හම්බන්තොට වරාය යුද කටයුතුවලට යොදා නොගැනීවියැයි ජපානයේ අභිලාශය බව ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය සුනේරි ඔනෙඩෙරා පවසයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයකු මෙරට නිල සංචාරයක යෙදෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මේ ප්‍රකාශය නිසා ඔහුගේ සංචාරය අතිශය වැදගත් වේ. ආරක්ෂක අමාත්‍යවරයා හම්බන්තොට වරායේද සංචාරයක නිරත වූ අතර ත්‍රිකුණාමල වරායටද ගොස් නිරීක්ෂණයක යෙදුණේය.
සෑම ප්‍රබල රටකටම භූ-දේශපාලනික වැදගත්කමක් ඇති ශ්‍රී ලංකාව තුළ සිදු වන ක්‍රියාකාරකම් ඒ ඒ රටවල් විසින් නිරීක්ෂණය කිරීම සාමාන්‍ය කරුණකි. පසුගියදා හම්බන්තොට වරාය මහජන චීනයට අනූනව අවුරුදු බදු ගිවිසුමකට පවරා දුන් අතර, ඒ සම්බන්ධයෙන් ඉන්දියාව විමසිල්ලෙන් පසු විය. එහි සිදු වන්නේ කුමක්ද යන්න ගැන ජපානයද විමසිල්ලෙන් පසු වන්නට වූ අතර, ඔවුන් එහි කටයුතු ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙයයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ දකුණු ආසියාතික කලාපයේ වර්ධනය වෙමින් පවතින මහජන චීන මැදිහත් වීම් අතරතුර ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතිශය වැදගත් බවයි.
ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නිල වශයෙන් හමු වීමෙන් පසු ජපානයේ එන්එච්කේ රූපවාහිනී සේවයට ප්‍රකාශයක් ලබා දුනි. එහිදී ඔහු කීවේ මහජන චීනය ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත් වීම සම්බන්ධයෙන් තමා ශ්‍රී ලංකා නායකයන්ගෙන් විමසූ බවයි. ඔනෙඩෙරා උපුටා දක්වමින් එන්එච්කේ රූපවාහිනිය ප්‍රකාශ කළේ හම්බන්තොට වරාය යුද කටයුතුවලට යොදා නොගන්නා බවට දෙපාර්ශ්වය අතර ගිවිසුමක් ඇති බවයි.
හම්බන්තොට වරාය මහජන චීනයට බදු පදනම මත පවරා දීමත් සමග දකුණු ඉන්දීය කලාපයේ ඇති වූ දේශපාලන නොසන්සුන්තාව පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වහා ප්‍රකාශ කළේ යුද කටයුතු සඳහා හම්බන්තොට වරාය යොදාගැනීමට ඉඩක් නොපවතින බවයි. එහෙත් ශ්‍රී ලංකාවට පැමිණ පෞද්ගලිකවම ඒ සහතිකය ලබාගැනීමට ජපානයට අවශ්‍යව ඇති බවක් එරට ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට නිල සංචාරයෙන් පැහැදිලි වන කරුණකි.
මීට පෙර ඉන්දියාවද මේ සම්බන්ධයෙන් උනන්දු වූ අතර, මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට බදු පදනම මත ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් වන්නේ එම තත්ත්වය තුලනය කරගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණීමට පෙර ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත විණි. එහිදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත. ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙරටේ අභිලාශයන් අනුව ද්විපාර්ශ්වීය හා කලාපීය වැදගත් දෑ සාකච්ඡාවට ලක් කළ බවයි. එහෙත් ඔවුන් දෙපළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කළාද, කළා නම් ඒ මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් දකුණු ආසියාතික කලාපයේ වර්ධනය වෙමින් පවතින මහජන චීන මැදිහත්වීම් ගැනත් ජපාන-ඉන්දීය නාවික සබඳතා පුළුල් කරගැනීම ගැනත් සාකච්ඡාවල හරය වී ඇත.
