
පසුගිය තුන් වැනි දා දහවල් 12.50ට පමණ මෝදර කෝවිලට ගොස් එමින් සිටිය දී මෝදර තැපැල්හල ඉදිරිපිටදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනය වූයේ 62 හැවිරිදි ගෝපාල්පිල්ලේ බාලචන්ද්‍රන් නමැති මස්කඩයක් පවත්වාගෙන ගිය අයෙකි.
එලෙසම ගිය මස අට වැනිදා රාත්‍රී 8.30ට පමණ ජම්පටා වීදියේ මාර්ගය අසල කුඩා තේ කඩයක් පවත්වාගෙන ගිය 50 හැවිරිදි ක්ලැරිස් පෙරේරා හෙවත් ගීතා සහ 58 වියේ පසුවූ සෙල්ලයියා සෙල්වරාජ්ද ඝාතනය වූයේ නාඳුනන තුවක්කුකරුවකු කඩය තුළටම පැමිණ සිදු කළ වෙඩි ප්රහාරයකිනි.
![]() |
පොලිස් අධිකාරි නිශාන්ත |
![]() |
උපො පරීක්ෂක ජගත්සිරි |
මේ ප්රහාරයන් දෙකේදීම ඝාතනය වූයේ අහිංසක පුද්ගලයෝය. එහෙත් මේ ඝාතන කලෙක සිටම කොළඹ ජම්පටාවීදිය ප්‍රදේශයේ සිටින පාතාල කල්ලි සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුම්වල ප්‍රතිඵලයක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. මෝදරදී ඝාතනය වූ බාලචන්ද්‍රන් ප්‍රකට පාතාල සාමාජිකයකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් හෙවත් පූකුඩිකන්නාගේ පියාණන්ය. පූකුඩිකන්නා යනු කොළඹ පාතාලයේ ප්‍රකට චරිතයක් වූ දැනට ඉන්දියාවට පැනගොස් සිටින කිඹුලාඇළ ගුණාගේ ද ගෝලයෙකි. එල්ටීටීඊය සමඟ ද සබඳතා පැවැත්වූ පූකුඩිකන්නා හිටපු ජනාධිපතිනියට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ද සම්බන්ධ අයෙකි. එසේම එල්ටීටීඊයට කොළඹට අවි රැගෙන ඒමට ද ඔහු උදව් කළ අයෙකි.
එසේම ගීතා සහ සෙල්වරාජ් ඝාතනය වූයේ ද පසුගිය ජුනි මස 24 වැනිදා රාත්‍රී 9.00ට පමණ ජම්පටාවීදියේ පොල් වෙළෙඳාම කළ කරුපයියා මිලනි හෙවත් ගනේෂ්ට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයට ඔත්තු දුන් බවට යැයි සඳහන් වේ. ගනේෂ් අහිංසක චරිතයක් වුවත් ඔහුගේ බිරිය වූ කුඩු සෙල්වි නමින් ප්රකටව සිටි ජම්පටාවීදියේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක වූ ඇය 2015 සැප්තැම්බර් 15 වැනිදා ඝාතනය වූවාය. ඒ පූකුඩිකන්නාගේ ප්‍රබලම සගයෙකු වන ස්ටැන්ලි කෙනඩි හෙවත් බුම්මා අතිනි.
බුම්මා යනු 1987 ජම්පටාවීදියේ 131 වත්තෙ ඉපදී හැදීවැඩී පසුව එල්ටීටීඊ සංවිධානයේ චාල්ස් ඇන්තනී බළකායේ ද සාමාජිකයෙකු ව සිටි දෙඅතින්ම ගිනිඅවි පරිහරණය කළ හැකි අයෙකු ලෙස ප්රකටය.
