
නේවි සම්පත් නැමැත්තෙක් පොලිස් අත්අඩංගුවේය. පොලිසියට අනුව නේවි සම්පත් අත්අඩංගුවට ගන්නේ සිවිල් පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් රඳවා තබා ඝාතනය කිරීමේ නින්දිත චෝදනාවට සැකකරුවෙක් ලෙසය. පැහැදිලිව ඔප්පු වන සාක්ෂි ප්‍රකාරව පුද්ගලයන් 11 දෙනෙක් මරා දමා ඇත. පැහැරගත් පිරිස රඳවා තබා ගන්නේ කොටුව නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට ඇති යම් ආරක්ෂිත නිවස්නයක ය. පිරිසෙන් කොටසක් කොළඹදී මරා දමන්නේය. ඉතිරි පිරිස ත්‍රීකුණාමලය නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් එතැනදී මරා දමා තිබෙන්නේය. අප ඉතිහාසයේ සිදුවූ අතිශය නින්දිත අපරාධයක් අබියසය.
දැන් මේ රට අපේක්ෂා කරන්නේ මරා දමන ලද මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනුවෙන් සාධාරණයකි. නේවි සම්පත් නැමැත්තෙක් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරය. නේවි සම්පත් නමින් අත්අඩංගුවට පත්වන්නේ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් වරයෙකි. ඔහු නමින් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි බව රහස් පොලිසිය කියන්නේය. සැකකරු අත්අඩංගුවට ගන්නේ ඉකුත් 13 වනදා කොළඹ ලෝටස් පාරේදීය. ඔහුව රැඳවුම් නියෝග මත රඳවා ගනිමින් ප්‍රශ්න කිරිමෙන් අනතුරුව සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා විසින් පසුගිය බදාදා (15) ඔහුව අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ ය.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ගේ නියෝග ප්‍රකාරව පොලිසිය විසින් අල්ලා ගත් නේවි සම්පත් ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතවය.
පොලිසිය විසින් පසුගිය 13 දා අත්අඩංගුවට ගත්තේ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව නේවි සම්පත් ලෙස හඳුනාගන්නේ මේ අවුරුද්ද මුල් භාගයේය. පොලිස් මූලස්ථානය වර්ෂ 2018 ජනවාරි මස මාධ්‍යවලට නිවේදනයක් නිකුත් කරමින් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත්, දැනට අධිකරණය මඟහැර සිටින ඔහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහයෝගය අවශ්‍ය බවත් කියා සිටියේය.
මේ අවුරුද්දේ ජනවාරියට කලින් නේවි සම්පත් නැමැත්තෙක් සම්බන්ධව පොලිස් පොත් වල ලියැවුණේය. විමර්ශන සිද්ධ වුණේය. අත්අඩංගුවට පත් වුණේය. මේ නේවි සම්පත්, මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැති නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් වරයාය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ය.
නේවි සම්පත් නැමැත්තෙක් සම්බන්ධව මුලින් ම ඇසෙන්නේ යුද්ධය පවතින කාලයේදීය. ඒ එවකට ගුවන් හමුදාපතිවරයාව සිටියේ රොෂාන් ගුණතිලකගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වන බලගන නායක නිශාන්ත ගජනායකත් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් වූ ප්‍රීතිවිරාජ් මනම්පේරි නැමැත්තාත් පිටකොටුවේ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයෙක් පැහැර ගෙන කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට පත්වීමෙන් පසුය.
