීම් නිසාත් නායක කිම් ජොං උන්ගේ ක්‍රියා කලා­පය නිසාත් රට ලොවෙන් කොන් වෙද්දී වෙන්වූ පවුල් යළි මුණ ගැස්වීම් සිදු නොවී ඔවුහු සැමට අම­ත­කව ගියහ. එසේ වුවත්, උතුරු කොරි­යානු නාය­කයා හා දකුණු කොරි­යානු ජනා­ධි­පති මූන් ජායි අතර පසු­ගිය අප්‍රේල් මාස­යේදී ඇතිවූ එක­ඟ­තාව හා උතුරු කොරි­යාවේ න්‍යෂ්ඨික අවි­හ­රණ වැඩ සට­හ­නත් සම­ඟින් රටට ලෝකයේ පිළි­ගැ­නී­මක් ලැබෙද්දී වෙන්වූ පවුල් යළි මුණ ගැස්වීමේ වැඩ සට­හන යළි පණ ඉප­දිණි.

යුන් මෙන්ම 76 හැවි­රිදි ලී සූ නාම් ද හෙයින් කී පෙයික් ද ඇතුළු බොහෝ­දෙනා බලා සිටියේ ඒ දවස උදා­ව­න­තු­රුය. බොහෝ දෙනකු මීට පෙරද කීප වරක්ම සිය නෑදෑ­යන් දැක බලා ගැනී­මට උතුරු කොරි­යානු දේශ සීමාව හරහා එම රටට ඇතුළු වීමට අව­සර ලබා ගැනී­මට පොරොත්තු ලේඛ­න­වල ලියා පදිංචි වූහ. එහෙත් ඒ හමු­වීම් දිනෙන් දින කල් යද්දී ඇතැම් විය­පත් කොරි­යා­නු­වන් දිවි­යෙන් සමු­ගත්තේ එකි­නෙකා මුණ ගැසීමේ වරම් සද­හ­ටම අහිමි කර­මිනි. මේ අතරේ නෑසි­යන් සොයා ගත් කීප දෙනා දුර­ක­ථන හා වීඩියෝ මගින් එකි­නෙ­කාගේ දුක සැප විම­ස­මින් සැන­සු­ණහ. එනි­සාම පසු­ගිය 20 වැනි­දාට යෙදී තිබූ මේ සුවි­ශේෂී අව­ස්ථා­වට එක්වී­මට දකුණු කොරි­යා­නු­වන් බලා සිටියේ සියලු වැඩ කට­යුතු පසෙ­කට දම­මිනි. උතුරු කොරි­යාවේ ‘ඩය­මන්ඩ් මවු­න්ටන් රිසෝට්’ හෝට­ලය ඥාතීන් මුණ ගැස්වූ ස්ථාන­යයි.

පසු­ගිය විසි වැනිදා උදෑ­සන විය­පත් දකුණු කොරි­යා­නු­වන් අනූ දෙනකු හා ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් රැගත් බස් රිය ගණ­නා­වක් එක පෙළට උතුරු දකුණු කොරියා දේශ සීමාව කරා ඇදී ආවේ කාගේත් සිත්වල අපේක්ෂා මල්ඵල ගන්ව­මිනි.

“මෙහෙම දින­යක් උදා­වෙයි කියා මං හීනෙ­කි­න්වත් හිතුවේ නෑ. ඒත් මගේ පුතා ජීව­තුන් අතර දැයි මං දන්නේ නෑ” එසේ පැව­සුවේ සිය පුතු දැක ගැනී­මට උතුරු කොරි­යාව බලා පැමිණි ලී කුම් සියොම් ය. ඇයට වයස 92කි. යුද්ධය එළි පත්තේදී දකුණු කොරි­යා­වට පලා යන ගම­නේදී සැමියා හා පුතු මඟ හැරෙද්දී පුතු සිවු හැවි­රි­දිය. දකුණු කොරි­යානු දේශ සීමා­වට ළංවූ බස්රි­ය­ව­ලින් පිට­තට පැමිණි ඇතැම් විය­පත් උද­විය රතු කුරුස නිල­ධා­රීන්ගේ ආධා­ර­යෙන් රෝද පුටු­ව­ලින් ද තවත් අය හැර­මිටි අනි­මින්ද ආග­මන කට­යුතු සඳහා දකුණු කොරි­යාවේ නැගෙ­න­හිර දේශ සීමාව වන ගූස්ගොන් කරා එක පෙළට ඇදු­ණහ. නීති­මය කට­යුතු හමාර වූ පසු ඔවුහු හෝට­ලය කරා කැටුව එනු ලැබූහ.