මුං අපේ අම්මවත් මැරුවා... තාත්තවත් මරන්න වෙඩි තිබ්බා... අපි මෙහෙම බලන් ඉන්න එකේ තේරුමක් නෑ... අපට ඇටෑක් කරන්නෙ බුම්මයි... පූකුඩිකන්නයිනේ... එවුන් හොයාගන්න අමාරුයිනේ... ඒක නිසා උන් දෙන්නට උදව් කරන...එවුන්ට ගහපන්... අපිට බුම්මට රිදවන්න ගහන්න ඉන්න හොඳම දෙන්න තමයි ගීතයි සෙල්වරාජුයි... ඔය ගෑනි තමයි අම්මා මරන්නත් ඔත්තු බැලුවේ... තාත්තට වෙඩි තියන්නත් ඔත්තු බැලුවේ... බුම්මට දැනෙන්න ඔය දෙන්නට ගහපන්... |
බුම්මා ත්‍රස්තවාදී යුද්ධයේ අවසාන සමයේ දී යුද හමුදාවට බාර වී පුනරුත්ථාපනය විය. එම පුනරුත්ථාපන සමයේ දී බුම්මා දකුණේ පාතාලයේ කෙරුමෙකු වූ කොස්ගොඩ සුජි සමඟ සමීප සබඳතා ඇති කරගෙන තිබේ.
පූකුඩිකන්නා, බුම්මා කල්ලිය සහ කුඩු සෙල්වි කල්ලිය අතර කලෙක සිටම පැවැති ගැටුම් නිසා මේ වන විට ඝාතන රැසක්ම සිදු වී තිබේ. සෙල්විට ශිරාන්, රිමෝෂන් සහ කෙනිස්ටන් නමැති දරුවෝ තිදෙනෙකි.
පසුගිය දිනවල සිදු වූ ජම්පටාවීදිය ප්‍රදේශය ආශ්‍රිත ඝාතන ගැන පුළුල් ලෙස පරීක්ෂණ කරමින් සිටි පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වාගේ උපදෙස් මත එහි අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජගත්සිරිට තොරතුරක් ලැබුණේ වැල්ලම්පිටියේ නිවෙසක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ටික දිනෙක සිට රැඳී සිටින බවටයි.
ඒ අනුව පසුගිය 19 වැනි දා සවස එකට පමණ එම නිවෙස වැටලූ ජගත්සිරි, උපපොලිස් පරීක්ෂක දුනුසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන (60780) සඳරුවන්, (70450) අමිල, (69480) කුමාර, (82631) අනුරුද්ධ සහ (83973) දිලංක ඇතුළු පිරිස දෙදෙනා අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය ද සමඟිනි.
පසුව අනාවරණය වූයේ ඔවුන් දෙදෙනා කුඩු සෙල්විගේ බාල පුතුන් දෙදෙනා වූ 21 හැවිරිදි පලනි රිමෝෂන් සහ 25 හැවිරිදි පලනි කෙනිස්ටන් යන දෙදෙනා බවයි. අනතුරුව පරීක්ෂණ නිලධාරීන් රිමෝෂන්ගෙන් සහ කෙනිස්ටන්ගෙන් දිගින් දිගට කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය දිනවල සිදුවූ ඝාතන අපරාධ රැසකගේම තොරතුරු අනාවරණය වූයේ ‘එක ගලින් කුරුල්ලන් කිහිපදෙනෙකුම ඩැහැගත්’ ආකාරයෙනි. එහිදී රිමෝෂන්ගේ පාපෝච්චාරණයෙන් ගීතා සහ සෙල්වරාජ්ගේ ඝාතනයන් මෙන්ම බාලචන්ද්‍රන්ගේ ඝාතනයේ සියලු තොරතුරු හෙළි විණි.
එම සියලු ඝාතනයන් සෙල්විගේ වැඩිමහල් පුත්‍රයා වූ මත්ද්‍රව්‍ය චෝදනාවන්ට බන්ධනාගාරගතව සිටින ශිරාන් විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවා ඇත.