මේ අවධිය වනවිට එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට කොළඹ ක්‍රියාත්මක වුන බුද්ධි ජාලයේ ගාමක බලය සහිතව සිටි කරුණා පාර්ශවයේ කාඩරයන් එල්.ටී.ටී.ඊ ට කප්පම් ගෙවන වග හොඳින්ම දැනගෙන හිටි ව්‍යාපාරිකයන් ඉලක්ක කරගෙන සිය කප්පම් ව්‍යාපාරය දියත් කර තිබුණහ. ඒ සමඟම විවිධ කප්පම් කල්ලි කොළඹ හැසිරුණේය. මේ කප්පම් කල්ලි ගැන විමර්ශනය කරගෙන යන පොලිසිය හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකගේ පුද්ගලික ආරක්ෂක නිලධාරී බලගණ නායක නිශාන්ත ගජනායකත් ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක්වන ප්‍රීති විරාජ් මනම්පේරි නැමැත්තාත් අත්අඩංගුට ගත්තේය. ඒ වර්ෂ 2007 ජුනි මස 21 දාය. නේවි සම්පත් නැමැත්තෙකුගේ කල්ලියක් කප්පම් ගන්නා බව මුලින්ම රහස් පොලිසියේදී හෙළි වන්නේ අත්අඩංගුවට ගත් ප්‍රීති විරාජ් මනම්පේරිගේ ප්‍රශ්න කිරීමේදී ඔහු කළ ප්‍රකාශයකට අනුවය.
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලකගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාට සමගාමීව තවත් කප්පම් කල්ලියක් මෙහෙයවන නේවි සම්පත් නැමැත්තා කවරෙක්දැයි සොයන රහස් පොලිසිය එදා හඳුනාගන්නා පුද්ගලයා මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් නැමැත්තෙකි. ඔහු ඒ වකවානුවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළේය. මේ තොරතුරු මත නේවි සම්පත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අදාළ මූලික ප්‍රශ්න කිරීම් සඳහා අවශ්‍ය කතිකාව කරගැනීමට එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වූ ජී.ඩබ්ලියු. ප්‍රතාපසිංහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩව මුණ ගැසෙන්නේය. පොලිසියට අවශ්‍ය සහය ඒ මොහොතේ ලැබෙන්නේ නැත. නාවික හමුදාපතිවරයා තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වූ මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත්ට එරෙහිව නැගෙන “නේවි සම්පත්” චෝදනාව පිළිගන්නේ නැත. සිද්ධිය එතැනින් යට යන්නේය.
නැවත වරක් නේවි සම්පත් නැමැත්තෙක් ගැන කතා කරන්නේ පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධව ලෝකය කම්පා කළ අවනඩුවේදීය. වර්ෂ 2008 සැප්තැම්බර් 17 දින දෙහිවලදී මෙම පුද්ගලයන් පැහැර ගන්නේ නේවි සම්පත් නැමැත්තෙකුගේ මූලිකත්වයෙන් බව කියැවුණේය. නැවතත් නේවි සම්පත් ලෙස හඳුනා ගන්නේ මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් ය.
අනතුරුව වර්ෂ 2009 මැයි මාසයේදී එවකට නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් තම පුද්ගලික ආරක්ෂක නිලධාරියාගේ අපරාධකාරී හැසිරීම සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් කරන්නේය. පැමිණිල්ල කරනු ලබන්නේ මේ පුද්ගලයා සම්බන්ධව නාවික හමුදාව පාර්ශ්වයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහුගේ පුද්ගලික කුටිය මුද්‍රා තැබීමෙන් අනතුරුවය. නාවික හමුදාපතිවරයාගේ පැමිණිල්ලේ කියැවෙන්නේ තම පුද්ගලික ආරක්ෂක නිලධාරියා මිනිසුන්ගෙන් කප්පම් ගැනීම සඳහා ඔවුන් පැහැරගෙන ගොස් මරා දමා ඇති බවය.
මේ වනවිට තවත් සිදුවීමක් වාර්තා විය. තරුණයන් පැහැරගැනීම සිදුවන 2008 සැප්තැම්බර් 6 දා වනතෙක් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් නමින් සිටි ලුතිනන් කමාන්ඩර් වරයා 2008. 11. 21 සුබසෙත පුවත්පතේ දැන්වීමක් දමා සිය නම මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ ලෙස වෙනස් කරගෙන තිබුණේය.