එදා නෑ සියන් සොයා පැමිණි බොහෝ දෙනා අත­රින් වැඩි දෙනෙක් වයස අවු­රුදු හැත්තෑව පසු කළ අය වූහ. මර­ණ­යට පෙර තම නෑයා දැක බලා ගැනී­මට ඔවු­නට ඉව­සි­ල්ලක් නැති තරම්ය. වාවා­ගත නොහැකි වේද­නා­වෙන් ඔවුන් නෑ සියන් බදා වැලඳ ගනිද්දී එතැන සිටි නිල­ධා­රීහු ඒ දුක් කඳුළු දකි­මින් එතැන රැඳී සිටිය නොහැකි නිසා එතැ­නින් ඉවත් වූහ.

යුන් එදින හෝට­ල­යට ඇතු­ළුවූ සැණින් නිල­ධා­රීහු ඔහු එක්තරා කාන්තා­වක වෙත යොමු කළහ. ඇය දුටු­ව­නම යුන් පුදු­මවී බලා සිටියේ වසර 68කට පෙර කුඩා අව­දියේ තම සිතේ ඇඳී තිබූ රුවක් ඔහු අභි­ය­සට පා තැබු­වාක් වැනිවූ හැඟී­ම­කිනි.

“ඒ මගේ සහෝ­දරී වොන් බොක්. මට දෑස් අදහා ගන්න බෑ. මට හිතුණේ මගේ අත්තම්මා මා ඉදි­රියේ සිටි­නවා කිය­ලයි. මගේ සහෝ­ද­රිය අත්ත­ම්මාගේ කපාපු පළු­වක් වගේ. එදා ගං ඉවුරේ ඔවුන් නොපෙනී යද්දී අන්තිම වතා­වට මා දුටු අත්තම්මා එතැන සිටි­නවා යැයි මා හිතුවා” යුන් පැව­සීය.

සතිය පුරා පැවැති මේ වැඩ සට­හ­නේදී දකුණු කොරි­යා­නු­වන් 630 දෙනකු උතුරු කොරි­යා­නු­වන් 270 දෙනකු මුණ ගැස්වීම සඳහා රැගෙන එනු ලැබිණ. ඒ මුණ ගැසීම් ඉතා සංවේ­ග­ජ­නක හා හැඟී­ම්බර විය. වසර ගණ­න­කින් දැක නොමැති වුවත් නෑයන් වෙන් වශ­යෙන් හඳු­නා­ගත හැකි­වීම අපූ­රුය. ෙ

ලී සුම් දකුණු කොරි­යාවේ සිට පැමිණ සිටියේ උතුරු කොරි­යාවේ සිටින ලී සුන්ග් චුල් පුතා දැක ගැනී­ම­ටය. පියාගේ වයස අවු­රුදු 92කි. පුතුට 71කි. පුතුට අවු­රුදු හත­රේදී වෙන් වුණද මේ පිය පුතු අගේට එකි­නෙකා හඳුනා ගත්හ.

“පුතා එයාගේ අම්මා වගේ­මයි. පුතාට මගේ මුහුණ හඳුනා ගන්න බැරි වුණත් මං පුතා හඳුනා ගත්තා.” ලී සුම් ‘ටයිම්’ සඟ­රා­වට පවසා තිබිණ.

