සරසවි ත්‍රස්තවාදයේ තවත් හෙළිදරව්වක්: සිංහ­රාජ කැලෑවේ රෑ එළි වන තුරු සීතලේ වධ හිංසා | සිළුමිණ

සරසවි ත්‍රස්තවාදයේ තවත් හෙළිදරව්වක්: සිංහ­රාජ කැලෑවේ රෑ එළි වන තුරු සීතලේ වධ හිංසා

“අපිට විශ්ව­වි­ද්‍යාල ජීවි­ත­යම එපා වෙලා. මේ තොර­තුරු මාධ්‍යට දුන්න­හම උත්ත­ම­යන් අපිව තවත් මරන්න හදයි. අපි මේ දවස් වල ගොඩාක් හිත හදා­ගෙන විභා­ග­යට පාඩම් කරන්න උත්සහ කර­නවා. විභා­ග­යෙන් පස්සේ අපි ඒ අපා­යට තව දුර­ටත් යන­වද නැද්ද කියලා අපි­ටම තීන්දු­වක් ගන්න සිද්ධ වේවි. විශ්ව­වි­ද්‍යා­ල­යට ගිය මුල්ම සතියේ අපිට කිසිම කර­ද­ර­යක් වුණේ නැහැ. ඒ සතිය කිව්වේ ‘මල් සතිය‘ කියලා. අපි අපේ පාඩුවේ හිටියා.

දෙවැනි සතිය වෙන කොට අපි උද්ඝෝ­ෂ­ණ­ය­කට හිර වුණා. ඊට පස්සේ මාස දෙකක් විශ්ව­වි­ද්‍යා­ලය වහලා තිබුණා. ආයිත් අපි ගියේ හරිම සතු­ටින්. දෙවැනි වර ගිය මුල්ම දිනයේ සැලෝන් එක­කට ඇඳ ගෙන ගිහින් උත්ත­ම­යන් අපේ කොණ්ඩය ඒ ඒ අයට කැමැති විදි­යට කැපුවා. එතැ­නින් තමයි මේ හැම දෙයම පටන් ගත්තේ. ඉන් පස්සේ ටිකෙන් ටික දේශ­නා­ගා­ර­ව­ලට එන්න ගත්තා.

මුලින්ම අපි සුන්දර යැයි සිතූ දේ එන්න එන්නම දරුණු වෙන්න ගත්තා. විශ්ව­වි­ද්‍යාල ජීවි­තය වධ­කා­ගා­ර­යක්ද කියලා හිතුණා. උත්ත­මා­වන් දරුණු විදි­යට අපිට ගහන්න හිරි­හැර කරන්න උත්සාහ කළා. දේශන ඉවර වෙලා හොස්ටල් යන්න ඕන ඒ අය කියන පාරෙන්. එහෙම නොගි­යොත් ඒකත් දරුණු වධ­යක් වෙනවා. මඟදි මේ උත්ත­ම­යන් අපිව අල්ල ගන්නවා. අල්ල­ගෙන ගිහින් පිට්ට­නියේ එහෙම නැති නම් උත්ත­ම­යන්ගේ හොස්ටල් එකට ගිහින් දරුණු විදි­යට වධ දෙනවා. බාත්රූම් වලට එක්ක­ගෙන ගිහින් දරු­ණු­වට ලිංගි­කව වධ දෙනවා. කන පුපුරු ගහන කම්ම ගහ­නවා.

ඒ හැම­දේම ඉව­ස­ග­ත්තත් ලිංගි­කව දෙන හිරි­හැර අපිට දරුණු මාන­සික වධ­යක් වෙන්න ගත්තා. බකට් එක දුන්න­හම අපි හිතුවේ රැග් එක ඉව­රයි කියලා. ඒත් බකට් එකෙන් පස්සේ පටන් ගත්තේ දරුණු ලිංගික හිරි­හැර. කෙනෙ­කුට කියන්න බැරි විදියේ වධ. මේ නිසා අපේ යාළු­වන් ගොඩාක් ලෙඩ වුණා. ගොඩාක් අය විශ්ව­වි­ද්‍යා­ලය හැර ගියා. අපි ආයෙත් මේ වගේ දරුණු වධ විඳින්න විශ්ව­වි­ද්‍යා­ල­යට යන­වද නැද්ද කියලා තීර­ණය කර ගන්න වෙලා...“ ඒ සර­සවි සිසු­වෙ­කුගේ සත්‍ය කතා­වකි.

