
නව වැනි තායි රජු ලෙසින් කිරුළු පළන් සිය රාජාභිෂේකයේ සතුට සිත් සේ විඳගන්නට තරුණ භූමි බෝල් රජු බලාපොරොත්තුවෙන් සිටියේ ය. පතපොතේ ඉගෙනුම් ද නිසි ලෙසින් හමාර කර සිටි ඔහු 1951 අවුරුද්ද වෙද්දී සියලු සුදුසුකම් වලින් ‘රජ වී‘ සිටියේ අඩුපාඩුවක් සොයන්නට ඉඩක් නොතබමිනි. අලුත් රජු වී රටේත් ජනතාවගේත් වගකීම තමන් වෙත ලබද්දී තායිලන්ත වැසියෝ සිටියේ නම් අසීරු අඩියක ය.”තායිලන්ත වැසියන්ගේ සතුට සහ යහපත උදෙසා ධාර්මිකව රට පාලනය කරමියි”ලෙසින් දුන් පොරොන්දුව ඉටු කරන්නට ඔහුට හොඳ ම වේලාව පැමිණෙමින් තිබුණේ ය. තායි වැසියෝ ‘නිමා වන බවක් නොපෙනුණු නියඟයකින්‘ පීඩාවට පත් වෙමින් සිටිනා බව භූමිබෝල් රජුට සැලවූයේය. 1955 අවුරුද්ද වෙද්දී මේ නියංසාය පිළියමක් සෙවිය යුතු තරමට වැඩි වී ආයේය.
දිගුකලක් වැස්ස නොලැබී වගා බිම් වියළී යද්දී තායි වැසියන්ගේ ජීවිත ද වියළී යන්නට පටන් ගත්තේය. තව තවත් වැඩිවී ආ නියඟය තායිලන්තය වසාගෙන තිබුණු ‘කොළ පැහය‘ටිකෙන් ටික අඩු කර දමන්නට තරම් ද වූයේය. වනාන්තර විනාශ වී යන්නටත්, සතුන් පිපාසයෙන් මියැදෙන්නටත් වූයේ ය. ගම්මාන වලටත් වඩා නගර ආශ්‍රිත පානීය ජල අවශ්‍යතාව සැපිරීම ගැටලුවක් වූයේය. වයඹදිග තායිලන්තය ම පාහේ වියළී යද්දී භූමිබෝල් රජු වයඹදිග තායිලන්තය පුරා තැනින් තැනට ඇවිද යමින් තමන් ම නියඟයට විසදුම් සොයන්නට පටන් ගත්තේය. ඔහු තමන්ම අලුත් අලුත් අදහස් ඇතිව අලුත් අලුත් දේ සොයන්නට වූ අතර ම, වැස්ස ගැන වූ පර්යේෂණ ගැන ද සොයා බැලුවේය. අවසන කෘත්‍රිම වැස්සක් ඇති කරන්න ඇති හැකියාව පිරික්සා බලන්නට ඔහු තීන්දු කළේය.‘වැස්ස ඇති කිරීමේ රාජකීය ව්‍යාපෘතිය වූ මෙහි ‘වැස්ස ඇති කිරීමේ කතාවේ‘ අයිතිය ඇත්තේ භූමිබෝල් රජුට ය.
ඔහු ‘වැස්ස ඇතිකිරීමේ කතාව‘ එකවර ලියා අවසන් කරන්නට හදිසි නොවූයේය. වියළී ගිය බිම්පුරා ඇවිද යමින් ඔහු ඒ ගම්මාන වල වාරි මාර්ග, ඇළවේලි, ගැන සේම වැසි ජලය එක් රැස් කර තබා ගත හැකි වැව්, අමුණු ගැනද හොඳින් සොයා බැලුවේ ය. වගා බිම් ගැනම පමණක් නොව වනාන්තර වල පැවැත්ම ගැන ද සිතූ ඔහු වාතයේ පවත්වාගත යුතු ආර්ද්‍රතාවය ගැන ද එයින් වනාන්තරවල මනා පැවැත්ම පවත්වාගත් යුත්තේ කෙසේද යන්න ගැන ද සොයා බැලුවේය. භූමිබෝල් රජු අහස දෙස බැලුවේ පොළවේ සිදු කළ යුතු සොයා බැලීම් අවසානයේය. අහසේ වළාකුළු ඇතත් ඒ වළාකුළු සුළගට ගසාගෙන යන නිසා වැස්ස අඩුවන බව ඔහු හැඳින්නේ ය. වළාකුළු නිසි තැනට රැස්කොට තබා වැස්ස ලැබෙන්නට සැලැස්වීම ගැන ඔහුම සිතන්නට පටන් ගත්තේ මේ සියලු සොයාබැලීම් කරනා අතරේදී ම ය. වළාකුළු අතරින් ම කෘත්‍රිම