ජීවිතය ගෙත්තම් කරන අපේක්ෂාවේ මිනිස්සු! | සිළුමිණ

ජීවිතය ගෙත්තම් කරන අපේක්ෂාවේ මිනිස්සු!

පිළිකා රෝගීන් සහ ඔවු­න් ­රැක බලා ගන්නන් නිර්මා­ණය කළ අත්කම් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ “දිරිය හලේ” අලෙ­විය සඳහා තබා ඇත. එම අත්කම් අලෙවි කිරීමේ ජංගම වැඩ පිළි­වෙ­ළක් පසු­ගිය 29 වැනි බදාදා ආරම්භ විය.

ඹල්ලේ දිනිති කාවින්දි දැන් ඉගෙ­නුම ලබ­න්නේ‍ ­ද­ඹුල්ල ජාතික පාසලේ 10 වැනි පන්තියේ ය. ඈ 8 වැනි පන්තියේ ඉගෙ­නුම ලබද්දී නිතර අස­නීප වන්නට වූවාය. නමුත් ඇය අට­වැනි පන්ති­යෙන් නව වැනි පන්ති­යට සම­ත්වී­මට තරම් උත්සා­හ­වන්ත වූවාය. දිනි­තිගේ රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න විය. නමුදු ඇය‍ට 9 වැනි පන්ති­යේදී ඇගේ අස­නී­පය නිසා පාසල් යෑමට සිදු වූයේ කඩින් කඩය. දිනි­තිට පිළිකා ‍රෝගය වැලදී ඇති බව හඳුනා ගත්තේ ගිය වස­රේ­දීය. තම දිය­ණි­යට වැලඳී ඇති රෝගය පිළි­බඳ වෛද්‍ය­ව­රුන් මවු­පි­යන්ට පව­සන විට ඔවුන් බොහෝ කම්පා වූහ. ඔවුන්ගේ සියලු සිහින බිඳ වැටිණ. ඒ වන විට දිනි­තිට වැලදී තිබුණේ ඇට මිදුළු පිළි­කා­වකි. දිනිති කාවින්දි දිය­ණි­යට මහ­ර­ගම අපේක්ෂා රෝහලේ මාස 9 ක් ප්‍රති­කාර ලැබී­මට සිදු වූයේ ඒ නිසා ය.

ගොවි­තැන ජීව­නෝ­පාය කර­ගත් දිනි­තිගේ දෙමවු­පියෝ ඇගේ අස­නීප තත්ත්වය නිසා තව තවත් අස­රණ වුහ. රෝහල්ගත දිය­ණිය ළඟ නතර වීමට සිදු වීම නිසා ශ්‍රියං­ගනි කුමා­රිට ගෙදර දොර කට­යුතුවත් පිළි­වෙ­ළ­කට කර ගැනී­මට බැරි විය. දිය­ණිය බැලී­මට දඹුල්ලේ සිට මහ­ර­ග­මට යෑම ද ලෙහෙසි පහසු නැත. ඒ සඳහා ඔරොත්තු නොදෙන තරමේ ගමන් විය­දම් දැරිය යුතුය. රෝගී දිය­ණි­යට අවශ්‍ය කළ­මනා රැගෙන යා යුතු ය. එප­ම­ණක් නොව දිය­ණි­යට අවශ්‍ය බේත්හේත් රැගෙන දිය යුතුය. දිනි­තිගේ බාල සොයු­රිය හා සොයුරා රැක බලා ගත යුතුය. අනේක දුක් කර­දර, නැති බැරි­කම් මැද ශ්‍රියං­ගනි, දිය­ණිය දිනිති වෙනු­වෙන් බොහෝ කැප වීමෙන් කට­යුතු කළාය. ශ්‍රියං­ග­නීගේ එකම අර­මුණ වූයේ දිය­ණිය සුව­පත් කර ගැනී­මයි.

දිනිතිගේ මව සහ සොයුරා

මහ­ර­ගම අපේක්ෂා රෝහලේ ආධ්‍යා­ත්මික හා සමා­ජීය සංව­ර්ධන ඒක­කය සමඟ එක් වූ බස්නා­හිර පළාත් සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් පිරි­ස­කුත් “ඉන්දිරා පිළිකා භාරයේ” නිල­ධා­රි­නුත් ශ්‍රියං­ගනි කුමාරි ඇතුළු නේවා­සි­කව සිටින රෝගින් සහ රැක බලා­ග­න්නන්ට දැන හඳුනා ගැනී­මට ලැබෙන්නේ ඒ අත­ර­වා­ර­යේ­දීය.