මේ අතර මේ දිනවල මහජන චීන ආරක්ෂක අමාත්‍ය වේ ෆෙන්ග් ද ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් සිටී. ඔවුන්ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණුය. විශේෂයෙන් දෙරට අතර ආරක්ෂක බැඳීම් තහවුරු කරගැනීම සම්බන්ධයෙනි. එහෙත් මහජන චීනය, ජපානය හා ඉන්දියාව ද්විපාර්ශ්විකව සාකච්ඡා කළත් බහු පාර්ශ්විකව ඔවුන් තුළ ඇත්තේ එකිනෙකා ගැන සැකයකි. ඒ සැකය ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකළත් ද්විපාර්ශ්විකව සාකච්ඡා කරන්නේ අනෙකාගෙන් එන තර්ජනයන් ගැන හා ඒවායෙන් ආරක්ෂා වන අන්දම ගැන බව පැහැදිලිය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව, මහජන චීනය හා ජපානය සාකච්ඡා කළේ මොනවාද යන්න අපැහැදිලිය. එහෙත් ඉන්දීය කලාපයේ භූ-දේශපාලනිකව වැදගත් ශ්‍රී ලංකාව, එම රටවල් තුනටම අතිශයින් වැදගත්ය. එනිසා ප්‍රසිද්ධියට පත් නොවුණත් එම සාකච්ඡා සභාවල ශ්‍රී ලංකාව මාතෘකාවක් බව සැකයෙන් තොරව කිව හැකිය. ඊට හේතුව මහජන චීනය හා ඉන්දියාව හම්බන්තොට සම්බන්ධයෙන් උනන්දු වීමත් ජපානය හදිසියේ ඒ සම්බන්ධයෙන් උනන්දු වීමත්ය.
දකුණු ආසියා කලාපයේ ප්‍රබල භූ-දේශපාලනික වැදගත් රටක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජපානය උනන්දු වන්නේ අදක-ඊයේක සිට නොවේ. කොටි සංවිධානය සමග සාම සාකච්ඡා සිදු කෙරුණ සමයේද ජපානය එම ක්‍රියාවලියේ ප්‍රබල භූමිකාවක් රඟ දැක්වීය. ශ්‍රී ලංකාවේ ආධාර කණ්ඩායම විසින් සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපාන විශේෂ නියෝජිතයකුද පත් කරගෙන තිබිණි. ජපානය එක එල්ලේ ශ්‍රී ලංකාවේ භූ-දේශපාලන වැදගත්කමට උනන්දු නොවූවත් ජපානය හා එකට සිටින ප්‍රබල රටවල් ඈලියේ අවශ්‍යතාව නියෝජනය කිරීමට ජපානය නිතරම සූදානම්ය.
ජපාන විශේෂ සාම නියෝජිතවරයා සාම සාකච්ඡා ක්‍රියාවලිය තුළ නිතර නියෝජනය කළේ එක්සත් ජනපදය ඇතුළු ආධාර කණ්ඩායමේ අවශ්‍යතාය. මෙවරද ජපානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතරම් උනන්දු වන්නේ හුදු ස්වෛරී රාජ්‍යයක අවශ්‍යතා මත නොවන බව නම් ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාවට ඉතිහාසය පුරා ඉන්දියාව හා ජපානය සමග ප්‍රබල ගැටුම් නොතිබුණද යම් යම් නොගැළපීම් තිබිණි. ඒවා සමහර විට උණුසුම් මට්ටමකටද ඇදී ගියේය. එහෙත් ජපාන-ශ්‍රී ලංකා සබඳතා තුළ වචනයකින් හෝ නොහොඳ-නෝක්කාඩුවක් ඇති වී නැත. දෙරට ඉතිහාසයේ හැමදාම කතා-බහ කරගත්තේ අතිශය ගැඹුරු මිත්රත්වයකිනි.
ඉන්දියාව, මහජන චීනය හා ජපානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උනන්දු වන විට ලෝකයේ වෙන කිසිවෙක් මේ කරුණු සම්බන්ධයෙන් උනන්දු නොවේයැයි උපකල්පනය නොකළ යුතුය. එසේ උනන්දු වන රටවල දිගු ලැයිස්තුවක් පවතී. එහෙත් විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන අභිලාශයන් ප්‍රබල වන බවකි. ඉන්දීය කලාපය තුළ එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වී ඇත්තේ මහජන චීනයේ කටයුතුය. විශේෂයෙන් මහජන චීනය ලෝකයා සමග සම්බන්ධ වීමට සකස් කරගෙන ඇති භූ-දේශපාලනික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිටින්නේ දැඩි උනන්දුවකිනි. මහජන චීනයේ ඒ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට හා මාල දිවයිනට වැදගත් ස්ථානයන් හිමි වන නිසා එක්සත් ජනපදය දකුණු ඉන්දීය සාගර කලාපය සම්බන්ධයෙන් ප්‍රබල නිරීක්ෂණයක යෙදී සිටී. ඒ සඳහා එක්සත් ජනපදය තම අභිලාශයන් මත "ස්ට්‍රිංස් පර්ල්ස්" නම් භූ-දේශපාලන ප්රතිපත්තියක්ද සකස් කරගෙන තිබේ.