කොරි­යානු යුද්ධ­යෙන් ලක්ෂ 6 - 7 ක ජන­තා­වක් නෑසි­ය­න්ගෙන් වෙන්වෙද්දී මෙවැනි මුණ ගැසී­ම්ව­ලින් එකි­නෙකා යළි දැක ගත හැකි වූයේ අත­ළො­ස්ස­ක­ටය. අඩක් පමණ වය­ස්ග­තව මිය යද්දී ලක්ෂ දෙක­කට ආසන්න සංඛ්‍යා­වක් උතුරු කොරි­යාවේ සිටින නෑසි­යන් දැක ගැනී­මට ඒමට ලියා­ප­දිං­චිව සිටිති. ඒ අත­රි­නුත් මෙවර හමුව සඳහා තෝරා ගෙන ඇත්තේ ලියා­ප­දිං­චිව සිටි 57000ක් අත­රින් ලොත­රැයි ක්‍රම­යට තෝරා ගනු ලැබූ දහ­ස­ක­ටත් අඩු සංඛ්‍යා­වකි. නැදෑ­යන් මුණ ගැසීම් උතුරු කොරි­යානු රජය මගින් ඉතා දැඩිව නිරී­ක්ෂ­ණ­යට ලක් කළ අතර ඔවුහු එකට ගත කළ පැය 11දී එක්ව ආහාර ගනි­මින් පෞද්ග­ලි­කව හෝටල් කාම­ර­වල කල් ගත කළහ. එහෙත් ඔවුන්ට දේශ­පා­ල­නය තහ­නම් මාතෘ­කා­වක් විය. එදා මෙලෙස එකි­නෙකා හමුවූ ඥාතීන්ට යළි කවදා හෝ දිනක හමු­වෙ­තැයි යන්න සිහි­න­යක්ම පමණි. එනිසා ඔවුන්ගේ වෙන්වී­මද ඉතා සංවේ­ග­ජ­නක විය. ආපසු ගමන සඳහා දකුණු කොරි­යා­නු­වන් බස්ර­ථ­ව­ලට ගොඩ වැදී­මට පෙර එකි­නෙකා බදා වැල­ඳ­ගත් ඔවුහු හඬා වැල­පු­ණහ. බස්රථ හෙමින් සීරුවේ ඉව­තට ඇදී යද්දී වෙව්ලන ගතින් යුතු බොහෝ දෙනා බස්රි­ය­වල බඳ ස්ඵර්ශ කර­මින් ඒ දෑත් සිප ගනි­මින් නෑයන්ට සමු­දුන් අන්දම කාගේත් නෙත්ව­ලට කඳු­ළක් එක් කළේය.

“මේ පවු­ල්වල බොහෝ දෙනෙක් තමන්ගේ වෙන්වුණු ළඟම නෑයන් ජීව­තුන් අත­ර­දැයි නොදැන මිය යෑම අප රට­වල් දෙක­ටම ලජ්ජා­වක්. එනිසා මේ වැඩ සට­හන පුළුල් හා කඩි­නම් කිරී­මත් සියලු දෙය­ටම වඩා ඒ මුණ ගැස්වී­ම්ව­ලට මුල් තැන දීමත් කළ යුතුයි” මේ හමුවේ සංවේ­ග­ජ­නක වෙන්වීමේ අව­ස්ථාව දුටු දකුණු කොරි­යානු ජනා­ධි­පති මූන් ජේ ඉන් පවසා ඇත්තේය.

“කොරියා දෙක එක රටක් වුණොත් අපේ මීළඟ පර­ම්ප­රා­ව­ලට එකි­නෙකා මුණ ගැසිය හැකි වේවි. එනිසා මං මගේ දුවට දැන් වයස 72යි. ඒ නිසා හැකි­නම් තව අවු­රුදු 20ක් වත් ජීවත් වෙන්න උත්සාහ කර­න්නැයි මං මගේ දුවට කිව්වා” අහිමි වූ දිය­ණිය දැකී­මට පැමිණි දකුණු කොරි­යානු හ්වෑන්ග් යළි සිය­රට බලා යෑමට පෙර අද­හස් පළ කර­මින් මාධ්‍ය හා පැව­සීය.

 

Comments