“පිළිකා රෝගින් සහ ඔවුන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් හුඟාක් ප්‍රශ්න සමඟ ජීව­ත්වෙන බව අපි දන්නවා. ඒ නිසා ඔවුන‍්ගේ ප්‍රශ්න හඳු­නා­ගෙන මනෝ සමා­ජ­මය උද­ව්වක් කරන්න බස්නා­හිර පළාත් සමා­ජ­සේවා දෙපා­ර්ත­මේ­න්තුව හැටි­යට අපි ඉදි­රි­පත් වුණේ. අපි‍ මේ කට­යුත්ත ආරම්භ කළේ 2016 වර්ෂ­යේදී. එහිදි අපිට අනා­ව­ර­ණය වුණා මේ රෝගින්ගේ පවුල් බොහෝ ආර්ථික ප්‍රශ්න­ව­ලට මුහුණ දී සිටින බව. රෝගීන් බලන්න දුර ඉඳලා යන්න එන්න ලොකු විය­ද­මක් යනවා. සම­හර වෙලා­වට පවුලේ මුදල් උප­යන කෙනා පිළිකා රෝග­යට ගොදුරු වෙලා එහෙ­මත් නැත්නම් පවුලේ කෙනෙකු රෝගියා ළඟ නැව­තිලා ඉන්න නිසා පවුලේ කට­යුතු අඩ­පණ වෙලා. ඒ සේරම ප්‍රශ්න එක්ක පිළිකා රෝගය නිසා රෝගියා පම­ණක් නොවේ පවුලේ හැමෝම මාන­සික වශ­යෙන් ඇඳ වැටිලා ඉන්නේ. මේ හේතු නිසා අපි තීර­ණය කළා රෝගී­න්ටත් ඔවුන්ගේ පවු­ල්වල අය­ටත් ස්වයං රැකියා ව්‍යාපෘ­ති­යක් ආරම්භ කරන්න. අපි එය පසු­ගිය අවු­රුද්දේ පටන් ගත්තා. ඒ ව්‍යාපෘ­තිය යටතේ බෑග්, පාපිසි, ශුභ පැතුම් පත්, බිත්ති සැර­සිලි වැනි දේවල් නිර්මා­ණය කරන්න ඉගැ­න්වූවා. ඒවා වැඩි වෙහෙ­සක් නැතිව රෝගීන්ට පහ­සු­වෙන් නිර්මා­ණය කරන්න පුළු­වන් දේවල්.” බස්නා­හිර පළාත් සමා­ජ­සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍ය­ක්ෂිකා භාග්‍යා වීර­සිංහ මහ­ත්මිය පව­ස­න්නීය.

කෙසේ හෝ අපේ කතා නායි­කාව වන දිනිති කාවින්දි සහ ඇගේ මවට ද මෙම අත්කම් නිර්මා­ණය හැදෑ­රීමේ අවස්ථා එන්නේ ඒ අනු­වය. පිළිකා රෝගීන් සහ ඔවු­න්‍ ­රැක බලා ගන්නන් විසින් නිර්මා­ණය කළ අත්කම් මහ­ර­ගම අපේක්ෂා රෝහලේ “දිරිය හලේ” අලෙ­විය සඳහා තබා ඇත. එම අත්කම් අලෙවි කිරීමේ ජංගම වැඩ පිළි­වෙ­ළක් පසු­ගිය 29 වැනි බදාදා ආරම්භ විය. එය මහ­ර­ගම අපේක්ෂා රෝහලේ මනෝ උප­දේ­ශන, ආධ්‍යා­ත්මික හා සමා­ජීය ඒක­කය, බස්නා­හිර පළාත් සමාජ සේවා දෙපා­ර්ත­මේ­න්තුව හා ඉන්දිරා පිළිකා භාරය එක්ව සිදු කෙරේ. මෙහි ආර­ම්භක වැඩ පිළි­වෙළ 29 වැනි බදාදා පැවැත් වූයේ බත්ත­ර­මුල්ල සෙත්සිරි පාය ශ්‍රව­ණා­ගාර බිම් මහලේ ය. රෝගීන් හා ඔවුන් රැක බලා ගන්නන් විසින් නිර්මා­ණය කරන ලද බෑග්, පාපිසි , ශුභ පැතුම් පත්, පබළු මාල, පබළු අත් පළ­ඳනා, බිත්ති සැර­සිලි, මංජුසා වැනි නිර්මාණ රැසක් මෙහි අලෙ­විය සඳහා තබා තිබිණි.