එම ඝාතනයන්ට අරඇඳීමට දිනක් ශිරාන්, රිමෝෂන්ට දුරකථන ඇමැතුමක් ගෙන පවසා තිබුණේ,
“දැන් මුං අපේ අම්මවත් මැරුවා... තාත්තවත් මරන්න වෙඩි තිබ්බා... අපි මෙහෙම බලන් ඉන්න එකේ තේරුමක් නෑ... අපට ඇටෑක් කරන්නෙ බුම්මයි... පූකුඩිකන්නයිනේ... එවුන් හොයාගන්න අමාරුයිනේ... ඒක නිසා උන් දෙන්නට උදව් කරන...එවුන්ට ගහපන්...
අපිට බුම්මට රිදවන්න ගහන්න ඉන්න හොඳම දෙන්න තමයි ගීතයි සෙල්වරාජුයි... ඔය ගෑනි තමයි අම්මා මරන්නත් ඔත්තු බැලුවේ... තාත්තට වෙඩි තියන්නත් ඔත්තු බැලුවේ... බුම්මට දැනෙන්න ඔය දෙන්නට ගහපන්...”
එසේ පැවැසූ ශිරාන්, රිමෝෂන්ට තව තවත් පවසා තිබුණේ, “මට උදව් කරන ලොකු අයියා කෙනෙක් ඉන්නවා. ඒ අයියගෙන් මං උදවු ගන්නම්... උඹ වැඩේ කරපන්...” ශිරාන් එලෙස තම සහෝදරයාටවත් නම නොකියා ‘ලොකු අයියා’ ලෙස හැඳින්වූයේ, ඩුබායි රටට පැනගොස් මාකඳුරේ මධුෂ් සමඟ සිටින මාලිගාවත්ත කුඩු පාතාලයේ කෙරුමෙකු වන 37 හැවිරිදි කාංචිපාන ඉම්රාන් ගැනය. කාංචිපාන ඉම්රාන්ගේ ‘කුඩු’ ව්‍යාපාරය බන්ධනාගාරයේ සිට මෙරට තුළ මෙහෙයවමින් සිටින්නේ ශිරාන් බවට හෙළි වී තිබේ.
ශිරාන් දිගින් දිගට රිමෝෂන්ට අණ කර සිටියේ,
“මං උඹට ආයුධයක් සමඟ හොඳ ‘ෂූටර්’ කෙනෙක් එවන්නම්... උඹට පුළුවන්නෙ බයික් එක පදින්න... හැබැයි එකක් හොඳට මතක තියාගනින්... ඒ එවන කෙනත් සමඟ උඹට බෑ ඩීල් කරන්න... උඹට තියෙන්නෙ මේ වැඩේ කරන්න විතරයි... මොකද ‘ලොකු අයියා’ කැමැති නෑ... ඌත් එක්ක අපි කවුරුවත් ඩීල් කරනවට...”
අතිදක්ෂ යතුරුපැදි ධාවකයෙකු වන රිමෝෂන් සමඟ ඝාතන දඩයමට ශිරාන් විසින් වෙඩික්කරුවෙකු එවා තිබිණි. ඔහු ඉම්රාන්ගේ ගෝලයෙකි.
පසුව රිමෝෂන් ශිරාන්ට කියා තිබුණේ, “මං වැඩේට කැමැතියි... අයියා මිනිහා එවන්න...”
ඒ අනුව ශිරාන්ට අවශ්‍ය වෙඩික්කරු ඉම්රාන් විසින් ඩුබායි සිට මෙහෙයවමින් අදාළ ස්ථානයට යවා ඇත. වෙඩික්කරු අදාළ ස්ථානයට ගිය සැණින් ඉම්රාන් එම පණිවිඩය ශිරාන්ට දී තිබිණි. ශිරාණ් එසැණින් එය රිමෝෂන්ට දන්වා තිබුණේ,
“ ලොකු අයියා වෙඩික්කරු සීටීබී ස්ටෑන්ඩ් එක ළඟට යැව්වා. උඹ ගිහින් මිනිහා ගනින්...”
![]() |
රිමෝෂන් වෙඩික්කරු සමග යන සීසීටීවී දසුනක්... |
එම වෙඩික්කරු හැඳ සිටි කමිසයේ වර්ණය ද ශිරාන් සහෝදරයාට පවසා තිබිණි. ඊට අමතරව අවශ්‍ය යතුරුපැදිය ද ශිරාන්, රිමෝෂන්ට සපයා දුන්නේය.
