
කොට්ටව සිරිසේන රාලහාමි වූ කලි දකුණේ සිටින දක්ෂ කලාකරුවෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහු කාලයක් ගම්මුලැදැනිවරයකු වශයෙන් ද කටයුතු කළේය. කොග්ගල ගම්මානයේ ගම්මුලාදෑනිවරයකු වශයෙන් කටයුතු කරන කාලයේ කොට්ටව සිරිසේන රාලහාමි හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සමඟද සමීපව ඇසුරු කළේය. හේ මාර්ටින් වික්‍රමසිංහයන් ඇසුරු කරන කාලයේ මුහුණ දුන් රසවත් සිද්ධි මෙන්ම කථාන්දර ගොන්නක් අප සමඟ කීවේය. එහෙත් අප මේ කියන්නට යන්නේ ඒ කථාන්දර ගැන නම් නොවේ. මඟුල් තුලා සමඟ බැඳී ඇති රසවත් කථාන්දර ගැනය.
මක්නිසාදයත් එකල මඟුල් තුලා වැඩි වශයෙන් කරනු ලැබුවේ කපු මහතකුගේ හෝ කපු ගැහැනියකගේ මාර්ගයෙනි. පසුව මෙය ක්‍රමයෙන් මංගල සේවාවන් බවට පත්විය. ඒ විතරක් නොව වර්තමානයේ ඉරිදා පුවත්පත්වල වෙනම අතිරේක පවා මංගල යෝජනා සඳහා වෙන්ව ඇත්තේය. ඒ කොයිහැටිවුවද තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වනවිට අන්තර්ජාලය ද මංගල සේවා පහසුකම් සපයන තැනක් බවට පත්ව තිබේ. මංගල සේවා වෙබ් අඩවිවල සිට ජංගම දුරකථන මුහුණු පොත දක්වා මෙකී සේවාව වර්තමානයේ ව්‍යාප්ත වී තිබේ.
කලාශූරී කොට්ටව රාලහාමි ද මංගල සේවාවක් පවත්වාගෙන ගිය අයෙකි. එකල සිය හිතවතුන්ගේ මංගල කටයුතු සියල්ලක්ම පාහේ කරදුන්නේ කොට්ටව රාලහාමිය. ඔහු ඒ කාලයේ ඉරිදා දිනවල මනාල මනාලියන් මුණගැස්වීමේ හමුවක්ද සිය ආයතනයේ පවත්වාගෙන යනු ලැබීය. මෙරට දහස් ගණනක් වූ මනාල මනාලියන් ජෝඩු කිරීමට කොට්ටව රාලහාමි සමත් විය. මේ කාරියේ දි කොට්ටව රාලහාමි ලැබූඅත්දැකීම් හරිම රසවත්ය.
මාර්ටින් වික්‍රමසිංහ ද පැමිණි ගංදුවේ මංගල උත්සවය
ඒ 1969 වර්ෂයයි. දිනක් මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහ කොට්ටව රාලහාමි ඇමතීය.
“සිරිසේන මට ගම්බද මංගල උත්සවයක් දැක ගැනීමට අවශ්‍යයි”
“හරි මම ඒ ගැන සොයාබලා ඔබතුමාට දන්වන්නම්” සිරිසේන රාලහාමි කිවේය. මේ කාලයේ දි කොග්ගල ගංදුවේ ජෝන් අයියාගේ දියණියකගේ මංගල උත්සවය පැවැත්වීමට ලකලැහැස්ති වෙමින් තිබුණි. ඒ කොට්ටව රාලහාමිගේ උපදෙස් මතය. වික්‍රමසිංහ සූරින්ගේ ඉල්ලීම ඉටු කිරීමට මෙය හොඳම අවස්ථාව බව ඔහු කල්පනා කළේය. ඒ අනුව ඉපැරැණි ක්‍රමයට මෙකී මංගල උත්සවය සංවිධානය කිරීමට කොට්ටව රාලහාමි කටයුතු කළේය. මාර්ටින් වික්රමසිංහයන්ට මංගල උත්සවය පැවැත්වෙන දිනය දන්වා යැවිමට කොට්ටව රාලහාමි කටයුතු කළේය. වික්රමසිංහයන්ද නියමිත දිනය මංගල උත්සවය දැක බලා ගැනිමට කොග්ගලට පැමිණියේය.
