
බයිසිකලයක් මිල දී ගැනීමේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් කුලී වැඩ කරන දුප්පත් කුඩා දරුවකුට අවසානයේ සිය සිහිනය පසෙක ලා හදවත් රෝගයෙන් පීඩා විඳින පියා සුවපත් කර ගැනීම සඳහා එකතු කළ මුදල් පරිත්‍යාග කිරීමේ අනුවේදනීය කතාවක් ගැබ් වී තිබෙන්නේ සෝමරත්න දිසානායකගේ “සමනල තටු” චිත්‍රපටයේය. ඔහු විසින් එවැනි පුවතක් පාදක කර ගනු ලැබුවේ මෑතක් වන තුරුම හෘද සැත්කම් සඳහා විශාල මුදලක් වැය වූ නිසාය. එහෙත් රු. 3, 75,000.00 කට මිල දී ගත් ඖෂධ කැවූ ස්ටෙන්ට් එකක් රු. 1,05,000.00 කටත්. රු. 75,000.00 කටත් මිල දී ගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. එපමණක් නොවේ. ඇසේ සුද ඉවත් කිරීමෙන් පසුව ඇසට යොදන අක්ෂි කාච මිල ගණන් පවා අඩු වී ඇත. මෙවැන්නක් සිදු කළ හැකි වූයේ රජය විසින් ඖෂධ මිල ගණන් පහත දැමූ නිසා ය. රජය විසින් ඖෂධ වර්ග 48 ක මිල අඩු කරනු ලැබුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 අංක 5 දරන පනතට අනුව ය. 2016 ඔක්තෝබර් 21 වැනි දින ගැසට් පත්‍රයෙන් ඖෂධ මිල අඩු කෙරිණි.
ඖෂධ මිල අඩු කිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ ජනතාවට සහනයක් ලබා දීමයි. එනම් ගුණාත්මක තත්ත්වයෙන් මෙන්ම ක්‍රියාකාරිත්වයෙන් ඉහළ ඖෂධ ජනතාවට අඩු මිල ගණන් යටතේ සැපයීම ය. එමෙන්ම වැඩි මිල ගණන් යටතේ ඖෂධ මිල දී ගැනීමෙන් පිටරටවලට ඇදී යන මුදල් ඖෂධ මිල අඩු කිරීමෙන් අනතුරුව අවම කර ගැනීමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ සංකල්පයකට අනුව ප්රථමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කිරීම සඳහා අවධානය යොමු කෙරිණි. අත්‍යවශ්‍ය ඖෂධ ලෙස සැලකෙන්නේ නිතර පාවිච්චි වන ඖෂධ වර්ග ය. ඇදුම, හෘද රෝග, කොලෙස්ටරෝල්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, වාත අමාරු සඳහා භාවිත වන ඖෂධ ඇතුළු ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ සඳහා අයත් විය.
“ඉස්සර හෘද රෝගියකුට මාසයකට ගැනීමට නියමිත ඖෂධ වට්ටෝරුව මිල දී ගන්න රු. 8,000 .00 ක් විතර වැය වුණා. දැන් අවශ්‍ය වෙන්නේ රු. 3,000.00 ක් වැනි මුදලක් විතරයි. ඒ දවස්වල සමහර රෝගීන් ඔවුන්ට අවශ්‍ය බෙහෙත්, අවශ්‍ය ප්‍රමාණයෙන් ගත්තේ නැහැ. මාසයකට බෙහෙත් ලියලා තිබුණත් අතේ තියෙන මුදල බලලා සුමානෙකට විතරක් ගන්නවා. බෙහෙත් පිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නියමිත මාත්‍රාව නියම කර ඇති පිළිවෙළට ගන්න ඕනෑ. අතරින් පතර ගත්තාම ලෙඩ හොඳ වෙන්නේ කොහොමද? නමුත් මෙම රජය ඖෂධ මිල අඩු කළ පසු රෝගීන්ට ලොකු සහනයක් සැලසී තිබෙනවා.” යනුවෙන් පැවසුවේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ ය.
මෙම මිල අඩු කිරීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, මහාචාර්ය අසිත ද සිල්වා සිය අවධානය IMS (International marketing ) කෙරෙහි යොමු කළේය. මක් නිසාද ඖෂධ වර්ග, ඒවායේ නිෂ්පාදන මිල, වෙළෙඳපොළ මිල ඇතුළු සියලුම තොරතුරු එහි අන්තර්ගත වී තිබෙන නිසාය. මෙහිදී ඖෂධ මිල ගණන් පරාසයේ සාමාන්‍ය අගය නොව මධ්‍ය අගය ශ්‍රී ලංකාවේ ඖෂධ මිල සඳහා තෝරා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, මහාචාර්ය අසිත ද සිල්වාගේත් මූලිකත්වයෙන් සැකසුණු ඖෂධ මිල යාන්ත්‍රණය නිර්දේශ කරනු ලැබුවේ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්ගේ සභාපතිත්වයෙන් යුතු ඖෂධ මිල පාලන කමිටුවෙනි.