“මං උඹට බයික් එකකුත් එවන්නම්. උඹ ගිහින් වැල්ලම්පිටියෙ පොල්වත්තෙ පාළු ඉඩමක් තියෙනවා. එතැන කළුපාට පල්සර් බයික් එකකුයි හෙල්මට් දෙකකුයි ඇති.”
යතුරුපැදිය ලබාගත් රිමෝෂන් පිටකොටුවට ගියේ වෙඩික්කරු රැගෙන ඒමටයි. ඔහු අදාළ ස්ථානයට ගොස් අදාළ පුද්ගලයාගෙන් විමසා තිබුණේ, “ශිරාන් අයියගේ වැඩේ ද” කියා පමණි. ඔහුව යතුරුපැදියට නංවාගත් දෙදෙනා පැමිණ තිබුණේ වැල්ලම්පිටියේ රිමෝෂන්ලා අත්අඩංගුවට පත්වූ නිවෙසටයි. රිමෝෂන්ලා ජම්පටාවීදියේ 131 වත්තෙ පදිංචිකරුවන් වුවත් ඔවුන් එම නිවෙස අතහැර ආරක්ෂක නිවස්නයක් ලෙස මේ නිවෙස පාව්චිචි කර ඇති බව හෙළි වේ. ඉන්පසු රිමෝෂන් වෙඩික්කරු සමග එක්ව ගීතා සහ සෙල්වරාජ්ව ඝාතනයට කුරුමානම අල්ලද්දි ගීතා සහ සෙල්වරාජ් දෙදෙනාම කඩය තුළ සිටින මොහොතක් ගැන සොයා බලන්නට ශිරාන් තම අනෙක් සහෝදරයා වන කෙනිස්ටන් සමඟ එකිනෙකාට නොහඳුනන ඔත්තුකරුවන් තිදෙනෙකුම යොදවා ඇත.
එම ඔත්තුවලින් ලැබුණු හෝඩුවාවෙන් ක්‍රියාත්මක වූ රිමෝෂන් පසුගිය අටවැනි දා රාත්‍රි 8.30 වන විට වෙඩික්කරුව ගීතාගේ කඩය අසලටම රැගෙන පැමිණ තිබේ. ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ වෙඩික්කරු දෙදෙනාම ඝාතනය කොට නැවතත් ගොස් තිබුණේ වැල්ලම්පිටිය නිවෙසටයි. එම කුරුමානම සාර්ථක වීමෙන් අනතුරුව ශිරාන් රිමෝෂන් අමතා උපදෙස් දී තිබුණේ, “බයික් එක උඹ ගත්ත තැනටම ගිහින් දාපන්... අරූට රුපියල් පන්දාහක් දීලා ත්‍රීවිල් එකක් අරන් යන්න කියපන්...”
එසේම ශිරාන් විසින් යතුරුපැදිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තවත් කෙනෙකු යොමු කර ඇත. එම පුද්ගලයා කවුරුන් ද යන්න රිමෝෂන් ද ඒ මොහොතේ දැන සිට නැත. ඒ අතරේ ශිරාන් සහ රිමෝෂන් කතිකා කරගන්නෙ බුම්මාට ‘වැඩක්’ දීමටයි. එහෙත් ඔහු සොයා ගැනීම අපහසු හෙයින් රිමෝෂන්, ශිරාන්ට යෝජනා කර තිබුණේ,
“මේ ඔක්කොම මෙහෙයවන්නෙ පූකුඩිකන්නානේ... ඒක නිසා උගේ තාත්තට ගහමු” කියායි.
ඒ අනුව පූකුඩිකන්නාගේ පියාවූ බාලචන්ද්‍රන් ඝාතනයට ශිරාන් විසින් ඔත්තුකරුවන් යොදවා ඇත. එම ඔත්තුකරුවන්ගෙන් ලැබෙන තොරතුරක් වූයේ බාලචන්ද්‍රන් සෑම සිකුරාදා දිනෙකම මෝදර කෝවිලට පැමිණෙන බවයි.