“විශ්ව­වි­ද්‍යා­ල­යට ගිය මුල්ම දවසේ අපිට කියපු දෙයක් තමයි ඒගොල්ලෝ කිය­න­කම්, මීට පස්සේ තන­පට අදින්න බැහැ කියලා. මාස කීප­යක් ම ඒක තිබ්බා, ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවෝ ඒවා පරික්ෂා කරා. ගොඩාක් බලා­පො­රොත්තු තියා­ගෙන ආපු විශ්ව­වි­ද්‍යාල ජීවි­තය මට නම් එපා වුණා.

අපිට ලිංගික චිත්‍ර­පට ගෙනල්ලා දීලා, ඒවා බලල ඒක ගැන දැනුණු හැඟීම් ලිපි­යක් ලෙස ලියා­ගෙන එන්න කිව්වා, මම ඒක කළේ නැහැ. ඒ නිසා මට දරුණු දඬු­වම් විදින්න වුණා. මම එකම එක දව­සයි හොස්ටල් එකේ හිටියේ, ඒක නම් අපා­යක්. එක් දව­සක් අපිට අඩ නිරු­වත් වෙලා නටන්න කිව්වා. මම ඊළඟ දව­සෙම අම්මට කියලා ගෙදර නැව­තුණා.“ ඒ තවත් සර­සවි සිසු­වි­ය­කගේ දුක්මුසු අතීත ආව­ර්ජ­න­යකි.

නැගෙ­න­හිර සර­ස­වියේ ක්‍රියා­ත්මක සිසු වධ­කා­ගා­රය ගැන සිළු­මිණ පුව­ත්ප­තින් අපි අනා­ව­ර­ණය කළේ පසු­ගිය සති­ය­කය. මේ වධ­කා­ගාර නැගෙ­න­හිර සර­ස­වි­ය­ටම පොදු වූවක් නොවන අතර මෙවැනි දෑ බොහෝ සර­සවි වල ඇති බව සම­හර බල­ධා­රීහු පවා නොද­නිති.

සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ මෙවැනි නව­ක­වධ දෙන්නට රැගෙන යන්නේ සිංහ­රාජ වන­යට බව වාර්තා වෙයි. ඔවුන් සිංහ­රා­ජ­යට ගෙන යෑම යනු­වෙන් අද­හස් කරන්නේ වධ­කා­ගා­ර­ය­කට ගෙන­යෑ­මය. සිංහ­රා­ජයේ සීතලේ ගැහෙ­මින් රැයක් පුරා­වට මේ සිසුන්ට දරුණු වධ­යන්ට ලක් වන්නට සිදුවේ.

සර­ස­වියේ සුන්දර මත­ක­යන් අසු­න්දර කළ මෙවැනි බිහි­සුණු වධ­යන් ගැන අලුත් කති­කා­ව­තක් ඇති වී ඇත්තේ මේ වන විට නව­ක­ව­ධය තුරන් කිරීමේ කට­යු­ත්තට රජය ද දැඩි සේ අත ගැසූ නිසාය. දැන් නව­ක­ව­ධය දෙන්නන්ට උරු­මව ඇත්තේ සර­සවි අධ්‍යා­ප­නය නොව සිපිරි ගෙයය. නවක වධය හා සම්බන්ධ සිදු­වී­මක් සම්බ­න්ධ­යෙන් සිසුන් පිරි­සක් අව­සන් වරට අත්අ­ඩං­ගු­වට ගැනුණේ අගෝස්තු 17 දා ය.

වේය­න්ගොඩ උසස් තාක්ෂණ ආය­ත­නයේ සිසුහු 11ක් නවක වධ­යට විරුද්ධ වූ සිසුන් දෙදෙ­නෙ­කුට පහ­ර­දීමේ චෝද­නාව මත පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වූහ. පහ­ර­දීම නිසා තුවාල සිදුවූ සිසුහු දෙදෙනා ගම්පහ මුලික රෝහ­ලට ඇතු­ළත් කරනු ලැබූහ.