මනාලියගේ නිවෙස පිහිටා තිබුණේ ගන්දුව දූපතේය. ගන්දුවට යාම සඳහා ඔරු දෙක බැගින් එක් කොට එයට ලෑලි මැස්සක් දමා සරසා තිබුණි. මංගල ජෝඩුව වෙනුවෙන් මේ ආකාරයට වෙනම ඔරු දෙක බැගින් එක්කොට ලෑලි මැස්සක් දමා තිබුණි. එය ඉතා අලංකාර ලෙස සරසා තිබුණේය. හතරේ කොනේ සිටි ගැටවරයෝ සිවු දෙනෙක් පාරුව පැදවූහ. ඔවුන් පාරුව පදවනු ලැබුයේ උසුලු විසිලු කරමින් ගීතිකා ගයමිනි. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් වෙනුවෙන් වෙනම පාරුවක් සුදානම් කොට තිබුණේය. එම පාරුව රුවල් රෙදිගසා ඉතා අලංකාර ලෙස වට කර තිබුණි. වික්‍රමසිංහ මහතා හා කොට්ටව රාලහාමි මංගල උත්සවයේ අසිරිය විඳිමින් පාරුවේ නැගී කොග්ගල ඔයේ ඒ මේ අත ගමන් කළහ. එදින මාර්ටින් වික්‍රමසිංහයන් දහවල් ආහාරය ගනු ලැබුවේද මෙකී පාරුවේ සිටය. මෙය මෙම දෙපළට නැවුම් අත්දැකීමක් විය.
ගන්දූවේ සිට ගොඩබිමට පැමිණි මනාල ජෝඩුව කැන්දාගෙන ගියේ කතළුව ප්‍රදේශයටය. සරසනු ලැබු තිරික්කල හා කරත්ත පෙරටුකරගෙන මංගල ජෝඩුව බක්කි කරත්තයක නැඟී කතළුව බලා ගමන් ආරම්භ කරනු ලැබීය. කරත්තවල බැඳ සිටි ගවයින්ට මල්මාලා දමා තිබු අතර එක් කරත්තයක මංගල ගමනේ ගීතිකා ගයන්නෝ වූහ. අනික් කරත්තයේ නාග සලං හා උර්දු ගීත ගායනා කරමින් පිරිසක් ගමන් කළහ. වික්‍රමසිංහ මහතා මේ පැරැණි මංගල උත්සවය දැකීමෙන් දැඩි සතුටට පත්වූයේය.
දිය රෙද්දට වහ වැටුණු දොස්තර මහත්තයා
ඒ කාලයේ කොට්ටව රාලහාමිගේ මංගල සේවා ආයතනයේ තරුණියන් සිය ගණනකගේ ඡයාරූප විය. විවාහ අපේක්ෂක තරුණයෝ රාලහාමිගේ කාර්යාලයට පැමිණ එම ඡයාරූප බලති. මනාලයන් කැමති මනාලියන් මුණගැස්වීමට කොට්ටව රාලහාමි කටයුතු කරන්නේය. දිනක් තරුණ වෛද්‍යවරයෙක් කොට්ටව රාලහාමිගේ මංගල සේවා ආයතනයට පැමිණියේය. ඔහු තරුණියන්ගේ ඡයාරුප එකින් එක පෙරළමින් පරික්ෂා කළේය. “රාලහාමි මගේ නම් හිත්ගත් මනාලියක් මේ පිංතූරුවල නැහැ.” තරුණ දොස්තර් මහතා කීවේය.
“මට වැදගත් පවුල් දෙක තුනක තරුණියන් ගැන යෝජනා කිහිපයක් ලැබී තියෙනවා. අපි ඉන් දෙක තුනක් බලන්න යමු” රාලහාමි කීවේය. වෛද්‍යවරයා මේ වෙද්දී මනාලියන් බැලීමට ගොස් හොඳටෝම හෙම්බත්ව සිටියේය.
“මට නම් දැන් මනාලියන් බලන්න ගිහින් එපා වෙලා තියෙන්නේ රාලහාමි කියන නිසා යමු” වෛද්‍යවරයා කීවේය.
වෛද්‍යවරයාගේ මෝටර් රියට ගොඩවූ කොට්ටව රාලහාමි වෛද්‍යවරයා සමඟ මනාලියන් බැලීමට තැන් කිහිපයකට ගියේය. එහෙත් වෛද්‍යවරයා ඒ කිසිදු මනාලියකට කැමති වූයේ නැත. පසුව කොට්ටව රාලහාමි, වෛද්‍යවරයා ගැමි ගෙදරකට කැඳවාගෙන ගියේය. ඒ ගෙදරට යන පාර අසල වූ ළිඳකින් තරුණියක් දිය නාමින් සිටියාය. දිය රෙද්දකින් සැරසී සිටි තරුණිය දෙස බලමින් වෛද්‍යවරයා හෙමින් සීරුවේ රථය ඉදිරියට ධාවනය කළේය.
ගැමි නිවෙසේ මිදුලේ රථය නතර විය. කොට්ටව රාලහාමි රථයෙන් බැස නිවෙසට ගියේය. තරුණියගේ මව කොට්ටව රාලහාමි කවුදැයි දැන සිටියාය.