එම තොරතුර අනුව නැවතත් ශිරාන් විසින් ගීතා ඝාතනයට යොදාගත් වෙඩික්කරුව මේ ප්‍රහාරයටද යොමු කෙරිණි. ඒ අනුව පසුගිය තුන්වැනි දා රිමෝෂන් සහ වෙඩික්කරු එක්ව බාලචන්ද්‍රන් ඝාතනය කළේ මෝදර තැපැල්හල අසල දී මහ දවාලේ දෙනෝදහක් බලා සිටියදීමයි.
එම ප්‍රහාරයෙන් පසුව ද ඊට පෙර ඝාතනය සේම වෙඩික්කරුට රුපියල් පන්දහසක් දී ඔහු යවා යතුරුපැදිය පොල්වත්තට ගොස් දමා ඇත.
ඒ මොහොතේ එම යතුරුපැදිය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඇත්තේ ඊට දින දෙකකට පසුවයි. ඒ බ්ලුමැන්ඩල්හි වෙසෙන කළු මල්ලි නමැත්තා විසින් බව ශිරාන් පසුව රිමෝෂන්ට පවසා තිබේ. පොලීසිය ඉදිරියේ රිමෝෂන් සියල්ල වමාරද්දී කළු මල්ලි ගැන ද හෙළි විණි. ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් කළු මල්ලිව සොයා මෙහෙයුමක් දියත් කෙරිණි. එහිදී හෙළිදරව් වූයේ බ්ලුමැන්ඩල්හි කුඩු ජාවාරමේ නිරත වන කළු මල්ලිලා දෙදෙනෙකු සිටින වගයි. තව තවත් සෝදිසියේ දී හෙළි වී තිබුණේ එක් කළු මල්ලි කෙනෙකු බන්ධනාගාරයේ සිටින ශිරාන්ගේ කුඩු බිස්නස් කරන්නෙකු බවයි. නිශ්චිත ලෙසම යතුරුපැදිය සපයා ශිරාන්ට සහාය වූ කළුතර ප්‍රදේශයේ උපන්නෙකු වන 22 හැවිරිදි සම්මුකරාජා රංජිත් කුමාර් හෙවත් කළුමල්ලි හඳුනාගත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ ද උපපොලිස් පරීක්ෂක ජගත්සිරි කළ නිර්භීත මෙහෙයුමකිනි.
අනතුරුව සියල්ල හෙළි කළ කළුමල්ලි, “මට සයිකලය එහාට මෙහාට ගෙනියනවටයි, හංගනවටයි ශිරාන් රුපියල් විසිදාහක් දුන්නා. පස්සෙ ශිරාන් අයියා මට කිව්වා, ඔය සයිකලේ කාටවත් හොයාගන්න බැරි විදිහට හංගපන්. මොකද මර්ඩර් කරපු සයිකලයක්නේ. ඕක අනිවාර්යයෙන්ම පොලිසිය හොයනවා කියලා.”
ඉන්පසුව කළුමල්ලි විසින් සයිකලය කෙරවළපිටියේ සිය පියා වෙසෙන නිවෙසක සඟවා තැබිණි. තාත්තාට සයිකලය ගැන කළුමල්ලි පවසා තිබුණේ, “මේක යාළුවෙක්ගේ බයික් එකක්... ෆිනෑන්ස් ඇරියස් වෙලා තියෙන්නෙ... උස්සන්න හොයනවා... ඒක නිසා මෙහේ හංගලා තියනවා” කියායි. අදාළ නිවෙසට ගොස් සයිකලය පොලිස් භාරයට ගෙන වැඩිදුරටත් විමර්ශනයේදී එම සයිකලය යොදාගෙන සිදු කළ තවත් අපරාධ ගණනාවක් ගැනම තොරතුරු අනාවරණය කරගැනීමට නිලධාරින්ට හැකිවිණි. එහිදී අනාවරණය වූයේ පසුගිය මාර්තු මාසයේ 19 වැනිදා ආමර් වීදියේදී ඝාතනය වූ ඇන්ටන් රාජ්ගේ ඝාතනයට ද එම යතුරුපැදිය සමඟ මේ වෙඩික්කරුම පැමිණ ඇති බවයි.