එසේම පසු­ගිය ජුලි මාසයේ රුහුණු සර­ස­වි­යට ඇතු­ළත් වූ භික්‍ෂුන් වහන්සේ නමක් නිරු­වත් කර අමා­නු­ෂික ලෙස නවක වධය දුන් බවට නැඟුණු චෝද­නා­වක් මත ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂුන් පස් නමක් අත්අ­ඩං­ගු­වට ගත් බව ද මාධ්‍ය වාර්තා විය.

ඒ ආකා­ර­යෙන් ම පසු­ගිය ජුනි මාසයේ ද ගාල්ල, ලබු­දූව උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආය­ත­නයේ කෘෂි තාක්ෂණ පීඨයේ සිසු­වි­යන් සිවු­දෙ­නෙකු සහ සිසු­වෙකු පොලිස් අත්අ­ඩං­ගු­වට පත්වුයේ, තමන්ට අමා­නු­ෂික ලිංගික වධය දුන් බවට නවක සිසු­වි­යන් පොලි­සි­යට කළ පැමි­ණි­ල්ලක් අනු­වය.

මේ සිදු­වීම් සියල්ල වන අතරේ උසස් අධ්‍යා­පන ඇමැති විජ­ය­දාස රාජ­පක්ෂ මහතා සිය හඬ අවදි කළේ රටේ ලොකුම පාතා­ලය ක්‍රියා­ත්ම­කව ඇත්තේ විශ්ව­වි­ද්‍යා­ලය තුළ බව පව­ස­මිනි. එසේ කිය­න්නට හේතු සාධක දක්ව­මින් ඇමැ­ති­ව­රයා පව­සන්නේ විශ්ව­වි­ද්‍යාල ඉති­හා­සයේ මේ වන විට නවක වධය හේතු­වෙන් සිසුන් 14 දෙනෙකු මිය­ගොස් ඇති බවකි. එසේම 2016/2017 අධ්‍ය­යන වර්ෂ­වල නවක වධය හේතු­වෙන් සිසුන් 637 දෙනෙකු විශ්ව­වි­ද්‍යා­ලය අත­හැර ගොස් ඇති බවකි.

2015/2016 අධ්‍ය­යන වර්ෂ­වල මේ ප්‍රමා­ණය 1352 ක් වී ඇති බව ඇමැ­ති­ව­රයා සඳ­හන් කරයි. මෙහි වඩාත් භයා­න­කම තත්ත්ව­යක් වෙයි. එක් පැත්ත­කින් දරු­වන්ගේ අපේක්ෂා භංග­ත්වය රට­කට හානි­දා­ය­කය. තවත් පැත්ත­කින් මවු­පි­යන්ගේ අපේක්ෂා භංග­ත්වය පවුල් ප්‍රශ්න­යන්හි ආර­ම්භය වෙයි. එසේම සෘජු­වම නිද­හස් අධ්‍යා­ප­නය වෙනු­වෙන් රට වෙන් කරන අති විශාල මුදල් ප්‍රමා­ණය වතු­රේය.

පාසලේ ලැබෙන නිද­හස් අධ්‍යා­ප­න­යට අම­ත­රව වර්ත­මා­නයේ විශ්ව­වි­ද්‍යාල සිසු­වෙකු වෙනු­වෙන් රජය රුපි­යල් ලක්ෂ 5 ක් පමණ වැය කරන්නේ කෙදි­නක හෝ එහි ප්‍රති­ලාභ රටට උරුම වන නිසාය. විශ්ව­වි­ද්‍යා­ල­යක සිසුන් කිහිප දෙනෙකු විසින් යම් යම් දේශ­පා­ලන න්‍යාය පත්‍ර­යන් මත හෝ විවිධ පටු අර­මුණු වෙනු­වෙන් පතු­රන මෙවැනි ම්ලේච්ඡ­ත්ව­යන් මඟින් අව­සා­නයේ ඔවුහු රටේ දේපළ විනාශ කරන වැරු­දි­ක­රුවෝ වෙති.