ඉන්දීය සාගර කලාපයේ වරායන් අතර ජාලයක් නිර්මාණය කරගැනීමට මහජන චීනය මහන්සි විය. පසුගිය කාලය පුරා ඔවුන්ගේ වෙහෙස මහන්සියේ උපරිමය වූයේ මාලදිවයින සමග සබඳතා ගොඩනගාගැනීමයි. ඒ නිසා මහජන චීනය හා මාලදිවයින අතර අලුත් ගනුදෙනු සිදු විය. මේ නිසා මහජන චීන භූ-දේශපාලන අවශ්‍යතා තුළ මාලදිවයින උද්යෝගීමත් කොටස්කරුවකු බවට පත් විය.
ඉන්දීය සාගර කලාපය තුළ මහජන චීනයේ උන්දුව හුදු අහිංසක ක්‍රියාවක් නොවේ. තම භූ-දේශපාලන අවශ්‍යතා සඳහා වූ සැලස්මක් ඒ සියලු මැදිහත්වීම් තුළ පවතී. පසුගිය දෙසැම්බරයේදී මාලදිවයින සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කළේද මේ උපක්රමික අවශ්‍යතාව පෙරටු කරගෙනය. මේ උපක්රමික අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාවද පසුවන්නේ දැඩි උනන්දුවකය.
චීනයේ භූ-දේශපාලනික අවශ්‍යතා නිසා ඉන්දීය සාගර කලාපය තුළ ඉන්දියාව පසු වන්නේ සැකයෙනි. මාලෙහි පවතින චීන නාවික බලය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඔවුහු දකිති. ඉකුත් වසරේචීන නාවික යාත්‍රා කිහිපයක් මාලෙහි නවතා තැබූවේ ඉන්දීය විරෝධය නොතකාය. ඉන්දීය සාගර කලාපයේ චීන හැසිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කෙසේ අදහස් පළ කළද චීනයේ මතය වී ඇත්තේ මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉන්දියාවට අයිතියක් නැති බවයි.
ඉන්දියාවේ අභ්‍යන්තරයෙන් අදහස් පළ වන්නේ මාලදිවයින් අර්බුදයට මැදිහත් වීම ඉන්දියාව ගෝලීය ප්‍රබලයකු ලෙස වර්ධනය වන පෞරුෂය තුළ වැදගත් වන බවයි. එවැනි මැදිහත් වීමකදී ඇමෙරිකා එක්සත් ජනපදයත්, එක්සත් රාජධානියත් ඉන්දියාවට ශක්තියක් වනවා නොඅනුමානය. ඊට හේතුව වන්නේ ඉන්දීය කලාපය තුළ මහජන චීනයේ කැපීපෙනෙන වර්ධනය ඒ දෙරට විසින්ද නොඉවසීමයි. මහජන චීනයට ගැති මාලදිවයිනේ වත්මන් ජනාධිපති යාමීන් පදවියෙන් ඉවත් වීම ඇමෙරිකා එක්සත් ජනපදයේද එක්සත් රාජධානියේද කැමැත්තයි.
ශ්‍රී ලංකාව රාජපක්ෂ දේශපාලනයට නතු වීම මහජන චීනයේ අපේක්ෂාව බව ඔවුන්ගේ හැසිරීමෙන් පැහැදිලි වේ. ඊට හේතුව මහජන චීන භූ-දේශපාලනික අභිලාශයන් ඉෂ්ට කරගැනීමට එය පහසුවක් වීමයි. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ රාජපක්ෂ දේශපාලනය යළි ශක්තිමත් වීම ගැන ඔවුන්ගේ ඇති නොකැමැත්තයි. ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී හැඩතල ශක්තිමත් කිරීමේ දී අන්තර්ජාතික දේශපාලන අභිලාශයන් නොතකා හැරිය නොහැකිය. ඒ සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් යුතුව ප්‍රතිපත්ති සම්පාදනය අතිශයෙන් වැදගත් වේ.