“අපි අවේ දුව බලන්න” රාලහාමි කීවේය.
“අපොයි දන්වලා එන්න තිබුණානේ. දුව නාන්න ගිහින්. ඉන්න මම දුවට එන්න කියන්නම්” මව කීවාය. තරුණිය දිය රෙද්ද පිටින් නිවෙසට දිව ආවාය. දිය රෙද්දෙන් සැරසී කොණ්ඩය කඩාදමා තරුණිය දිව එන අයුරු වෛද්‍යවරයා දෑස් දල්වාගෙන බලාගෙන සිටියේය.
“රාලහාමි මෙන්න මේ වගේ පිංතුර තමයි රාලහාමිගේ කාර්යාලයේ තියෙන්න ඕනැ” වෛද්‍යවරයා කීවේය.
“ඒක තමයි මම පෙන්වන්න දොස්තර මහත්තයා කැඳවාගෙන ආවේ.” රාලහාමි සිනාසෙමින් කීවේය. තරුණිය ඇඳ සිටි දිය රෙද්ද මෙන්ම ඇය වෙත පැවති ගැමිකම හා රූමත්බව නිසා වෛද්‍යවරයා ගැමි තරුණියට කැමති වූයේය.
දියණියගේ විවාහය දා ළය පැලී මියගිය මව
වැලිගම ප්‍රදේශයේ වයස්ගත මවක් කොට්ටව රාලහාමි වෙත සිය පවුලේ දුක කියා ලිපියක් එවා තිබුණි. එය ඉතා දුක්බර ඉල්ලීමක් විය.
‘මහත්තයෝ අපි ගමේ වැදගත් පරම්පරාවකින් පැවත එන අය. මගේ මහත්තයා මුදලාලි කෙනෙක්. හොඳට හම්බ කළා. ලොකු පුතා අපි හරි හම්බකරගත්තු මුළු සේසතම විනාශ කරලා මැරිලා ගියා. දෙවැනි පුතා නොගැළපෙන විවාහයක් කර ගෙන අපට සලකන්නේ නෑ. මගේ මහත්තයා ඒ දුකටම මියගියා. මම අංශබාගයෙන් ඔත්පළ වෙලා දැන් වසරක් විතර වෙනවා. මට නැගිටීමට බැහැ. මට සාත්තු සප්පායම් කරන්නේ බාල දියණිය. ඇය දේවතාවියක්. අනේ මහත්තයෝ මැරෙන්න කලින් මගේ දියණියට මහත්තයෙක් හොයලා දෙන්න’ මව එම ලිපියෙන් ඉල්ලා තිබුණාය.
මේ ලිපිය කියවීමෙන් පසු කොට්ටව රාලහාමිට ඇතිවූයේ දැඩි වේදනාවකි. මේ දියණියට පිහිට විය යුතු බවට කොට්ටව රාලහාමි අදිටන් කරගත්තේය. ඔහු මේ පවුලට ගැළපෙන තරුණයකු සමග එම නිවෙසට ගියේය. මහලු මව දෑත් දිගුකොට කොට්ටව රාලහාමිට වැන්දාය. සැබවින්ම මෙය හැඟීම්බර අවස්ථාවක් විය. දුක වේදනාව හඳුනන තරුණයා තරුණිය කසාද බැඳීමට කැමතිවිය. පවුලේ වගකීම බාර ගැනීමටද කැමැත්ත පළකළේය. ඒ අනුව විවාහය ලියා පදිංචි කිරීමට දේපාර්ශ්වය කථිකා කරගනු ලැබීය.
විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු මනාල යුවළ නිවෙසට පැමිණ මනාලයා මවට බුලත් අතක් දී වැන්දේය. මවගේ දෑස්වලින් සතුටු කදුළු රූරා වැටෙන්නට විය. මව සිටියේ දැඩි සතුටිනි. ගතවූයේ නිමේෂයකි. ඇය මනාලයගේ දෑත් අල්ලාගෙනම මිය ගියාය.
පැරණි ඇදහිලි සනාථ වූ මොහොතක්
කොට්ටව සිරිසේන රාලහාමිගේ මංගල සේවය මගින් මුණගස්වනු ලැබූ තරුණයකු හා තරුණියක විවාහය ගිවිස ගැනීමට තින්දුකොට තිබුණි. ඒ කොට්ටව රාලහාමිගේ උපදෙස් මතය. තරුණයා රියැදුරෙකි. තරුණිය ගෘහණියකි. “රාලහාමි අපට නැකත් කේන්දර පොරොන්දම් බලන්න අවශ්‍ය නැහැ. අපි දෙදෙනාගේ කැමැත්ත අනුව විවාහ වෙනවා” තරුණයා රාලහාමිට කීවේය. කොට්ටව රාලහාමිට මනාල යුවළගේ කැමැත්තට ඉඩ දීමට සිදුවිය. මෙකී යුවළගේ විවාහය ලියාපදිංචි කරනු ලැබුවේ මනාලියගේ නිවෙසේදීය. ඒ සඳහා මනාලියගේ හා මනාලයාගේ පාර්ශ්වයේ ඥාතිහු ද පැමිණ සිටියහ. විවාහය ලියාපදිංචි කරන අවස්ථාවේ මනාලිය අසුන්ගෙන සිටි පුටුව පෙරළී ඇය බිම ඇද වැටුණාය. ඥාතින්ගේ මුහුණු ඇඹුල් විය. කාන්තාවන් තැන් තැන්වලට වීමේ ගැන එක එක කථා කියන්නට වූහ. මංගල ජෝඩුව ඔවුන්ගේ මංගල ගමන ආරම්භ කළේද ඔවුන්ගේ කැමැත්ත අනුවය. කිසිදු චාරිත්‍රයක් වාරිත්රයක් ඉටු කළේ නැත. ජෝඩුව පිටත් වෙද්දී ජල බඳුනක් රැගෙන පෙරට ඒම වැනි චාරිත්‍ර හෝ සෙත් ගායනා කිසිවක් කළේ නැත. මෙකී මනාල යුවළගේ යුග දිවිය සාර්ථක වුයේ නැත. ඔවුන්ට දරුවෝද නොවූහ. මනාලයා සතුව තිබු ඉඩකඩම් පවා විකුණා දැමිමට ඔහුට සිදුවිය. ටික කාලයකදි ඔහු හදිසි අනතුරකට ලක්ව මියගියෙන් බිරිය තනිවිය.
මානසික රෝගීන්ට උදව් කළ හැටි
මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා කොට්ටව සිරිසේන රාලහාමිගේ හිතවතෙකි. දිනක් හරිස්චන්ද්‍ර මහතා කොට්ටව රාලහාමිගේ මංගල සේවා කර්යාලයට පැමිණ තරුණ තරුණියන් මුණගස්සවන අයුරු නිරික්ෂණය කළේය. ඊට පසු එක් දිනක හරිස්චන්ද්‍ර මහතා කොට්ටව රාලහාමිට දුරකථනයෙන් කථා කළේය. “රාලහාමි මට උදව් කරන්න ඕන. මම ලියුම් කඩදාසියක් ලියලා කාගේ අතේ හරි එච්වොත් ඒ අයට උදව්වක් කරන්න ඕනැ.” හරිස්චන්ද්‍ර මහතා රාලහාමිට කීවේය.
“ඔව් දොස්තර් මහත්තයා, මම කවදාත් හොඳ වැඩවලට උදව් කරනවානේ. මට පුළුවන් උදව්වක් කරන්නම්” කොට්ටව රාලහාමි කීවේය. දිනක් හරිස්චන්ද්‍ර දොස්තර් මහතාගේ ලිපියක් රැගෙන පිරිමි තිදෙනෙක් සමග කාන්තාවක් රාලහාමි හමුවීමට පැමිණියහ. මානසික රෝගයකින් පෙලෙන තරුණයා හඳුනා ගැනීමට කොට්ටව සිරිසේන රාලහාමිට වැඩවේලාවක් ගතවූයේ නැත. “ආ එන්න පුතා, ඔයා කැමති මේ අයගෙන් කාටද?” තරුණියන්ගේ රූප පෙන්වමින් කොට්ටව රාලහාමි රෝගී තරුණයාගෙන් ඇසුවේය. රාලහාමිට අවශ්‍ය වූයේ රෝගී තරුණයාගේ මනස සුවපත් කිරීමටය. රෝගී තරුණයා ඉතා ආශාවෙන් තරුණියන්ගේ ඡයාරූප බැලුවේය.
“පුතා ඉස්සෙල්ලා බෙහෙත් බීලා ලෙඩ සුව කරගන්න ඕනැ. ඊට පස්සේ මං හොඳ මනාලියක් හොයා දෙන්නම්” රාලහාමි තරුණයාට කීවේය. තරුණයාගේ හිසේ මලක් පිපුණාක් වැනි විය. එපමණක් නොව මංගල සේවයට පැමිණි තමන්ට හිතවත් තරුණියන්ට කියා කොට්ටව රාලහාමි මෙවැනි තරුණයන් සමග කථා බස් කිරීමට කටයුතු යෙදුවේය. මේ අයුරින් මානසික රෝගින්ට උදව් කිරිමට ද කොට්ටව රාලහාමි කටයුතු කළේය.
ලලිත් චාමින්ද