ඒ එම ඝාතනයේ සීසීටීවී දසුන් නැරැඹීමේදී BBF-1358 දරන අංකය සහිත එම යතුරුපැදියෙන් මොවුන් ගමන් කරන අයුරු මනාව පිළිබිඹු වන බවයි.
එම ඝාතනය ද රිමෝෂන්ලා විසින් සිදු කොට තිබුණේ ශිරාන්ගේ කීමටයි. ශිරාන් පවසා තිබුණේ එය කාංචිපානේ ඉම්රාන්ගේ අවශ්‍යතාවක් බවයි. ඒ මත්ද්‍රව්‍ය ගැටුමක් නිසා ඇන්ටන් රාජ් සහ ඉම්රාන් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් නිසායි. තවම අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ මේ සියලු ඝාතනයන්හි වෙඩික්කරු මාකඳුරේ මධුෂ්ගේ සුවච කීකරු ගෝලයෙකු බවට ද අනාවරණය වේ.
එසේම මේ සයිකලය යොදාගෙන රිමෝෂන්ලා පසුගිය දා ඝාතනය වූ කොස්මල්ලි නමැති පාතාල සාමාජිකයාගේ හිස කොටස කොළඹ අලුත්කඩේට ගෙනවිත් දමා ගොස් තිබුණේ ද මේ යතුරුපැදියෙන් බවට හෙළි වේ.
ඒ සඳහා රිමෝෂන් යොදවා තිබුණේ ශිරාන් විසින්මයි. එය ද කාංචිපාන ඉම්රාන්ගේ වැඩක් ලෙස ශිරාන් රිමෝෂන්ට පවසා තිබේ.
“මේ වැඩෙත් ලොකු අයියගේ වැඩක්... මං ලොකු අයියා කෝල් කොන්ෆරන්ස්වලින් අරන් දෙන්නම්... මේ දෙන පාර්සලය ලොකු අයියා කියන තැනකින් අරගෙන... කියන තැනකට ගිහින් තියපන්... හැබැයි පාර්සලේ තියෙන්නෙ මොනවද කියලා උඹට වැඩක් නෑ...”
ශිරාන් විසින්, කාංචිපානේ ඉම්රාන්ව කෝල් කොන්ෆරන්ස් මඟින් සම්බන්ධ කර දෙමින් අවශ්‍ය සියලු උපදෙස් දෙමළ බසින්ම රිමෝෂන්ට පවසා තිබිණි.
ආමර්වීදිය පල්ලිය අසලින් කළු පැහැති මෝටර් රථයකින් රැගෙනවිත් දෙන පෝර උරයක දමාගත් පෙට්ටියේ තිබෙන කළුපාට බෑග් එක පමණක් අලුත්කඩේ බණ්ඩාරනායක මාවතේ අසවල් ගොඩනැගිල්ල අසලින් තබන ලෙස කාංචිපානේ ඉම්රාන් පවසා තිබිණි.
එහෙත් එම පාර්සලයේ තිබුණේ කුමක්දැයි යන්න රිමෝෂන් දැන සිට නැත. පසුව නිවෙසට ගොස් රූපවාහිනිය නරඹමින් සිටින විට දී ඔහු දුටුවේ තමා රැගෙනවිත් තැබූ පාර්සලයේ තිබුණේ මිනිස් හිසක් බවයි. කොස්මල්ලි ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටියත් රිමෝෂන් සහ කෙනිස්ටන් අත්අඩංගුවට ගන්නා තෙක්ම කොස්මල්ලිගේ හිස කොටස අලුත්කඩේට රැගෙන ආවේ කවුරුන් ද යන්න හෙළි වී නොතිබිණි.