වැස්සක් ඇතිකර ගන්නට කළ යුතු දේ ගැන පර්යේෂණ පැවැත්වූ රජු 1969 අවුරුද්ද වෙද්දී තමන්ම ඊට විසදුමක් සොයා ගත්තේය. සිය පර්යේෂණයේ හොඳ නොහොඳ සොයා බලන්නට ඔහු පැක් ජොන් පළාතේ කාඕ යැයි ජාතික උද්‍යාන කලාපය තෝරා ගත්තේය. කෘත්‍රිම වැස්ස ඇති කරවිය හැකි බවට තහවුරු කරගෙන සිටි වියළි අයිස් මේ කෘත්‍රිම වැස්ස වෙනුවෙන් මුලින් ම යොදා ගන්නට රජු තීන්දු කරගෙන සිටියේය. අගල බැගින් දිග,පළල් උස ඇති වියළි අයිස් කැට මේ වෙනුවෙන් යොදා ගත්තේය. ගුවන් යානා යොදා ගනිමින් මේ වියළි අයිස් කැට වළාකුළු අතරට එකතු කිරීම රජුගේ සැලැස්ම වී තිබුණේය. කුඩා ගුවන් යානා යොදා ගනිමින් තත්පර 30කට ග්‍රෑම් 100ක් බැගින් වන ලෙස අඩි 10,000ක් ඉහළ අහසේදී මේ ‘වියළි අයිස් කැට‘ වැපිරීම සිදු වූයේ ය. බලා සිටින්නට සිදුවූයේ මින්ත්තු 15කට මඳක් වැඩිවූ වේලාවකි. කැටි වළාකුළු කෙමෙන් විශාල වන්නටත් අදුරු පැහැවන්නටත් පටන් ගත්තේය. උත්සාහය සාර්ථක වන බව පෙනුණත් හමායමින් තිබුණු වියළි සුළඟ මේ උත්සාහයට වඩා සවිමත් ව නැඟී ආයෙන් අදුරු පැහැවූ කැටි වළාකුළු කඳු දෙසට ගසාගෙන ගියේ වැස්සක් ඇති වූ වාද නැතිදැයි සොයා දැන ගන්නට ඉඩක් නොතබමිනි.
වැස්ස ඇතිවූ බවක් නිශ්චිතව ම දැනගන්නට නොලැබුණ නමුත් ලැබුණු නිරීක්ෂණ තැබූ පළමු පියවර සාර්ථක් එකක් බවට ඉඟි කරවා තිබීම කාගේත් සිතට සැනසීමක් වී තිබුණේ ය. සැනසිලිදායක වූ පළමු අත්දැකීමෙන් පසුව වඩා වැඩි පහසුවක් ඇති ගුවන් පථයක් සිය අත්හදාබැලීම් වෙනුවෙන් යොදාගත යුතු බව සිතූ ඔහු හුආ හින් දිස්ත්‍රික්කයේ බෝ ෆායි වාණිජ ගුවන් පථය ඒ වෙනුවෙන් සූදානම් කරගත්තේය. රජු ඇතුළු වැස්ස ඇති කිරීමේ පර්යේෂණ කණ්ඩායම මේ සියල්ල සිදු කළේ නියමිත විද්‍යාත්මක ක්‍රම්වේද අනුගමනය කරමිනි. 1969 අවුරුද්දේ අගෝස්තුවේ කෙරුණු මේ අත්හදා බැලීම තරමක් සාර්ථක වූයේ නමුත් සියලු බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට තරම් වූයේ නැත. 1969 සහ 1970 වසර වල සිදු කෙරුණු මේ පර්යේෂණ සහ අත්හදා බැලීම් වල සාර්ථකත්වය මාධ්‍ය ඔස්සේ දැනගත් තායි වැසියෝ නියඟයට පිළියම් පතා රජු වෙත සිය ආයාචන එවන්නට පටන් ගත්හ. ඒ කාලය වන විටත් අත්හදා බැලීම් මට්ටමේ තිබුණු වැස්ස ඇති කිරීමේ ක්‍රියාවලිය සිය ජනතාවට සහනයක් වන බව දුටු භූමිබෝල් රජු 1971 අවුරුද්දේ ජූලි මස 10 සිට අගෝස්තු 26 දක්වා කාලයේදී ක්‍රියාත්මක වන්නට මෙහෙයුම් කණ්ඩායමක් පත්කරනු ලැබුවේය. නැකෝන් සවාන් ගුවන්තොටේ සිට මේ කණ්ඩායම ක්‍රියත්මක වූයේ හදිසි තත්ත්වයක්ට පිළියම් යොදන්නට ලැබුණු රාජකීය අණිනි. මධ්‍යම තායිලන්තයේ නොකෝන් සවාන් වැසියන් තමන් පීඩාවට පත් කරමින් තිබුණු නියගය ගැන කල දැනුම්දීමට රජු ලබා දුන් මේ ඉක්මන් විසඳුම සැබෑවටම විසඳුමක් වූයේ වියළී ගොස් තිබුණු ජීවිත වලට නැවත පණ දෙන්නට ‘කෘත්‍රිම වැස්ස‘ තරම් වූ නිසා ය. මේ සාර්ථකත්වය නිසාම මේ මෙහෙයුම් කණ්ඩායම ‘තැනින් තැනට යමින් රාජකීය වැසි ඇති කිරීමේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම‘ ලෙස නම් ලැබුවේ ය
රට වැසියන්ගේ වියළී ගිය ජීවිත වලට පණදෙන්නට තරම් වූ භූමිබෝල් රජුගේ මේ වෑයම ලෝකය පුරාම පැසසුමට ලක්වූ අතරේ ම ලෝක කාලගුණ විද්‍යා සංගමය මේ සාර්ථක වෑයමට ලෝකය පුරා වියළී ගිය බිම් සරු කරන්නට හැකි විසඳුම ලෙස මහ ඉහළ වටිනාකමක් ද ලබා දුන්නේය. කෙතරම් ඇගයුම් පැසසුම් ලැබුණත් භූමිබෝල් රජු මේ උත්සාහය තව තවත් සාර්ථක කර ගන්නට ගත් වෑයම අත්හළේ නම් නැත. ඔහුගේ අධ්‍යයන, පර්යේෂණ, අත්හදා බැලීම් වල කෙළවරක් නොවූයේය. 1973 අවුරුද්ද වන විට සිය වැස්ස ඇතිකිරීමේ රාජකීය තාක්ෂණය වඩා සාර්ථක තාක්ෂණයක් බවට පත් කරවන්නට ඔහු සමත් වූයේය. රජු මේ තාක්ෂණය ‘සැන්විච් තාක්ෂණය‘ ලෙසින් නම් කළේ වළාකුළු අතරේ වියළි අයිස් කියුබ ඇතිරීම සලකාය. මුල් අත්හදා බැලීම් වල්දීට වඩා අයිස් කියුබ ඇතිරීමේ ක්‍රමවේදය නම් සැන්විච් තාක්ෂණයේදී තරමක් දියුණු වී තිබුණේ ය. අයිස් කියුබ ඇතිරිය යුත්තේ වැස්ස ලබාගැනීමට බලාපොරොත්තු වන වළාකුළ සහ අනෙක් වළාකුළු අතර ය. මේවා අතර පරතරය අඩි 1000ක් වත් විය යුතු බවත් වැස්ස ලබා ගැනීම බලාපොරොත්තු වන වැසි වළාකුළ පහතින් පිහිටන තරමට වැස්ස වැඩිවන බවත් සැන්විච් තාක්ෂණය විස්තර කර දී ඇත්තේය. අලුත් අලුත් ක්‍රම හඳුන්වා දෙමින් භූමියේ පැතිරීම, ප්‍රදේශයේ කාලගුණය සහ අනෙකුත් පරිසර සාධක පදනම් කර ගනිමින් සැන්විච් තාක්ෂණය වඩ වඩා දියුණු කරන්නටත් කාටත් යහපත් උදාකරන අඩුපාඩු රහිත තාක්ෂණයක් බවට පත් කරවන්නටත් භූමිබෝල් රජු සිය කණ්ඩායම හා එක්ව නිරතුරුව කටයුතු කළේය.
වැසි ඇති කිරීමේ තාක්ෂණය වඩ වඩා දියුණු වෙමින් අලුත් අංග එක් වෙද්දී නියඟය මැඬ ගැනීමෙන් තරමක් ඈත් වූ අරමුණු ඉටු කරගන්නට ද තරම් වූයේය. වැසි වළාකුළු කඳු ප්‍රදේශ වලින් ඉවත් කර පහත් වියළි බිම්වලට වැසි ලබා දෙන තත්ත්වයට පත් කිරීම, විසිරී පතිරී සුළඟට හසුව ගසාගෙන යන වැසි වළාකුළු එක් රැස් කොට වැසි ඇති කරවීමට සැලැස්වීම, වැස්ස වුවමනා තැනට වැසි වලාකුළු ගෙනවිත් තැබීම, ලැව් ගිනි මැඩලීමට කදිම ක්‍රමයක් ලෙස යොදා ගැනීම වැනි වූ බොහෝ දේ වෙනුවෙන් සාර්ථක ව යොදා ගත හැකි ලෙස වැසි තාක්ෂණය දියුණු කරගන්නට භූමි බෝල් රජු සමත් වී තිබුණේය.
