
මෝටර් රථ රේස්වලින් ශ්‍රී ලංකා නාමය අන්තර්ජාතිකව ප්‍රචලිත කළ එකම ධාවකයා ඩිලන්ත මාලගමුවයි. නිතරම පාහේ ක්‍රීඩා මාධ්‍ය අවකාශයන්හි නම කියැවෙන ඩිලන්ත පිළිබඳව පසුගිය දින කීපයේ මාධ්‍ය වාර්තා වූයේ ඔහුට එල්ල වූ මරණ තර්ජනයක් පිළිබඳ වෙනස්ම පුවතකිනි.
එම වාර්තාවෙන් කියැවුණ සැකෙවි සටහන් වූයේ, ඩිලන්ත මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ඔහු විසින් පොලිස් මූලස්ථානයේ පොලිස්පති සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් අනුව විශේෂ පොලිස් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
මේ පුවතත් සමඟ අප මුලින්ම මෙහි සත්‍ය අසත්‍ය විමසීම සඳහා ඩිලන්ත මහතා ඇමැතීය.
“ මාව මරන්න කොන්ත්‍රාත්තුවක් දීපු හෝඩුවාවක් ගැන මට තොරතුරක් ලැබුණා. ඒ ගැන මං පොලීසියට පැමිණිල්ලක් දැම්මා. ගිය මාසෙ අන්තිම දවසක.
කොහොමද ඔබට හෝඩුවාව ලැබුණේ...?
පසුගියදා මාතර දී සිදු වූ ස්වර්ණාභරණ කොල්ලයේ දී අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තමයි මේ ගැන හෙළි වෙලා තියෙන්නෙ. එම කොල්ලකරුවන් රැගෙන ආ මිනී ඌෂි වර්ගයේ ගිනිඅවියෙන් තමයි මාව මරන්න සැලැසුම් කරලා තියෙන්නෙ. ඒ ගැන පරීක්ෂණ කරන මට ආදරය කරන පොලිස් නිලධාරි මහත්මයෙක් මට කතා කරලා මේ හෝඩුවාව දුන්නෙ. ඔයා මරන්න ඉන්නවා කියන හෝඩුවාවක් ලැබුණා. ගිහින් පොලිස් සහන මැදිරියේ පැමිණිල්ලක් දාන්න කියලා ඒ මහත්මයා කිව්වා. ඉතින් මං ගිහින් මගේ ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මා.“
ඩිලන්ත පසුගිය මස අවසාන භාගයේ දිනෙක පොලීසියට කළ එම පැමිණිල්ල ගැන මාධ්‍යයේ පළ වීමත් සමඟින් ඔහුව අමතා තිබුණේ රටේ අගමැතිවරයාය.
“ඇත්තටම මට හරිම සතුටුයි. අගමැතිතුමා කතා කරලා ඇහැව්වා, ඩිලන්ත මොකද්ද ප්‍රශ්නෙ. මං වහාම පොලිස්පතිට නියෝගයක් දෙනවා මේ ගැන විශේෂ පරීක්ෂණයක් කරන ලෙස කියලා. ඒ අනුව කොළඹ උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරමින් පසුගිය 15 වැනි දා පෙරවරුවේ ඩිලන්තව ඉදිරි පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවීය.
“පොලිසිය පැමිණිල්ල ගැන මගෙන් සියලුම විස්තර ඇහැව්වා. මං සියලුම විස්තර කිව්වා. පොලීසිය මගේ පැමිණිල්ල ගැන අපක්ෂපාතීව පරීක්ෂණයක් කරන බව මට තරයේ කියා සිටියා.
එලෙස ඩිලන්ත වැනි රටම ආදරය කරන චරිතයක් ඝාතනය කිරීමේ අරමුණ කුමක් ද?