“සාමාන්‍යයෙන් විවෘත ආර්ථික වෙළෙඳපොළේ බල තුලනය නිසා බොහෝමයක් භාණ්ඩවල මිල පාලනය වෙනවා කියලා අදහසක් තිබෙනවා. එය වඩාත් පැහැදිලි කරනවා නම් එළවළු, සහල්, මාළු, පලතුරු වගේ භාණ්ඩ තෝරා ගැනීම කරන්නේ පාරිභෝගිකයා. ඒත් ඖෂධ තෝරන්නේ රෝගියා නොවෙයි. වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා විසින්. ඒ නිසා ඖෂධ මිල වෙළෙඳපොළ බල තුලනයකින් පාලනය වෙන්නේ නැහැ. ඖෂධවලට පාලන මිලක් අවශ්‍ය වෙන්නේ ඒ නිසයි. ඉහළ මිලකින් තිබුණු ඖෂධ මිල පහළ පාලන මිලකට ගෙනාපුවාම ඖෂධ විකුණන අලෙවිසැල්වලට වැඩි මිලට විකුණන්න බැහැ. පාලන මිලට විකුණන්න සිද්ධ වෙනව. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරීක්ෂකවරුන් ඒ ගැන විමර්ශනය කරනවා.” යනුවෙන් සඳහන් කළේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ය. ඔහු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජිකයෙකි.
2016 ඔක්තෝබර් 21 සිට මේ ආකාරයට මිල පහතට දැමූ ඖෂධ වර්ග ගණන 48 කි. එහෙත් එක් ඖෂධයක් පෙති, කරල්, එන්නත් ආදි වශයෙන් බෙදුණු විට මිල අඩු වූ ඖෂධ වර්ග ගණන 272 කි.
“අපි ඖෂධ මිල අඩු කරලා පාලන මිලක් දැම්මාම සමහර ඖෂධ සමාගම් ලංකාවට ඖෂධ සපයන්න බැහැ කිව්වා. සමහර සමාගම් අපිව දාලා ගියා. ඒත් අපි අපේ තීරණය වෙනස් කළේ නැහැ. තානාපතිවරුන් පවා ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා නොසැලී හිටිය. අපි මේ මිල අඩු කළේ විද්‍යාත්මක පදනමකින් කියලා තානාපතිවරුන්ටත් සමාගම්වලටත් පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සේ ඒ අය අපි කියපු දේ පිළිගත්තා. දැන් අපිව දාලා ගිය ඖෂධ සමාගම් ආපහු ඇවිත් තිබෙනවා.” යනුවෙන් වෛද්‍ය කමල් ජයසිංහ තවදුරටත් විස්තර කළේය.
රජය ඖෂධ මිල අඩු කිරීමට පෙර ඖෂධ ආනයනය සඳහා ඇ.ඩො. මිලියන 900 ක් වැය වී තිබේ. එහෙත් ඖෂධ මිල පහත දැමීමෙන් පසුව රු. මිලියන 4400 ක් (බිලියන 4.4) රජයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබේ. මේ ආකාරයට ඉතිරි කර ගනු ලැබූ මුදල් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යෙදවූවේ තවත් එවැනිම කටයුත්තකට ය. ඒ රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් කරන රෝගීන්ට අක්ෂි කාච නොමිලේ ලබා දීමට ය. ඉන් අනතුරුව රජයේ රෝහල්වල සිදු කෙරෙන හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබා දීමට පියවර ගැනිණි. මේ වන විට ඖෂධ කැවූ ස්ටෙන්ට් එකක මිල රුපියල් එක් ලක්ෂ පන් දහස දක්වා පහත වැටී තිබෙන්නේ රුපියල් තුන් ලක්ෂ හැත්තැපන් දහසේ සිට ය. ඖෂධ නොකැවූ ස්ටෙන්ට් එකක මිල රු. හැත්තැපන් දහසේ සිට රුපියල් විසිහතර දහස දක්වා අඩු වී තිබේ. රජය විසින් අක්ෂි කාච සහ ස්ටෙන්ට් මිල ද අඩු කර තිබෙන නිසා පෞද්ගලික රෝහල්වල සිදු කෙරෙන හෘද සැත්කම් සහ අක්ෂි සැත්කම්වලදී රෝගියා දැරිය යුතු පිරිවැය අඩු වේ. එය රෝගීන්ගේ පසුම්බියටත් හිතටත් සහනයකි. සැනසීමකි.
මීට අමතරව තවත් ඖෂධ 25 ක මිල පහත දැමීමට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ. ජීවිත ආරක්ෂක ප්‍රතිජීවක, දියවැඩියාව ඖෂධ හා උපකරණ , ඇදුම සහ ශ්වසන අපහසුතා සඳහා භාවිත කරන ඖෂධ, පුරස්ති ග්‍රන්ථි රෝග ඖෂධ, වේදනා නාශක, ස්නායුගත රෝග සහ පිළිකා රෝගය සඳහා භාවිත වන මිල අධික ඖෂධ වර්ග 10ක් ඊට අතුළත් ය. පිළිකා ඖෂධවලට යන වියදමෙන් 61% ක් වියදම් වන්නේ ඖෂධ 10 ක පමණක් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කළේ ඖෂධවල මිල කොපමණදැයි සිතා ගැනීමට නිදසුනක් සපයමිනි. නුදුරු දිනයකදීම මෙකී ඖෂධ 25 මිල ගණන් අඩු වූ විට රෝගින්ට තවතවත් සහන සැලසෙන අතර ඉන් ඉතිරි වන මුදල් රටේ ඵලදායි කටයුත්තකට යෙදවීමට නියමිතය.