“අපිව හොස්ටල් එකෙන් එළි­යට ගෙනි­යන්නේ යූනි­යන් වැඩට ගෙනි­ය­නවා කියලා. ඒ ගෙනි­හින් රෑට ලිංගික හිරි­හැර දෙනවා. අන්ති­මේදි අපේ දුක බලන්න විශ්ව­වි­ද්‍යාල බල­ධා­රී­න්වත් නැහැ. අපි මේ අයට ප්‍රශ්න දාන්න දාන්න මේ අය අපෙන්ම පළි ගන්නවා. ගුරු­ව­රුන් ෂුවර් කරන්න එපා කිය­නවා. උත්ත­මා­වන්ව ගරු කළේ නැහැ කිය­නවා. හැම පැත්තෙන්ම අපි අස­ර­ණ­යිත

ඉංග්‍රීසි කතා කෙරු­වොත් ඉව­රයි. සපත්තු දාන්න තහ­නම්. පාට කමිස ඇන්දොත් ඉව­රයි. සුදු ඇඳුම්ම අඳින්න ඕන මළ ගෙයක යනවා වගේම. සම­හර විට සෙකන්ඩ් බැච් එකට අපිව හදන්න අමා­රුයි කියලා හිතු­ණොත් අපිට තර්ඩ් බැච් එකට බාර දෙනවා. එත­කොට ලැබෙන්නේ ඊට වඩා දරුණු වධ හිංසා.“

විශ්ව­වි­ද්‍යාල ප්‍රධා­නීන් පව­සන්නේ මේ පිළි­බඳ නිවැ­රදි තොර­තුරු ලැබීමේ අඩු­වක් පව­තින අතර ඊට ගොදුරු වන්නන්ද තොර­තුරු සැප­යීමේ මැළි කමක් දැක්විම හේතු­වෙන් නව­ක­ව­ධ­යට නිසි ක්‍රියා­මාර්ග ගැනී­මට අප­හසු වී ඇති බවයි.

“නවක වදය තියෙ­නවා. අපි නැහැ කියන්නේ නැහැ. ඒත් අපි සෑහෙන්න උත්සාහ කරන්නේ මෙය අවම කර ගන්න. ඒත් අපිට පම­ණක් මෙය තනි­වම කරන්න බැහැ. ප්‍රධා­නම කරුණ නවක වධ­යට ලක්ව­න්නන් ඒ පිළි­බඳ තොර­තුරු සැප­යීමේ මැළි­කම. බොහෝ­ම­යක් දරු­වන් වගේම මවු­පි­යන් මේ පිළි­බ­ඳව තොර­තුරු දෙන්නේ නිර්නා­මි­කව. තොර­තු­රුක් නැතිව හෝ වැරදි තොර­තු­ර­කට අපිට කාට­වත් දඩු­වම් කරන්න අමා­රුයි. මේ වන විට නවක වධය හේතු­වෙන් විශ්ව­වි­ද්‍යා­ලය හැර ගිය අය ඉන්නවා. මෙහි අවා­ස­නා­වන්ත පිරිස තමයි එසේ හැර යන ළම­යි­න්ගෙන් යමක් කමක් කර ගැනී­මට නොහැකි දරු පිරිස.

අන්තිමේ දි මේ අය අයාලේ යනවා. නව­ක­ව­ධය දෙන්නන් මේ දරු­වන්ට නිද­හස් අධ්‍යා­ප­නය එපා කර­ව­නවා. ඒ වගේම මේ වසරේ නවක වධ­යට ලක්වුණු සිසුන් ලබන වසරේ තවත් එවැනි පිරි­ස­කට දඩු­වම් දෙනවා. එය මෙහි තවත් කන­ගා­ටු­දා­යක කරු­ණක්.

පසු­ගිය දින­වල රුහුණු විශ්ව­වි­ද්‍යා­ලය විශාල ප්‍රශ්න­ය­කට මුහුණ දුන්නා. මේ අව­ස්ථා­වේදි අපි ඒ අයගේ මවු­පි­යන්ට එන්න කිව්ව­හම සිසුන් ඊට දැඩි ලෙස විරුද්ධ වුණා.

කොහොම වුණත් අපි මේ පිළි­බ­ඳව වාර්තා වු හැම වෙලා­වේම අවශ්‍ය පිය­වර ගත්තා. නවක වදය හා ප්‍රච­ණ්ඩ­ත්වය වැළැ­ක්වීමේ පනත යටතේ මේ පිළි­බ­ඳව ක්‍රියා­කි­රීමේ සම්පූර්ණ බලය තියෙන්නේ පොලී­සි­යට.