පැහැර ගැනීම
නේවි සම්පත් නැමැත්තකුගේ මූලිකත්වයෙන් 2008 සැප්තැම්බර් 6 දා දෙහිවලදී පැහැරගත් පුද්ගලයන් පස් දෙනෙක් ඇතුළු 11 දෙනෙක් සම්බන්ධව රහස් පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ නාවික හමුදාපතිවරයාගේ පැමිණිලි ප්‍රකාරවය.
නාවික හමුදාපති තම පුද්ගලික ආරක්ෂක නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන තැනකට යන්නේ ඔහු කප්පම් ලබාගැනීම සඳහා මිනිසුන් පැහැර ගන්නා කල්ලියකට නායකත්වය දෙන බව කරුණු සහිතව දැනගන්නට ලැබීම නිසා බව කියැවිණි. ඔහුගේ එම පැමිණිල්ල සමඟ ලුතිනන් කමාන්ඩර් මුණසිංහ නාවික හමුදාවෙන් පළා යන අතර ඒ සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ නිල කාමරය සීල් තබන්නේය. 2009 ජූනි 20 වැනි දින එම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේය. ඔහු ඉදිරියේ සීල් තබන ලද නිල කාමරය විවෘත කොට එය පරීක්ෂාවට ලක් කරන්නේය. එහිදී පැහැර ගන්නා ලද තරුණයන් පස්දෙනාගේ ගමන් බලපත්‍ර හා ජාතික හැඳුනුම්පත් 5 සොයා ගන්නේය. එදා ලුතිනන් කමාන්ඩර් මුණසිංහව රහස් පොලිසිය හඳුනා ගත්තේ නේවි සම්පත් නමින් ය. ඔහු අත්අඩංගුවට පත්වූ විට මාධ්‍යය කීවේ නේවි සම්පත් අත්අඩංගුවට පත්වූ බව ය. නේවි සම්පත් යනු මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් හෙවත් මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ බව මාධ්‍යයට තහවුරු කළේ රහස් පොලිසිය ය.
නේවි සම්පත් මාරු වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට පත්වීමත් සමඟ ය. රවිරාජ් ඝාතන සිද්ධියේ රජයේ සාක්ෂිකරු ලෙස පෙනී සිටින්නේ එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ ප්‍රීති විරාජ් මනම්පේරි ය. ඔහුගේ සාක්ෂියේ කියැවුණේ නේවි සම්පත් විසින් රවිරාජ් ඝාතනය කළ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වෙත ත්‍රී රෝද රථයකින් පැමිණ ඝාතන අවිය ගෙනැවිත් දුන් බවය. ඒ සාක්ෂිය මත ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට පත්වන්නේය. ඔහුට ගිනි අවිය ගෙනත් දුන් නේවි සම්පත් ලෙස අත්අඩංගුවට පත්වන්නේ මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ ය. ඔහුව 2015 මාර්තු මස 13 දා අත්අඩංගුවට ගන්නේය. මාස තුනක් අත්අඩංගුවේ පසුවන්නේය. ඒ අතර නිලන්ත සම්පත් මුණසිංහ සිය නීතිඥයන් මඟිින් පෙන්වා දෙන්නේ නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය දින ඔහු කොළඹ නොසිටි බවය. විශේෂ රාජකාරියක් සඳහා කන්කසන්තුරය ප්‍රදේශයට වාර්තා කර තිබුණු බවය. ඒ අනුව මුණසිංහ ආරච්චිගේ දොන් නිලන්ත සම්පත් මුණසිංහ චෝදනාවෙන් නිදහස් වන්නේය. නිදහස්ව එන ඔහු රහස් පොලිසියට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධව පැමිණිල්ලක් ගොණු කිරීමට සූදානම් වන විට ප්‍රකාශයක් කරන ප්‍රීති විරාජ් මනම්පේරි තමන් නේවි සම්පත් ලෙස හඳුනා ගත්තේ සම්පත් මුණසිංහ නොව චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි බව කියන්නේ ය. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නේවි සම්පත් ලෙස මුලින් ම ප්‍රකාශ වන්නේ ඒ ආකාරයට ය.