1999 වසර වන විට වඩා දියුණු වී තිබූ වැසි තාක්ෂණයෙන් වැඩ ගන්නට තරමේ දැඩි නියගයකට තායිලන්තය නැවත මුහුණ දුන්නේය. මේ වෙනුවෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායම් දෙකක් යොදාගත් රජු සිය වැසි ඇති කිරීමේ සැන්විච් තාක්ෂණය ‘සුපිරි සැන්විච් තාක්ෂණය‘ ලෙස තවත් පියවරක් ඉදිරියට ගෙන ගියේය. සෙල්සියස් අංශක -78ක උෂ්ණත්වයේ ඇති අයිස් කියුබ මේ සුපිරි තාක්ෂණය වෙනුවෙන් යොදා ගැනුණේය. ප්‍රේරණය, වළාකුළු වලට පහරදීම සහ වළාකුළු තර කිරීම යන පියවරයන් සුපිරි තාක්ෂණය වෙනුවෙන් අලුතින්ම හදුන්වා දුන්නේ ය. වළාකුළු වලට පහර දීම පියවර දෙකකින් සිදුවූයේය. අඩි 1000ක පරතරය ඇති වළාකුළු පදම් අතර අයිස් කියුබ අතුරමින් ඒවායෙන් වැසි ලබාගැනීමට බලාපොරොත්තු වන වියළි වළාකුළට පහර දී එය සුපිරි සිසිල් තත්ත්වයට පත් කිරීම සහ එසේ සුපිරි සිසිල් තත්වයට පත් වූ වළාකුළු වලට සිල්වර් අයඩයිඩ් මඟින් පහරදී ඒවායේ උෂ්ණත්වය -8ත් -2 ත් අතර පවත්වා ගැනීම මේ අලුත් තාක්ෂණික පියවර ය. සුපිරි සැන්විච් තාක්ෂණයෙන් වැසි ලබා ගැනීම පියවරයන් හයකින් සිදුවූ අතර මේ පියවර හය භූමිබෝල් රජු විසින් ම කඩදාසි වල අතින් අදින් ලදුව කාටත් විස්තර සහිතව පැහැදිලි කර දී තිබුණේ ය.
රටේ සහ ජනතාවගේ නිල භාරකරු ලෙසින් භූමිබෝල් රජු තමන් ම හදුන්වා දී තමන්ම දියුණු කර ගත් කෘත්‍රිම ව වැසි ඇති කරගැනීමේ ‘සුපිරි සැන්විච් තාක්ෂණය‘ට පේටන්ට් අයිතිය ලබා ගැනීමටට ඔහුට හැකි වූයේය. ලෝකයේ වැඩි ම කාලයක් රාජ්‍යත්වයේ සිටිමින් තායි වැසියන්ගේ දෙවියන් බවට පත් වීමට ඔහු ඉටු කළ මේ වගකීම පමණක් වුව නොසෑහෙන්නේ ද! අද ලෝකය කෘත්‍රිම වැසි තාක්ෂණය ලෙස යොදා ගන්නේ භූමිබෝල් රජුගේ සුපිරි සැන්විච් තාක්ෂණය යි. රජකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ කැපකිරීමක් වෙහෙසක් දැරූ භූමිබෝල් රජුගේ වෙහෙසෙන් අද ලෝකයක් වැඩ ගන්නේය.
මේ තාක්ෂණය රැගෙන එන්නට අපේ පිරිසක් තායිලන්තයට ගොස් ඇති බව දැන ගන්නට තිබීම සතුටට හේතුවකි. තායිලන්තයේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ දැනට මෙහෙයවෙන මේ තාක්ෂණය මේ වසර තුළදී අප රටට ලබා ගත හැකි වනු ඇති බවට වන විශ්වාසය ද සතුටුදායකය. එසේම තායි විශේෂඥයන් මේ සදහා වන මූලික නිරීක්ෂණ කටයුතුද මේ වන විට මෙරටදී සිදු කර ඇති බව දැන ගන්නට තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය, සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව කෘත්‍රිම වැසි වලින් මෙරට බිම තෙමා සනසන්නට සූදානම් වන බවක් කියැවේ. වියළී ගිය රජරටට දිය බිදක් ගෙන එන්නට භූමිබෝල් රජු ලොවට දායාද කළ තාක්ෂණයේ සරණ අපට සරණක්ම වේවා!