නමුත් යම් යම් අවස්ථා වල පොලී­සිය ක්‍රියා­ත්මක වෙනවා අඩුයි. අනෙක් පැත්තෙන් පොලී­සිය නීතිය ක්‍රියා­ත්මක කළත් නොක­ළත් ප්‍රශ්න­යක්. ඒ නිසා මේ බර­ප­තළ ව්‍යස­නය තුරන් කරන්න හැම දෙනාම එකා­වන්ව නැගී සිටිය යුතුයි....“ ඒ රුහුණු විශ්ව විද්‍යා­ලයේ උප­කු­ල­පති ජ්‍යෙෂ්ඨ මහා­චාර්ය ගාමිණි සේනා­නා­යක මහ­තාය.

“ අපේ විශ්ව­වි­ද්‍යා­ලයේ මේ වන විට නවක වදය කරන්න කිසිදු ඉඩක් නැහැ. අපිට චෝද­නා­වක් පැමි­ණිය හොත් අපි එය අව­සා­නය දක්වාම ගෙනි­ය­නවා. මේ වන විටත් හිංස­න­යට ලක් කළ සිසුන්ගේ පන්ති තහ­නම් කළා.

දරු­වන්ගේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම ඒ අයගේ ප්‍රශ්න වෙනු­වෙන් මම පෙනී සිටි­නවා. දරු­වන්ව හිරේ දාලා හදන්න මට අවශ්‍ය නැහැ. සම­හර පැමි­ණිලි ගේන්න සිසුන් භයයි. භය නැතුව මේ පැමි­ණිලි කරන්න මම මගේ දුර­ක­ථ­නය පැය විසි හත­රේම විවෘ­තයි. නේවා­සි­කා­ගා­ර­වල පවා ප්‍රශ්න­යක් මතු­වු­වොත් කුමන ක්‍රම­ය­කින් හෝ මට හෝ අදාළ බල­ධා­රීන්ට දැනුම් දෙන්න පුළු­වන්.

විශ්ව­වි­ද්‍යා­ලයේ වින­යා­ධි­කාරි පැය 24 ම විශ්ව­වි­ද්‍යා­ලය තුළ රැදී සිටිය යුතුයි. ඔහු නිවාඩු ගියොත් අනි­වා­ර්ය­යෙන්ම වැඩ බලන්න කෙනෙක් පත් වෙනවා. මම දරු­ව­න්ගෙන් ඉල්ලන්නේ විශ්ව­වි­ද්‍යා­ලයේ නිද­හස භුක්ති වින්දට කමක් නැහැ නමුත් හිංස­නය එපා කිය­ලයි...“ ඒ ජය­ව­ර්ධන පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උප­කු­ල­පති සම්පත් අම­ර­තුංග මහ­තායි.

මේ වන විට රට පුරා විශ්ව­වි­ද්‍යාල වල 91600ක සිසු පිරි­සක් අධ්‍යා­ප­නය ලබති. එසේම ඒ පිරි­ස­ක­ගෙන් එක් අයෙකු වත් නවක වධය හේතු­වෙන් විශ්ව­වි­ද්‍යා­ලය හැර යන්නට කැමැති නැත. අප රට වොෂිං­ටන් ජාත්‍ය­න්තර සම්මු­ති­යට ඇතුළු වි ඇත. ඒ අනුව විශ්ව­වි­ද්‍යාල සිසු­වෙ­කුගේ පැමි­ණීම සිය­යට 80ක් සම්පූර්ණ කර තිබිය යුතුයි. එහෙත් එවන් තත්ත්ව­යන් මත අපේ සිසු­වෙ­කුට ලොව ඕනෑම ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යා­ල­ය­කට ගොස් පශ්චාත් උපා­ධිය සම්පූ­රණ කර ගැනී­මට නොහැකි වෙදැයි ප්‍රශ්න­යකි.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­සම් සභාවේ පිහි­ටුවා ඇති නව­ක­වධ මෙහෙ­යුම් කාර්යා­ල­යට පසු­ගිය වසර දෙකේදි පම­ණක් පැමි­ණිලි 414 ක් ලැබී ඇත.

ඒ සිය­ල්ලම සිංහල සිසු­න්ගෙනි.