එහෙත් මේ සාක්ෂිය සමස්තය අතාර්කික කළේය. ඔහුගේ මුල් සාක්ෂිය ප්‍රකාරව රවිරාජ් ඝාතනයට ගිනි අවිය ගෙනත් දී ඇත්තේ නේවි සම්පත් ය. නේවි සම්පත් අවිය ගෙනත් දී තිබුණේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට ය. ඔහුගේ දෙවන සාක්ෂිය අනුව නේවි සම්පත් යනු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ය. ඒ අනුව හෙට්ටිආරච්චි විසින් හෙට්ටිආරච්චිට ම ගිනි අවිය ගෙනත් දී තිබිණි. මේ පරස්පරය උසාවියේදී තහවුරු වීමත් සමඟ චූදිතයෝ ඝාතන චෝදනාවෙන් නිදහස් වූහ. හෙට්ටිආරච්චි මුල්වරට නේවි සම්පත් වන්නේ එසේ ය. දෙවන අවස්ථාවේදී ඔහු නේවි සම්පත් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් අවශ්‍ය බව කියා පළ කළ ප්‍රසිද්ධ මාධ්‍ය දැන්වීම නිසා ය. අත්අඩංගුවට පත් පුද්ගලයා නේවි සම්පත් හෝ වෙන ඕනෑම කෙනෙක් වෙන්නට හැකිය. රටට අවශ්‍ය වන්නේ මේ අපරාධය කළ සැබෑ අපරාධකරුවන්ට දඬුවම් කිරීමය. එල්ලවන චෝදනා නිමක් නැත. එහෙත් එතැනින් ඉදිරියට මේ ගමන යන්නේ නැත.
පුද්ගලයන් 11 දෙනා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධ සිද්ධියට අදාළ චෝදනා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණරත්න වෙතත් එල්ල වී තිබේ. ඒ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට රුපියල් ලක්ෂ පහක මුදලක් ලබාදී ඔහු රටින් පිට කිරීමට උදව් කළ බවටය. ඉකුත් අප්‍රියල් 20 දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ චෝදනාව ඍජුවම රවී විජේගුණරත්නට කළේය. එමෙන්ම මේ මුදල රවී විජේගුණරත්න නාවික හමුදාපති සමයේ ඔහු විසින් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්ට ලබා දී ඇත්තේ නාවික හමුදාපති අරමුදලින් බව රහස් පොලිසිය කියන්නේ ය.
දැන් රහස් පොලිසිය කියූ නේවි සම්පත් අත්අඩංගුවේය. නාවික හමුදාවේ සිටියදී අපාරධ කළ බවට චෝදනා ලැබ තිබෙනා සැකකරුවෙක් වසන් කිරීම සඳහා නාවික හමුදාපති ලෙස නාවික හමුදාවේ මුදල් අවභාවිත කළ බවට රහස් පොලීසිය රවී විජේගුණරත්නට එල්ල කරන චෝදනාව විභාග කිරීම සම්බන්ධව දැන් ගැටලුවක් නැත. එසේ නොවන්නේ නම් එය රටට ගැටලුවකි. රවී විජේගුණරත්න වරදක් කර ඇත්නම් ඔහු අත්අඩංගුවට නොගැනීම ගැටලුවෙකි. කොටින්ම “නේවි සම්පත්” සංකේතයම රටට ගැටලුවකි.
ප්‍රශ්නය එතැනම ය. සියල්ල රැගෙන යමින් ඇත්තේ වෙනත් දිශානතියක් කරාය. මේ කිසිවක් මරාදැමූ නිරායුධ මනුෂ්‍යයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැත. මේ රට ඉල්ලා සිටින්නේ ඒ සාධාරණය ය.
ඡායාරූපය-නිරෝෂ් බටේපොළ