“මෙහෙමයි, මට තේ ඉඩමක් තිබුණා. නාවලපිටියේ අක්කර 965ක. ඒ ඉඩම 2003 දී සමාගමක් විසින් ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් (ජනවසම) අවුරුදු 50 බදු ක්‍රමයට අරන් තියෙන්නෙ. 2007දී මම ඒ සමාගම මිලට ගත්තා. ඒ හරහා තමයි මට මේක අයිති වුණේ. ගිය ආණ්ඩු කාලෙදි ඒ පළාතේ හිටිය ප්‍රබල ඇමැතිවරයෙක් මේ ඉඩම ගන්න දැඩි සේ උත්සාහ කළා. ඔන්න ඔය වත්තෙ ප්‍රශ්නයක් තමයි මට මරණ තර්ජන එල්ල කරන්න හේතුව.
ජනවසමේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ බෙවන් පෙරේරා මගේ වත්ත නීති විරෝධි ලෙස මගෙන් පවරාගත්තා. මීට මාස හයකට විතර කලින්. එහෙම වත්තක් පවරගන්නවා නම් මං දන්න නීතිය අනුව නම් ආර්බීටේෂන් යා යුතුමයි. මගේ වැරැද්දක් තිබිය යුතුයි. එහෙම මගේ වැරැද්දක් අනුව පවරාගෙනයි නැවතත් කැබිනට් අනුමැතියකින් කාට හෝ දිය යුත්තෙ. එයා ඒ කිසිවක්ම නැතුව මගේ අයිතිය කැන්සල් කරලා ඔහුගේ දුවගෙයි බෑනගෙයි නමට ලියාගෙන. අන්න ඒකටයි මං සටන් කරන්නෙ. ඒ සටන ගෙනියන්න පුළුවන් වෙන්නෙ මං ජීවත්වෙලා හිටියොත් පමණයි. මොකද මගේ අම්මා ඕවා හොයන්නෙ නෑ. මගේ බිරිය ඉන්නෙ ජපානේ. මට ජනවසමෙන් දැනගන්න ඕනෑ මගේ වත්ත කොහොමද එහෙම දුන්නෙ කියලා.
මට හරිම දුකයි, ඒත් මේ මොන ප්‍රශ්න ආවත් මම ලංකාව නම් දාලා යන්නෙ නෑ. මං දන්නවා මේ රටේ මිනිස්සු මට ආදරේ බව. මං අවසානයට කියන්නෙ මෙච්චරයි. දැන් මේ වත්තෙ අයිතිය මට නෑනේ. මගෙන් මේ වත්ත ගත්තෙ කොහොමද කියලා මට කියන්න. ඒ ගැන වගකිවයුතු අය වහාම පරීක්ෂණයක් පවත්වන්න එච්චරයි.
ඩිලන්ත මහතා මේ ගැටලුව නිරාකරණය කරගැනීමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ බෙවන් පෙරේරා මහතා දෙවතාවකදීම හමුවී සාකච්ඡා කළ බවද කීවේය. මේ පිළිබඳව සැලවීමත් සමඟ ක්‍රියාකාරි අධ්යක්ෂවරයා මාධ්‍යයට කියා තිබුණේ, “මොහුව ඝාතනය කිරීමට මට කිසිදු අවශ්‍යතාවක් නෑ. මං එහෙම දෙයක් කළා නම් බය නැතිව කියනවා. ඩිලන්ත අපේ ගෙදරට ඇවිල්ලා කිව්වා මේ ඉඩම පවරාගන්න නම් එපා කියලා.“
එසේම මේ පිළිබඳව කරන පොලිස් පරීක්ෂණවලදී බෙවන් පෙරේරා මහතා ප්‍රකාශ කොට තිබුණේ, තේ වතුයාය පවරාගැනීම සිදු වූයේ සංවර්ධනය නොකිරීම සහ බදු මුදල් ගෙවීම පැහැර හැරීම මත 2015 කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් මත බවයි.
සත්‍ය අසත්‍ය සොයා බැලීමට අපක්ෂ අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කොට රටේ සෑම දෙනාටම සාධාරණත්වය ඉටුකිරීම වගකිවයුතු පාර්ශ්වවල යුතුකමයි.