එසේම ඒ භය නැතුව ඉදි­රි­පත් වු සිසුන් කිහිප දෙනෙ­කුගේ පැමි­ණිලි පමණි. තව නොලැ­බුණු පැමි­ණිලි කොතෙ­ක්දැයි අපට සිතා ගත නොහැකි තරම්ය.

“මේ වසර දෙකේ විශ්වි­වි­ද්‍යා­ලය හැර ගිය සිසුන් අපේ විශ්ව­වි­ද්‍යා­ලයේ නැහැ. ඒත් නව­ක­ව­ධය නිසා සර­ස­විය හැර ගිය සිසුන් සර­සවි තුළ ඉන්නවා. මේ ප්‍රශ්න­යේදි අපි සිසුන් සමඟ සුහ­දව ගනු­දෙනු කළ යුතුයි. ළමයි එක්ක කතා­බහ කර­ගෙන ප්‍රශ්න විස­ඳිය යුතුයි. ඒ සඳහා සුදුසු ආචා­ර්ය­ව­රුන් සිටිය යුතුයි. කේන්ති යන දරු­වන් තේරුම් ගන්නේ නැති ආචා­ර්ය­ව­රුන් මේ කට­යු­ත්තට සුදුසු නැහැ. අපි එහෙම කියලා දරු­වන්ට සිය­යට සිය­යක් නිද­හස දෙන්න යන්නේ නැහැ. සාමා­න්‍ය­යෙන් නේවා­සි­කා­ගාර වලත් ක්‍රියා­ත්මක වෙන්නේ‍ ­වි­ශ්ව­වි­ද්‍යාල නීති­ය­මයි. ඒ නිසා නේවා­සි­කා­ගා­ර­වල එවැනි දේ කළොත් හිමි වන්නේ එකම දඩු­ව­මයි..... “ඒ කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ නියෝජ්‍ය උප­කු­ල­ප­ති­ව­ර­යාය. “ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ නව­ක­ව­දය නැහැ කියන්නේ නැහැ. අඩු වැඩි වශ­යෙන් පව­ති­නවා. එකම දේ නව­ක­ව­ධ­යට ලක්වුණු කෙනා ඉදි­රි­පත් නොවී­මයි. අපි රැග් එකට කිසිම බුරු­ලක් දෙන්නේ නැහැ. එතැ­නදී අපේ ඉව­සීම සිය­යට බිංදු­වයි.

අද නව­ක­ව­ධය නිසා විශ්ව­වි­ද්‍යා­ල­යට ආපු දව­සේම සම­හර අය තීර­ණය කර­නවා නැවත නෑවිත් ඉන්න. මේ අයව අපි ගෙන්නා ගන්න ගොඩාක් උත්සාහ කර­නවා.

මුලින්ම නව­ක­ව­ද­යට ලක්වන කෙනාට පරි­පා­ල­නය ගැන විස්වා­ස­යක් තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි ඒ අය ඉදි­රි­පත් වෙන්නේ.

අද ඒ ගැන තොර­තුරු සැප­යීම හොර රහසේ කිරී­මට පහ­සු­කම් තියෙ­නවා. ඒ සඳහා ඇප් එකක් පවා හඳුන්වා තියෙ­නවා. සර­ස­වියේ හැම දරු­වෙ­කුම මෙහෙම නැහැ. ඉන්නේ අත­ළො­ස්සක්.

විශ්ව­වි­ද්‍යාල ක්‍රම­වේ­ද­යට හානි­කර ඒ කිහිප දෙනාට නව­ක­වධ දඬු­වම ක්‍රියා­ත්මක කිරීම කිසි­සේත් වර­දක් නැහැ. එක්කෙ­නෙ­කුට කළොත් එය හොඳ මර්දන උප­ක්‍ර­ම­යක් වෙනවා....“ ඒ කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අනු­ශා­සක ආචාර්ය නිහාල් හෙන්නා­යක මහ­තාය.

මේ වන විටත් නව­ක­ව­ධය හේතු­වෙන් සර­සවි ජිවි­තය අහිමි වූවෝ හැඬු කඳු­ළෙනි. එසේම සර­සවි ජිවි­තය අහිමි වන්නට යන්නෝ ද හැඬු කඳු­ළෙනි.

Comments