නදීකා

මේ නිර්මාණ අතර දිනි­තිගේ මව ශ්‍රියං­ගනි කළ අත්කම් නිර්මාණ රැසක් අලෙ­විය සඳහා තබා තිබිණි. ඒ බෑග් පාපිසි සහ බිත්ති සැර­සිලි කීප­යකි. ශ්‍රියං­ග­නිගේ තනි නොත­නි­යට දිනිති කාවි­න්දිගේ මල්ලී පැමිණ සිටියේ ය.

එ‍ඬේර­මුල්ලේ පදිංචි පී.එම්. නදීකා මෙහි අලෙ­විය සඳහා රැගෙ­න­විත් තිබුණේ බිත්ති සැර­සිලි, ශුභ පැතුම් පත් සහ මංජුසා කීප­යකි. ඉව­ත­ලන කඩ­දාසි සහ අයිස් පලම් කෝටු ඈ නිර්මාණ සඳහා භාවිත කර තිබු­ණාය. “මෙවැනි නිර්මා­ණ­ව­ලට හිත යොමු කරන විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ. ම‍ගේ හිතට ලොකු අස්වැ­සි­ල්ලක් දැනෙ­නවා මෙවැනි කට­යු­ත්තක යෙදිලා සිටින විට. අස­නී­පය ගැන ‍මොහොත­කට හරි අම­තක වෙනවා.” පිළිකා රෝග­යෙන් පෙලෙන නදීකා පැවැ­සු­වාය. “දුව හරිම ආසා­වෙන් තමයි මේ දේව­ල්ව­ලට සහ­භාගි වුණේ. අද එයත් මෙත­නට එන්න ආසා­වෙන් හිටියේ. ඒත් දුවට බෙහෙත් විදින්න පටන් ගත්තා බෙහෙත් විදලා දැන් එයා අස­නී­ප­යෙන් ඉන්නේ.” දිනි­තිගේ මව දෑසේ කඳුළු පුර­වා­ගෙන පැවැ­සු­වාය. නදීකා සැත්ක­ම­කට මුහු­ණ­දුන් තැනැ­ත්ති­යකි. ඇගේ සැමියා ආබා­ධිත රණ­වි­රු­වෙකි. එකම දිය­ණිය මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මට නිය­මිත ය. නදීකා ජීවි­තය ගෙන යන්නේ බොහෝ අග හිඟකම් මධ්‍ය­යේය.

පිළිකා රෝග­යට ගොදුරු නදීකා වැන්න­වුන්ගේ කතා­වන් බොහෝය.

සිය ජීවිත වෙළා­ගත් පිළිකා මාරයා මොහො­ත­කට අම­තක කර දමා සතු­ටින් සැහැ­ල්ලු­වෙන් යම් කාර්ය­යක නිරත වීමට පිළිකා රෝගින්ට ඉඩ ප්‍රස්ථා­වක් සලසා දීම මහඟු පුණ්‍ය කර්ම­යකි. ඔවුන්ගේ අත්කම් නිර්මාණ මිල දී ගෙන ඔවුන්ගේ වැඩ කට­යුතු සඳහා දායක වීම ඊටත් වඩා පින්ක­මකි. එකී පින්ක­මට ඔබ සැමට දායක වීමේ ඉඩ ප්‍රස්ථා දැන් උදා වී තිබේ. ඒ සෑම මාස­ය­කම 1 වැනි බදාදා බත්ත­ර­මුල්ල සෙත්සි­රි­පායේ පළමු පිය­ව­රෙත් 2 වැනි බදාදා ඉසු­රු­පා­යෙත් 3 ‍වැනි බදාදා සුහු­රු­පා­යෙත් 4 වැනි බදාදා බත්ත­ර­මුල්ල සෙත්සි­රි­ප‍ායේ දෙවැනි පිය­ව­රෙත් මෙම “දිරිය හල” පැවැ­ත්වී­මට කට­යුතු සංවි­ධා­නය කර ඇති නිසා ය. ඊට අම­ත­රව සෑම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­ය­කම සේවය කරන සමාජ සේවා නිල­ධා­රීන් හරහා පිළිකා රෝගීන් සහ ඔවුන් රැක බලා ගන්නන්ගේ අත්කම් අලෙවි කිරීමේ වැඩ පිළි­වෙ­ළක් සූදා­නම් කර තිබේ.

ඡායා­රූප - රොෂාන් පිටි­පන

 

Comments